රනිල් පැමිණෙයි… සජබ ඇවිළෙයි… ගින්නට මහින්දානන්ද පිදුරු දමයි… සජිත්ගේ නායකත්වය රනිල් ගනීද සැකයක්…

419

බුලිත ප‍්‍රදීප් කුමාර
 


පසුගිය සතියේ අපේ සමාජ කරළියේ ඉහළින්ම කතාබහට ලක්ව තිබූ පියුමි හංසමාලි පිළිබඳ කතාබහ මේ සතිය වන විට අතුරුදන් ව ගොස් තිබිණි. පියුමි හංසමාලි කියා අයෙක් පස්සර යූරි වතුයායේ ජාතික පුහුණු මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින බවවත් සතියක් යන විට අපේ රටේ ජනතාවට අමතක විය. ඒ වෙනුවට ඔවුන් අලූතෙන් කතාබහ කරන්නට පටන් ගෙන තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණීම හා සජිත් පේ‍්‍රමදාස – චම්පික රණවක යන දෙදෙනා අතර ඇති වූවා යැයි කියන මත ගැටුම ගැනය.

සමාජ තලය මතුපිට ජනප‍්‍රිය මාතෘකාව එය වුවත් අභ්‍යන්තර හරය තුළ මෙම සතියේත් කතාබහට ගැනුණු ප‍්‍රධාන මාතෘකාව කොවිඞ් ම විය.

මැයි මාසයේ තුන්වන සතියේ සිට රටටම බලපාන පරිදි දැඩි ලෙස සංචරණ සීමා පනවා සෞඛ්‍ය නීති රීති දැඩි කොට කොවිඞ් මර්දනය කරන්නට රජය කොතෙකුත් උත්සහ දැරුවත් එම කටයුත්ත ලේසි පහසු වූයේ නැත. එම තත්ත්වය සති හතරක් වනතුරු පවත්වාගෙන ආවත් කොවිඞ් වර්ධනය සීමා කිරීම අපහසු වූයේ පසුගිය අවුරුදු සමයෙන් පසුව ඇති වූ කොවිඞ් රැල්ල රටපුරා මහනගර, නගර, ගම්, නියම්ගම් පුරා පවා ඉතා වේගයෙන් පැතිර ගොස් තිබූ නිසා ය. මෙවර එම රැල්ල මර්දනය කිරීම වෙනදා තරම් පහසු වූයේ නැත.

අදටත් දිනකට හමු වන කොවිඞ් රෝගීන් සංඛ්‍යාව 2000ත් 3000ත් අතර සංඛ්‍යාවක දෝලනය වෙමින් පැවතිණි. දිනකට සිදු වූයේ යැයි කියා නිවේදනය කරන මරණ සංඛ්‍යාව ද 60 ඉක්මවූ ඉහළ අගයක පැවතියේ ය. මෙම සංකීර්ණ තත්ත්වය හමුවේ පෙනෙන්නට තිබූ එක ම පිළියම මහජනතාව වෙත කොවිඞ් මර්දන එන්නත්වල රැකවරණය ලබා දීම පමණක් බව රජයේ හොඳ හැටි තේරුම්ගෙන තිබිණි.

මේ නිසා පසුගිය සතිය තුළත් කොවිඞ් මර්දන එන්නත් වැඩි වැඩියෙන් පිට රටවල්වලින් ගෙන් වන ආකාරයත්, ඒවා දිස්ත‍්‍රික් මට්ටමින් බෙදා හැරෙන ආකාරයත් සංකූලතා හා අවදානම බහුල ප‍්‍රදේශ වල සෞඛ්‍ය අංශ විසින් තහවුරු කළ ප‍්‍රමුඛතා පිළිවෙත මත එන්නත්කරණය සිදු කරන ආකාරයක් අපට දැක ගත හැකි විය.

මෙම කටයුත්තට අප‍්‍රමාණ ලෙස බාධා පමුණුවමින් රට පුරා ගංවතුර හා නායයෑම්වලින් සිදු වූ විපත් ද රජයට බරපතළ ගැටලූවක් ලෙස පසුගිය සතියේ කැපී පෙනෙන්නට විය.

ගම්පහ යටවෙන්නේ
අධිවේගය හින්දා ලූ


ගංවතුර තත්ත්වය සමහර දිස්ත‍්‍රික්කවලට පෙර නොවූ විරූ ලෙස බලපාන්නට විය. විශේෂයෙන් ම ගම්පහ දිස්ත‍්‍රික්කයේ ගංවතුර උවදුර මෙවර වෙනදාටත් වඩා අලූත් ප‍්‍රශ්නයක්ව දැනෙන්නට විය. වෙන කිසිදු ගංවතුරකින් යට නොවූ ප‍්‍රදේශ පවා මෙවර ගංවතුරට යට වීම නිසා විපතට පත් ජනතාව සෘජුවම චෝදනා නගන්නට වූයේ දේශපාලන අධිකාරිය වෙතටය.

”මේ මඟුල් අධිවේගයක් හින්දා තමයි මේ ඔක්කොම කරදර. අධිවේගී මාර්ගය හදන්න කලින් අපේ පළාත් ගංවතුරට යට වුණේ නැහැ. සර්ලා මේවට වග කියන්න ඕන… ගිහින් ආණ්ඩුවට කියන්න සර් මේවා.”

ප‍්‍රසන්න රණතුංගට ගම්පහ ප‍්‍රදේශයේ ගිය ගිය තැනින් පසුගිය දිනවල අහන්නට ලැබුණේ එවන් චෝදනා ය.

ඒ සමඟම අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දුරකථනයෙන් ඇමතූ අමාත්‍යවරයා ගම්පහ දිස්ත‍්‍රික්කයේ ජනතාව මුහුණදී ඇති තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්වත් කළේය.

”සර්, මෙහෙම දෙයක් වුණේ සෑහෙන කාලෙකට පස්සේ. සමහර පළාත් කිසිමදාක ගංවතුර තත්ත්වයන්ට මුහුණ නොදුන්න පළාත්. මිනිස්සු චෝදනා කරන්නේ අධිවේගී මාර්ගය නිසා මෙහෙම වුණා කියලයි” ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා පැවසීය.

”ඒ ගැන සොයා බැලීමක් කරන්න. ඊට කලින් ඉක්මනින්ම ජනතාවට අවශ්‍ය සහන සලසන්න” අග‍්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය. ගම්පහ දිස්ත‍්‍රික්කයේ ජනතාවට සහන සැලසීමට අවශ්‍ය ප‍්‍රතිපාදන වෙන් කර දීමට ද අග‍්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කෙරිණි.

ගංවතුර නිසා මහජන නියෝජිතයින්ට ද කාර්යබහුල විය. මෙවැන්නක් නැවත සිදු නොවිය යුතු බව ඔවුන් අතර පැවති සාකච්ඡාවලදී කියැවිණි. ප‍්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ගම්පහ දිස්ත‍්‍රික් සංවිධායකවරයා ද වූ නිසා ගංවතුර තත්ත්වයට මුහුණ දුන් ප‍්‍රදේශවල මහජන නියෝජිතයින්ගෙන් ලැබෙන දුරකථන පණිවිඩවලින් නම් අඩුවක් නොවීය. සමහරක් ප‍්‍රාදේශීය මහජන නියෝජිතයින් ද ගංවතුරට යට වී සිටියේය. ජනතාව මෙලෙස අපහසුතාවයට පත්වීම වැළැක්විය යුතු බව ඇමැතිවරයාගේ ද අදහස විය.

ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා අගමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවෙන් පසුව ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමැතිවරයාටත්, නිමල් ලන්සා ඇමැතිවරයාටත් කතා කළේය.

මේ තත්ත්වය සම්බන්ධයෙන් සියලූ නිලධාරීන් හා එක්ව සාකච්ඡාවක් පවත්වා ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීම වඩාත් සුදුසු බව එහිදී තීරණය විය.

ඒ අනුව ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමැතිවරයා, ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා, නිමල් ලන්සා ඇමැතිවරයා, සහ කෝකිලා ගුණවර්ධන, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, නලින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරු සහ ගම්පහ දිස්ත‍්‍රික් ලේකම්වරයා, මහාමාර්ග අමාත්‍යංශ ලේකම්වරයා, වාරිමාර්ග අමාත්‍යංශය ගම්පහ දිස්ත‍්‍රික් ප‍්‍රධානියා සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ නිලධාරීන් ඇතුළුව පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගිය අඟහරුවාදා පෙරවරු 10. 00ට මහාමාර්ග අමාත්‍යාංශයේ දී රැස්වීමක් පැවැත්විණි.

”මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නිසා ගංවතුර තත්ත්වය ඇති වුණු බව ජනතාව කියනවා. ගංවතුරට හේතුව ඇත්තටම ඒක නම් ඒ සංවර්ධනයෙන් වැඩක් නෑ. සමහර මිනිස්සු ජීවිත කාලය පුරාවටම හරි හම්බ කරගත්ත දේවල් ඒ අයට නැති වුණා. ඒ වගේ දේවල් මිනිස්සුන්ට දරාගන්න බැහැ” ප‍්‍රසන්න කීවේය.

”ඒක ඇත්ත. අධිවේගී මාර්ගය නිසා ගංවතුර ඇති වුණා නම් මේ සැලසුම වෙනස් කරල හරි ජනතාවට සාධාරණය ඉෂ්ට වෙන්න ඕනේ.” ජොන්ස්ටන් ඇමැතිවරයා ද කීවේය.

”ගංවතුර නිසා මීරිගමට ලොකු බලපෑමක් වුණා. සේවාමාර්ග නිසා ජලය බැස යෑමක් සිදු වුණේ නැහැ.” කෝකිලා ගුණවර්ධන මන්ත‍්‍රීවරිය ද තමන් නියෝජනය කරන මීරිගම ආසනයේ ගංවතුර සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් පැවසුවාය.

”අත්තනගල්ල හරියෙන් මධ්‍යම අධිවේගී මාර්ගය යන්නේ කණු මතින්. නමුත් සේවා සැපයුම් මාර්ග නිසි ආකාරයට සකස් නොකිරීම නිසා අත්තනගල්ලත් මේ තත්ත්වයට මුහුණ දුන්නා. උපුල් මහේන්ද්‍ර කීවේය.

මෙහිදී වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන් සතු ලිපි ලේඛන ඉදිරිපත් කරමින් සඳහන් කළේ ඉතිහාසයේ කිසිදු දවසක සිදු නොවූ ආකාරයට කෙටිකලකින් වැඩිම වර්ෂාපතනයක් මෙවර වාර්තා වී ඇති බවයි. එය මිලිමීටර් 250 ත් 300 ත් අතර විශාල වර්ෂාපතනයක් බවද නිලධාරීන් පෙන්වා දුන්නේය.

”අපි ඒක පිළිගන්නවා. ඉතාම කෙටි කාලයකින් දැඩි වර්ෂාපතනයක් පතිත වුණා. හරි ඉක්මනට ගම්පහ යට වුණා. ඉස්සරහට ඒ වගේ තත්ත්වයක් ඇති වුණත් ගම්පහ යට වෙන්නේ නැති විදිහට වැඩපිළිවෙළක් සකස් වෙන්න ඕනේ. ඇමැති ප‍්‍රසන්න කීවේය.

”මේ තත්ත්වයට තවත් ප‍්‍රශ්නයක් බලපාලා තියෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කෙරෙන අවට ප‍්‍රදේශවල අනවසර ඉදිකිරීම් සෑහෙන ප‍්‍රමාණයක් තිබෙනවා. ඒ දේවල් ඉවත් කිරීමත් කඩිනමින් කරන්න ඕනේ… ලන්සා තවත් වරදක් පෙන්වා දුන්නේය.

නිලධාරීන්ගේ මහජන නියෝජිතයින්ගේ අදහස් දැක්වීම් වලට සාවධානව ඇහුම්කන් දුන් ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමැතිවරයා කිවේ ඉදිරිපත් වෙන අදහස්වලින් ගංවතුර තත්ත්වයට අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලින් යම් බලපෑමක් වෙලා තිබෙන බව හැඟී යන බවයි. මේ නිසා හැකි ඉක්මනින් මධ්‍යම අධිවේගී මාර්ගයේ සැලැස්ම නැවත සමාලෝචනය කර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඇමැතිවරයා නැවත නැවතත් අවධාරණය කළේ අවශ්‍ය නම් සැලැස්ම වෙනස් කර හෝ ජනතාව අපහසුතාවයට ලක්වීම වැළැක්වීමට පියවර ගන්නා බවයි.

එහිදී කෝකිලා ගුණවර්ධන මන්ත‍්‍රීවරිය ”දැනට තියන සැලැස්ම වෙනස් කරන්න හැකියාවක් තිබෙනවා නම් පල්ලෙවෙල තත්ත්වය පිළිබඳව සමාලෝචනයක් කරන්න. අධිවේගී මාර්ගය පල්ලෙවෙල පහු කරන්නේ යටින්. ඒ වෙනුවට ටවුන් එකට උඩින් අධිවේගී මාර්ගය යවන්න පුළුවන් නම් හොඳයි” කීවාය.

”අපි ඇයි එහෙම නොකර ඉන්නේ. මේවා ජනතාව වෙනුවෙන් කරන සංවර්ධන ව්‍යාපෘති. වියදම වැඩි වුණත් ජනතාවට ප‍්‍රශ්නයක් නොවන ආකාරයෙන් මේවා සකස් වෙන්න ඕන” ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමැතිවරයා කෝකිලා ගුණවර්ධන මන්ත‍්‍රීවරයාට පිළිතුරු දෙමින් පැවැසුවේය.

අවසානයේ මධ්‍යම අධිවේගී මාර්ගය නැවත සමාලෝචනය කර ඉක්මනින් වාර්තාවක් ලබා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් අතර එම වාර්තාවට අනුව මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිරි සැලසුම් සකස් කිරීමට යෝජනා විය.

ඉදිරියටත් මෙහෙම යමුද
රට වහමුද රට අරිමුද


කොවිඞ් මර්දනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ යම් යම් ඉහළ තීරණාත්මක නිලධාරීන් සමඟ පසුගිය සතියට පෙර සතියේ ජනාධිපතිවරයා සාකච්ඡා වාර කීපයක් ම පවත්වනු ලැබූහ.

මෙම සාකච්ඡාවල දී විශේෂයෙන් සෞඛ්‍ය අංශ ඉස්මතු කළ කාරණාවක් වූයේ පෙර තීරණය කර තිබූ පරිදි 7 වැනි දා රට විවෘත කිරීම අවදානම් බව ය. තවත් සතියක් පවතින තත්ත්වය ඉදිරියට දීර්ඝ කිරීම සුදුසු බව ඔවුන්ගේ යෝජනාව වූහ.

මේ පිළිබඳව තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා කීප විටක් ම දේශපාලන යාන්ත‍්‍රණය සමඟත් නිලධාරීන් සමඟත් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඉහළ නිලධාරීන් සමඟත් සාකච්ඡා වට කීපයක් ම පවත්වනු ලැබූහ.

අවසානයේ කොවිඞ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් පසුගිය සති අන්තයේ පවත්වන්නට ජනාධිපතිවරයා තීරණය කළේය. මේ සඳහා එදින හවස කොවිඞ් කාර්යසාධක බලකායට අයත් සියලූම දෙනා පැමිණ සිටීම විශේෂත්වයක් විය.

”පහුගිය දවස්වල කරපු සාකච්ඡාවන්වලට අනුව තවදුරටත් සතියක් රට මේ තත්ත්වයෙන් පවත්වා ගන්න එක වඩාත් සුදුසුයි කියලා අපි තීන්දුවක් ගත්තා. විශේෂයෙන්ම සෞඛ්‍ය අංශවල මඟ පෙන්වීම මත.

හැබැයි මට මෙතන තියෙන ලොකුම ප‍්‍රශ්නය තමයි ජනතාවගේ අවශ්‍යතා ඉටු වෙනවා ද නැද්ද කියන එක. ඒගොල්ල අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගන්න හත් වෙනි ද රට විවෘත කරන තෙක් බලා හිටිය බව මම දන්නවා. දැන් අපි කොහොමද ඒ ගොල්ලන්ට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා බේත් හේත් ලබාදෙන්නේ. එක පැත්තකින් මේ කාලගුණික විපර්යාස ජන ජීවිතයට වධ දෙනවා. මේ වෙලාවේ කොහොම ද අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යන්නේ.”

”ආපදාවන්ට ලක් වූවන් සඳහා සහන සේවා ක‍්‍රියාන්විතයන් ක‍්‍රියාත්මක වෙනවා….” නිලධාරියෙක් පෙන්වා දුන්නේ ය.

ඉන් අනතුරුව මහින්දානන්ද අලූත්ගමගේ ඇමැතිවරයා කතා කරන්නට පටන් ගත්තේය.

”අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය එළවළු පලතුරු වගේ දේවල් බෙදාහරින්න කාලගුණය ඒ තරම් ප‍්‍රශ්නයක් වෙලා නෑ. නමුත් බඩු මිල නම් ටිකක් වැඩියි සර්… විශේෂයෙන් එළවළු.”

”එළවළු මිල වැඩි කියන්නේ ගොවියන්ට හොඳයි කියන එක නේ…” ජනාධිපති කීවේය.

”මමත් ඒ ගැන හොයල බැලූවා… ඒත් මෙතන ගොවියන්ට ඇති වාසියක් නෑ… අතරමැදියෝ තමයි මේ වෙලාවේ ප‍්‍රයෝජන ගන්නේ…”

”ඒ ගැන ඉතින් හොයලා බලන්න… රජය හැටියට ඒ ගැන අපිට මොනවද කරන්න පුළුවන් කියල හොයලා බලලා කරන්න…”

”දැන් ඔය ගොල්ල කොහොමද වැක්සීන් එක ගහන්නේ… කාටද මේ වෙලාවේ ප‍්‍රමුඛතාවයක් දෙන්නෙ කියලා ප‍්‍රමුඛතා ලැයිස්තු හදලා ඉවර ද…?

”පහුගිය දිනවල වඩාත්ම මරණ සිදු වෙලා තියෙන්නෙ අවුරුදු 60ට වැඩි අය අතරින්. ඒක නිසා වැඩි අවදානම් සහිත පිරිස ලෙස අපි 60 ට වැඩි අයට මුලින්ම වැක්සින් එක දෙන්න තීරණය කළා. ඒක දැන් කෙරීගෙන යනවා. ඊළඟට ජනතාව අතර නිතර ජනතාවත් සමග ගැටෙමින් සේවය කරන රජයේ සේවකයන්ට ප‍්‍රමුඛතාවය දෙනවා. වෛද්‍යවරුන්ගෙන් ලොකු ඉල්ලීමක් තියනවා ගර්භණී මාතාවන්ට මුල් තැනක් දෙන්න කියලා…. අපි අන්න ඒ ඉල්ලීමත් පිළිඅරන් තියෙනවා.” නිලධාරියෙක් දිගු විස්තරයක් කළේය.

”ජනාධිපති තුමනි… මේක ඉල්ලීමක්… බී ඕ අයි ෆැක්ටරිවල වැඩ කරන ළමයි ඉන්නවා. මේ අය රටට විදේශ විනිමය හොයා දෙන අය. ෆැක්ටරිවල කොවිඞ් පැතිරීමේ අවදානම අද වැඩි වෙලා. ඒ තැන්වලටත් මේ වැක්සීන් එක දෙන එක ඉක්මන් කළා නම් තමයි හොඳ…” නාමල් රාජපක්ෂ එසේ කියද්දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඒ පිළිබඳ ක‍්‍රියාත්මක වන්නට නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

”ඒ ගොල්ලන්ටත් වෙන් කරලා වෙනම කොටා එකක් ගෙන්නන්න.”

”වැදගත්ම දේ සයිනොෆාම් එක එන්නත් කරද්දී දෙවෙනි මාත‍්‍රාව නිසි කලට ලබා දෙන්න. මැයි මස 8 වැනිදා පළවෙනි මාත‍්‍රාව දුන්න නම් ජුනි මාසයේ 8 වෙනිදා දෙවැනි මාත‍්‍රාව ඒක පළමුව දුන්න ස්ථානයේදීම දෙන්න ඕන…” ජනාධිපති උපදෙස් දුන්නේ ය.

තවත් දෙයක් තමයි මිනිස්සුන්ව පෝලිම්වල තියලා අපහසුතාවට ලක් කරන්න එපා. පෝලිම්වලදී පවා මේ රෝගීන් අවදානමට ලක් වන්න පුළුවන්… ඒකට නිසි ක‍්‍රමවේදයක් හදන්න.”

වැක්සීන් එක බෙදා හැරීම පිළිබඳ ප‍්‍රශ්නයක් නැහැනේ… නිසි පරිදි බෙදාහැරීම සිදු වෙන නිසා මේ ස්ථාන සලකා බැලූවට පස්සේ පිට පළාත්වල බෙදීමත් වහාම ආරම්භ කරන්න.

මේ කතා බහෙන් අනතුරුව නැවත වරක් ජනාධිපතිවරයා සංචරණ සීමා පැනවීම දීර්ඝ කිරීමෙන් පසුව මහජන අවශ්‍යතා ඉටු කරන ආකාරය ගැන විමසා බැලීය.

අපි එහෙනම් මේ සාකච්ඡාව අදට අවසන් කරමු… ඒක නෙවෙයි ප‍්‍රසන්න… මොනවද අද ගුඞ් නිවුස් තියෙන්නේ.

ජනාධිපතිවරයා වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේනගෙන් එසේ ඇසූ ආකාරය නිසා සියලූම දෙනාගේ අවධානය ඔහු කෙරෙහි යොමු විය.

ප‍්‍රසන්න ගුණසේන ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයාය. කොවිඞ් මර්දන එන්නත් සියල්ල ලංකාවට ගෙන ඒමේ කටයුතුවල පුරෝගාමි නිලධාරියා ඔහුය. ජනාධිපතිවරයා අහන්නට ඇත්තේ ඒ ගැන ය.

‘‘කිසි ගැටලූවක් නෑ ජනාධිපතිතුමා. වැඩ ටික හොඳට කෙරීගෙන යනවා…”

හරි එහෙනම් අපි ඊළඟ වතාවේ හමුවෙමු.

ඒ අයුරින් සාකච්ඡාව අවසන් විය. එම සාකච්ඡාවට පැයක පමණ කාලයක් ගත විය.

යළිත් හුස්ම ගන්න
සජිත්ට අවශ්‍යයි ලූ

පසුගිය සතිය වන විට කොවිඞ් ආසාදනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ගනිමින් සිටි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාසගේ තත්ත්වය සුව අතට හැරී තිබිණි. එතුමන්ගේ මැතිනිය ජලනි පේ‍්‍රමදාසගේ සෞඛ්‍ය තත්ත්වය ද යහපත් වී තිබිණි. එහෙත් ඔවුන් දෙදෙනාට අවශ්‍ය පරිදි නිවෙස වෙත යාමට වෛද්‍යවරුන්ගෙන් අවසරයක් ලැබුණේ නැත.

”මම අසනීප වුණේ ‘හුස්ම’ වැඩ සටහන ක‍්‍රියාත්මක කරමින් සිටින අතරතුරය. මම ඒක මේ රටේ ජනතාව වෙනුවෙන් ආරම්භ කරපු වැඩ සටහනක්. මේ අවශ්‍ය ම දවස්වල ඒක අතර මග නතර වෙලා. දැන් මට වහාම ඒක පටන් ගන්න ඕන. ඒකයි යන්න අවසර ඉල්ලන්නේ.”

”ඔබතුමාට නිසැකවම තව ටික දවසකින් යන්න පුළුවන්…”

නොබෝ දිනකින් සජිත් රෝහලින් පැමිණි වහාම හුස්ම වැඩසටහන යළි පටන් ගන්නට අවශ්‍ය ප‍්‍රතිපාදන සලසන්නැයි ඔහු අදාළ සංවිධායකයින්ට දැනුම් දුන්නේ ඒ අනුව ය.

සජිත් රෝහල් ගතව නිහඬව සිටියත් දේශපාලන කරළියේ සජිත්ගේ නම කියැවුණු තැන් පසුගිය සතියේ බොහෝ තිබුණි. ඒ අතර සජිත් පේ‍්‍රමදාස හා චම්පික රණවක අතර ගැටුමක් ඇතිව තිබෙන බවට කට කතාවක් ද පැතිර යන්නට විය. මේ සියල්ලට ම හේතුව වූයේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ ජුනි මාසේ මැද සතියක සිට පාර්ලිමේන්තුවට එන්නට තීරණයක් ගත් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා විසින් ප‍්‍රකාශයක් නිකුත් කොට තිබීම ය.

රනිල් වික‍්‍රමසිංහ මහතා මෙවර පාර්ලිමේන්තුවට එන්නේ එක්සත් ජාතික පක්ෂයේ තනි මන්ත‍්‍රීවරයෙක් ලෙස නොව, සමගි ජන බලවේගයේ වැඩි පිරිසකගේ විශ්වාසය දිනා ගත් නායකයා සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා ලෙස බව ඔහු පසුගිය දිනවල අවස්ථා කිහිපයක දී ම ප‍්‍රකාශ කර තිබිණි. ඔහුගේ යම් යම් ප‍්‍රකාශයන් නිසා සමගි ජන බලවේගයේ කණ්ඩායම අතර පසුගිය සතියේ ලොකු කසුකුසුවක් ඇති වූ බව ද පැහැදිලි ය.

සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරු පිරිසක් මේ වන විටත් සජිත් පේ‍්‍රමදාසට හොරෙන් රනිල් වික‍්‍රමසිංහ සමග සාකච්ඡාවක් කර ඇතැයි කියා කතාවක් ද මේ දිනවල සමාජයේ පැතිර ගියේ ය. චම්පික හා සජිත් අතර අරගලයක් වී ඇතැයි කියන කතාව ද මීට සමගාමීව ප‍්‍රචාරය වීම හේතුවෙන් සමගි ජන ජන බලවේගයේ නායකයෝ ඒ ගැන අවධානය යොමු කරමින් කතා කරන්නට වූහ.

පසුගිය දිනක වෙනම පිටකෝට්ටේ කාර්යාලයේ රැස්වීමකට එකතු වූ සමගි ජන බලවේගයේ නායකයෝ සිය නායකයාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ද සභා සම්මත කර ගත්තේ මේ අලකලංචි නිසා බව පැහැදිලි විය.

පසුගිය දිනක චම්පික රණවක මන්ත‍්‍රීවරයා ද වෙනම පුවත්පත් සාකච්ඡාවක් කැඳවමින් සජිත් පේ‍්‍රමදාස සහ තමන් අතර ඇතැයි කියන ගැටුම පිළිබඳව උත්තර දෙන්නට පටන් ගත්තේය.

තමන් හා සජිත් අතර සමාජයේ ඔය කියන ආකාරයේ ගැටුමක් ඇති වී නැතැයි පෙන්වා දුන් චම්පික කීවේ සමගි ජන බලවේගයේ ඊළඟ නායකත්වය තීන්දු වන්නේ සජිත් පේ‍්‍රමදාසගේ අනාගත වැඩ පිළිවෙළ මත මිස වෙනත් සාධකයක් නිසා නොවන බවකි.

තත්ත්වය මෙසේ තිබිය දී සජිත් පේ‍්‍රමදාස නිතර නිතරම සිය දේශපාලන කණ්ඩායම සමඟ ගනුදෙනු කළේය.

ඔහු දුරකථන මාර්ගයෙන් හා අන්තර්ජාල පහසුකම් ඔස්සේ නිරතුරුවම පක්ෂයේ සාකච්ඡා සම්මන්ත‍්‍රණවලට හා කතා බස්වලට සහභාගි වූයේ ය. එසේ පැවැති පැවති සාකච්ඡාවක දී ඔහු මෙසේ අදහස් දක්වන්නට විය.

”පහුගිය දවස්වල මාධ්‍යවල ගියා ආණ්ඩුව මේ කලබල අස්සේ නගර දෙසීයක් අලංකරණය කරන්න සැලසුම් සකස් කරලා තියෙනවා කියලා. මොකක්ද ඒ කතාවේ ඇත්ත නැත්ත.”

”එහෙම කතාවක් යනවා තමයි මන්ත‍්‍රීවරු උත්තර දුන්හ.

මේකට රුපියල් මිලියන 2000ක වියදම් කරන්න රජය බලාපොරොත්තු වෙනවා කියනවා. ඇයි මෙච්චර හදිස්සියේ මේ ප‍්‍රශ්න මැද මේවා කරන්නේ. ජනතාවට තියෙන අනිත් ප‍්‍රශ්න විසඳලා ඉවර වෙලා ද මේ නගර ලස්සන කරන්න හදන්නේ…” සජිත් ඇසීය.

”අපි මේ වෙලාවේ ප‍්‍රමුඛත්වය දෙන්න ඕන දේවල් ඕන තරම් තියෙනවා. එහෙම තියාගෙන ආණ්ඩුව අනවශ්‍ය පරිදි අනවශ්‍ය දේවල්වලට වියදම් කරන්න යනවා කියන එක අපි ජනතාව දැනුවත් කරන්න ඕන” තලතා අතුකෝරල කීවාය. ජනාධිපතිතුමා තේරෙන්නේ නැති පොහොර සෙල්ලමක් කරන්න පටන් අරගෙන. දැන් අපේ පැත්තෙත් කුඩා තේ ගොවියෝ ඔක්කොම අනාථයි. පෝර නැතුව දැන් තේ ගස් ඔක්කොම කහ පාටට හැරිලා. කුඩා තේ වතු හිමියන්ට හිඟා කන්නයි ඉස්සරහදි වෙන්නේ..” මනුෂ නානායක්කාර කීවේය.

”පොහොර ප‍්‍රශ්නය ඉතාම වැදගත්. නායක තුමා මේ වෙලාවේ පොහොර ප‍්‍රශ්නය ගැන අවධානය යොමු කළොත් තමයි හොඳ…” හරීන් ප‍්‍රනාන්දු කීවේ ය.

”පිටරටින් කාබනික පෝර ගේනවා කියලා ආණ්ඩුව චීනයේ තියෙන කුණු කන්දල් ගෙනල්ලා ලංකාවේ ගොඩ ගහන්නයි හදන්නේ. මෙහෙම ගියොත් අපේ රට ආසියාවේ ආශ්චර්යය නෙවෙයි ආසියාවේ කසළ කන්ද බවට පත් වේවි…” මරික්කාර් කීවේය.

”ගොවීන් පොහොර ගන්න ගොවිජන සේවා මධ්‍යස්ථාන ඉස්සරහ බලන් ඉන්නවා පෝලිමේ… කළුකඩ කාරයෝ වැඩි මිලට පොහොර විකුණනවා. මිනුස්සු පොහොර හොයන්න පෝලිම්වල ඉන්න විදියට තව ඉදිරියේදී පොහොර පොකුරකුත් හැදෙයි…” නලින් බණ්ඩාර කීවේය.

”මේ ආණ්ඩුව ආපු ගමන් කළේ පරිසරය විනාශ කළා. ඊළඟට දැන් විස රසායන මුසු කරලා සාගරයත් අපවිත‍්‍ර කරල ඉවරයි…” ගයන්ත කීවේය.

අපරාධ නීතිය යටතේ නැවේ කපිතාන්වරයාට නඩු පවරන්න පුළුවන්. නමුත් ආණ්ඩුව ඒ කිසිවක් කරන බවක් පෙනෙන්නේ නැහැ” හර්ෂ සිල්වා කීවේය.

”සාගර පරිසර දූෂණය සම්බන්ධයෙන් අපේ රටේ තියෙන නීති රීති මීට වඩා තද වෙන්න ඕන. මේ ආණ්ඩුව ආසියාවේ නාවික කේන්ද්‍රස්ථානය බවට පත් කරනවා කියල කිව්වට නාවික නීති සම්බන්ධයෙන් කිසිම අවධානයක් යොමු කරලා නැහැ. කොමිස් හම්බ කරන්න පුළුවන් වරායන් ගැන විතරයි අවධානය යොමු කරලා තියෙන්නේ.” සජිත් කීවේය.

”මම නැහැ කියලා ඕගොල්ලෝ බලා ඉන්න එපා. හමුවෙන්න පුළුවන් හැම වෙලාවෙම රැස් වෙන්න. ආණ්ඩුවේ අඩුපාඩු නිරීක්ෂණය කරන්න. ජනතාවට අයහපතක් වෙන හැම වෙලාවේම ජනතාවගේ පැත්ත අරන් සටන් කරන්න. ආණ්ඩුවට කිසිම බුරුලක් දෙන්න එපා.”

”ආණ්ඩුව සංවිධානාත්මකව අපේ පක්ෂය ගැනත් ඔබතුමා ගැනත් වැරදි මත ප‍්‍රචාරය කරනවා. රනිල් ඇවිල්ලා නායකත්වය භාර ගන්නවා කියනවා. විපක්ෂ නායක වෙනවා කියනවා. චම්පිකගේ සහයෝගයත් රනිල්ට ලැබෙනවා කියනවා මන්ත‍්‍රීවරු සජිත්ට පෙන්වා දුන්හ.

”ඔව්වා ඔක්කොම ආණ්ඩුවේ නිරුවත වහගන්න ගොතන කතා. අපි කලබල විය යුතු නෑ. සජිත් කීවේය.

”ඒ කතාවලට හොඳ හොඳ උත්තර ටිකක් අපේ අය දීලා තිබුණා. විශේෂයෙන් ම චම්පික හොඳ උත්තරයක් දුන්නා. රනිල්ගේ කතාවට රාජිත ඇමැතිතුමාත් හොඳ උත්තරයක් දුන්නා. ඒක හරි… මම ඔය ඔක්කොම දැක්කා… සජිත් කීවේය.

සජිත්ගේ නායකත්වය
රනිල් ගනීද සැකයක්


සෞඛ්‍ය ආරක්ෂණ උපදේශවලට අනුවයි සතියේ පාර්ලිමේන්තුව පැවැත්විණි. පාර්ලිමේන්තුවේ වැඩි අවධානයක් යොමු වූයේ සංචරණ සීමා පැනවීම, ජනතාවට සහන සැලසීම ආදී දේ ටයි. පාර්ලිමේන්තු ලොබියේ දී ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා නිමල් ලන්සා ඇමැතිවරයා, පියල් නිශාන්ත ඇමැතිවරයා ඇතුළු පිරිසක් සාකච්ඡාවක නිරත වූයේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමේ මොහොත පැමිණෙන තෙක්ය. ”වෛද්‍යවරු කියන්නේ මේ විදියට තවත් කාලයක් සංචරණ සීමා පනවන්න ඕනේ කියලා” පියල් නිශාන්ත මන්ත‍්‍රීවරයා කීවේය.

”තත්ත්වය පාලනය කර ගන්න සංචාරණ සීමා තවදුරටත් පවත්වාගෙන යන්න ඕනේ කියල කිව්වට අපි ජනතාව ගැනත් හිතන්න ඕනේ.” නිමල් ලන්සා ඇමැතිවරයා ද කීවේය. අපි වසංගත තත්ත්වය පාලනය කිරීම, ජනතාවට සහන ලබාදීම වගේ දේවල් ගැන කතා කරාට සමගි බලවේගය කතා කරන්නේ වෙන දේවල්.” පියල් නිශාන්ත කීවේය.

”ඔව් ඔව් ඒක ඇත්ත. මටත් ආරංචි වුණා ඊයේ විපක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම රැස් වෙලා සජිත් පේ‍්‍රමදාස විපක්ෂ නායක විදිහට යෝජනාවක් සම්මත කරගෙන තියෙනවා නිමල් ලන්සා ඇමැතිවරයා කීවේය.

”එහෙම කරන්නේ මොකටද. ඒ කියන්නේ සජිත්ගෙ මන්ත‍්‍රී කණ්ඩායම ගැන සජිත්ට විශ්වාසයක් නැහැ කියන එකනේ. සජිත්ට තමන්ගෙ විපක්ෂ නායකකම ගැන ෂුවර් නෑ” ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා කීවේය.

”ඔව් ඒ යෝජනාවේදී පාඨලී චම්පිකත් පක්ෂව ඡුන්දය දීලා තියෙන්නේ. පක්ෂව ඡුන්දය දුන්නට පාඨලී තමයි සජිත්ට විරුද්ධ මතවාදයක් හදන්න මූලිකත්වය අරන් ඉන්නේ.”

”රනිල් ඇවිත් විපක්ෂ නායකකම ඩැහැ ගනී කියලා බය ඇති. එක්සත් ජාතික පක්ෂය මේ තරම් කාලයක් තමන්ගෙ නියෝජිතයා පත් කරන්නෙ නැතිව හිටියේ ඕකට රනිල්ව එවන්නමයි. සජිත් බයයි සජිත් එක්ක ඉන්න මන්ත‍්‍රීවරු ටික හිමින් හිමින් රනිල්ට හැරෙයි කියලා.”

”ඔය හැමදේකින්ම අපිට තේරුම් ගන්න තියෙන්නෙ විපක්ෂ නායකකම දිගටම තමන්ට තියාගන්න ලැබෙයි කියන විශ්වාසයක් සජිත්ට නැහැ කියන එකනේ” ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා පවසනවාත් සමගම සභාව ආරම්භ වන බවට සීනුව නාද විය. සියලූ දෙනා පාර්ලිමේන්තු සභා ගැබට ඇතුළු විය.

සජිත් නිරෝධායනයට ලක්ව තිබියදී සජිත් ගැන බොහෝ කරුණු පාර්ලිමේන්තුවේ කතාබහට ලක්විය. රනිල් පාර්ලිමේන්තුවට පැමිණෙන්නට තීරණය කර තිබීම තුළ සමගි ජන බලවේගය ඇතුලේ ලොකු අර්බුදයක් ඇති වී තිබෙන බවට ආරංචියක් ඇතැයි කියමින් සජබයේ මන්ත‍්‍රීවරුන් අවුස්සන්නට ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු ගන්නා ලද උත්සාහය කැපී පෙනෙන්නට විය. මෙයට උත්තර දෙමින් සමගි ජන බලවේගය ද වේගවත් අදහස් දැක්වීම් කීපයක් ම කරන ලදී.

කිරිඇල්ල මන්ත‍්‍රීවරයා හා නලින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා මේ කතාවට පැටලී ආණ්ඩුවට උත්තර දෙන්නට වූහ.

මහින්දානන්දට ඇවිළෙන ගින්නට පිදුරු දමන්නා සේ කිරිඇල්ල කේන්ති ගස්වමින් මහත් වින්දනයක් ලබන බව පෙනෙන්නේට විය.


රතු නිවේදන තිබිලත්
අනතුර සමග ඉඳලා


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහාභාගි වූ අනිත් විශේෂ රැස්වීම තිබුණේ 7 වැනි සඳුදා හවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය.

කොවිඞ් මර්දන කටයුතුවල දී සෞඛ්‍ය බලධාරීන් ආරක්ෂක නිලධාරීන් හා දේශපාලන බලාධිකාරිය එක්ක දිස්ත‍්‍රික් මට්ටමෙන් කරගෙන යන රාජකාරි නිරතුරුව ජනාධිපතිවරයාගේ අධීක්ෂණයට ලක්විය. හදිසි ආපදාමය තත්ත්වය නිසා ඇති වී තිබෙන නව අභියෝග ගැන ද ඔහුට ලොකු උනන්දුවක් තිබිණි. මේ වෙලාවේ දිස්ත‍්‍රික් සංවර්ධන සභාවන්හි සභාපතිවරු කැඳවා ජනාධිපතිවරයා සාකච්ඡා කරන්නට සිතුවේ දිස්ත‍්‍රික් අතර සම්බන්ධීකරණ කටයුත්ත වඩාත් විධිමත්ව පවත්වාගෙන යෑම සඳහා ය.

”අපි රට අරින එක තව සතියක් දීර්ඝ කරන්න කල්පනා කළේ සෞඛ්‍ය බලධාරීන්ගේ ඉල්ලීම මතයි. ඒගොල්ලන්ට තියෙනවා ඒ ගැන සැලැස්මක්. අපි ඒකට පූර්ණ සහයෝගය ලබා දෙන්න ඕන. ඒ ගොල්ලන්ට ඒ වැඬේ කරගෙන යන්න දීලා අපි කරන්න ඕන දේ තමයි පොදු ජනතාවගේ අවශ්‍යතාවන් හොයා බලන එක. ඒ ගොල්ලන්ට ආහාර ද්‍රව්‍ය ටික වෙලාවට යනවද, බේත් හේත් ටික වෙලාවට ලැබෙනවා ද, අනෙකුත් සෞඛ්‍ය පහසුකම්වලට ඉඩකඩ තියනවා ද, ආපදා කළමනාකරණ කටයුතු නිසි පරිදි වෙනවද කියලා අපි හොයා බලමු. දිස්ත‍්‍රික් සංවර්ධන සභා සභාපතිවරුන්ට මේ ගැන හොඳ දැනුමක් තියෙනවා. මොනවද ඕගොල්ලන්ගේ පළාත්වල තියෙන ප‍්‍රශ්න.

පළමුවෙන්ම කතා කරන්නට පටන් ගත්තේ රත්නපුර දිස්ත‍්‍රික් සංවර්ධන සභා සභාපති එල්ලාවල මහතාය.

”ගං වතුර තමයි ඉතින් අපට තියෙන ලොකුම කරදරේ…” විපතට පත්ව තිබෙන ප‍්‍රදේශ හා ජනතාවට මුහුණ පාන්නට සිදු වී තිබෙන කරදර හිරිහැර ගැන ඔහු දිගු විස්තරයක් කළේ ය.

”මේවා ගැන කතා කරන්න මෙතැන ඉන්න ඕන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අය… ඩිරෙක්ටර් ජෙනරල් ආවේ නැද්ද…., එතකොට කෝ ආරක්ෂක ලේකම් තුමා.”

ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී වහාම දුරකථන ඇමතුම් ගනිමින් ඔවුන් දෙදෙනා කැඳවන්නට පියවර ගත්තේ ය.

ටික වේලාවකට පසු ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ප‍්‍රධානී මේජර් ජනරාල් සුදත්ත රණසිංහ මේ සාකච්ඡාවට පැමිණියහ.

රටේ පවතින ආපදාමය තත්ත්වය හා රජය ක‍්‍රියාත්මක ඇති කර ඇති සහන කළමනාකරණය පිළිබඳව මෙහිදී සුදත්ත රණසිංහ මහතා හොඳ විග‍්‍රහයක් කළේය.

මේ අතර කතාබහ නැවත වරක් ”කොවිඞ් එන්නත බෙදාහැරීම” යන මාතෘකාව වටා කරකැවෙන්නට පටන් ගත්තේය.

”මේ එන්නත ගෙන්වීම, බෙදාහැරීම හා එන්නත්කරණය ගැන විවිධ අය විවිධ විවේචන කරනවා. සමහරු කියනවා පුද්ගලික අංශයේ සල්ලි අරන් ගේන්න කියලා. නමුත් අපට එහෙම අවශ්‍යතාවක් නැහැ. රජය හැටියට අපි ඒ වෙනුවෙන් හැම දෙයක්ම කරලා තියනවා. ලෝකයේ රටවල් ගණනාවක් අදටත් එක ම එන්නතක් වත් අරගෙන ජනතාවට ගහලා නෑ. හැබැයි ඒ වගකීම අපි පැහැර හැරලා නෑ. ඒත් විවේචන තියෙනවා.”

ජනාධිපතිවරයා තත්ත්වය පැහැදිලි කළේය. ඒ අතර ගාල්ල දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු සභාපති සම්පත් අතුකෝරාල, බද්දේගම සමිත හිමියන්ගේ අවමංගල්‍ය උත්සවයට ජනාධිපතිතුමා මැදිහත් වීම ගැන ස්තූති කරමින් කතා කළේය.

”උන්වහන්සේ රෝහල් ගත වෙලා හිටියට අවසානයේ බිල ගෙවන්නවත් කෙනෙක් හිටියේ නෑ. ජනාධිපතිතුමා ඒ කටයුත්තට මැදිහත් වෙලා ඒ වෙලාවේ ලොකු සේවයක් කළේ.”

උන්වහන්සේ ගොඩක් කල් ඉඳලා අසනීප වෙලා ඉඳලා කියනවා නේ… එක පාරක් සනීප වෙලා ඇවිත් ඉන්නකොට ලූ නේද තව පාරක් අසනීප වුණේ. ඇත්තටම අපි ඒ ගැන දන්නෙ පස්සෙ. උන් වහන්සේ මේ රටේ දේශපාලනය වෙනුවෙන් ලොකු කැපවීමක් කළ කෙනෙක්.”

”අවමංගල්‍ය උත්සවය වුණත් ඉතා චාම්ව වෙනම පැවැත්වුණා. කොවිඞ් නීතිරීතිවලට අනුකූලව දේහයේ අවසන් කටයුතු වෙන තැනක සිදු කෙරුණා. ඔබතුමාගේ කැපවීම නිසයි ඒ දේවල් ඒ අයුරින් කරන්න පුළුවන්…” සම්පත් ද ඒ ගැන ලොකු විග‍්‍රහයක් කළේය.

එම කතාබහෙන් අනතුරුව ගාල්ල, කළුතර, කොළඹ, ගම්පහ, රත්නපුර, කෑගල්ල ආදී දිස්ත‍්‍රික් වශයෙන් මේ දිනවල ආපදාමය තත්ත්වයන්ට මුහුණ දෙන දිස්ත‍්‍රික් පිළිබඳව සාකච්ඡාවක් ඇති විය.

ඒ ඒ දිස්ත‍්‍රික්කවල ජීවිත හානි හා දේපළ හානි ගැන ඒ ඒ දිස්ත‍්‍රික් නියෝජනය කරන සභාපතිවරු විග‍්‍රහ කරන්නට වූහ.

”මිය ගිය අයගෙන් වැඩිපුර ඉන්නේ ආණ්ඩුව රතු නිවේදන නිකුත් කරලා ඉවත් වෙන්න කියලා උපදෙස් දීලාත් ඉවත් නොවෙච්ච අය. සුදත්ත රණසිංහ පෙන්වා දුන්නේ ය.

”ඒ කොහොමද එහෙම වෙන්නේ. ආණ්ඩුව එයාලට අයින් වෙන්න කියලා තියෙනවද… එහෙම නම් එයාලා කොහොමද එතන ඉන්නේ…”

”සමහර අය තමන් ස්ව කැමැත්තෙන්ම එතන ජීවත් වෙනවා කියලා ලියුම් දීලා ඉන්නවා. තමන්ගෙ මුල් ඉඩම් ගෙවල් දොරවල්වලින් එළියට යන්න සමහරු කැමති නෑ…”

”කාටද මේ ලියුම් දෙන්නේ.”

”දිසාපතිවරුන්ට එයාලට නේ ඉඩම් ගැන බලතල තියෙන්නේ.”

”මොන තරම් හිතුවක්කාර කමක්ද මේ ගොල්ලො කරල තියෙන්නෙ. රතු නිවේදන නිකුත් කරල අවදානම් කලාප නම් කරලා නම් ඒ අය දැන ගන්න ඕන කවදා හරි මේ ප‍්‍රශ්නය අපට එනවා කියලා. කල් තියා ඒ තීන්දුව අරන් තිබුණ නං නිරපරාදේ මේ ජීවිත ගණනාවක් නැති වෙන්නේ නෑ.”

”මට කියන්න… ඇයි ඒගොල්ල මුල් ඉඩම්වලින් ඉවත් වුණේ නැත්තෙ. නිවැරදිව ඒගොල්ලන්ගෙ දේපල තක්සේරු කරලා අවශ්‍ය වන්දි ගෙවලා නැද්ද..?”

”ඒ ගොල්ලන්ට දෙන්න ආපදා කළමනාකරණ එකෙන් ගෙවල් වගේකුත් හදලා තියෙනවා.”

”සාමාන්‍ය කුඩා පවුලකට ඕගොල්ලෝ මේ වගේ ඉවත් වීමක් වෙන්න වන්දිය කීයක් ද දෙන්නේ…

”ඉඩමක් හොයාගෙන ගෙයක් හදා ගන්න ලක්ෂ 16 බැගින් ගෙවනවා.”

”මීට පස්සේ මොනම හේතුවක් නිසාවත් රතු නිවේදන නිකුත් කරලා ඉවත් කළාට පස්සෙ ඒ ගෙවල්වල ඉන්න දෙන්න එපා කාටවත්ම.” ජනාධිපති උපදෙස් දුන්නේය.

ජනතාව ඉවත් කිරීම වන්දි ගෙවීම සම්බන්ධයෙන් සුදන්ත රණසිංහ ලොකු විස්තරයක් කළේ ය..

ඉන් පසුව නැවත වතාවක් කමිටුව සාකච්ඡා කළේ රටේ දිස්ත‍්‍රික්ක මට්ටමෙන් ගංවතුර පාලනය කිරීම ගැනය.

”රත්නපුරේ ගංවතුර පාලනය කරන්න පුළුවන් නම් ඊට පහලින් තියෙන දිස්ත‍්‍රික ගණනාවක්ම බේරගන්න පුළුවන්. අන්න ඒ වගේ සැලැස්මක් හදලා තියෙනවා.

”කෝ දැන් ඒ සැලැස්ම… ජනාධිපති ඇසීය.

”ඒ සැලැස්ම ශක්‍යතා අධ්‍යයනයක් සඳහා ඉදිරිපත් කරලා තියෙනවා….” වාරිමාර්ග ලේකම් කීවේය.

”හරි…. ඒ අධ්‍යනයන් ඉවර කරලා ලබන අවුරුද්දේ අයවැයට දාන්න… ”

”ගංවතුර පාලනය කරන්න ගාල්ල දිස්ත‍්‍රික්කයට සැලැස්මක් තියෙනවා. දැන් අවුරුදු හතළිහක් පනහක් තිස්සේ මේක සාකච්ඡාවට ලක් වෙනවා. විවිධ පරිසර ප‍්‍රශ්න එනවා.”

”මොකක්ද පරිසර ප‍්‍රශ්නය. දැන් මොකක් නිසාද ඒ ව්‍යාපෘතිය අපට ක‍්‍රියාත්මක කරන්න බැරි…” ජනාධිපති ප‍්‍රශ්න කළේය. ඒ වෙලාවේ කරුණු දක්වන්නට ඉදිරිපත් වූයේ වාරිමාර්ග ලේකම්වරයාය.

”මේක ගාල්ලට විතරක් බලපාන යෝජනා ක‍්‍රමයක් කියලා කියන එක වැරදියි. මේකට කියන්නේ ‘ගිං නිල්වලා ව්‍යාපෘතිය’ කියලයි. ගිං ගෙඟ්යි නිල්වලා ගෙඟයි අතිරික්ත ජලය එකතු කරලා විශාල ජලාශයක් හදලා එම ජලය හම්බන්තොට පැත්තට අරගෙන යන්නයි සැලසුම් සකස් කරලා තිබුණේ…”

”ඉතින් ඒක හොඳ වැඩක්නෙ…” ජනාධිපති කීය.

”සැලසුම ඉතාම හොඳයි. හැබැයි මේ ජලාශය හැදෙන්නේ සිංහරාජය ඇතුලෙ කියලා විරෝධතාවක් මතු වුණා.”

”ඒක හරි… සංවේදී කලාපවලට අත ගහන්න නරකයි.”

”ඇත්තටම මේ ජලාශයට යට වෙන්නේ සිංහරාජයේ ඉඩම් නෙවේ. ඊට පහළින් තියන දෙල්ලව රක්ෂිතයේ කොටසක් යට වෙනවා. හැබැයි ඒකත් බේරලා මේ ජලාශය හදන එක අපිට කරන්න පුළුවන්. අපි ඒ ගැනත් අධ්‍යයනයක් කළා” වාරිමාර්ග ලේකම් දිගින් දිගටම විස්තර කළේ ය.

”කිසිම වන විනාශයක් නැතුව මේක කරන්න පුළුවන්. ඊට තවත් පහලින් ජලාශ තුනක් හැදුවොත්…” සම්පත් අතුකෝරල කීවේය.

”හොඳයි ඒ ගැන හොයලා බලලා වාර්තාවක් අරන් එන්නකො…” ජනාධිපති වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්ට උපදෙස් දුන්නේය. මහනුවර දිස්ත‍්‍රික්කයේ වසන්ත යාපා බණ්ඩාර තවත් වැඩසටහනක් ගැන යෝජනාවක් කළේ ය. ඔහු කතා කළේ ඒ ‘‘සෞභාග්‍යයේ ගම්මාන” නමින් යෝජනා කර ඇති අලූත් ව්‍යාපෘතියක් පිළිබඳවය. මේ කතා බහ අතරතුර කාබනික පොහොර ගැන ද සාකච්ඡා වන්නට විය.

”මේ කාබනික පොහොර වැඬේ මම හිතුවක්කාර විදිහට ගෙනාපු අලූත් වැඩක් නෙවෙයි. මේක අපි අපේ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළ විස්තර කරපු යෝජනාවක්. ජනතාව රවට්ටන්න ගෙනාපු බොරුවක් නෙමෙයි. ජනතාවට බොරු කරන්න මම කොහොමටවත් කැමති නැති කෙනෙක්. අපට ජනතාවට බොරු කරන්න වැඩක් නෑ. ඇත්ත කියල බැණුම් අහන්න වුණත් කමක් නෑ. මම ඒක කරනවා. මම යුද්ධය කරන කොටත් විවිධ ප‍්‍රශ්න ආවා. හැබැයි අපි ඒ දේ නතර කළේ නැහැ. ඒකෙ ප‍්‍රතිඵල අද ජනතාව විඳිනවා.”

‘‘මේක කරන්න යන කොට උනත් විවිධ අභියෝග එන්න බැරි නෑ. අපි ගුටි කාල හරි අපි මැරිලා හරි අපි මේක කරන්න ඕන… අපි මුලින්ම කරන්න ඕන ජනතාවට මේක හරියට තේරුම් කරලා දෙන එක. මම දන්නවා ජනතාව මේක තවමත් හරියට තේරුම් අරන් නෑ. මේක හරියට තේරුම් ගත්තොත් හැමෝම මේකට කැමති වෙනවා.”

‘‘කාබනික පෝර කියන්නේ මොනවද කියලවත් තවම මිනිස්සු දන්නේ නෑ…” තවත් අයෙක් කීය.

”ඔව්… ඇත්ත ම කියනවා නම් කාබනික පොහොර කිව්වම මිනිස්සුන්ගෙ ඔළුවට එන්නේ කොම්පෝස්ට් පොහොර. ඒකයි ඔය ටොන් ගණන් කුඹුරට දැම්මාම කුඹුරු ගොඩ වෙයි කියලා මිනිස්සු තර්ක කරන්නේ. මුලින්ම අපි මේ ගැන හරි අවබෝධයක් ජනතාවට දීලා ඉන්න ඕන…” ජනාධිපති කීවේය. කාබනික පොහොර කිව්වම දියර පොහොර වර්ගත් තියෙනවා. ඉන් පසුව බැංකු වැසීම ගැන ද කතා බහක් ඇති විය.

”ජනතාවගේ අවශ්‍යතා පරිදි බැංකු අපි ඇරලා තියනවා. මිනිස්සුන්ට ජීවත් වෙන්න පෙන්ෂන් එක ගන්න, පිං පඩිය ගන්න අවශ්‍ය පහසුකම් සලසලා දීලා තමයි මේ ලොක්ඩවුන් එක අපි ඉස්සරහට ගෙනියන්නෙ. ජනතාවට පීඩාවක් වෙන විදියට කිසිම දෙයක් කරන්න අපේ රජය සූදානම් නෑ…”

මේ අයුරින් තරමක් දීර්ඝ වූ සාකච්ඡාව ගුණාත්මක අන්දමින් පවත්වා අවසන් විය. ඉතා වටිනා කරුණු රැසක් සාකච්ඡාවට ලක් විය. තීන්දු තීරණ රාශියක් ම ගනු ලැබූහ.

පරිසරය රැකගන්න
ගංගා දෙපස ගස් වවන්න


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙම දුෂ්කර අවස්ථාවේ රටේ සියලූ ප‍්‍රශ්න කර මතට ගනිමින් ඒවාට නිසි විසඳුම් ලබාදෙමින් රටේ සිදුවිය යුතු සංවර්ධන කටයුතු ගැනත් අවධානය යොමු කරමින් වැඩ කරන අතරතුර අනෙක් රාජපක්ෂවරුන්ගේ වැඩ කටයුතුද කැපී පෙනෙන පරිවර්තනයක් පෙන්නුම් කළේය. විශේෂයෙන්ම අමාත්‍ය නාමල් රාජපක්ෂ හා රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ද තම තමන්ගේ විෂය ක්ෂේත‍්‍රයන්හි කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කරමින් සිටියහ. ශෂීන්ද්‍ර රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාබනික පොහොර ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන්නට ලොකු පරිශ‍්‍රමයක් දරමින් පසුබිම් සකස් කරන්නට විය. පසුගියදා ඩිජිටල් අමාත්‍ය ධුරයකින් ද තම අමාත්‍යාංශයේ වපසරිය වැඩි කරගත් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පසුගිය දිනවල අමුතුම වැඩ සටහනකට අත ගැසුවේය. එය ඉතා පුළුල් වපසරියකින් යුතු පරිසර ව්‍යාපෘතියක් ලෙස කැපී පෙනෙන්නට විය.

නාමල්ගේ මෙම අලූත් වැඩසටහන වූයේ ශ‍්‍රී ලංකාවේ ගංගාවන්හි යහ පැවැත්මට ඉවහල් වන අයුරින් ගංගාවන්ගේ දෑල දෙපස ශක්තිමත් කිරීමට රුක් රෝපණය කිරීමේ ව්‍යාපෘතියකි.

ඉවුරු ඛාදනය හා ඉවුරු කඩා වැටීම අද ලංකාවේ ප‍්‍රධාන පෙළේ ගංගාවන් සියල්ලටම ඇති බරපතළ පරිසර ගැටලූවකි. මේ නිසා එක් අතකින් අනවශ්‍ය ලෙස පස සෝදායෑම සිදුවන අතර තවත් පැත්තකින් ගංගාවන්හි ගමන් මාර්ගය අවහිර වීම් ද සිදු වෙයි. මෙම පාරිසරික අර්බුදයට තිරසාර ලෙස පිළියම් යෙදීම සඳහා ගංගාවන්හි ඉවුරු ඛාදනය වැළැක්වීමට හා ඒවා ශක්තිමත් කිරීමට ගං ඉවුරු දෙපස රුක් රෝපණ ව්‍යාපෘතියක් ආරම්භ කරන්නට කල්පනා කළ නාමල් එම ව්‍යාපෘතිය ජාතික තරුණ සේවා සභාව හරහා ක‍්‍රියාත්මක කරන්නට තීරණය කළේය.

මෙම වැඩසටහන යෞවන සමාජ තරුණ තරුණියන් හා යෞවන සමාජ සම්මේලනයේ නියමුවන් යොදවා රට පුරාම ක‍්‍රියාත්මක කරවීමේ වගකීම පැවරුණේ ජාතික තරුණ සේවා සභාවේ වත්මන් සභාපති දමිත වික‍්‍රමරත්න මහතාටය. ඒ අනුව පසුගිය සතියේ අයහපත් කාලගුණික තත්ත්වය මැද වුවත් ලංකාව වටේම පිහිටි සුවිශේෂී ගංගාවන් 18ක් තෝරාගෙන මෙම පැළ සිටුවීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන්නට තරුණ සේවා සභාපති දමිත වික‍්‍රමරත්නට හා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් ජයකුරුට හැකිවිය. අපේ රටේ ගංගාධාර ශක්තිමත් වන තුරුම මෙම ව්‍යාපෘතිය දිගින් දිගටම පවත්වාගෙන යා යුතු බව නාමල් ඇමැතිවරයා ගේ අදහස විය.

රනිල්ගේ දුරකථනයට
ඉවරයක්ම නැතිලූ


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ දුරකථනයට ඉකුත් සතියේ නිදහසක් නොවීය. ඒ පාර්ලිමේන්තු යනවාදැයි විමසමින් ලද දුරකතන ඇමතුම් නිසාවෙනි. පාර්ලිමේන්තුව ඉකුත් සතියේ එක් දිනක් රැස්වූ අතර එක්සත් ජාතික පක්ෂයට හිමි මන්ත‍්‍රී ධුරයේ නායකයා දිව්රුම් දිය යුතු බවට යෝජනාවක් කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී සම්මත වීම නිසා බොහෝ දෙනා සිතුවේ එදින නායකයා දිව්රුම් දෙනු ඇතිය කියාය.

පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරු, රාජ්‍යතාන්ත‍්‍රිකයන්, හිතමිතුරන් මෙන්ම මාධ්‍යවේදීන් ද නායකයාගෙන් ඇසූ පොදු ප‍්‍රශ්නය වූවේ ”හෙට පාර්ලිමේන්තුවේ දිව්රුම් දෙනවාද?” යන්නය. ඒ සැමට නායකයා සැහැල්ලූවෙන් දුන් පිළිතුරු වූවේ ”තවම නෑ” යන්නය.

නමුත් එක්සත් ජාතික පක්ෂ නායකයා පාර්ලිමේන්තු එන පුවත මෙම සතියේ දේශපාලනය උණුසුම් කරන පුවතක් වූවේය. නායකයා පාර්ලිමේන්තු ගිය පසු විපක්ෂ කණ්ඩායම් ඔහු වටා එකතු වී විපක්ෂයේ බලවේගයක් ගොඩනගනු ඇතැයි පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් බොහෝමයකගේ අදහස වූහ.

මේ අතර තවත් පිරිසක් කීවේ විපක්ෂ නායක ධුරය රනිල් වික‍්‍රමසිංහ ලබා ගනු ඇතය යන්නය. ඉකුත් 08 දා පැවැති පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සැමගේ පොදු මාතෘකාව වූවේද රනිල් ගේ පාර්ලිමේන්තු ආගමනය ගැනය. එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ඇතුළු නිලධාරින් ද මේ ගැන සූම් තාක්ෂණය ඔස්සේ නායකයා සමග සාකච්ඡා කරන්නට වූවේ ඇතිවූ උණුසුම හේතුවෙනි.

”නායකතුමා මේ සතියේ පාර්ලිමේන්තු යන්නේ නෑ කියලා ගොඩක් දෙනෙක් දැනගෙන හිටියේ නෑ. ඒ නිසා බොහෝ දෙනෙක් හිතුවේ 08 දා මන්ත‍්‍රී ධුරයේ දිවුරුම් දෙයි කියලා. ඒ නිසා මේ අය නායකතුමාට විරුද්ධව ප‍්‍රවෘත්ති සාකච්ඡා පවා තිබ්බා.” වජිර කීවේ සිනාසෙමිනි.

”එක මනුස්සයෙකුට මෙච්චර බයක් තියෙනවා කියලා මම නම් හිතුවේ නෑ. විපක්ෂ නායක ධුරයට ඉතිහාසයේ පළමු වතාවට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් පවා ගේන තැනට පත් වුණා. විපක්ෂය තුළ බෙදීමක් තියෙනවා කියලා මේ නිසා දැන් ජනතාවත් දැන ගත්තා.” රංගේ බණ්ඩාර ඊට ඌනපූරණයක් එක් කළේය.

”නායකතුමාගේ අගය දැන් ජනතාවට වගේම මන්ත‍්‍රීවරුන්ටත් තේරිලා තියෙන්නේ. හැමෝම කියන්නේ කළපුරුද්ද, පළපුරුද්ද තියෙන පරිණත නායකයෙක් තමයි දැන් රට පාලනය කරන්න ඕනේ කියලා. මේ නිසා නායකතුමාට බය වෙච්ච පිරිස රාජපක්ෂ සම්බන්ධයක් ගැන කියමින් මඩ ගහන්න පටන් අරගෙන.” රුවන් කීවේ කනගාටුවෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment