රනිල් රට හපයක් කළා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස

74

වැට් එක සියයට 24 දක්වා ඉහළ නැන්වීමටයි සූදානම

රනිල් වැල් පාලමෙන් එතෙර කළේ රාජපක්ෂලාව

මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය ආණ්ඩුව උදුරාගෙන අවසන්

අපේ ආණ්ඩුවකින් පුද්ගලික අංශයට බලපෑමක් වෙනවා යැයි කීම අමූලික බොරුවක්

මමත් ධර්මාචාර්ය සමත් බෞද්ධයෙක්…

ජාතික ජනබලවේගය සියලු ආගම්වලට ගරු කරනවා

මෙවර අයවැය සම්බන්ධයෙන් මතය මෙන්ම ඔවුන්ගේ රජයක් තුළ ආණ්ඩුකරණය කරන්නේ කෙසේද යන්න ප්‍රශ්න මූලික කර ගනිමින් ජාතික ජනබලවේගයේ විධායක කමිටු සාමාජික ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සිදුකළ සාකච්ඡාවයි මේ.

ප්‍රශ්නය – මෙවර අයවැය සම්බන්ධයෙන් රටේ බොහෝ දෙනකු ආණ්ඩුවට චෝදනා එල්ල කරනවා. ජාතික ජනබලවේගයත් ඒ අතර. නමුත් රජයේ පාර්ශ්වය කියන්නේ මෙවර අයවැය ආර්ථිකය ස්ථාවර කිරීමට ශක්තිමත් පදනමක් දැමූ අයවැයක් බවයි.

පිළිතුර – රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව එම තනතුරට පත් කිරීමට අත උස්සපු මන්ත්‍රීවරුන්ට එහෙම කියනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. ඔවුන් එහෙම නොකර වෙන මොනවා කරන්නද? ඔවුන්ට එහෙම කරන්න වෙනවා. ඔය එක්කෙනෙක්වත් මිනිස්සු ගැන සහ කම්පනයක් ඇති, තමන් කරන වැඩ ගැන ලැජ්ජාවක් ඇති මිනිස්සු නෙවෙයි. කොටින්ම කියනවා නම් මේ අයවැය මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය උදුරා ගත් අයවැයක්.

ප්‍රශ්නය – නමුත් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ දැන් කෑගහන කවුරුත් එදා භාරගන්න හිටියේ නැති බවත් තමන් කෙසේ හෝ රට වැල් පාලමෙන් ගොඩට ගෙන ඇති බවත්.

පිළිතුර – ඔව්.. ඔව්.. ඔහු වැල් පාලමෙන් මෙන් එතෙර කරා තමයි. ඒ රටේ මිනිස්සු නෙවෙයි. ඔහු වැල් පාලමෙන් එතෙර කළේ නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ උදවිය සහ ඔවුන්ගේ සමීපතමයන්. වැල් පාලම් කතා කිය කිය ඔහු මේ සමාජගත කරන්නේ මහා බොරුවක්.

ප්‍රශ්නය – ඔහු බොරුවක් කියනවනම් එය ඔප්පු කරන්න හේතු පෙන්නන්නත් ඕන.

පිළිතුර – ජනාධිපතිවරයාගේ ඔය බොරුව කීතු කීතු කර ඉරා දැමූ අවස්ථාවක් පසුගියදා තිබුණා. ඒ පසුගිය නොවැම්බර් මස පළවෙනිදා. ශ්‍රී ලංකා මහ බැංකුවේ 73 වෙනි සංවත්සරයේ ප්‍රධාන ආරාධිත දේශනයේ කතාව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු මහ බැංකුවේ පාලනාධිකාරිය විසින් ඒ ප්‍රධාන දේශනය සඳහා ආරාධනා කර තිබුණේ ආචාර්ය ශර්මිලා කුරේ මහත්මියට. එතුමිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය නියෝජනය කළ මෙරට ආර්ථික විද්‍යාඥවරියක්. එම දේශනයේදී ඇය සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ කියන සියලුම කොන්දේසි ඉටු කළත්, ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණ කරගත්තත්, ඒ වගේම මේ වසරේ සිට ආදායම් වියදම් අතර පරතරය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 2.3 ක දක්වා ප්‍රාථමික අතිරික්තයක් පවත්වාගෙන ගියත් 2032 වන විටත් අපගේ ණය බර අඩුවන්නේ සියයට අනූපහක් පමණයි කියලා. ඇය මෙම සමස්ත කතාවේදී අවධාරණය කළේ රට තිබෙන්නේ ඉතාම අවදානම්කාරී තැනක බවයි. ඒ බව ඇය දිගින් දිගටම අවධාරණය කළා. ඒ වගේම ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝකයේ වෙනත් ආර්ථිකමය හා මූල්‍ය සංවිධාන අප රටේ ඇති අවදානම්කාරී තත්ත්වය ගැන දිගින් දිගටම මතු කරනවා. නමුත් රනිල් වික්‍රමසිංහ ඇතුළු ඔවුන්ගේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු, ඔවුන්ට හිතවත් මාධ්‍ය මේ අර්බුදය වසා ජනතාව තවත් වටයකින් අන්දවන්න උත්සාහ ගනිමින් සිටිනවා. හැබැයි මේවාට තවදුරටත් ජනතාව ඇන්දෙවෙන්නේ නැහැ.

ප්‍රශ්නය – ජාතික ජනබලවේගය දිගින් දිගටම කියන දෙයක් තමයි රට තියෙන්නෙ අනතුරේ, ආණ්ඩුව කරන්නෙ බොරුවක්, දැන් තියෙන්නෙ කෘතිමව ඇතිකර ගත්ත තත්ත්වයක් කියන කාරණය. ඒකට අනෙක් පැත්තෙන් ජනතාව ප්‍රශ්න කරන්නෙ ජාතික ජනබලවේගයට මොකක්ද තියෙන වැඩපිළිවෙළ, මේ තියන අර්බුදවලින් රට ඉතා ඉක්මණින් ගොඩගන්න කියලා.

පිළිතුර – මෙතෙක් කලක් රට පාලනය කළ ආණ්ඩු අපිව ගැඹුරු සහ බරපතළ ආර්ථික අර්බුදයක ගිල්වලා තියෙන්නෙ. ඒ අර්බුදයෙන් පැන නැගුණ දේශපාලන, සමාජ අර්බුදයට මුහුණදෙමින් ඉන්නවා. මේකෙන් ගොඩ ඒමේ මාර්ගය වචන කිහිපයකින් කිව්වොත් අපට නිෂ්පාදන ආර්ථිකය ඕන. මොකද අපේ දළ ජාතික නිෂ්පාදිතය වැඩිකර ගන්නෙ නැතිව මේකට ස්ථිර උත්තරයක් හොයන්න ලැබෙන්නෙ නෑ. එහෙම නම් අපි ඉතා සැලසුම්සහගතව අපනයනය ඉලක්ක කරගත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ප්‍රවේශය විය යුතුමයි. එයින් තොරව වෙන කිසිදු ආකාරයක උත්තරයක් නෑ. අද විශේෂයෙන් කොවිඩ් අර්බුදයෙන් පස්සෙ ලෝකයේ බොහෝ රටවල් නිෂ්පාදන ආර්ථිකයක් පටන අරන් තියෙනවා. උදාහරණයකට සිංගප්පූරුව කියන්නෙ ඒකපුද්ගල ආදායම ඩොලර් 90000ක්. ඔවුන්ට ලෝකයෙ ඕනෑම තැනක වස විසෙන් තොර ගුණාත්මක ආහාර කොයි තරම් ගණන් වුණත් මිලදී ගන්න පුළුවන්. හැබැයි කොවිඩ් වසංගතයත් එක්ක ඔවුන් තීන්දු කළා 2030 වෙද්දි සිංගප්පූරුවේ ආහාර අවශ්‍යතාවෙන් 30%ක් තමන්ගේ රටේ නිෂ්පාදනය කරන්න. ඔවුන්ට ඉඩම් නෑ, වතුර නෑ. ඒ වුණත් ඔවුන් කෘතීම තත්ත්වයන් ඒ කියන්නෙ කර්මාන්ශාලා, මහල් නිවාස වගේ තැන්වල තමන්ගේ ආහාර නිෂ්පාදනය කරනවා. තමන්ට මදි ප්‍රමාණය ලෝකයෙන් මිලදී ගන්නවා. එහෙම ලෝකයේ රටවල් කල්පනා කරන්නෙ. ඒක නිසා මේ නිෂ්පාදන ආර්ථිකයට බර තැබීම තමයි අපේ ජාතික ජනබලවේගයේ මූලික ප්‍රතිපත්තිය.

ප්‍රශ්නය – ඔබ ඔය කියන නිෂ්පාදන ආර්ථිකයට යන්න යම් කාලයක් ගතවෙනවා. මම අහන්නෙ කෙටිකාලීනව ජාතික ජනබලවේගය මේ අර්බුදයෙන් ගොඩඑන්න මොනවද ඉදිරිපත් කරන විසඳුම්. මේ ආණ්ඩුව වගේ දිගටම අයිඑම්එෆ් සරණ යනව ද? නැත්නම් වෙනත් විකල්ප තියෙනවද?

පිළිතුර – දැන් අයිඑම්එෆ් එකේ දෙවැනි වාරිකයත් ලැබෙනවා. හැබැයි මතක තියාගන්න අයිඑම්එෆ් එකේ පොරොන්දු වුණු ඩොලර් මිලියන 2900ම ලැබුණත්, මේ ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න බැහැ. අයිඑම්එෆ් එක කියනවා සියලු රෝගවලට කෝකටත් තෛලය අයිඑම්එෆ් එක නෙමෙයි කියලා. ආචාර්ය කුරේ කියනවා සාමාන්‍ය බළලට තියෙන්නෙ පණ නමයයි, ලංකාව අයිඑම්එෆ් එකට 17 වතාවක් ගිහින් තියෙන බව. ඒ නිසා අයිඑම්එෆ් සරණ පමණක් යන්න බලාගෙන ඉන්නවා නම් ඒක සම්පූර්ණ වැරැදි ආකල්පයක්. අපට අයිඑම්එෆ් එකෙන් තාක්ෂණික, මූල්‍යමය උපදෙස් ගන්න පුළුවන්. එතනදී ඒවා අපිට කොයි තරම් ගැළපෙනව ද? මොනවද අනුගමනය කරන්න ඕන කියන එක සම්බන්ධයෙන් සාකච්ඡාවට අප සූදානම්. අයිඑම්එෆ් වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියනවද නැද්ද කියන එක තීන්දු කිරීම අපේ මේ රටේ ජනතාවට භාර කරමු. ජනතාව අපට ලබාදෙන ජනවරම අනුව තමයි අපි අයිඑම්එෆ් එකත් එක්ක යනවද නැද්ද කියන එක තීරණය කරන්නෙ. හැබැයි අර්බුදයෙන් ගොඩ එන්න සහාය ලබාගත හැකි, ලෝක බැංකුව, මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුවද මේ ආදී ඕනෑම ආයතනයක් එක්ක කටයුතු කරන්න ජාතික ජනබලවේගය පැකිලෙන්නේ නෑ.

ප්‍රශ්නය – කොහොමද අයිඑම්එෆ් හෝ වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනත් එක්ක යනවද නැද්ද කියන එක ජනතාව තීරණය කරන්නේ ?

පිළිතුර – අයිඑම්එෆ් ගිවිසුම දැන් දීල තියෙනවා. ඊළඟ මැතිවරණය වෙද්දි බලාගන්න පුළුවන් මේ අයිඑම්එෆ් වැඩපිළිවෙළේ අපිට ලැබුණු දේවල් මොනවාද, ඒකෙ අයහපත් ප්‍රතිඵල මොනවද කියල. එතකොට මේ ජනතාවට බොහොම පැහැදිලිව පේන සත්‍යයක්. අපි අයිඑම්එෆ් එකට යටවෙලා නිෂ්පාදන ආර්ථිකයක් හදන්නෙ නැතිව, ආනයන සීමා සම්පූර්ණයෙන් ලිහිල් කරගෙන දේශීය නිෂ්පාදන කඩා වට්ටන ගමනකද යන්නෙ, එහෙම නැත්නම් අපි ඉදිරිපත් කරන ආර්ථිකයද වැදගත් කියල තීරණය කරන්න පුළුවන්නෙ. හැබැයි අපි ක්‍රියාත්මක කරන ඕනම දෙයක් අපේ ජනවරමට අනුව කටයුතු කරන්නෙ. මොකද ජනතාවගේ විශ්වාසය හරි වැදගත්. ජනතාව අප ගැන, අපේ ආර්ථිකය ගැන විශ්වාසය තියෙනවා නම්, අපිට ජනතාව එක්ක යන්න ගමනක් තියෙනවා. මොකද ජනතාවගේ සහයෝගයකින් තොරව මේ කිසිදු වැඩපිළිවෙළක් සාර්ථක කරගන්න බැහැ. මම කියමින් හිටියේ ජාතික ජනබලවේගය මේ කියන ආර්ථික වැඩපිළිවෙළට තමයි අපි ආයෝජකයක් කැඳවා ගන්නෙ. ඒ වගේම විදෙස්ගත ලාංකිකයන්ට අපි ආරාධනා කරනවා මේ රටේ ආර්ථිකයට ඔවුන්ගේ දායකත්වය ලබාදෙන්න පුළුවන් තැන්වලට දායක වෙන්න කියල. ඒ විශ්වාසය මත ආයෝජන සහ විදෙස්ගත ප්‍රේෂණ ප්‍රමාණය වැඩිකර ගන්න පුළුවන්.

දැන් මේ ආර්ථික විශේෂඥයෝ මතු කරන කාරණය තමයි අපි දැන් තර්ක කර කර ඉන්න ඕනෙ මහ බැංකුව පොලී අනුපාත වැඩිකරනවාද, අඩුකරනවාද, කවර රාජ්‍ය ව්‍යවසායද පුද්ගලීකරණය කරන්නෙ කියන එක නෙමෙයි. පළමු කාරණය වංචාවෙන් දූෂණයෙන් තොර යහපත් දේශපාලන සංස්කෘතියක් රටේ තහවුරු කිරීම. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමකින් තොරව කවර සුපිරි ආර්ථික වැඩපිළිවෙළක් වුණත් යථාර්ථයක් කරගන්න පුළුවන් වෙන්නෙ නෑ. ඒ නිසා ජනතා නියෝජිතයෙක් විදිහට මම කියන්නෙ මේ දූෂණයෙන් තොර දේශපාලනයක්. අනෙක් පැත්තෙන් සැලසුම්සහගත නිෂ්පාදන ආර්ථිකයක් කියන කාරණා දෙකට තමයි අපි මේ ප්‍රමුඛතාව දෙන්නෙ.

ප්‍රශ්නය – දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න අවශ්‍ය බව ඔබ කියනවා. ඔබ විශ්වාස කරනවාද මීළඟ මැතිවරණයකදී ජාතික ජනබලවේගයට බලයක් ලබාගන්න පුළුවන් වෙයි කියල ?

පිළිතුර – දැනට තියෙන විවිධ සමීක්ෂණ වාර්තා අනුව පොදුවේ තියෙන කරුණ තමයි ජාතික ජනබලවේගය අංක එකට ඉන්නවා කියන එක. ඊළඟට මැතිවරණ කල්දාමින්, සමහර වෙලාවට එකතුවෙමින්, සමහර වෙලාවට වෙන් වෙන්ව අපට එල්ලකරන ප්‍රහාර දිහා බැලුවට පස්සෙ පේනවා ජාතික ජනබලවේගය සියලු දෙනාටම වඩා ඉහළින් ඉන්නවා කියල. ඊළඟට සාමාන්‍ය ජනතාවගේ මතය මුන් දෙගොල්ලො එපා අපි අලුත් දේශපාලනයක් ගේමු කියන එක. මේ සියල්ල දිහා බැලුවාම පේනවා ජනතාව බලාගෙන ඉන්නෙ මැතිවරණයක් එනකම්. ඊට පස්සෙ රටේ ජනතාව කරන්න ඕන වෙනස තීරණය කරයි. ජාතික ජනබලවේගයට සමහර විට කවුරුත් අපේක්ෂා නොකරන ඉහළම ජනවරමක් ලැබීමට බොහෝ විට ඉඩකඩ තියෙන බව තමයි දැන් කරුණු කාරණා පෙළගැස්වෙන ආකාරය අනුව පේන්නෙ.

ප්‍රශ්නය – ජාතික ජනබලවේගයට රටේ බලය ලැබුණ සැනින් කරන පළමු දේ මොකක් ද?

පිළිතුර – ආණ්ඩුවක් ගන්නවා කියනවා කියන්නෙ ජනරම දිනාගත් ආර්ථික, දේශපාලන දර්ශනය ක්‍රියාත්මක කරන්න පුළුවන් විදිහේ විද්‍යානුකූල අමාත්‍ය මණ්ඩලයක් හදාගන්න ඕන.

ප්‍රශ්නය – ඒ අමාත්‍ය මණ්ඩලය කීයක් වෙයි ද?

පිළිතුර – උපරිම අමාත්‍යාංශ 25යි. අමාත්‍යාංශයක් කියන්නෙ ඒ අමාත්‍යාංශයට කැබිනට් ඇමැතිවරය, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා අයිතියි කියන එක. කිසිදු ආකාරයක රාජ්‍ය ව්‍යාපෘති සම්බන්ධයෙන් අමාත්‍යාංශ ඇතිකරන්නෙ නැහැ. ඒක තමයි පළමු කාර්යභාරය වෙන්නෙ. ඊළඟට ඒ ඒ ආයතන සඳහා, රට ගොඩනැඟීමට ඇත්ත වුවමනාවක් තියෙන ඒ ඒ ක්ෂේත්‍රයේ දැනුමක් තිබෙන, කැපවීමක් තිබෙන ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාටම ආරාධනා කරනවා. ඊළඟට අපි ලබාදෙන ජනවරමේ ප්‍රධාන අංගයක් තමයි දූෂණය නැති කිරීම දූෂිතයන්ට දඬුවම් පැනවීම. දැනට තියෙන පොදු දේපළ පනත, මුදල් විශුද්ධිකරණ පනත, අල්ලස් හා දූෂණ කොමිෂන් පනත්වල තියෙන තාක්ෂණික දුර්වලතා ඉතා ඉක්මනින් නිවැරැදි කරලා, සහ අවශ්‍ය නම් අලුත් පනත් ගෙනල්ලා දූෂිතයන්ට දඬුවම් කිරීමේ නීති රීති හදන එක අපේ ප්‍රමුඛතම කාර්යන්ගෙන් එකක්.

ප්‍රශ්නය – සමහරු හිතනවා ජාතික ජනබලවේගය ආවොත් පුද්ගලික අංශය හැකිලෙයි, ඒකට තැනක් නැතිවෙයි කියල කියනව මේ මතය ගැන මොකද කියන්නේ.

පිළිතුර – 1977 කාලයේ රටේ තිබුණු සිරිමා බණ්ඩාරානායක මැතිණියගේ ආණ්ඩුව සමහරු හිතනවා සමාජවාදී ආණ්ඩුවක් කියල. ඒ කාලයේ ලෝකයේ ආර්ථිකයේ ප්‍රමුඛතම කාර්යය කළේ රාජ්‍ය අංශය. ලංකවෙත් එහෙමයි, සෝවියට් දේශයෙත් එහෙමයි, එංගලන්තයෙත් එහෙමයි, ඇමෙරිකාවෙත් එහෙමයි. ඒකට කියන්නෙ රාජ්‍ය ඒකාධිකාරයේ ධනවාදය කියල. හැබැයි 1978 පස්සෙ ලෝකයේ තත්ත්වය වෙනස් වුණා.

රටේ ආර්ථිකය මෙහෙයවීමේදී ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය ආර්ථිකය සැලසුම් කිරීමයි. ඒ ආර්ථිකයේ එක් එක් කොටස් වඩා කාර්යක්ෂමව ඵලදායිව ප්‍රශස්ථව මෙහෙයවිය හැකි මාධ්‍ය කුමක්ද යන්න ඒ ඒ අංශ අනුව තීරණය කරනවා. ඇතැම් අංශ පුද්ගලික වෙන්න පුළුවන්. තවත් ඒවා රාජ්‍ය පුද්ගලික ඒකාබද්ධ වෙන්න පුළුවන්. ඉතා සුළු කොටසක් බලශක්තිය මූල්‍ය වෙළෙඳපොළ වැනි ඒවා රජය තුළ පවත්වාගන්න වෙනවා. ඇත්තටම ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ රජය සියලු දේවල් කරනවා නෙවෙයි. රජය සැලසුම් කර පසු විපරම් කිරීමයි සිදුවන්නේ. අපේ කාර්යභාරය එයයි. අපේ ආණ්ඩුවක් යටතේ අරවා නැති වෙනවා මේවා නැති වෙනවා කිය කිය අපි ගැන හදන්නේ වැරදි සහ විකෘති මතයක්. ඔය බොරුවලට කවුරුත් බියවන්න එපා.

ප්‍රශ්නය – තවත් සමාජයේ පැතිර යමින් ඇති මතයක් තමයි විශාල වැවිලි සමාගම් ඔබලාගේ ආණ්ඩුවක් ආවොත් රජයට පවරා ගන්නා බව.

පිළිතුර – වතු සමාගම් පාඩු ලබන නිසා රජයට පවරා ගන්න ඕන බව කිව්වේ අපි නෙවෙයි. 2015 – 20 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේදී ඔහොම කිව්වේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා. අපි බලන්නේ ඒ සමාගම් ප්‍රමාණවත් ලාභ නොලබන්නේ ඇයි, සේවකයන්ට අවම වැටුප් ප්‍රමාණයක් හෝ ලබා නොදැන්නේ ඇයි, ජාත්‍යන්තර වෙළෙඳපොළ ඔවුන්ට ජයග්‍රහණය කළ නොහැකි වී ඇත්තේ ඇයි වැනි කාරණයි. එවැනි ප්‍රශ්නවලට විසඳුම් දීමට අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම කෙසේ ද යන්නයි අපි බලන්නේ. එහෙම නොමැතිව ඒ වතු රජයට අරන් අපි මොනවා කරන්නද. දැන් තියෙන්නේ 1977 තිබූ රට නෙමෙයි. වතු සමාගම්වලට උපරිම නිෂ්පාදන ධාරිතාව කරගෙන යා හැකි ලෙස රාජ්‍ය මැදිහත්වීම අනුග්‍රාහකත්වය ලබා දීමයි කළ යුතු වන්නේ. අපි කරන්නේ එයයි.

ප්‍රශ්නය – ආගම සංස්කෘතිය සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය දක්වන ආකල්ප ඉතා පසුගාමී බවත්, ඔබලා ඒ සඳහා නිසි තැන නොදෙන බවත් නැඟෙන තවත් චෝදනාවක්.

පිළිතුර – මම ජාතික ජනබලවේගයේ විධායක සභාව නියෝජනය කරන කෙනෙක්. ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරනවා වගේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. මම බෞද්ධයෙක්. මම දහම් පාසල් ගිහින් ධර්මාචාර්ය විභාගය සමත් වූ කෙනෙක්. අපි කොහේවත් ආගමට ගරහාල තියෙනවද? මේ අපේ සතුරා විසින් සමාජගත කර ඇති තවත් එක් වැරදි මතයක් පමණයි. ජාතික ජනබලවේගය සකස් වෙන්නේම සියලු ආගම්වලට ගරු කරමින් සහ ඒ සියලු ආගම් ඇදහීමට ජනතාවට ඇති අයිතිය පිළිගනිමින්. රටක් නීති මගින් පාලනය කළ හැකි බව අපි පිළිගන්නේ නැහැ. ජනතාව අතර සමගිය සංහිඳියාව ඇති වෙන්න නම් සියලු ආගම් දර්ශනවලින් ජනතාවට කරන මැදිහත්වීම අතිශය වැදගත්. හැබැයි ආගම් මුවාවෙන් කරන සමහර ත්‍රස්තවාදී ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් අප අනුමත කරන්නෙත් නැහැ ඊට ඉඩ තියන්නෙත් නැහැ. මනුෂ්‍ය සමාජය යහපැවැත්ම වෙනුවෙන් ආගම් දක්වන මැදිහත්වීම අතිශය වැදගත්. ඇත්තටම ආගම්වලට ලොකුම අවැඩක් කළේ දේශපාලන න්‍යාය පත්‍ර වෙනුවෙන් ආගම් භාවිතා කළ දේශපාලනඥයන්. ඔවුන් පන්සල් පල්ලි කෝවිල් යන්නේ එම ආගම් සම්බන්ධයෙන් ඇති භක්තියෙන් හෝ එහි දර්ශනය පිළිබඳ හැඟීමකින් නෙවෙයි. ඔවුන්ට ඉන්න අවශ්‍ය වන්නේ දේශපාලන ප්‍රචාරයක් පමණයි. අපේ ආගමනයකින් ආගම්වලට අවැඩක් වේ යැයි කිසි සේ බිය විය යුතු නැහැ.

ප්‍රශ්නය – රටක් කිරීමේදී දේශපාලන සබඳතා අතිශය වැදගත්. ජාතික ජනබලවේගය ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ඇතැමුන් ප්‍රශ්න කරනවා. ඇතැම් අය කියන්නේ ඔබලාට ජාත්‍යන්තර සබඳතා නොමැති බව. එය එහෙමනම් රටක් කරන්නේ කොහොමද ?

පිළිතුර – ඔය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එම තනතුරට ආපු ගමන් සමහර අය කිව්වා නේද පට්පට් ගාලා ආයෝජන ඒවි කියලා. සමහරු ණය කපා හරියි කියලත් කිව්වා. ඔය වගේ කතා ගොඩක් කිව්වා මතක නැද්ද. හැබැයි අපි කිව්වා ලෝකයේ රටවල් වැඩ කරන්නේ මිනිස්සු සමඟ නොව ආණ්ඩු සමඟයි කියලා. මොකද ලෝකයේ රටවල් ණය විදිහට දෙන්නේ ඒ රටේ මිනිස්සුන්ගේ බදු මුදල්. ලෝකය ගැන දන්න මිනිස්සු ඔය වගේ කතා කියන්නේ නැහැ.

ප්‍රශ්නය – ජාතික ජනබලවේගයේ විදෙස් ප්‍රතිපත්ති කෙසේ වේවිද ?

පිළිතුර – අපි අනුගමනය කරන්නේ නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක්. එක එක රටවල සරණ ගොස් වර්තමාන ලෝක තත්ත්වයත් එක්ක රට ගොඩගන්න බැහැ. අපගේ පිහිටීම අනුව ලෝකයට අපිව වැදගත් වගේම අපට ලෝකයත් වැදගත් වෙනවා. නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක් තුළින් බොහෝ ගැටලුවලට විසඳුම් සෙවිය හැකියි.

ප්‍රශ්නය – හැබැයි අසල්වැසි ඉන්දියාව සහ චීනය අමතක කර ගමනක් යන එක වර්තමාන තත්ත්වය දෙස බැලීමේදී කළ හැකි දෙයක් නෙවෙයි. එම රටවල් දෙක ඔබලා කළමනාකරණය කරන්නේ කෙසේද ?

පිළිතුර – ඔවුන් අපට ආසන්න ලෝක බලවතුන් දෙදෙනා. ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් දෙක. ඉන්දියන් සාගරයේ වෙළෙඳාමේදී ඔවුන්ට අපිව වැදගත්. අසල්වාසියා ලෙස ඉන්දියාව අමතක කර යන ගමනක් ගැන හිතන්න බැහැ. ඔවුන් සමග ඇති ඓතිහාසික බැඳීම ආර්ථික බැඳීම අතහරින්න බැහැ. අපිට ඉන්දියාව සමග ඉතාමත් විවෘත ගනුදෙනුවකට යා යුතු වෙනවා. චීනය සමඟ අපට ආර්ථික වශයෙන් උදව් ලබාගත හැකියි. වංචා දූෂණයෙන් තොර පාරිශුද්ධ වැඩපිළිවෙළකට ඔවුන් සමග යා යුතු වෙනවා. ඉන් යහපත් ප්‍රතිඵල රැසක් රටට ලබාගත හැකියි. ඉන්දියාවේ හා චීනයේ ගැටුම්වලට අපි මැදිහත් විය යුතු නැහැ. ඔවුන් සමග සුහද ගනුදෙනුවකයි අපි සිටිය යුත්තේ. අපේ ප්‍රතිපත්තිය නොබැඳි සමබර විදෙස් ප්‍රතිපත්තියක්.

ප්‍රශ්නය – රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අමාරුවෙන් ස්ථාවර කළ රට ජාතික ජනබලවේගයට ඡන්දය දී විනාශ කරගන්න බැරි බව ඇතැමුන් සඳහන් කරනවා.

පිළිතුර – ස්ථාවර කිරීම කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දවසෙන් දවස රට ආගාධයටම වට්ටමින් සිටිනවා. වතු කර්මාන්තශාලා පතල් විකුණා පටන්ගත් රනිල් අද තැපැල් කන්තෝරු විකුණන තැනට දක්වා ඇද වැටී තිබෙනවා. ඔවුන් වැට් එක සියයට 24 දක්වා ඉහළ නැංවීමටයි දැන් සාකච්ඡා කරමින් සිටින්නේ. කෙටියෙන් කිව්වොත් රනිල් වික්‍රමසිංහ රට හපයක් කර අවසන්. රනිල්ගෙන් රට හැදෙනවා බලාපොරොත්තු වෙන අයට එක්කෝ මොලේ අමාරුවක් තියෙන්න ඕනා නැත්නම් දේශපාලන තක්කඩි කමක් තියෙන්න ඕන.

ප්‍රශ්නය – වැට් බදු ඉහළ නැංවීම සම්බන්ධයෙන් ජනතාව මැසිවිලි නඟනවා. ඔබත් ආණ්ඩුවට චෝදනා කරනවා. වැට් අඩු කිරීම සම්බන්ධයෙන් ඔබට තිබෙන යෝජනා මොනවාද ?

පිළිතුර – මිනිස්සුන්ව මිරිකලා අඹරලා බදු අය කරන එක නතර කරන්න බදු වංචාකරුවන්ගේ බදු එකතු කර සිදු කරන්න පුළුවන්. බලන්න ඇලෝසියස්ලා ජොන්ස්ටන් ප්‍රනාන්දුලා ආණ්ඩුවට කොතරම් බදු වංචා කර තිබෙනවාද. ඒ වගේම තවත් මහා පරිමාණ ව්‍යාපාරිකයන් කෝටි ප්‍රකෝටි ගණන් බදු වංචා කර තිබෙනවා. අපි බදු අර අය කර ගත යුත්තේ ඔවුන්ගෙන්. එසේ නැතුව කන්න බොන්න නැති ජනතාවගෙන් නෙමෙයි. රටේ බදු ගෙවන්න ඇති පුද්ගලයන්ගෙන් සමාගම්වලින් බදු එකතු කිරීම තුළ මෙම බඩු අඩු කළ හැකියි.

ප්‍රශ්නය – පුද්ගලික අධ්‍යාපන ආයතන සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය දිගින් දිගටම චෝදනා එල්ල කළා. අධ්‍යාපනය විකිණීමට එරෙහිව අරගල කළා. නමුත් අධ්‍යාපනය ලබා ගැනීම සම්බන්ධයෙන් ඇති අයිතිය ඊට ඇති අවස්ථාව පුළුල් කිරීම අවශ්‍ය කාරණයක්. මේ ගැන ඔබගේ අදහස කුමක්ද ?

පිළිතුර – අපේ විරුද්ධවාදීන් පෞද්ගලික අධ්‍යාපනය සම්බන්ධ අපේ මතය විකෘති සහගතව, සම්පූර්ණ වැරදි සහගතව සමාජගත කරනවා.

රටක අධ්‍යාපනයේ බර රජය දරනවාද නැද්ද යන්න මත ලෝකයේ ආණ්ඩු දක්ෂිණාංශික හෝ වාමාංශික ලෙස වර්ග කරන්නේ නැහැ. දියුණු ධනපති රටක් වන පින්ලන්තයේ මූලික උපාධිය දක්වාම නොමිලේ.

ඒත් කොමියුනිස්ට් පක්ෂය ආණ්ඩු කරන වියට්නාමයේ අධ්‍යාපනයට යම් මුදලක් අය කරනවා. චීනයේත් නොමිලේ සහ අනිවාර්ය අධ්‍යාපනය පටන් ගත්තේ 2003 සිටයි. අපි පෞද්ගලික හෝ විදේශීය අධ්‍යාපනයට විරුද්ධ නැහැ. මමත් යම් යම් අවස්ථාවල පෞද්ගලික අධ්‍යාපනය ලබාගෙන තිබෙනවා. පෞද්ගලික හෝ විදේශීය විශ්වවිද්‍යාලවලින් මූලික උපාධි, පශ්චාත් උපාධි ලබා ගත් අය ජාතික ජනබලවේගයේ නායකත්ව මණ්ඩල නියෝජනය කරනවා.

තමන් අධ්‍යාපනය ලබා ගන්නේ රාජ්‍යයෙන්ද පෞද්ගලිකව ද විදේශයෙන්ද යන්න එක් එක් අයගේ කැමැත්ත මත තීරණය කළ හැකියි. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ දැනට පවතින ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික පාසල් හෝ ප්‍රයිවට් කැම්පස් අහෝසි කරන්නේ නෑ. නමුත් ඒවා රජය මගින් නියාමනය කරනවා. මොකද ඒ ආයතනවල මුදල් ගෙවලා ඉගෙන ගන්න ලාංකීය දරුවන් පිළිබඳ වගකීමක් රජයට පවතිනවා. ඔවුන් ඒ ආයතනවල මුදල් ගෙවා ඉගෙනීමට පෙළඹී ඇත්තේ එක්කෝ රජයේ පාසල්, විශ්වවිද්‍යාල තුළ ඉඩකඩ මදි නිසා, නැත්නම් තමන් අපේක්ෂා කරන පාඨමාලා රජයේ විශ්වවිද්‍යාලවල නැති නිසා, එහෙමත් නැත්නම් රාජ්‍ය විශ්වවිද්‍යාලයට යන්න ඇති අකමැත්ත නිසා. ජාතික ජනබලවේගය ආණ්ඩුවක් අපේ රටේ ජනතාවගේ බදු මුදල් රාජ්‍ය අධ්‍යාපනය පුළුල් කරන්න ප්‍රමුඛ ලෙස යොදවනවා. අප අපේක්ෂා කරන ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නම් වෘත්තීමයභාවයක්, පුහුණුවක් සහිත දැවැන්ත ශ්‍රම බළකායක් අවශ්‍යයි. ඒ සඳහා අධ්‍යාපනයට සාධාරණ ප්‍රවේශය සහතික කළ හැක්කේ රාජ්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමෙන් පමණයි. අපේ ප්‍රතිපත්තිය අනුව ආර්ථිකයේ ප්‍රතිලාභ සමාජගත කිරීමේදී ආර්ථික වර්ධනයට දායක වන ජනතාවගේ දරුවන්ට අධ්‍යාපනය රජය මගින් ලබාදීමට හැකි සෑම අංශයකින්ම පියවර ගන්නවා. ලෝකයේ ශිෂ්ටසම්පන්න රටවල් බොහොමයක අධ්‍යාපනයේ මූලික වගකීම දරන්නේ රජය.

සාකච්ඡා කළේ – සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment