රනිල් වගඋත්තරකරුවකු කරයි

140

ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ දුන් තීරණය

2022 වසරේ පැවැති අරගලයෙන් පසුව කොළඹ නගරයේ පිහිටි ප්‍රදේශ කීපයක් අධිආරක්ෂක කලාප බවට පත්කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයකට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටි සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22දා) පෙත්සම්කාර පාර්ශ්වයට අවසර ලබාදුන්නේය.

එම පෙත්සම ඊයේ (22දා) එස්. තුරෙයිරාජා කුමුදුනී වික්‍රමසිංහ සහ කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය කළ එම ඉල්ලීමට විනිසුරු මඬුල්ල අවසර ලබාදුන්නේය. සමාජවාදී තරුණ සංගමයේ ක්‍රියාකාරීන් පිරිසක් විසින් ගොනු කර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මරදාන, කොම්පඤ්ඤ වීදිය, කුරුඳුවත්ත යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් ඇතුළු පිරිසක් නම් කර තිබිණි. එම පෙත්සම සලකා බැලීම සඳහා ලබන ජුනි 17 වැනිදා කැඳවීමට ද විනිසුරු මඬුල්ල දින නියම කළේය. 2022 වසරේ පැවති අරගලයෙන් පසු ජනාධිපති ධුරයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ නගරයේ පිහිටි එතෙක් අධිආරක්‍ෂිත කලාප බවට පත්කර නොතිබි මංමාවත් හා ප්‍රදේශ කීපයක් අධිආරක්‍ෂක කලාප බවට පත්කරමින් 2022 වසරේ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබූ අතර එයට එරෙහිව 2022.9.27 වැනිදා සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයන් ඇතුළු පිරිසක් විරෝධතාවයක් කර තිබිණි. එකී විරෝධතාවයට ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබූ පොලිසිය විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment