ජනාධිපති ධුර අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ
ජන අරගල සන්ධානයේ මංගල රැලිය
රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක මොන විදිහට කෑ ගගහා සමුළු තිබ්බත් ක්‍රම වෙනසක් යෝජනා කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන එකම දේශපාලන ව්‍යාපාරය ජන අරගල සන්ධානය යැයි එම සන්ධානයේ ජනාධිපති ධුරාපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ මහතා පැවසීය.
ජනාධිපතිවරණය ඉලක්ක කර ගෙන එම සන්ධානය පැවැත්වූ පළමු රැලිය ඊයේ ( 14 දා) නුගේගොඩ දී පැවැති අවස්ථාවේදී හෙතෙම මේ බව සඳහන් කළේය.
ඔහු මෙසේ ද කීවේය.
JETRO කියන සමීක්ෂණයෙන් අනාවරණය කරා මේ කලාපයේ තියෙන අවම වැටුප් ලබන රට අපේ රට බව. විශේෂයෙන්ම එහි සඳහන් කරනවා විශාල ආදායමක් සපයන ඇඟලුම් සේවකයකුගේ වැටුප රුපියල් 16,000කට අඩු වුණේ කොහොමද කියන කාරණය. මසකට තම සමාගමකට රුපියල් ලක්ෂයකට වඩා මුදලක් උපයලා දෙනවා. එහෙම තත්ත්වයක් තුළ තමයි සේවිකාව රුපියල් 16000 ක පමණ වැටුපක් ලබාගන්නෙ. ඒක සූරාකෑමක්. ඊළඟට වී ගොවියෙක් රුපියල් 130 ක විතර වියදමක් වී කිලෝවකට වැය කරන කොට අතරමැදියෙක් ගිහිල්ලා රුපියල් 85 ට මිලදී ගන්න බලකරන මේ ක්‍රමය මොකද්ද? ඊළඟට මෑතකදී වර්ධනය වුණා GIG රැකියා ක්ෂේත්රය. ඒ අනුව ඇප් එකක් අතේ තියාගෙන ආහාර ප්‍රවාහනය කරන, මගීන් ප්‍රවාහනය කරන රැකියා ක්ෂේත්රය ගත්තොත් පැහැදිලිව සමීක්ෂණයකින් හෙළි වුණ කාරණය තමයි බරපතළ සූරාකෑමට ලක්වෙන පිරිසක් කියලා. අපේ රටේ සීයට හැට හතක් අවිධිමත් ක්ෂේත්රයේ වැඩ කරන කම්කරුවෝ පිරිසක් ඉන්නවා. මේසන්වරු වගේ ක්ෂේත්‍ර නියෝජනය කරන ඒ අය බරපතළ සූරාකෑමකට ලක්වෙනවා. ඒ ක්‍රමය මොන නමින් ආවත් ඒක ධනවාදය.
රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර මොන සමුළු තිබ්බද? මේ ඡන්දෙන් පස්සේ සමාජයට අත්වන ඉරණම වෙනසක් නැහැ. එහෙම නම් අපි මේ ක්‍රමය වෙනස් කරන්න යෝජනා කරන ව්‍යාපාරයක්. මිනිහෙකුට ජීවත් වෙන්න අවශ්‍ය අවම වැටුප මහ බැංකුව කියන විදියට අවම තරමින් පනස් හත්දහස් පන්සියයක්. අපි ඒ අවම වැටුප ජනතාවට හිමිකරන ව්‍යාපාරයක්. වෘත්තීය සමිති විදියට වැඩ කරන ජනතාව එකතු වී ඒ හරහා සාමූහික දේවල් කිරීම ප්‍රවර්ධනය කරන ව්‍යාපාරක්. අපි යෝජනා කරනවා අසනීප නිවාඩුව ව්‍යවස්ථාපිත නිවාඩු බවට පත්කරන්න. විශේෂයෙන් කාන්තාවන් ඔසප් නිවාඩු හිමිකරන වැඩ බිම්වල ළමා සුරැකුම් මධ්‍යස්ථාන ඇති කරන ප්‍රවාහනය සහ සනීපාරක්ෂක පහසුකම් ඇතිකරන වැඩකරන ජනතාවට උසස් අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පහසුකම් සලසන තාක්ෂණික පාසල්, සන්ධ්‍යා පාසල් වැනි දේවල් නිර්මාණය කරන ව්‍යාපාරයක්.
එහිදී අදහස් දැක්වූ වසන්ත මුදලිගේ මහතා –
ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 40ක් ඇප තැන්පත් කරලා. මේ දුසිම් ගාණක් අපේක්ෂකයෝ මොනවද ඇවිල්ලා කියන්නේ? ඒ ගොල්ලෝ කතා කරන්නේ ඒගොල්ලන්ගේ ප්‍රශ්න ගැන. ඒ ගොල්ලන්ගේ පක්ෂවල ප්‍රශ්න, නායකත්වයේ ප්‍රශ්න, පනින අයගේ ප්‍රශ්න.
මේ කවුරුත් කතා කරනවද දෛනික හෝ මාසික වැටුපට වැඩ කරන කෙනාට දවසේ තුන් වේල කන්නවත් වැටුප ප්‍රමාණවත් නැති ප්රශ්නය ගැන? මේ කවුරුත් කතා කරනවද ජනගහනයෙන් 60.5%කගේ ආදායම් බිඳ වැටීමේ ප්රශ්නය ගැන, දස අතේ ණය වෙලා හදා ගත්ත අස්වැන්නට මිලක් නැතිව ගොවියා විඳින දුක ගැන, මේ කවුරුත් කතා කරනවද ශරීරයට ඇණ ගහගෙන, ලිංගික බලහත්කාරකම්වලට ලක් වෙමින් වහල් සේවයේ යෙදෙන විදේශගත ශ්‍රමිකයන්ගේ ප්රශ්නය ගැන? කවුරුත් කතා කරනවද තුට්ටු දෙකට සියවස් දෙකක් කඹුරන වතු කම්කරුවාගේ ප්රශ්නය ගැන? නැතිනම් රැකියා විරහිත තරුණයාගේ, ස්ත්‍රියගේ, ශිෂ්‍යයන්ගේ ප්රශ්නය ගැන? නෑ ඒ එකක්වත් කතා කරන්නේ නෑ. කතා කරන්නේ තම තමන්ගේ ඇතුළේ ප්‍රශ්න මිස ජනතාවගේ ප්‍රශ්න නෙවෙයි.
ජන අරගල සන්ධානය මෙවර මැතිවරණ වේදිකාවට එන්නේ ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න. ඒවගේ ම ඒවාට විසඳුම් දෙන්න. ඒ විසඳුම් සඳහා පදනම් වන ප්‍රතිපත්තිය අරන්. ඒ නිසා ජනතාව වෙනුවෙන් තිබෙන වේදිකාව ජන අරගල සන්ධානයේ වේදිකාව. දුසිම් ගාණක් අපේක්ෂකයන් අතර ජනතාවගේ අපේක්ෂකයා නුවන් බෝපගේ සහෝදරයා පමණයි. ඡන්ද පත්‍රිකාව අඩි කීයක් දිග වුණත් ජනතාවට තමන්ගේ ප්‍රශ්න වෙනුවෙන් කතිරයක් ගහන්න තියෙන්නේ එක ලකුණක් විතරයි. ඒ ‘කුඩය’ ලකුණ.
අනුරාධ හිරිපිටියගේ