‘‘රයිනි සමග අලුත් වෙනසක් කිරීමට එකතු වෙමු’’

521

ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රිය ගායිකාවක්, රංගන ශිල්පිනියක් මෙන්ම නවක තරුණ තරුණියන් සඳහා හඬ පුහුණුකාරිනියක ලෙස කටයුතු කරන, රයිනි චාරුකා මහත්මිය, #Act4SDGs ගෝලීය සතියට සමගාමීව දියත් කරන ලද Turning Point සංවාද වැඩසටහන් මාලාවේ ප‍්‍රථම වතාවට පවත්වනු ලැබූ සංගීතමය වැඩසටහන හා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සම්බන්ධවීමට වරම් හිමිකර ගත්තාය. රයිනි Road to Rights සංවිධානය හා එක්ව පිරිසිදු ජලය සහ සනීපාරක්‍ෂාව සඳහා වු ගෝලීය අරමුණු අංක 6 සඳහා තානාපතිනිය ලෙස ක‍්‍රියා කරන අතර #Act4SDGs ගෝලීය සතියේ සමාප්ති උළෙල ඇයගේ මියුරු ගායනයෙන් මුසපත් කළාය.
 

#Act4SDGs ගෝලීය සතියේ සමාප්ති උත්සවයේදී රයිනි, එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අරමුණු උදෙසා වන ක‍්‍රියාකාරී ව්‍යාපාරයේ (UN SDG Action
Campaign) අධ්‍යක්‍ෂිකා මරීනා පොන්ටි මහත්මිය සමග සම්මුඛ සාකච්ඡාවකට ද සහභාගි වූවාය.

Turning Point සංවාද මාලාවේ පළමු සංගීත සංස්කරණය වන මෙහිදී සංගීතය ගැන වදනක් ප‍්‍රකාශ කිරීමට රයිනි අමතක නොකළාය. සංගීතය විශ්ව භාෂාවක් බවත්, සාමාන්‍යයෙන් මිනිසුන්ට තේරුම් කරන්න බැරි දේවල් සංගීතය මගින් මිනිසුන්ට තේරුම් කළ හැකි බවත් ඇය ප‍්‍රකාශ කළාය. තවදුරටත් අදහස් දැක්වූ ඇය කියා සිටියේ සංගීතය ජලය හා සමාන බවත්, ජලය එය අඩංගු ඕනෑම භාජනයක හැඩයට අනුව හැඩගැසෙන අයුරින්, සංගීතය අපට අවශ්‍ය අයුරින් අවස්ථානුකූලව හැඩගැසීමට උගන්වන බවත්ය. රයිනිගේ විශිෂ්ට ගායනයත් සමගින් #Act4SDGs ගෝලීය සතියේ අවසානය සනිටුහන් කරන ලදී. එක්සත් ජාතීන්ගේ වෙබ් රූපවාහිනිය ඔස්සේ විකාශය වූ එම ගායනය ලොව පුරා ජනතාවගේ හදවත් ඇදබැඳ ගැනීමට සමත් විය.

‘‘රයිනි සමග අලුත් වෙනසක් කිරීමට එකතු වෙමු’’
advertistmentadvertistment