රයිසිට අවසන් බුහුමන් දක්වන්නට ඉරාන ජනතාව රොද බඳිති

209

අවසන් කටයුතු හෙට

ඉකුත් ඉරිදා (19දා) හෙලිකොප්ටර් යානා අනතුරකින් මියගිය ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිට අවසන් ගෞරව දැක්වීම සඳහා ඉරාන ජාතිකයන් දසදහස් ගණනක් ඉරානයට අයත් නැගෙනගිර අසර්බයිජාන් පළාතේ අගනුවර වන ටැබ්රිස් නගරයට ඊයේ (21දා) එක්රොක්ව සිටි බව විදෙස් මාධ්‍ය පවසයි.

මියගිය ඉරාන ජනාධිපතිවරයාගේ දේහය හෙට (23දා) දක්වා විශේෂ ආගමික මෙහෙයන් සඳහා නගර තුනකට ගෙන යෑමට නියමිතව ඇත. ඔහුගේ අවසන් කටයුතු හෙට ඉරානයේ දෙවැනි විශාලතම නගරය මෙන්ම ශුද්ධ වූ නගරයක් වන ‘මෂ්ෂාඩ්’ හිදී දැවැන්ත අවමඟුල් උත්සවයක් පවත්වා සිදු කිරීමට නියමිතය.

ඊයේ ජනාධිපති රයිසිට අවසන් ගෞරව දැක්වීම සඳහා ටැබ්රිස් නගරයට එක්රොක් වූ ඉරාන ජාතිකයෝ ඉරානයේ ධජ ලෙළවමින් හා ජනාධිපතිවරයාගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් ඔහුට උපහාර දැක්වූහ.

රයිසිට අවසන් බුහුමන් දක්වන්නට ඉරාන ජනතාව රොද බඳිති

ඉරාන ජනාධිපති රයිසිගේ දේහය සමග ඔහු සමග හෙලිකොප්ටර් යානා අනතුරෙන් මියගිය ඉරාන විදේශ කටයුතු ඇමැති හොසේන් අමිර් අබ්දොල්ලාහියන් ඇතුළු සෙසු අට දෙනාගේ ද දේහයන් ඔවුන් හෙලිකොප්ටර් යානයෙන් යමින් සිටි ටැබ්රිස් නගරයට පෙරහැරකින් ගෙන ගොස් අනතුරුව එම දේහයන් ආගමික මෙහෙයක් සඳහා මධ්‍යම ඉරානයේ පිහිටි ‘ක්වොම්’ නගරය වෙත ගෙන යෑමට නියමිතව ඇති බවත්, අනතුරුව ජනාධිපති රයිසිගේ සහ විදේශ කටයුතු ඇමැති හොසේන්ගේ දේහයන් ආගමික මෙහෙයක් සඳහා ටෙහෙරාන් අගනුවර වෙත ගෙන යෑමටත් නියමිතව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියගිය අයගේ දේහයන් සඳහා පැවැත්වෙන විශාල ආගමික මෙහෙයක් අද (22දා) ඉරානයේ අගනුවර වන ටෙහෙරානයේදී පැවැත්වෙන අතර ඒ සඳහා ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කුමෙනි හා විදෙස් රාජ්‍ය නිලධාරීන් සහභාගී වීමට නියමිතය. මෙම ආගමික මෙහෙයන්ගෙන් පසු රයිසි ජනාධිපතිවරයාගේ දේහය ඉරානයේ දෙවැනි විශාලතම නගරය මෙන්ම ඔහු ඉපදුණු හා හැදී වැඩුණු මෂ්ෂාඩ් නගරය වෙත ගෙන ගොස් එහිදී අවසන් කටයුතු සිදු කිරීමට සංවිධායකයන් කටයුතු යොදා තිබේ.

මේ අතර ඉරාන රජය විසින් හෙලිකොප්ටර් යානා අනතුරෙන් රයිසි ජනාධිපතිවරයා ඇතුළු නව දෙනකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එම අනතුරට කඩාකප්පල්කාරී ක්‍රියාවක් හේතු වන්නට ඇතැයි යන්න පිළිබඳව මතයක් මෙතෙක් ඉදිරිපත්ව නැතැයි වාර්තා වේ. අදාළ විමර්ශනයේදී මෙතෙක් හෙළි වී ඇත්තේ එම අනතුරට හෙලිකොප්ටර් යානය පියාසර කළ අවස්ථාවේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය, අහිතකර වටපිටාව මෙන්ම යානයේ තාක්ෂණික දෝෂයක් බලපාන්නට ඇති බවයි. මේ වන විට බොහෝ දෙනකුගේ විමසුමට ලක්ව ඇති කරුණක් වනුයේ ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස ගමන් ගත් හෙලිකොප්ටර් යානය 60 දශකයේ පැරණි බෙල් -212 වර්ගයේ යානයක් ද යන්නයි.

ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සහ 1979 දී ඉරානයේ පැවති විප්ලවයෙන් අනතුරුව බටහිර රටවල් එරටට පැනවූ සම්බාධක හේතුවෙන් නව ගුවන් යානා තැනීම සඳහා අවශ්‍ය අමතර කොටස් ගෙන්වීමට ඉරානයට නොහැකි වී ඇතැයි බටහිර විචාරකයෝ පවසති.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment