රසායනික තෙල් පොහොරවලින් මිදීමට පියවරෙන් පියවර යා යුතු මග

328

දීර්ඝ කාලයක් තිස්සේ මෙරට රසායනික තෙල් පොහොර භාවිතය නිසා අදවනවිට අපේ රටේ පාරිසරික පද්ධතියට පමණක් නොව මිනිසා ඇතුළු සත්ත්ව ප‍්‍රජාවටද සුවිසල් බලපෑමක් එල්ලවී ඇති බව අවිවාදිතය. මීට දශක 6 කට පෙරාතුව මෙරටේ තිබූ පාරිසරික වෙනස්වීම හා ජනතාවගේ සමස්ත නිරෝගී සම්පන්න භාවය පිළිබඳව විමර්ශනය කළවිට එය මැනවින් පෙන්නුම් කෙරේ.

රසායනික තෙල් පොහොරවලින් මිදීමට පියවරෙන් පියවර යා යුතු මග

මෙරට තුබූ ජෛව විවිධත්වය වෙනස්වීම කෙරෙහිත්, පසේ සක‍්‍රීය නිෂ්ක‍්‍රිය භාවය කෙරෙහිත් රසායනික තෙල් පොහොර සෘජු බලපෑමක් එල්ල කර ඇත. අදවනවිට වගාකරන සෑම බවභෝගයක් සඳහාම රසායනික තෙල් පොහොරවල අවශ්‍යතාව අඩුවැඩි ලෙස පසේ පෝෂ්‍ය සංඝටක සඳහා බාහිරින් යෙදවිය යුතු තත්ත්වයන් පවතින අතර මෙකී තත්ත්වය නිසා පසේ බැරලෝහ ප‍්‍රමාණය වැඩිවී ඇත. අපේ රටේ වාර්ෂිකව භාවිතා කරන තෙල් පොහොර ප‍්‍රමාණය දළ වශයෙන් මෙටි‍්‍රක් ටොන් අට ලක්ෂයත් (800000* දොළොස් ලක්ෂයත් (1200000* අතර අගයක් නිල වශයෙන් පැවතුනද එය බොහෝවිට වැඩිවිය හැකිය. මේ රසායනික තෙල් පොහොර භාවිතය නිසාවෙන් පසට වාර්ෂිකව එකතු වන අතිශය හානිකර බැරලෝහ ප‍්‍රමාණය දළ වශයෙන්;
 
 ⋆ ක්‍රෝඩියම් කිලෝ ග‍්‍රෑම් 50000 ක්
 
 ⋆ ආසනික් කිලෝ ග‍්‍රෑම් 30000 ක්
 
 ⋆ ඊයම් කිලෝ ග‍්‍රෑම් 30000ක්

පමණ වන අතර එමගින් අදවන විට සියලූ ගංගාවල ජලය ඇතුළුව භූගත ජලයටද මෙහි අහිතකර බැරලෝහ මිශ‍්‍රණය වී ඇති බව සත්‍යකි. විශේෂයෙන්ම අඩි 3000 ට වඩා උස් වූ ඉහළ ගංගාධාර ප‍්‍රදේශයන්හි තේ වගාව ඇතුළු අනෙකුත් බහුවාර්ෂික මෙන්ම උඩරට එළවළු වගාවන් සඳහා යොදන රසායනික තෙල් පොහොර අධිභාවිතාවය නිසාවෙන් මෙකී තත්ත්වය වඩාත් දරුණු වී ඇත. විශේෂයෙන්ම මහවැලි ගඟ පාදක කරගනිමින් ඉදිකරන ලද මහවැලි ජලාශයන්හි ජලයේ ඇති බැරලෝහ ප‍්‍රමාණය අති මහත්ය. මෙකී තත්ත්වය නිසාවෙන් අදවන මහවැලි ජලාශ මුල්කොටගනිමින් කෘෂිකර්මාන්තයේ නියැළෙන රජරට ඇතුළු අනෙකුත් ප‍්‍රදේශවල ගොවිජනතාව වකුගඩු ලෙඩරෝග වල ප‍්‍රධානතම ගොදුර බවට පත්ව ඇත. අදවනවිට උග‍්‍ර ලෙස රසායනික තෙල් පොහොර භාවිතා කරන කලාපය ලෙස නුවරඑළිය, වැලිමඩ, බණ්ඩාරවෙල ප‍්‍රදේශයන් වන අතර එම කලාපයන් ජලපෝෂක ප‍්‍රදේශවල ජල උල්පත්වල මෙන්ම ඒ ඔස්සේ ගලා බසින සියලූ ජල ධාරාවන්හි ජලයෙහි උග‍්‍ර ලෙස වසවිස අන්තර්ගතව ඇති බව අවිවාදිතය.
 
 මෙසේ දීර්ඝකාලීන ලෙස රසායනික තෙල් පොහොර භාවිතාව නිසාවෙන් අප රටේ ජනී ජනයාගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයට එල්ල වූ බලපෑම ද ඉතාමත්ම ශෝචනීය වේ.
 
 1985 දී පමණ වාර්ෂික පිළිකා රෝගීන් සංඛ්‍යාව 5000 ක් වූ අතර එය අදවනවිට 35000 – 40000 ක් අතර අගයක් ගනී. එසේම 2016 ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව රටේ සමස්ත ජනගහනයෙන් 39% ක් අධි රුධිර පීඩනයෙන්ද, 30.4% ක් දියවැඩියාව වැනි බෝනොවන වසංගත ලෙඩ රෝග වලින්ද සමන්විත බවය. එසේම 2041 වනවිට රටේ ජනගහනයෙන් 04 දෙනෙක්ගෙන් එක් අයකුට බෝනොවන වසංගත ලෙඩ රෝග වැළඳීමේ අවදානමක් ඇති බව අවධාරණය කරයි.
 
 එසේම රසායනික තෙල් පොහොර භාවිතාව ජාන විකෘති වීමට මෙන්ම හෝමෝන වෙනස්වීම කෙරෙහිද දැඩි බලපෑම් ඇති කරන බව පර්යේෂණ මගින් තහවුරු වී ඇත. අදවනවිට වැලිමඩ බණ්ඩාරවෙල හපුතලේ නුවරඑළිය වැනි ප‍්‍රදේශයන්හි ගැහැනු දරුවන්ගේ වැඩිවියට පත්වීමේ වයස අවුරුදු අට දක්වා අඩුවීම කෙරෙහි මෙන්ම මාසයකට අඩු බිලිඳුන්ගේ අක්ෂි පිළිකා නිසාවෙන් ඇස් ඉවත් කිරීමේ ශල්‍යකර්මද සිදුකරනු ලබන අතර මේ තත්ත්වය කෙරෙහි ‘‘රෙටිනොබිලාස්ටෝමා” නමැති අක්ෂි පිළිකාවට හේතු වන බැරලෝහ නිසාවෙන් ගර්භනී සමයේදී සිදුවන ජාන විකෘතීන් බවද හෙළිවී ඇත. අදවනවිට මෙරට සිදුවන මරණවලින් 70% ක් පමණ සිදුවන්නේ බෝනොවන වසංගත ලෙඩ රෝග වලින් බවටද තහවුරු වී ඇත.
 
 මේ ආකාරයට දීර්ඝකාලීනව ඉවක් බවක් හා කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික නියාමනයක් නොමැතිව රසායනික තෙල් පොහොර අධිභාවිතාවය නිසාවෙන් ඇති වූ බලපෑම ජාතික ඛේදවාචකයක්, ජාතික ව්‍යසනයක් වේ. මේ නිසා වහ වහාම මේ ජාතික ව්‍යසනයෙන් මුළුමහත් රටත් ජාතියත් මුදාගැනීමේ වගකීම රජයට මෙන්ම පුද්ගලිකව අප හැමෝටම ඇත්තේය.
 
 එය හුදෙක් ක්ෂණයකින් කළ නොහැකිවා සේම ක‍්‍රමානුකූලව මනා සැලැස්මක් සහිතව ක‍්‍රමෝපායිකව කළ යුත්තේය. එය හුදෙක් ජනප‍්‍රිය පන්නයේ හුදු මැතිවරණ පොරොන්දු ඉටු කිරීමේ ක‍්‍රියාවලියක් නොවී රටේත් මුළුමහත් ජාතියේත් අනාගත ඉරණම සුබවාදී යහපත් දිශානතියකට හැරවීමේ මෙහෙයුම් ලක්ෂ්‍යයක් විය යුතුය. ඒ සඳහා උපායමාර්ගික සැලැස්මක් මෙන්ම රටේ ජනතාවගේ විශේෂයෙන්ම ගොවි ජනී ජනයාගේ ආකල්පමය වෙනසක් දක්වාම ක‍්‍රමවත් විධිමත් සැලැස්මක් ප‍්‍රායෝගිකව කියාවට නැංවිය යුත්තේය. එය හුදෙක් ‘‘දැන් කපු – දැන් නූල්” පන්නයට කළ නොහැකිය. ඒ සඳහා අදියර ගණනාවකින් ක‍්‍රියාවට නැංවිය යුතු ක‍්‍රමෝපායික සැලැස්මකි.
 
 විශේෂයෙන්ම අප විසින් හඳුනාගත යුතු ක්ෂේත‍්‍රයන් පහක් ඇත්තේය.
 
 1. අඩි 3000 ට වඩා උස් වූ ඉහළ ගංගාධාර ප‍්‍රදේශයන්හි වගාකොට ඇති තේ ඇතුළු අනෙකුත් එළවළු ඇතුළු බවභෝග සඳහා යොදන රසායනික තෙල් පොහොර අධිභාවිතාවය වෙනුවට කාබනික පොහොර භාවිත කිරීම.
 
 මේ නිසාවෙන් ඉහළ ගංගාධාර ප‍්‍රදේශවල ජල මූලාශ‍්‍ර හා ගංගා ඇළ දොල වල ජලය බැරලෝහ ඇතුළු වසවිස වලින් මුදාගැනීමේ පදනම සකස් වේ.
 
 2. අඩි 1500 ත් 3000 අතර වූ උස් බිම්වල වගාකොට ඇති තේ පොල් රබර් කෝපි ඇතුළු සුළු අපනයන බෝග වැනි බහුවාර්ෂික මෙන්ම බවභෝග සඳහා කාබනික පොහොර භාවිතාව.
 
 3. අඩි 1500 ට අඩු භූමි වල වගාකොට ඇති පොල් වැනි බහුවාර්ෂික බෝග මෙන්ම අතිරේක ආහාර බෝග වන බඩ ඉරිඟු, කුරහන්, තල, මුං, කව්පි, රටකජු වැනි බවභෝග සඳහා කාබනික පොහොර භාවිතය.
 
 4. අඩි 1500 ට අඩු සියලූ වගා බිම් වන කුඹුරු ඉඩම්වල වගා කෙරෙන වී වගාව ඇතුළු අනෙකුත් බවභෝග සඳහා කාබනික පොහොර භාවිතය.
 
 5. දේශීය බීජ සංරක්ෂණය, පෝෂණය හා ප‍්‍රවර්ධන ක‍්‍රියාවලියක් යුහුසුළුව ආරම්භ කිරීම
 
 අදවනවිට දෙමුහුන් විදෙස් බීජ මුළුමනින්ම පාහේ භාවිතය නිසාවෙන් අපේ වගාබිම් රසායනික තෙල් පොහොර වලට අධි සංවේදීතාවක් දක්වන බැවින් කාබනික පොහොර භාවිතයට සමගාමීව ආහාර සුරක්ෂිතතාව හා විවිධ ශාකමය ලෙඩරෝගයන්ට ඔරොත්තු දෙන හා ස්වාභාවික පෝෂණ කේන්ද්‍රීය දේශීය බීජ යළි වගාකිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ දේශීය බීජ ප‍්‍රවර්ධන හා වගා කාර්යාංශයක් ස්ථාපනය කිරීම.
 
 කාබනික පොහොර නිෂ්පාදනයේදී සැලකිල්ලට ගත යුත්තේ ඒ ඒ බෝගයන්ගේ වර්ධනයන් කෙරෙහි සෘජුවම බලපාන්නා වූ පෝෂණ සංඝටකයන්ය. මේ පිළිබඳව විද්‍යාත්මක ප‍්‍රවේශයකින් කාබනික පොහොර නිෂ්පාදන ක‍්‍රියාවලිය නොවන්නේ නම් තේ, පොල්, රබර්, කුරුඳු, ගම්මිරිස් වැනි බහුවාර්ෂික හා අතුරුබෝග වගාවන්හි අස්වනු ප‍්‍රමාණයන් බිඳ වැටීමේ අභියෝගය අපට ජයගත නොහැකිවා සේම එය ජාතික වශයෙන් නිෂ්පාදන ආර්ථිකයටද සෘජු බලපෑමක් එල්ල කරනු ඇත. විශේෂයෙන්ම රසායනික තෙල් පොහොර මෙන් දළවශයෙන් තුන් ගුණයක ප‍්‍රමාණයක් කාබනික පොහොර අවශ්‍ය වන බව කෘෂි විද්‍යාඥයන්ගේ මතයයි.
 
 රසායනික තෙල් පොහොර ආනයනය කළ පරිද්දෙන්ම කාබනික පොහොර ආනයනය නොකර රට තුළ අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කළ හැකිය. පළාත් පාලන ආයතනයන්හි දෛනික කුණු ප‍්‍රමාණය දළ වශයෙන් මෙටි‍්‍රක් ටොන් 800 ක් පමණ වන අතර එය වාර්ෂිකව මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 288,000 ක් පමණ වේ. මෙකී ප‍්‍රමාණය බොහෝ සෙයින් රට තුළ කාබනික පොහොර නිෂ්පාදනයට ප‍්‍රමාණවත් වනු ඇති අතර සියලූ පළාත් පාලන ආයතනවල කාබනික පොහොර නිෂ්පාදන ක‍්‍රියාවලිය යුහුසුළුව ආරම්භ කිරීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාවට නැගිය යුත්තේය. මේ වනවිටත් බොහෝ පළාත් පාලන ආයතනවල දැනටමත් මෙම කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන කටයුතු සිදු කරනු ලබන නමුදු එහි ගුණාත්මක තත්ත්වයන් නියාමනය කළ යුතුය.
 
 තවද ගොවියාටද පුද්ගලිකව තම ගොවිබිම තුළදීද මෙම කාබනික පොහොර නිෂ්පාදන කටයුතු ආරම්භ කළ හැකිය. අප රටේ සමස්ත ගවයන් ප‍්‍රමාණය ලක්ෂ 16 කට ආසන්නය. එසේම එළුවන් ද බිත්තර කුකුල් පොහොරද භාවිත කරමින් ද ග්ලිරිසීරියා වැනි ශාකද වගා කිරීම තුළින් අවශ්‍ය කොළ පොහොරද නිෂ්පාදනය කළ යුතුය. මෙය හුදෙක් රජයකට පමණක් දෙපාර්තමේන්තුවකට පමණක් කළ නොහැක්කකි. එය මේ රටේ ජීවත්වන ළදරුවාගේ සිට මහල්ලා දක්වාම තම දෙවුර මත පැටවුනු ජාතික වගකීමක්, පූජනීය යුතුකමක් සේ සලකා කළයුතු ජාතික සද්කාර්යකි. එය ආකල්පමය වෙනසක් සමග කළ යුත්තේය. ග‍්‍රාමසේවා වසමක සේවය කරන රාජ්‍ය නිලධාරීන්ගේ සෘජු මැදිහත්වීමෙන් මෙය පහසුවෙන් ක‍්‍රියාවට නැගිය හැක්කේය. ග‍්‍රාම සේවා වසමකට අවශ්‍ය කාබනික පොහොර ප‍්‍රමාණය කෘෂිකර්ම පර්යේෂණ නිලධාරි සහයකයන්ට ගණනය කළ හැකිය. රට තුළ ගම්බිම් පුරා රාජ්‍ය යාන්ත‍්‍රණ පද්ධතියක් ඇත්තේය. අවශ්‍ය වන්නේ රජයේ හා අදාළ දෙපාර්තමේන්තුවේ සෘජු නියාමනය හා මගපෙන්වීමයි.
 
 කාබනික පොහොර භාවිතයට අපේ කෘෂිකර්මාන්තය නැඹුරු කරවීම මෙන්ම පාංශු ජීවින්ගේ හා පාරිසරික හිතකර කෘමීන්ගේ ව්‍යාප්තියද ඉතාමත්ම වැදගත් සාධකයකි. දීර්ඝකාලීනව රසායනික තෙල් පොහොර භාවිතය නිසාවෙන් හායනයට පත් වූ ගැඩවිල්ලන් වැනි පාංශු ජීවීන් මෙන්ම වගාබිම්වල අස්වනු වර්ධනය කෙරෙහි විශේෂයෙන්ම පරාගන ක‍්‍රියාවලිය කෙරෙහි සෘජුව බලපෑම් ඇති කරන ලද්දා වූ මීමැස්සන්, සමනලයන්, බත්කූරන් ඇතුළු හිතකර ජීව කෘමි සන්තතිය යළි යළිදු බිහිකරලීම හා ව්‍යාප්ත කිරීමේ ජෛව පද්ධතිය යළි ස්ථාපනය කරලීම අතිශයින්ම වැදගත්ය. මේ සම්බන්ධයෙන් රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ මී මැසි ගොවිපළවල් තව තවත් ප‍්‍රවර්ධනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතුවේ.
 
 මේ ආකාරයට විධිමත් ක‍්‍රමෝපායික සැලසුම් ක‍්‍රමවේදයක් අනුගමනය නොකරන්නේ නම් රසායනික තෙල් පොහොර වලින් මිදීමේ රටත් මුළුමහත් ජාතියත් වසවිසෙන් මුදාගැනීමේ ජාතික අභිලාෂය ඉටු කරගත නොහැකි වනවා පමණක් නොවී අපේ කෘෂි නිෂ්පාදන ආර්ථිකය මුළුමනින්ම බිඳවැටී අප තව තවත් මුහුදට දත නියවීම මෙන්ම අබ ඇටේ ඉඳන් හාල් ඇටේ දක්වාම පිටරටින් ගෙන්වා තව තවත් ණය බරින් මිරිකෙන රටක් මෙන්ම ලොව බොහෝ රටවල් මානසික මෙන්ම භෞතික වහලූන් වීමේ ජාතික ඛේදවාචකයක අනාගත උරුමකරුවන් මෙන්ම කරුමක්කාරයන් වීමේ අභාග්‍යසම්පන්න ඉරණම අත්වනු ඒකාන්තය.!

advertistmentadvertistment
advertistmentadvertistment