රසායනික පොහොර ගැන කතාකරන මිනිස්සු වකුගඩු ගැන කතාකරන්න බයද?

393

කාබනික ගැසෙට්ටුවේ ඇත්ත ගැන

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය කියයි

රසායනික පොහොර සහ පලිබෝධ නාශක තහනම් කිරීමට ආණ්ඩුව විසින් ගත් තීරණය සඳහා ප‍්‍රධාන වශයෙන්ම බලපෑ සාධකය ලෙස සැලකිය හැක්කේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. වස විසවලින් තොර සුරක්‍ෂිත ආහාර ලබාගැනීම සියලූ දෙනාගේම අපේක්‍ෂාව වුවත්, මේ වන විට ආණ්ඩුව රසායනික පොහොර සහ පලිබෝධ නාශක තහනම් කිරීමට ගත් තීරණය පිළිබඳව විවිධ පාර්ශ්වයන්ගේ විරෝධය එල්ල වී ඇත. එම විරෝධය දක්වන සමහර පාර්ශ්වයන්ගේ විරෝධය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත ද එල්ල වී ඇති බැවින් ආණ්ඩුව ගෙන ඇති තීරණය සහ ඊට එරෙහිව මතු වී ඇති මතවාදයන් පිළිබඳව අප රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාගෙන් විමසීමට අදහස් කළෙමු. එහිදී විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පළ කළ අදහස් මෙසේය.

ප‍්‍රශ්නය – ආහාර සුරක්ෂිතතාවය යන කාරණය පිළිබඳව බොහෝ දෙනෙකුට නිසි අවබෝධයක් තිබෙන බවක් පේන්නෙ නැහැ. ඇත්තටම ආහාර සුරක්ෂිතතාවය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

පිළිතුර – මෙහිදී සුරක්ෂිත යන වචනය කරුණු දෙකක් සඳහා යොදාගනු ලබනවා. එකක් සුරක්ෂිත ආහාර පිළිබඳව හැ`දින්වීම සඳහා, අනික ආහාර සුරක්ෂිත තාවය පිළිබඳව හැඳින්වීම සඳහා සුරක්ෂිත ආහාර කියන්නේ පරිභෝජනයට හිතකර ආහාර එනම් සුව ආහාර කියන එක. ආහාර සුරක්ෂිතතාවය කියන්නේ පරිභෝජනයට හිතකර ආහාර, හිඟයකින් තොරව සියලූ දෙනාටම සැපයීම යන කාරණය.

මෙහිදී වෛද්‍යවරුන් විධියට අප සැලකිළිමත් වන්නේ සුරක්ෂිත ආහාර කියන කාරණය පිළිබඳව තමයි. අපි කියන්නේ හිඟයකින් තොරව සුව ආහාර සැපයිය යුතුය කියන එක තමයි. වස විස යෙදූ ආහාර සහ ජාන විකෘති කරන ලද ආහාර සුව ආහාර වන්නේ නැහැ. එම ආහාර අනුභව කිරීම නිසා ජනතාව තුළ පෝෂණ ඌණතාවය ලෙඩ රෝග ඇතිවීම පමණක් නොවෙයි ඔවුන්ගේ ජිවිත කාලය පවා තීරණය කරන සාධකයක් බවට එය පත්වනවා.

ප‍්‍රශ්නය – ආණ්ඩුව මේ වන විට සුරක්ෂිත ආහාර ජනතාවට ලබාදීම සඳහා රසායනික ද්‍රව්‍ය වලින් තොර කෘෂිකර්මාන්තයක් වෙත යොමු වීම සඳහා අවශ්‍ය පියවරගෙන තිබෙනවා. නමුත් ඒ සඳහා මේ වන විට ගොවිජනතාවගේ වගේම සමහර දේශපාලන පක්ෂවල විරෝධයත් එල්ල වී තිබෙනවා. ආණ්ඩුව ඒ සඳහා පෙළඹවූ බවත් ඒ සඳහා අවශ්‍ය ගැසට් පත‍්‍රය සකස් කිරීම සඳහා ද දායකවූ බවටත් ඔබ ඇතුඵ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සමහරුන් චෝදනා එල්ල කරනවා නේද?

පිළිතුර – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලෙස අපි දශකයකට වැඩි කාලයක් තේමා හතරක් යටතේ වස විසෙන් තොර ආහාර පිළිබඳව කතා කරනවා. අපි කියන එක කාරණයක් තමයි වස විසෙන් තොර දේශීය පාරම්පරික ගොවිතැන වෙත යොමුවීම මගින් බෝනොවන රෝග වලින් අපට වැළකෙන්න පුළුවන් කියන එක. තවත් කාරණා දෙකක් තමයි දුම්කොල සහ මද්‍යසාර වලින් වැළකෙන්න ඕනියි කියන එක. අනෙක් කාරණය තමයි මෙවලම් යොදා ගෙන ව්‍යායාම කළ යුතුය කියන එක.

අපි එම කාරණා අවධාරණය කළේ බෝවන රෝග පාලනය කරගෙන සිටියත්, බෝනොවන රෝග වසංගත රෝග මෙන් පැතිරෙමින් පැවතීම නිසයි. ඒ සඳහා ආහාර මෙන්ම ව්‍යායාම යන කරණා බලපා ඇති බව පෙනී ගොස් ඇති නිසා බෝනොවන රෝගවලින් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා අපි වැඩ පිළිවෙළක් දියත් කර තිබෙනවා. 2015 ට පෙර මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටියදීත් අපි කිව්වා ඒ සඳහා හේතුවී ඇති වස විස ටික තහනම් කළ යුතු බව. ඒ අවස්ථාවේදී එතුමාත් එම කටයුත්ත ක‍්‍රමවත්ව කරන්න කියලා උපදෙස් දුන්නා. නමුත් කෘෂිකර්ම අමාත්‍යංශයේ සිටිය නිලධාරින් සහ විද්වතුන් පිරිසක් වස විසෙන් තොරව කෘෂිකර්මාන්තය කළ නොහැක යන මතවාදයේ සිටියා.

රසායනික පොහොර ගැන කතාකරන මිනිස්සු වකුගඩු ගැන කතාකරන්න බයද?

ඔවුන්ට ඒ සඳහා කිසිම වැඩ පිළිවෙළක් නැහැ. සමහරු කිව්වා ඒ සඳහා අවුරුදු 10 ක් යන බව. අපි මේ කාරණය කියලා මේ වන විට අවුරුදු 15 ක් පමණ වෙනවා. අපි කිව්ව වෙලාවේ කළා නම් දැන් කරලා ඉවරයිනේ. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී අපි කිව්වහම සහල් වල වස තිබෙන බව එම අවස්ථාවේදී අපට මඩ ගැසුවා අපි පාන් ප‍්‍රවර්ධනය කරන බව කියමින්. වස විස තිබෙන පාන් වලට පමණක් නොවෙයි කිරිපිටි වලටත් අපි විරුද්ධයි. අපි මේ කටයුතු කරන්නේ නිවැරදි ආහාර සංස්කෘතියන් ඇති කිරීම සඳහා. එම අවස්ථාවේදී එම කටයුත්ත ටික ටික කරන්න හැදුවත් අපි කිසිම ප‍්‍රගතියක් දුටුවේ නැහැ. ඉන් පසුව මෛතී‍්‍රපාල සිරිසේන මහතා බලයට පත්වු පසුත් අපි අපගේ යෝජනා ඉදිරිපත් කළා. එතුමා වස විස තහනම් කිරීම සඳහා ගැසට් එකක් පවා ගැසුවා. ඒ අවස්ථාවේදී පැවතියේ හවුල් ආණ්ඩුවක්. එම අවස්ථාවෙදී එතුමාට එල්ලවූ විරෝධය නිසා වස විස තහනම් කිරීම සඳහා ගහපු ගැසට් එක ඉවත් කර ගන්න සිද්ධ වූවා. එතුමා එම අවස්ථාවේ දී කළ ප‍්‍රකාශය මට තාමත් මතකයි. එතුමා එම අවස්ථාවේදී සඳහන් කළා වස විස ගෙන එන නැව පිටිපස්සෙන් වකුගඩු නැවකුත් ගේන්න කියලා. පොලොන්නරුව ප‍්‍රදේශය නියෝජනය කරන දේශපාලඥයෙක් ලෙස එතුමා දැකලා තිබෙනවා වකුගඩු රෝගයෙන් මිනිසුන් මිය යනවා. ඒ නිසා තමයි එතුමා ලෝකයේ කොහේවත් නැති ආකාරයේ වකුගඩු රෝගීන් වෙනුවෙන්ම රෝහලක් ඉදි කළේ. නමුත් එතුමාටත් එම අවස්ථාවේදී එල්ලවූ විරෝධය නිසා මෙම වැඩ පිළිවෙළ කි‍්‍රයාත්මක කිරීමට නොහැකිවූවා. පසුගිය ජනාධිපතිවරණ සමයේදී අපගේ මෙම වැඩ පිළිවෙළ එම මැතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයන්ට ඉදිරිපත් කළා. ගෝඨාභය රාජපක්ෂ මහතා වගේම තවත් අපේක්ෂයන් එම වැඩ පිළිවෙළ කි‍්‍රයාත්මක කිරීමට එකඟවූවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වූ ආකාරයට අපගේ සංකල්පය කි‍්‍රයාත්මක කිරීම පිළිබඳව අපි සතුටු වෙනවා. නමුත් ඔය ගැසට් එක ගහනකම් අපි දැනගෙන සිටියේ නැහැ. ගැසට් එක ගහන්න පෙර ජනාධිපතිතුමා මේ පිළිබඳව කැබිනට් එකට යෝජනා කරලා තිබුණා. එම කාරණය මුළු කැබිනට් එකම අනුමත කරලා තිබෙනවා. එම නිසා කැබිනට් මණ්ඩලයට සාමූහික වගකීමක් තිබෙනවා මේ වෙනුවෙන් පෙනී ඉන්න.

කැබිනට් අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව ස්වාභාවික මූලධර්ම මත යැපුණු අපගේ පාරම්පරික ගොවිතැන වන පාරිසරික ගොවිතැන නගාසිටුවීම සඳහා එකතුවෙලා වැඩ පිළිවෙළක් සකස් කළ යුතුව තිබුණා. මොකද දැන් ඉන්න අලූත් පරපුරේ ගොවිමහතුන් පාරිසරික ගොවිතැන ගැන දන්නේ නැහැ. නමුත් අපේ අප්පච්චිලාගේ පරම්පරාවේ පැරණි ගොවිමහතුන් ඒ ගැන දන්නවා. කෘෂිකර්ම අමාත්‍යංශය පසුගිය වසර 60 තිස්සේ තිරසාර ගොවිතැන පිළිබදව කතා කළාට කළේ ම රසායනික
ගොවිතැන සඳහා අනුග‍්‍රහය දැක්වීම තමයි. එම නිසා අපට සැකයක් තිබුණා මෙම නිලධාරි පැලැන්තියෙන් කොටසක් රසායනික පොහොර ආනයනකරුවන්ගෙන් අනුග‍්‍රහය ලබන බව. නමුත් මෙම වැඩ පිළිවෙළට කැමති කෘෂිකර්ම නිලධාරින් පිරිසකුත් ඉන්නවා. ඔවුන් අපත් සමග කතා කළා. පැරණි ගොවිතැන පිළිබඳව ඔවුන් වගේම නව පරපුරේ ගොවිමහතුනුත් දැනුවත් කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතුව තිබුණා. ඒ වගේම රසායනික පොහොර යෙදීම නිසා පසේ සිටිය ජීවීන් දැන් මැරිල පස මළ පසක් බවට පත් වෙලා. එම නිසා පස සහ ජීවීන් යළි පුබුදුවා ගැනීම සඳහාත් වැඩ පිළිවෙළක් කි‍්‍රයාත්මක කළ යුතුව තිබුණා. ඒ පිළිබඳව දැනුම තිබෙන පිරිස එකතුවෙලා වැඩ පිළිවෙලක් සකස් කළ යුතුව තිබුණා. ඒ සඳහා වෙන්න ඇති 46 දෙනෙකුගෙන් යුතු කාර්ය සාධක බළකායක් ජනාධිපතිතුමා පත් කළේ. මමත් එහි සමාජිකයෙක්. නමුත් එම කාර්ය සාධක බළකාය පිහිටුවීමේ සමාරම්භක උළෙල හැර එක රැස්වීමක් හෝ පාවැත්වුයේ නැහැ. ඒ වගේම එම කාර්ය සාධක බළකාය සඳහා ලේකම් කාර්යාලයක් පිහිටුවූයෙත් නැහැ. නමුත් මමත් කි‍්‍රස් ධර්මකිර්ති මහතාත්, මහාචාර්ය සිරිමල් පේ‍්‍රමකුමාර මහතාත්, මහාචාර්ය කුලසූරිය මහතාත්, මහාචාර්ය රොෂාන් පෙරේරා මහතාත්, ගොවිමහත්වරුන් පිරිසකුත් එක්වී මේ පිළිබඳව ඇති දැනුම එකතු කරලා මෙම තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේද යන කාරණය සාකච්ඡා කරලා වැඩ පිළිවෙළක් සකස් කළා. නමුත් එය ඉදිරිපත් කිරීමට තැනක් තිබුණේ නැහැ.

ප‍්‍රශ්නය – පාරිසරික ගොවිතැන මෙන්ම එහි අවශ්‍යතාවය පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිළි කරනවා නම්

පිළිතුර – පාරිසරික ගොවිතැන කියන්නේ කාබනික පොහොර යොදා ගොවිතැන් කිරීම නොවෙයි. පිටරටවල කාබනික පොහොර මෙරට යෙදීමෙන් සිද්ධවෙන්නේ එම රටවල ක්ෂුද්‍ර ජීවීන් අපගේ පසට එකතුවීම. එය මහා විනාශයකට හේතුවනවා. 1960 දශකය වෙනකම් ගමේ අභිමානයෙන්ම සිටිය පුද්ගලයා තමයි ගොවි මහතා. ඔහු ආහාර නිෂ්පාදනය කළේ ධාර්මිකව, ඒ සඳහා සත්තු මැරුවේ නැහැ. ඔහුගේ අභිමානය සඳහා කරුණු කිහිපයක් බලපෑවා. පළමු කාරණය තමයි ගොවිජනතාව තමන්ගේ බීජ නිෂ්පාදනය කළා. තවත් කාරණයක් තමයි ගොවි කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණය තමන්ම දැන සිටියා. ගොවිතැනට යෙදිය යුතු පොහොර පිළිබඳවත් ඔහුට දැනුමක් තිබුණා. ගොයම් කැපීමෙන් පසුව පිදුරු ටික වෙලේම තිබෙන්න හැරියා. එම නිසා පොළවෙ ි සිට ගොයම් ගහට උරා ගත් නයිට‍්‍රජන් පොස්පරස් මෙන්ම ශුද්‍ර පෝෂක සියල්ල යළිත් පසට එක්වූවා. ඒ වගේම ගොයම් කපා ගැනීමෙන් පසුව වෙළේ ගවයන් ගැට ගැසුවා. වෙළේ වතුර බැඳලා ඇල්බීසිය වගේ කොල ජාතිත් දාලා පල්වෙන්න ඇරලා තමයි කුඹුර සී සෑවේ. ඒ විදියට වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර සපයා ගත්තා. එදා අද වගේ කෘමිනාශක යොදලා ප‍්‍රාණඝාතයන් කළේ නැහැ. හෙ`ද් ගුරුත්වාකර්ෂණ බලය අනුවත් කෘමියාගේ ජීවන චක‍්‍රය අනුවත් කටයුතු කරන තාක්ෂණයක් එදා අපට තිබුණා. එම තාක්ෂණයට අනුව කෘමීන් කළමනාකරණය කළා. වල් පැළ පාලනය කළෙත් එවැනි තාක්ෂණයකට අනුව තමයි.

එහෙත් පසුගිය වසර 60 තුළ කි‍්‍රයාත්මක වූ හරිත විප්ලවය තුළ එම තාක්ෂණය අභාවයට ගොස් තිබෙනවා. එම නිසා ගොවි ජනතාව මේ වන විට පිටරටින් එන පොහොර සහ වල් නාශක මත යැපෙන්නන් බවට පත්වී තිබෙනවා. එම තත්ත්වය තුල අදවන විට ගොවි ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්වී තිබෙනවා. අද වන විට ගොවි ජනතාව ණය කාරයන් බවට පත්වී තිබෙන්නේ මෙම හේතු නිසයි. මෙම හේතුව නිසා අපගේ සම්පතක් වු ගොවි ජනතාවගේ අභිමනය අද වන විට නැතිවී ගොස් තිබෙනවා. 1960 ගණන් වලදී රසායනික පොහොර සහ වල් සහ කෘමිනාශක ආනයනය කළ අවස්ථාවේදී ගොවි ජනතාව ඊට විරුද්ධ වී තිබෙනවා. මොකද ඔවුන් ගොවිතැන් කළේ බොහොම ධාර්මිශ්ටව. ඔවුන් අස්වැන්න නෙලා ගැනීමෙන් පසුව පළමු කොටස පන්සලට පූජා කළා. අලූත් සහල් මංගල්‍යයක් පැවැත්වූවා. එදා කුඹුරුවල මාළු සිටියා කක්කුට්ටො සිටියා. එදා ළමයි කුඹුරු වල සෙල්ලම් කළා.

නමුත් අද කුඹුරකට බහින්න බැහැ. අද ඒ සියල්ල විනාශවෙලා. එපමණක් නොවෙයි 1990 ගණන් වල දි හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගයක් හඳුනා ගත්තා. සාමාන්‍යයෙන් වකුගඩු හානිවන්නේ දියවැඩියාව හෝ අධි රුධිර පීඩනය වැනි තත්ත්ව තිබෙන අයට. වකුගඩු රෝගය කියන්නේ වසංගත රෝගයක් නොවෙයි. නමුත් මෙම වකුගඩු රෝගය වසංගතයක් ලෙස පැතිරී ගියා. 2000 වර්ෂය වන විට ගොවිතැන් කරන ප‍්‍රදේශවල ගොවීන්ගෙන් 2% කට මෙම වකුගඩු රෝගය වැළදුණා. 2004 වර්ෂය වන විට එම සංඛ්‍යව 4% දක්වා වර්ධනය වූවා. 2008 වර්ෂය වන විට එම සංඛ්‍යාව 8% දක්වා වර්ධනය වූවා. 2012 වන විට එම සංඛ්‍යාව 16% දක්වා වර්ධනය වූවා. කොරෝනා රෝගය නිසා රෝගීන්ගෙන් මරණයට පත් වෙන්නේ 2% ත් 4% ත් අතර සංඛ්‍යාවක්. විද්්‍යුත් මාධ්‍යයෙන් දිනපතාම කොරෝනා රෝගීන් සහ මරණ සංඛ්‍යාව ප‍්‍රකාශයට පත් කරනවා. කොරෝනා රෝගයෙන් වගේ නොවෙයි වකුගඩු රෝගය වැළඳුනොත් අනිවාර්යෙන්ම මරණයට පත් වෙනවා. නමුත් මාධ්‍යයෙන් ඒ පිළිබඳව සඳහන් කරන්නේ නැහැ. නමුත් අපි ජනාධිපතිතුමාට 2012 වසරේදී කිව්වා තව වසර හතරක් ගතවන විට එම සංඛ්‍යාව 32% දක්වා වැඩිවන බව. එසේ වුවහොත් ගොවි ජනතාවගෙන් 1/3 ක් මරණයට පත්වන බවත් අපි එම අවස්ථාවේදී ජනාධිපතිතුමාට පෙන්නා දුන්නා. එසේ වූවා නම් අපට කොහොමත් කන්න නැති වෙනවා. එම නිසා තමයි අපි ජනාධිපතිතුමාට වහාම පියවරක් ගන්න කියලා කිව්වේ. එම නිසාම තමයි අපි ගොවිජනතාව පාරිසරික ගොවිතැන වෙත යළි යොමුවිය යුතු බව එදා සිටම කියන්නේ.

ප‍්‍රශ්නය – රසායනික පොහොර වලින් ඉවත්වීම අගය කරන සමහර පුද්ගලයන් පවා එම වැඩ පිළිවෙළ කි‍්‍රයාවට නැගූ ආකාරය පිළිබඳව විවිධ විවේචන ඉදිරිපත් කරනවා.

එම විවේචන ඔබ දකින්නේ කෙසේ ද ?

පිළිතුර – කෘෂිකර්ම ඇමතිතුමා මෙම වැඩ පිළිවෙල කි‍්‍රයාත්මක කිරීම සඳහා ලොකු උත්සහයක් දැරුවා. නමුත් ඒ සඳහා දැනට ඉන්න සෞඛ්‍ය ඇමැතිතුමා හෝ හිටපු සෞඛ්‍ය ඇමැතිතුමිය හෝ අප අනුභව කළ යුත්තේ සුව ආහාර යන්න සඳහන් කර මේ දක්වා නිවේදනයක්වත් නිකුත් කර නැහැ. සෞඛ්‍ය අමාත්‍යංශය කියනවා වකුගඩු රෝගය ගැන ප‍්‍රකාශයක් කරන්න සාධක නැහැ කියලා. එතකොට වකුගඩු රෝගීන් සඳහා රෝහලක් හැදුවේ පිටරට රෝගීන් බලාගැනීම සඳහා ද? එතකොට වකුගඩු රෝගීන් ඉන්න ප‍්‍රදේශවල ජනතාවට පිරිපහදු කළ ජලය හා ජල පිරිපහදු යන්ත‍්‍ර ලබාදුන්නේ මොන හේතුවක් හින්ද ද ? එයින්ම පැහැදිලි වන්නේ නැද්ද වතුර වලට වස විස එකතු වී ඇති බව. ආහාර පිළිබඳ අධිකාරිත්වය දරන්නේ කවුද? එම අධිකාරීත්වය දරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා. කෘෂිකර්ම අමාත්‍යංශයට ඔනෑ විදියකට ආහාර නිෂ්පාදනය කරන්න කියලා නිකන් ඉන්න පුළුවන්ද ? ඒ වගේම පාරිභෝගික අධිකාරිය මෙයට මැදිහත් නොවුණේ ඇයි ? එම නිසා තමයි අද වන විට මෙම වැඩ පිළිවෙල මෙම තත්වයට පත්වෙලා තිබෙන්නේ. අවාසනාවකට අද එයට දේශපාලන මුහුණුවරකුත් ඇවිල්ලා.

සාකච්ඡා කළේ
එරික් ගාමිණී ජිනපි‍්‍රය

advertistmentadvertistment
advertistmentadvertistment