රස තේ කහට තුළ ඇති සෝ දුක් ගැහැට දුටු කැමෙලියා

181

විරාජිනී තෙන්නකෝන්ගේ අලුත් ම නවකතාව කැමෙලියා පාඨක ඇසින්….

උණුසුමත් සීතලත් යාන්තමට ගෑවුණු හිරුරැස් පතිත වන මනරම් උදෑසනක තේ යායක් මැද්දේ ඇවිද්දෙමි. හාත්පස ඇස පෙනෙන මානයේ විහිද විසිර ඇති හරිත නිම්න යායකි. සම උසැති තේ පඳුරු දිගු දුරක් යන තෙක් උස් පහත් වෙමින් විහිදෙයි. තැනින් තැන පිහිටි උස ගස්වල හෙවනැලි තේ පාත්තිවල වර්ණ පදාස අඩු වැඩි කරයි. ඒ තේ අක්කර දහසක යායේ කුඩා මිනිස් බුබුලක් ව මම ඒ මේ අත සෙමෙන් ඇවිදීමි. තවමත් ඒ කතාන්දරයේ රූප, මනස තුළ දීප්තිමත් පදාස යටත් කරගනී. අකුරු එකිනෙක ඇමිණී වදන් සෑදී ඒ වදන් වැකි බවට හැඩ වී මගේ මනස උත්ප්‍රාසවත් කරයි. මතක් වී බොඳ වී යන සේයාවන් දහසක් යට අතීතයට පමණක් අයිති නාඳුනන මෙවලම් සමූහයක් අතරේ මා තනි කරවයි. යථාර්ථයත්, මායාවත් යා කෙරෙන වැල් පාලමක් මත දෙපසට ඇවිදින්නාක් මෙන් හැඟීමක් මවා දෙන්නේ “කැමෙලියා”වේ සමස්ත කතා සාරාංශයයි.

රස තේ කහට තුළ ඇති සෝ දුක් ගැහැට දුටු කැමෙලියා

ඉහත අප ලියා තබන්නට උත්සාහ කළේ විරාජිනී තෙන්නකෝන් නමැති සම්මානලාභී නවකතාකාරිනියගේ අලුත් ම නවකතාව වූ කැමෙලියා කියවද්දීත්, කියැවීමෙන් පසුවත් අප විඳි, දැනුත් විඳින දේ ය. එය ලියන්නට වචන සෙවීම කාලය අපතේ හැරීමකි. විඳින්නට නම් එය කියැවිය යුතුම ය. එහෙත් මම ඒ කාලය අපතේ හරිමි.

නවකතා විචාරකයෙකුත් නොවී, නිතර ලියන්නෙකුත් නොවී, පාඨක භූමිකාවේ පමණක් යම් දුරක් ගිය අප වැන්නකු ට පොතක් කියවා රස විඳිනු මිස ඒ පොතේ රචනාව තේ දළු කඩන්නා සේ කඩා, පවනේ වේලා, කිතුල් පටි දෙකක් මැද්දේ ලා අඹරා, යළිත් රුදු උණුසුමක කෙටි වේලාවක් රඳවා, වියළවන්නත්….. පසුව උණු වතුරේ ඔබ්බවා තේ කොළයේ ඇති කහට පමණක් වෙන්කර පානය කරන්නට දෙන්නා සේ විචාරයේ යෙදෙන්නට නොතේරේ.

ඒත් විරාජිනී පානා මේ විශ්මයජනක ප්‍රාතිහාර්යය නුදුටුවකු සේ ඉවත බලන්නට නොසිතේ. අකුරුවලින් මෙතරම් හැඩ සිතුවම් මවන්නට හැකි බව ඇය අපට නොකියා ලියයි.

කැමෙලියාවේ පහත උපුටා ගැනීම් ඊට දෙස් දෙනු ඇත.

(උපුටා ගැනීම -1) දුම්රිය බේබද්දෙකු සේ වැනි වැනී අංගනයට සම්ප්‍රාප්ත වූයෙන් සියල්ලෝ ම අවමඟුලක හැඩයෙන් මුහුණු දික්කර ශෝකප්‍රාප්ත වූ අතර එහි කූටප්‍රාප්තිය දක්වනු රිසි වූ ඇනීටා මළ කඳක් සේ සීතල ව…… (22 පිටුව)

සිනමා රූපරාමු මවනා අනගි යෙදුම් මුසු උපමා ඇයගේ ප්‍රබල අවියකි.

(උපුටා ගැනීම -2) වෙඩි ශබ්දය ඇසී දිව ආ තේ වත්තේ කංගානියෙකුගේ බෙල්ලෙන් අල්ලා ගත් ජෙෆ්රි “මට ඕන ඕකාව හම ගහල මට පේන තැනක එල්ල ගන්න” යැයි කියා සේරම් බංගලාව වෙත නික්ම…. (41 පිටුව)

කැමෙලියාව පුරා දිවෙන මනරම් නාටකීය අවස්ථාවන් අතර ප්‍රබල එකක් වූ මේ සිද්ධියේ දී මෙලෝ හසරක් නොදැන සිටි කංගානියා කළේ ජෙෆ්රි විසින් වෙඩි තබා මරා දමා සිටි අශ්වයා හම ගසා ගබඩා කාමර පිවිසුමේ එල්ලීමයි. නමුත් මෙහිදී කේන්තියෙන් සිටි ජෙෆ්රිට වුවමනා වී තිබුණේ ජෙෆ්රිට නිසි පිළිතුරක් නොදුන් පල්ලියේ සෙබෙස්තියන් පියනම හම ගසා පේන තැනක එල්ලාගනීමටයි.

(උපුටා ගැනීම -3) මෙතෙක් කලක් ජීවී අජීවී වස්තූන්ට රූපමය ප්‍රාණයක් ලබාදීමට සමත් වූ ශිල්පියකු පළමු වතාවට ප්‍රාණය නිරුද්ධ වූ බල්ලන් සිව් දෙනෙකු පින්තූරයකින් ජීවමාන කරදීමේ බැරෑරුම් කාර්යයට අත ගැසුවේ…. (පිටුව 103)

පැද්දී යන ඔන්චිල්ලාව සිටින දරුවකු විඳින තෘප්තිය වන් පෙනෙන ඉදිරිපස සුන්දරත්වයත්, පිටුපා සිටිමින් ඉදිරිපස ඈතට ඇදී යද්දී ලබන රම්‍ය මනෝභාවයක් එකවර ලබාදෙන මෙවන් විස්මය මිශ්‍ර චමත්කාරය ඇගේ කතාව පුරා ම අඩුවක් නැතිව නිවි හැනහිල්ලේ තැවරී ඇත.

(උපුටා ගැනීම -4) ගරා වැටී තිබෙන තනිකමේ උස් කුලුනු ද මහන්තත්වයේ දිගු ප්‍රාකාර ද බලාපොරොත්තුවේ දිය පිරවිය යුතු විසල් පොකුණු පතුල් ද අපට සිතාගත නොහැකි තරමක ගැඹුරකට විහිද යන බව…. (222 අවසාන පිටුව)

බුදුදහමේ කියැවෙන ලෝභ, දෝෂ හා මෝහ නිසා අත්වන අවසාන ඵලය මෙන් ම අනිත්‍ය ගුණයද ආගමේ දී තරම් ම ගැඹුරේ කරකවා නොදමා යථාරූපි ව කියාපාන්නට ඇගේ වියමන සමත් වෙයි.

විරාජිනී සිතේ මවාගත් කතා සැකිල්ල මනස් ගර්භාෂයේ දිගු කල් තබාගනිමින්, එය වැඩෙන්නට වුවමනා වූ ඔක්සිජන්, පංච පෝෂක හා ජලය සැපයෙන පෙකණිවැල වූ සිතුවිලි සමුදාය සාරවත් කරගෙන ඇත්තේ සුළු පටුවට නොවේ. ඒ පංච පෝෂක සොයා දිගු ගමන් ගිය බවක්, අත්වැඩ හා ගෙදර වැඩ රැසක් කළ බැව් ප්‍රත්‍යක්ෂ වේ.

සිලෝන ඉතිහාසයේ විවිධ පදාස සහමුලින් ම විමසා, අවුස්සා, දුහුවිලි පිස ලා සැඟ ව තිබූ ගැඹුරු ඉතිහාස කාරණා මතුකර ගැන්මට විපුල උත්සාහයක් විරාජිනිය විසින් ගත් බැව් මූන් මෙල්ට් යායේ ඇවිද ගිය අපට නොසිතා සිටිය නොහැක.

ලොව පවතිනා තාක් උස් වෙමින්, පහත් වෙමින් උණුසුම් වන කම්කරු-ධනපති අරගලය පමණක් උලුප්පා මතු නොකර ඒ හා දිවෙන සැබෑ කතාවේ මතුපිටට යටින් සිහින් ශක්තිමත් නූලක් සේ ඇදීයන සමාජ සත්තාව වෙනුවෙන් විරාජිනී කළ කැපකිරීම ඇනීටා හා කැමෙලියා දෙදෙනා ම එක් ව කළ කැපකිරීම ද ඉක්මවා යයි.

අප විරාජිනීට වඩාත් ම ගෞරවය පුදන්නේ මුදල්, අනෙක් පහසුකම්, භෞතික සම්පත් මානව සම්පත් ආදී සියල්ලෙන් ආඪ්‍ය වුවත් මිනිස් මනස සතු අපරිමාණ උත්තර බලය හා කඩා වැටුණු මනසක ඇති දුර්වලත්වයේ ක්ෂුද්‍රත්වය මේ යැයි කියන්නට දරා ඇති වෙහෙස හා පරිශ්‍රමය නිසාය.

පුළුල් තේ යායක ගස් අස්සට එබී බැලූවිට පෙනෙන තැන තැන නැගුනු වල් පැල සේ ඇගේ කැමෙලියාවේ ද තැන තැන හොඳ ඇසකට හසු නොවූ මුද්‍රණ දොස් ප්‍රමාණයක් ද නැත්තේ නොවේ. පිටු අංක 70,75,84,92,113,115,145, 147,157 ආදියේ යෙදුනු වචන දොස් ඉන් කීපයකි. සුළු සුළු දෝෂ සේ දැක නොසලකා හැරිය යුතු වුවත් ඊළඟ මුද්‍රණයේදී ඒ දොස් ද ඇනීටා ගේ කෝවේ ලා පුච්චා දමන්නට විරාජිනී කටයුතු කරනු ඇති බව හඟිමි. එසේ කළ යුත්තේ පරි සමාප්ත-සම්මත පාඨකයකු ගේ සුමට ගමනකට කරදර දෙන මහමඟ වළවල් වන බැවිනි.

ඇය නොදැනුවත්ව ම හෝ අතීතයේ පොත් අතර සිටි සමහර චරිත ද ඇගේ කතාවේ ඡායාස්ථ ව සිටී. (දිව කැපූ අප්පන්) එය පාඨකයෙකුට වධදෙන තදබල බාධාවක් නොවේ.

පොතට කලින් පිටකවරය ම පමණක් බලා තීරණ ගන්නා බවට මේ දිනවල මුවින් මුව කියැවෙතත්, පිටකවර නිර්මාණකරුට ස්තුතියේ සම්පූර්ණ කොටස ම දිය යුත්තේ කැමෙලියා වෙනුවෙන් කළ සාධාරණය වෙනුවෙනි. විරාජිනී තෙන්නකෝන් විසින් දිගු අතීතාවලියකින් අල්පයක් කියා පෑවා සේ පොතේ පිටු අතර අකුරින් කියන්නට උත්සාහ කළ සමස්තයෙන් එක් නිර්මල රතු තේ කහට බුබුලක් පිටකවරය මත පතිත කර ඇත.

කැමෙලියාව තුළ පාඨකයා වෙනුවෙන් විරාජිනී තබා ඇති සුවිශේෂි අවකාශය වන්නේ පාඨක පරිකල්පනයට දී ඇති වර්ගඵලයයි. ඒ වනාහී වර්ගඵලයෙන් ඔබ්බට ගොස් ත්‍රිමාන වපසරියක් දක්වා වර්ධන කර ගැනීමට ඇවැසි කුඩා කුඩා ඇවිස්සීම් ය, ස්පර්ශයන් ය, තට්ටු කිරීම ය, එයින් උත්තේජනයට ලක්වන පාඨකයා තම චිත්ත ශක්තියේ ප්‍රමාණයට සාපේක්ෂ ව ප්‍රතිචාර දක්වයි. නිපුන හා බුහුටි නවකතාකාරියකගේ පෞරුෂයෙන් පිරි පිටු අතර නිරතුරු ව පාඨක චිත්තාකර්ෂණය දිනන්නට විරාජිනී සමර්ථ වන්නේ ය.

සමහර තන්හි විරාජිනී සිද්ධි විස්තර කිරීමට අවශ්‍ය කාලයත් අකුරුත් සොයා නොගැනීම ඈ කළ අඩුපාඩුවකි. පාඨකයා අපේක්ෂා කරන වැඩි විස්තර පරිකල්පනයට යටත් කිරීම නිසා විරාජිනී තරම් උගත් නොවන පාඨකයකු අතරමං වන අවස්ථා ද මෙහි නැත්තේ නොවේ. යමක් කෙස්ගහට ම විස්තර කරන ඈ වරෙක රතු ඵල ගසේ නම නොකියා පාඨකයා නොමග යවයි. කඳුරට සීතල විසින් අතීත කම්කරු ජීවිතවලට කළ බලපෑම විරාජිනී වෙතින් විස්තර වන්නේ මඳ වශයෙනි. මේ සියල්ල අතර මානව සබඳතාවල විවිධත්වයත්, මිනිස් චිත්ත සන්තානයේ ගූඪ බවත්, දැනුම් සමාජයක අත්‍යන්ත වටිනාකමත්, සියල්ල පරයා නැගෙන දේශපාලනික යටිතලයත් එක් මිටකට ගෙන පිටු දෙසීය ගණනක් පුරා තැවරීම වෙනුවෙන් විරාජිනී තෙන්නකෝන් කතුවරියට ශීර්ෂ ප්‍රණාම කරමි.

advertistmentadvertistment
advertistmentadvertistment