අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් මනෝදී හේවාවසම් මහත්මියගේ විනිසුරු නිල මැදිරිය තුළ ඊයේ (4දා) පස්වරුවේ ගිනිඅවියක් පත්තුවී ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවකට අදාළව, නඩු භාණ්ඩයක් ලෙස නම්කර තිබූ ගිනි අවියක්, රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට මහෙස්ත්රාත්වරියගේ අත්සන යෙදීමෙන් අනතුරුව මුද්‍රා තබන අවස්ථාවේදී එලෙස එම ගිනි අවිය ක්‍රියාත්මක වී ඇතැයි පොලිසිය කියයි.
අධිකරණ සේවිකාවන් දෙදෙනකු විසින් අදාළ මුද්‍රා තැබීම සිදු කරන අවස්ථාවේ ගිනි අවිය මෙලෙස පත්තුවී ඇති බව සඳහන් කරන අනුරාධපුර මූලස්ථාන පොලිසිය, ගිනි අවිය පත්තුවීමට සුළු මොහොතකට පෙර අතිරේක මහෙස්ත්‍රාත්වරිය සිය විනිසුරු නිල මැදිරියෙන් පිටව ගොස් ඇති බව ද සඳහන් කරයි. මෙම සිද්ධියෙන් කිසිවකුට තුවාල සිදුව නොමැති බව ද අනුරාධපුර පොලිසිය කියයි.
අධිකරණය හමුවේ පවතින නඩුවකට අදාළව නඩු භාණ්ඩයක් ලෙස නම්කරන කුමන හෝ වර්ගයේ ගිනි අවියක් දැඩි පරීක්ෂාවට ලක්කර එම ගිනි අවිය තුළ ජීව උණ්ඩ තිබේදැයි යන්න දැඩි ලෙස පරීක්ෂා කොට ඉන් අනතුරුව අධිකරණයට භාරදීම පොලිසියේ අත්‍යවශ්‍ය රාජකාරි කටයුත්තක් බව අනුරාධපුර අධිකරණ සංකීර්ණයේ උසස් අධිකරණ නිලධාරියෙක් මෙහිදී සඳහන් කළේය.
එවැනි පසුබිමක් තුළ මෙම ගිනි අවිය අදාළ පොලිසිය මගින් නඩු භාණ්ඩයක් ලෙස නම්කොට අධිකරණයට භාරදී ඇත්තේ, එම ගිනි අවිය අභ්‍යන්තරයේ ජීව උණ්ඩ හෝ වෙනත් පුපුරණ ද්‍රව්‍ය තිබියදී බවත්, එය බරපතළ ගැටලුවක් බවත් එම අධිකරණ ප්‍රකාශකයා තවදුරටත් කීය.
අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අදාළව මෙම ගිනි අවිය අධිකරණයට භාරදී තිබූ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහ ඊට සම්බන්ධ සෙසු නිලධාරීන් සම්බන්ධයෙන් නොපමාව ඊයේ පස්වරුවේම විශේෂ විමර්ශනයක් ඇරැඹූ බව අප කළ විමසීමකදී උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
සිද්ධිය වන අවස්ථාවේදී ගිනි අවියට මුද්‍රා තබමින් සිටි අධිකරණ සේවිකාවන් දෙදෙනා දැඩි කම්පනයකට පත්ව සිටි බව ද පොලිසිය සඳහන් කළේය.
උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති බී. ටී. සුගතපාල මහතාගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි (I) ප්‍රදීප් ධර්මදාස සහ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ආර්. එම්. ජයවීර යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් සිද්ධිය පිළිබඳව විමර්ශන සිදු කරයි.
විනිසුරු නිල මැදිරියේ ගිනි අවිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී අනුරාධපුර අධිකරණ සංකීර්ණයේ මහාධිකරණ විනිසුරුවරුන් සිව්දෙනකු, දිසා විනිසුරුවරයකු සහ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සිය අධිකරණ රාජකාරි කටයුතු කරමින් සිට ඇති බව ද පැවසේ.
පර්සි කුරුනේරු සහ මිහින්තලේ – රංග චතූ