රහස් ඇල්ල

257

ලෝකයේ බොහෝ රටවල් හා සසඳන විට ශ්‍රී ලංකාව සීමිත භූමි ප්‍රමාණයක් සහිත කුඩා දූපතකි. නමුත් එම සීමිත භූමි ප්‍රමාණය තුළ දක්නට ලැබෙන භූගෝලීය හා පාරිසරික විවිධත්වය අසීමිතය. මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ, උඩුදුම්බර, පාතදුම්බර, පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, ලග්ගල, පල්ලේගම හා විල්ගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහේ ද ව්‍යාප්තව ඇති කඳුවැටිය ලෙස, දුම්බර කඳුවැටිය හැඳින්විය හැකිය. දුම්බර කඳුවැටියේ පැහැදිලිව හඳුනාගත හැකි කඳු මුදුන් 35 ක් පමණ ඇති අතර ඒ කඳුවැටි 17 කින් පමණ සමන්විත වේ. මේ ප්‍රදේශය සංචාරයේදී තේවතු යායන් මෙන්ම වනාන්තරත් අවට දැකගත හැකි අතර කඳුවලින් ගලා හැලෙන මනස්කාන්ත දිය ඇලි දර්ශනද සුලබය. මේ ප්‍රදේශයේ ප්‍රධාන ජල ප්‍රවාහය වන්නේ, මහවැලි ගඟේ ශාඛාවක් වන හුළුගඟ ය.

මහනුවර සිට හෝ මාතලේ සිට ගමන් ආරම්භ කරන විට වත්තේගමට පැමිණ වත්තේගම සිට තේවතු අතරින් වූ මාර්ගයේ විත් පන්විල දෙසට කිලෝමීටර එකහමාරක් පමණ ගමන් කරන විට මාර්ගයේ වම් පසින් රවන් ඔය හරහා ඉදිවූ පාලම අසලින්, ගල් පර්වත අතරින් ගලා හැලෙන සොබාදහමේ අපූර්වතම නිර්මාණයක් වන රහස් ඇල්ල දැකගැනීමට හැකිය. මෙය රාස්ස ඇල්ල නමින්ද හඳුන්වන අතර මෙම දිය ඇල්ලේ උස මීටර් 15 ක් පමණ වේ. මේ සුන්දර කුඩා දියඇල්ල හුන්නස්ගිරිය කඳුවැටියෙන් නිර්මාණය වී රවන් ඔයෙන් මහවැලි ගඟට ගලා බසියි. පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දේවාලේගම්මැද්ද යන ගම්මානයට මෙම රහස් ඇල්ල දියඇල්ල අයත් වේ.

රහස් ඇල්ල පළමු ඇල්ල හා දෙවන ඇල්ල වශයෙන් කොටස් දෙකකින් යුක්තව ඇද හැලෙන අතර එහි මනස්කාන්ත දර්ශනය මහාමාර්ගයේ සිටම දැකගත හැකිය. ඒ අනුව පළමු ඇල්ල මහා මාර්ගයෙන් ඉහළ පිහිටා තිබෙන අතර දෙවන කොටස මහා මාර්ගයෙන් පහළට වන්නට පිහිටා ඇත. කෙසේ වුවද මෙහි දෙවන කොටසේ දියඇල්ලේ සුන්දරත්වයද මාර්ගයේ සිට නැරඹීම උචිතවේ. පහළට බැසීම අවදානම් සහගත වේ. එසේම මෙය අලංකාර දිය ඇල්ලක් වුවද, දිය ඇල්ල පාමුල ඉතාමත් ගැඹුරු තටාකයක් නිර්මාණය වී තිබේ. සංචාරකයන් මෙම දියඇල්ලේ නෑම නොකළ යුතු බවට ප්‍රදේශවාසීහු කියති. ඊට හේතුව මනරම් රහස් ඇල්ලේ අඳුරු මතකයන් ද සැඟවී ඇති බැවිනි. මෙම දියඇල්ලෙහි පුද්ගලයින් දිය නෑමට ගොස් දියේ ගිලි මිය ගොස් ඇති නිසාය. සාමාන්‍යයෙන් වසරකට පුද්ගලයින් තිදෙනකු හෝ දියේ ගිලී මරණයට පත් වන බව ප්‍රදේශවාසීහු පවසති. ඒ නිසා එහි සුන්දරත්වය පමණක් නැරඹීම සුදුසු වේ. ඊසාන දිග මෝසම් වර්ෂාව සමයන්හි දිය ඇල්ලේ ජල මට්ටම ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යන අතර එය දරුණු සැඩ පහරක් බවට ද පත්වේ.

රහස් ඇල්ල පිළිබඳව සඳහන් කරන විට එහි ඓතිහාසික පසුබිම් කතාවක් ද ජනප්‍රවාදයේ පවතී. ඒ අනුව මෙම දිය ඇල්ලේ සිට මැදමහනුවර ග්‍රාමය දක්වා රහස් උමගක් ඇති බව ජනප්‍රවාදයේ පවතී. එසේම ඉතිහාසගත කතාවේ මෙසේද සඳහන් වේ. ශ්‍රී ලංකාවේ අවසන් රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සතුරු ආක්‍රමණවලින් සැඟවී පලා යන අවස්ථාවේ සැඟවී සිටීමට මෙම දියඇල්ල ඇති ස්ථානයට පැමිණ තිබේ. වර්ෂාව නිසා දියඇල්ලේ දිය පහර ද ඔරොත්තු නොදෙන අන්දමට සැඩවී තිබී ඇත. ඒ නිසා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට උමගට ඇතුල් විය නොහැකි වී තිබේ. එම නිසා ඔහුට මැදමහනුවර කරා යෑමට සිදුවී ඇත්තේ ගොඩබිම් මාර්ගය ඔස්සේය. ඒ නිසා රජුට පලා යෑමට පමා වී ඇති අතර මේ හේතුව නිසා රජතුමා සතුරන්ගේ අත්අඩංගුවට පත් වී ඇත. මෙම දියඇල්ල රහස් උමග සඟවාගෙන ඇති නිසා මෙම දිය ඇල්ලට රහස් ඇල්ල යන නම ලැබී ඇති බව ජනප්‍රවාදයේ සඳහන් මතයයි. කෙසේ වුවද මෙසේ සඳහන් වන උමගේ පිහිටීම අදටත් රහසක් බව ගැමියන් ගේ මතය වී ඇත. දිය ඇල්ල අවට ස්වාභාවික පරිසරයේ ඇති පාරිසරික වටිනාකම සුවිශේෂී වේ. ඒ අනුව දුර්ලභ ගනයේ සත්වයින් මෙන්ම දුර්ලභ ගනයේ ශාක වර්ගයන්ද මෙම පරිසර පද්ධතිය තුළ ඇති බව පරිසරවේදින් සිය පර්යේෂණවලින් අනාවරණය කරගෙන ඇත.

එම්. තාරික්

advertistmentadvertistment
advertistmentadvertistment