ශ්‍රී ලංකාව තුළ විදේශීය ඔත්තු සේවා-රාජ්‍ය තාන්ත්‍රික ‘මෙහෙයුම්’ සහ ‘මැදිහත්වීම්’ සම්බන්ධයෙන් නිරන්තරයෙන් වාර්තා වේ. දේශපාලන පක්ෂ සහ ජාතික සංවිධාන මෙම විදේශීය මැදිහත්වීම් සම්බන්ධයෙන් නොයෙකුත් ප්‍රකාශ කර ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 2022 දී බලයෙන් පහ කිරීමට නොයෙකුත් දේශීය-විදේශීය පාර්ශ්ව ඒකාබද්ධ බලපෑම් සිදුකළ බවට කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේදී පසුගිය මාර්තු 21 වන දින කළ ප්‍රකාශය යටපත් කිරීමට තරම් මෙම අතපෙවීම් බලවත්ය.

ඒ හිටපු ජනාධිපතිවරයා කිසිදු රටක්/ රටවල් ඍජුව සඳහන් නොකරමින් ඔහුව ධුරයෙන් ඉවත් කිරීමට විදේශිය මැදිහත් වීම් වූ බවට චෝදනා කර තිබෙන පසුබිමේය.

දූෂිත දේශපාලනයට සම්පූර්ණයෙන්ම නතු වී සිටින ශ්‍රී ලංකාව විදේශීය මෙහෙයුම්වලට තෝතැන්නකි. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවේග, චීනය සහ ඉන්දියාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ආකාරය සම්බන්ධයෙන් කිසිදු රජයක් නිසි අවධානයක් යොමු නොකරන බව සක්සුදක් සේ පැහැදිලිය. පාර්ලිමේන්තුව, දේශපාලන පක්ෂ සහ සිවිල් ප්‍රජාව අඩු වැඩිවශයෙන් විදේශීය ග්‍රහණයට අසුවී ඇත.

ඒ පසුබිම තුළ ඔස්ට්‍රේලියානු රජය නරේන්ද්‍ර මෝඩි ගේ භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව සම්බන්ධයෙන් මෑතකදී කළ අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශය නැතහොත් හෙළිදරව්ව විමසා බලමු. මෙම අපහාසාත්මක ප්‍රකාශය ඉන්දියාවේ මහ මැතිවරණය පැවැත්වෙන අවස්ථාවේදී (අප්‍රේල් 19 සිට සති හයක කාලයක් තුළ) ලෝකයට ඉදිරිපත් කිරීම හරහා ඔස්ට්‍රේලියාව අවධාරණය කරන්නේ තම රජයේ බලවත් අප්‍රසාදයයි.

කොවිඩ් ව්‍යසනය සමයේ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ලෙස පත්වීම ලැබූ (2020-2023) ගෝපාල් බැග්ලේ ඔස්ට්‍රේලියාවේ ඉන්දියානු මහ කොමසාරිස් ලෙස පත්වීමත් සමගම ඉන්දියාව රාජ්‍ය තාන්ත්‍රික රහස් මෙහෙයුම්වල යෙදෙන රටක් ලෙස නම් කිරීම අතිශයින්ම සංවේදී තත්ත්වයකි. ශ්‍රී ලංකාවේ ද අවධානය යොමුවිය යුතු කරුණකි. මෙම ඉන්දීය මෙහෙයුම සම්බන්ධව මුලින්ම ඔස්ට්‍රේලියාව හෙළිදරව් කර ඇත්තේ 2020 දිය. නමුත් රට නම් කර නැත.

සුප්‍රසිද්ධ Australian Broadcasting Corporationzs (ABC/ඔස්ට්‍රේලියානු ගුවන් විදුලි සේවය) මාධ්‍යවේදී ඇන්ඩෘ ග්‍රීන් Australian Security Intelligence Organisation (ASIO /ඔස්ට්‍රේලියානු ඔත්තු රහස් ඔත්තු සේවය) හි අධ්‍යක්ෂක ජෙනරාල් මයික් බර්ගස් කළ ප්‍රකාශ පදනම් කරගෙන ඉන්දියාව සම්බන්ධයෙන් ඉතාමත් නරක චිත්‍රයක් ඇඳ ඇත.

එම චෝදනා මෙලෙස සඳහන් කළ හැකිය: (1) සංවේදී ආරක්ෂක ව්‍යාපෘති සහ වැදගත් ගුවන්තොටුපොළක ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට කටයුතු කිරීම (2) ඔස්ට්‍රේලියාවේ වෙළෙඳ සම්බන්ධතා පිළිබඳව රහස්‍ය තොරතුරු රැස් කිරීම (3) ඔස්ට්‍රේලියාවේ ජීවත්වන තෝරාගත් ඉන්දියානු ජාතිකයින් විමර්ශනයට ලක්කිරීම සහ (4) මහජන නියෝජිතයින් (විශ්‍රාමිකයින් ඇතුළුව) ඉන්දියානු ‘දැලට’ හසුකර ගැනීම.

ඉන්දියානු රහස් ඔත්තු මෙහෙයුම 2020 වසරේදී ව්‍යර්ථ කර දැමූවත් ඔස්ට්‍රේලියාව ඉන්දියාව නම් කිරීමෙන් වැළකී සිටියේය. නමුත් වසර තුනකට පසුව කැනඩාවේ ජීවත් වූ ෂික් ජාතිකයෙක්ම වූ හර්දිප් සින් නිජා 2023 ජුනි මාසයේදී මරා දැමීම සහ ඇමෙරිකාවේ සිටින තෝරාගත් ඉන්දියානුවන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනා පසුබිමේ ඔස්ට්‍රේලියාව ඉන්දියාව නම් කර ඇත. එම හෙළිදරව්ව කිරීමට පෙර ඔස්ට්‍රේලියානු රජය ඇමෙරිකාව සහ කැනඩාව සමග යම් එකඟතාවයකට පැමිණි ඇති බවට සැකයක් නොමැත.

ඉන්දියාව ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව සහ ජපානය සමග චීනයට එරෙහි ආරක්ෂක සංවිධානයක ( Quadrilateral Security Dialogue commonly known as the Quad) සාමාජිකත්වය දරන අවස්ථාවක එම කණ්ඩායමේ ම ඇමෙරිකාව සහ ඔස්ට්‍රේලියාව කර ඇති චෝදනා අතිශයින්ම බරපතලය. එම චෝදනා පහසුවෙන් නොසලකා හැරිය නොහැක. කැනඩාවට ද ඉන්දියාව සම්බන්ධයෙන් බොරු කීමට අවශ්‍යතාවයක් නොමැත.

ඔස්ට්‍රේලියානු රහස් ඔත්තු සේවය තවදුරටත් කරුණු දෙකක් සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර ඇත. එනම් (1) ඔස්ට්‍රේලියාවේ ස්ථානගත විදේශීය තානාපති කාර්යාලයක් සමග ඇති කර ගෙන ඇති සම්බන්ධතා සහ (2) ඔස්ට්‍රේලියානු පොලිසිය සමග ‘මිත්‍රත්වයක්‘ ගොඩනගා ගැනීම.

රහස් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම්: ලංකාවට ඔස්ට්‍රේලියාවෙන් අපූරු පාඩමක්

ඔස්ට්‍රේලියාවේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ගුවන් විදුලි සේවය සහ අනෙකුත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ඉන්දියාව ඒවා තහවුරු නොකළ ප්‍රකාශ ලෙස බැහැර කර ඇත. ඔස්ට්‍රේලියාව ද ඉන්දියාව සමග ඇති සමීප සම්බන්ධතාවය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ඉතාමත් ප්‍රවේසමෙන් කටයුතු කරනු ලබන බව පෙනේ. කෙසේ වෙතත්, ඉන්දියානු රහස් ඔත්තු සේවය බටහිර ඔත්තු සේවාවල දැඩි අවධානයට යොමු වී ඇති බව රහසක් නොවේ.

ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාවට බලපෑමක් එල්ල වන ආකාරයට කටයුතු කිරීම හේතුවෙන් ස්කොට් මොරිසන් අග්‍රාමාත්‍ය ධුරය දැරූ කාලයේදී ඉන්දීය නිලධාරීන් අවම වශයෙන් දෙදෙනකු එරටින් ඉවත් කළ බවට ඔස්ට්‍රේලියාව සනාථ කර ඇත. මීට පෙර කැනඩාව 2023 ජුනි මාසයේදී ෂික් ජාතිකයා මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා කර ඉහළ පෙළේ ඉන්දීය රහස් ඔත්තු නිලධාරියකු එරටින් පිටුවහල් කළේය. ඉන්දීය එම කැනඩා ක්‍රියාමාර්ගයට එරෙහිව තානාපති ක්‍රියාමාර්ග ගත් අතර දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික ගැටුමක් දක්වා වර්ධනය විය. එම ඉන්දියානු නිලධාරියා ඇමෙරිකාව තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ ඝාතනයකට ද සම්බන්ධ බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හෙළිදරව් කර ඇත.

කැනඩාව, ඇමෙරිකාව මෙන්ම ඔස්ට්‍රේලියාව ද රහස් මෙහෙයුම් සම්බන්ධයෙන් ඍජුව චෝදනා කරන්නේ Research and Analysis Wing (RAW /ප්‍රධාන ඉන්දීය රහස් ඔත්තු සේවය) ඔස්ට්‍රේලියාව හෙළිදරව් කළ මෙහෙයුම ක්‍රියාත්මක කළ ඉන්දියානු කණ්ඩායම විදේශීය මාධ්‍ය අපූරු ආකාරයකට හඳුන්වා දී ඇත. ‘Nest of spies’ නැතහොත් ‘ඔත්තුකරුවන්ගේ කැදැල්ල’ ඇත්ත වශයෙන්ම මෙහෙයුම ක්‍රියාත්මක කළ පුද්ගලයින් කණ්ඩායම සුදුසු ආකාරයට හඳුන්වා දීමකි.

මෙහිදී ලියුම්කරුට විශේෂයෙන්ම අවධාරණය කිරීමට අවශ්‍ය කරුණක් ඇත. ඔස්ට්‍රේලියාව අවධාරණය කර ඇත්තේ තමන් සම්ප්‍රදායික සතුරු රාජ්‍ය ලෙස සලකන (චීනය වැනි) රටවලට අමතරව මිත්‍ර රටවල් ද තමන්ට තර්ජනයක් ඇතිවන ආකාරයෙන් කටයුතු කරන බවයි. ඔස්ට්‍රේලියානු ගුවන් විදුලිය රජයේ ආරංචි මාර්ගවලට අනුව එලෙස කටයුතු කරන රටවල් ලෙස සිංගප්පූරුව, දකුණු කොරියාව, ඊශ්‍රායලය සහ ඉන්දියාව නම් කර ඇත.

පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු පක්ෂයකට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පැහැදිලි ස්ථාවරයක් නොමැත. යම් පක්ෂ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිරට ගැති අතර තවත් කොටසක් ඉන්දියාවේ සරණ පතයි. චීනය මත ‘යැපෙන’ කණ්ඩායමක් ද ඇත. එවැනි තත්ත්වයක් තුළ ජාතික ආරක්ෂාව අර්බුදකාරී තත්ත්වයකට පත් වීම වැළැක්වීමට නොහැකිය. මෙම තත්ත්වය පාර්ලිමේන්තුවෙන් පිටත දේශපාලනයේ නියැළෙන (මාධ්‍යයද ඇතුළුව) කණ්ඩායම්වලට ද අඩු වැඩි වශයෙන් අදාළය. ඉහළ පෙළේ ව්‍යාපාරික ප්‍රජාව ද මෙවැනි විදේශීය මෙහෙයුම්වල කොටස්කරුවන් විය හැකිය.

මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවේ යැයි කියමනක් ඇත. විදේශීය බලවේග ශ්‍රී ලංකාව තුළ කරන ආයෝජන සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කිරීම රජයේ වගකීමකි. පාර්ලිමේන්තුවේ ද වගකීමකි. නමුත් අප රටේ අවාසනාවකට බොහෝ දේශපාලන පක්ෂවලට ජාතික අවශ්‍යතා නොමැත. ප්‍රධාන වශයෙන් ඇත්තේ පුද්ගල අවශ්‍යතා බව ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇත.

උපායමාර්ගික වශයෙන් අතිශය වැදගත් ස්ථානයක පිහිටි හම්බන්තොට වරාය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1 කට 2017 දී චීනයට වසර 99 කට බදුදීම අවධාරණය කරන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ කටයුතු කළ හැකි වගකීම් විරහිත ආකාරයයි.

ඔස්ට්‍රේලියාව ඉන්දියාව සම්බන්ධයෙන් කර ඇති හෙළිදරව්ව ශ්‍රී ලංකාව පත්වී ඇති එසේත් නැත්නම් පත් කර ඇති තත්ත්වය අපූරුවට අවධාරණය කරයි. ඉන්දීය රහස් ඔත්තු සේවය ශ්‍රී ලංකාව තුළ කර ඇති මෙහෙයුම් රහසක් නොවේ. දශක ගණනාවක් තුළ ඉන්දියාව ගත් ක්‍රියාමාර්ගය තුළ ශ්‍රී ලංකාව නැත්තටම නැතිවිය. තමන්ගේම හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ රජීව් ගාන්ධි 1991 මැයි මරාගෙන මැරෙන ශ්‍රී ලාංකික ප්‍රහාරයකට ලක්වන්නේ ඉන්දියාව ක්‍රියාත්මක කළ රහස් මෙහෙයුමේ විපාකයක් ලෙසය. ඒ ඉන්දීය සෙබළුන් 1,500 ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව තුළ ද්‍රවිඩ ත්‍රස්තවාදී ප්‍රහාරවලින් මිය ගොස් ඇති පසුබිමකය. වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ධර්මලිංගම් සිද්ධාර්ථන් මෙම ලියුම්කරු සමග බොහෝ කලකට පෙර ප්‍රකාශ කළේ යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කළ විස්වානාත ධර්මලිංගම් වන තමන්ගේ පියා සහ අලාලසුන්දරම් නමැති මන්ත්‍රීවරයා ඉන්දීය ඔත්තු සේවයේ නියෝග මත ටෙලෝ සංවිධානය විසින් 1985 සැප්තැම්බර් මාසයේ පළමුවන සතියේ මරා දැමූ බවයි.

මෙය එක සිද්ධියක් පමණි. නමුත් අහඹු සිදුවීමක් නොවේ.

අස්ථාවරත්වය අවධාරණය කරන අවස්ථාවක්

දේශපාලනික-ආර්ථික-සමාජීය ලෙස අස්ථාවර රටක් පහසුවෙන් විදේශීය බලවේගවලට නතු වේ. මෙවර මැයි දිනය නැවත අවධාරණය කළේ වගකීම් විරහිත දේශපාලනය රට ගොදුරක් කර ගෙන ඇති ආකාරයයි. මෙපමණ කලක් රට පාලනය කළ කිසිදු පක්ෂයකට වර්තමාන අභියෝග ජයගත හැකි ආකාරයේ වැඩපිළිවෙළක් නොමැති බව පැහැදිලි විය.

පක්ෂයෙන් වෙන්වූ සමගි ජන බලවේග (සජබ) නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම නැවත එජාපයට කැඳවා ගැනීමට හැකියාවක් නොමැති අවස්ථාවක, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නායකත්වයෙන් ක්‍රියාත්මක වැඩ සටහනට එම පක්ෂයේ (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුණේ/ජාතික ජන බලවේගයේ (ජවිපෙ/ජජබ) සහයෝගය ඉල්ලා සිටීම හුදු දේශපාලනික ප්‍රකාශයක් පමණි. ජනතාවට නව බලාපොරොත්තුවක් ඇති කිරීමට දෙයක් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ නැත. ඒ ප්‍රකාශය මාලිගාවත්තේ ය.

සජබට ද අලුතෙන් කීමට දෙයක් නැත. ජනාධිපතිවරණය තමන් ජයග්‍රහණය කළ පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග දැනට ක්‍රියාත්මක ගිවිසුම වෙනස් කිරීමට කටයුතු කරන බව සජබ නායක සජිත් ප්‍රේමදාස කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද ජනතාවට බලාපොරොත්තු තබා ගත නොහැක. ඒ චැතම් වීදියේය.

ඊළඟ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා තීරණය කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටු පක්ෂය) බව එහි සභාපති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බොරැල්ලේ කැම්බල් පිටිය කළේ ද පිළිණු ප්‍රකාශයකි.

ගම්පහ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) මැයි රැලියේදී එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ සහ ආචාර්ය විජේදාස රාජපක්ෂ ස්ථිර විය. එය ශ්‍රීලනිපයේ ඔඩු දුවමින් තිබෙන අභ්‍යන්තර ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීමට ගත් ක්‍රියාමාර්ගයක් මිස රට වෙනුවෙන් ඉදිරිපත් කළ වැඩපිළිවෙළක් නොවේ.

ඉහත සඳහන් පක්ෂවලට අමතරව ජවිපෙ/ජජබ ඉදිරිපත් කළ යෝජනා සාපේක්ෂව ඉදිරියෙන් තිබූ අතර නමුත් දූෂණ, වංචා, අක්‍රමිකතා මැඬලීමෙන් පමණක් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කළ නොහැකි බව එම පක්ෂය තේරුම් ගත යුතුය. විශේෂයෙන්ම 2010 ජනාධිපතිවරණයේ සිට (එවකට විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා ජනාධිපති කරවීමට කළ අසාර්ථක උත්සාහය) එජාපය සමග 2019 දක්වාම දේශපාලනය කළ ජවිපෙ ඊට පෙර මහින්ද රාජපක්ෂ 2005 දී ජනාධිපති කිරීමට ප්‍රබල දායකත්වයක් ලබා දුන් බව නොරහසකි. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය සහ ජවිපෙ ‘පරිවාස’ ආණ්ඩුව මෙන්ම එම පක්ෂය ශ්‍රීලනිප ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කර ආසන 39 දින ගැනීම ද අමතක කළ නොහැක.

ජවිපෙ ඉදිරි පිම්මේ සාර්ථකත්වය තීරණය වන්නේ ප්‍රධාන පක්ෂ දෙකේ සමස්ත වැරදි ක්‍රියාකලාපයට මෙවර ජනතාව ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී දක්වන ප්‍රතිචාරය මත බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ 2022 අරගලය දේශපාලනය උඩු යටිකුරු කළ නිසාය. අරගලයත් සමග ජවිපෙ වර්ධනයට හේතුව ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් දෙකම දශක ගණනාවක් තිස්සේ අනුගමනය කළ අතිශය ප්‍රෝඩාකාරී සහ විනාශකාරී ප්‍රතිපත්ති බව එම පක්ෂ අදටත් පිළිගන්නේ නැත.

දේශපාලන එදිරිවාදිකම් පසෙකට දමා බංකොලොත් ශ්‍රී ලංකාව මුහුණ දෙන සමස්ත අභියෝග ගොන්න තේරුම් ගෙන කටයුතු කිරීමේ අවශ්‍යතාවය දැන්වත් දේශපාලන නායකත්වය තේරුම් ගත යුතුය. ඔස්ට්‍රේලියාව වැනි සංවර්ධිත රටක් තමන්ට තර්ජනයක් වන ලෙස යම් රටවල් කටයුතු කරන බවට ප්‍රකාශ කිරීමට තරම් භූ දේශපාලන තත්ත්වය නරක විය හැකි නම් ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝගය සම්බන්ධයෙන් අමුතුවෙන් කිව යුතු නැත.

ශ්‍රී ලංකාව පත්වී ඇති අන්ත අසරණභාවය ලෝක බලවතුන් තමන්ට රිසි සේ පාවිච්චි කරන බව තේරුම් ගැනීමට මහින්ද යාපා අබේවර්ධන මාර්තු 21 වැනි දින කළ ප්‍රකාශය ප්‍රමාණවත්ය. තමන් ව්‍යවස්ථාවට පිටින් වැඩ කටයුතු කිරීමට සූදානම් නොමැති බවට ප්‍රකාශ කළ විට දෙස් -විදෙස් බලවේග තමන්ට ද ජීවිත තර්ජනයක් එල්ල කළ බව කථානායකවරයකු මිට පෙර කියා නැත. කථානායකවරයාට බලපෑම් කිරීමට කිසිදු චකිතයක් නොමැති නම් විදේශීය හස්තය අනෙකුත් පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියාකරන ආකාරය වැඩිදුර පැහැදිලි කිරීමට අවශ්‍ය නැත.

වසරකට පමණ පෙර ලංකා විදුලිබල මණ්ඩලයේ එවකට සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩෝ පාර්ලිමේන්තු කෝප් කාරක සභාව ඉදිරියේ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය ඔබට මතක ඇති බව මෙම ලියුම්කරුගේ විශ්වාසයයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පුනරින් පුනර්ජනනීය විදුලි ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමාගමට දීමට තමන්ට බල කළ බවට එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන් සමග පැවසූ බව විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා හෙළිදරව් කළේය. ඊට එහා ඒ සිද්ධිය සම්බන්ධයෙන් කීමට අවශ්‍ය නැත.

ඍජු විදේශීය බලපෑම් සම්බන්ධයෙන් පසුගිය කාලයේ මාධ්‍ය හෙළිදරව් කර ඇත. එවකට විදුලිබල සහ බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල කෙරවලපිටිය බලාගාරය ඇමෙරිකානු සමාගමක් වෙත ලබා දීමට ඇමෙරිකානු තානාපතිවරිය (ජුලි චන්ග් නොවේ) කළ බලපෑම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

මෙම ලිපියේ ඉහළ සඳහන් කර ඇති පරිදි හම්බන්තොට වරාය අත්පත් කර ගැනීමට චීනය ක්‍රියාකළ ආකාරය නැවත නැවතත් අවධාරණය කරන්නේ දේශපාලන පක්ෂ, මහජන නියෝජිතයන් සහ නිලධාරීන් විදේශීය බලපෑම්වලට නතුවන ආකාරයයි. හම්බන්තොට ‘පාවාදීමට’ එරෙහි වූ එවකට වරාය අමාත්‍ය අර්ජුන රණතුංග (එජාප) එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ අතර එම ධුරයට ශ්‍රීලනිප ජාතික ලැයිස්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ පත් කිරීම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කළේය. ඒ සමගම හම්බන්තොට ගිවිසුම ක්‍රියාත්මක විය. චීනයට කොටස් 85% අයිති වූ අතර ශ්‍රී ලංකාවට 15% හිමිවිය. ඒ යහපාලන ‘හපන්කම’ කිසිදා ඒ ආකාරයට සිදු කළ යුතු නැති ගිවිසුමකි. එවකට අග්‍රාමාත්‍ය වූයේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහයි. අවසානයේ මහින්ද සමරසිංහ ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත් වූ අතර හම්බන්තොට වරාය ශ්‍රී ලංකාවට සදහටම අහිමි වූ බව අමුතුවෙන් කිව යුතු නැත.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් යම් ගැටලුවක් තිබෙන පුද්ගලයකුට හෝ දේශපාලන පක්ෂයකට 2019 ජනාධිපතිවරණයෙන් පසුව හම්බන්තොට වරාය ගිවිසුම සංශෝධනය කළ යුතු බවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉන්දියානු මාධ්‍යයට කළ ප්‍රකාශය සහ ඊට චීනය දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් විමසා බැලිය හැක.

මෙම ලිපිය අවසානයේ ඔබට කරුණු තුනක් මතක් කර දීමට කැමැත්තෙමි. (1) යහපාලන කථානායක කරු ජයසූරියගේ ඉල්ලීමක් මත මැති ඇමැතිවරු සහ නිලධාරීන් 200 ක් පමණ චීනයේ සංචාරය කිරීම (2) මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2015 දී පරාජය කිරීමට රට පෙළගැස්වූ මාදුළුවාවේ සෝභිත හිමියන් සිහිවීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇලපාතගම සම්පූර්ණයෙන්ම සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රුපියල් මිලියන 450 ආයෝජනය කිරීම. රුපියල් මිලියන 300 ක ආයෝජනයක් කර 2017 ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතියට මෑතකදී තවත් රුපියල් මිලියන 150 ලබා දීමට ඉන්දියාව කටයුතු කළේය සහ (3) යහපාලන සමයේදී පාර්ලිමේන්තුවට (මැති ඇමැතිවරුන්ට සහ නිලධාරීන්ට) පරිගණක 240 පමණ චීනයෙන් නොමිලේ ලබා ගැනීම. ඊට අමතරව ඇමෙරිකාව පාර්ලිමේන්තුව සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළුව අනෙකුත් ආයතන සම්බන්ධ කර ගනිමින් කර ඇති ‘ආයෝජන’ සම්බන්ධයෙන් ද නිසි අධ්‍යයනයක් නැත. එසේ කිරීමට ද කිසිදු අවශ්‍යතාවයක් හෝ උනන්දුවක් නැත.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment