රාගම තලගොල්ලේ ඛේදවාචකය: නිදා සිටි කතගේ ගෙල කපා ගිනි තියලා මරලා

118

අත්අඩංගුවට ගත් පිරිස අතරේ සැමියාත්

රාගම, තලගොල්ල ප්‍රදේශයේ නිවසක නිදා සිටි කාන්තාවකගේ ගෙල කපා අනතුරුව ගිනි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාගම මූලස්ථාන පොලිසිය පුළුල් පරීක්ෂණයක් අරඹා තිබේ.

පෙරේදා (05දා) රාත්‍රි සිදුව ඇති මෙම සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ රාගම, තලගොල්ල පදිංචිව සිටි අනෝමා ආබෲ නමැති 76 හැවිරිදි තිදරු මාතාවකි.

මෙම කාන්තාව සිය සැමියා සමග සිද්ධිය වූ නිවසේ පදිංචිව සිටි බවත් දරුවන් තිදෙනාගෙන් දෙදෙනකු විදෙස්ගතව සිටින බවත් අනෙක් දරුවා කඩවත පදිංචිව සිටින බවත් පොලිසිය කියයි.

ඇයගේ සැමියා කඩවත පදිංචිව සිටින දරුවාගේ ගොඩනැඟිලි ද්‍රව්‍ය උපකරණ අලෙවිසලක සේවය කරන බවත් හෙළිවිණැයි ද පොලිසිය පවසයි.

මෙම ඝාතනය සිදුවූ අවස්ථාවේ ඇගේ සැමියා නිවසේ සිට නැතැයි ද ඔහු රැකියාව සඳහා ගොස් නැවත නිවෙස බලා පැමිණ බැලීමේදී බිරිඳ ඝාතනයට ලක්ව සිටි බව දැක ඇතැයි පොලිසියට කියා ඇත.

ඇය නිවසේ කාමරයක ඝාතනයට ලක්ව සිටි බවත් නිවසේ රන් භාණ්ඩ හෝ කිසිදු වටිනා දේපළක් සොරාගෙන ගොස් නොතිබූ බවත් පොලිසිය පවසයි.

මෙම ඝාතනය කුමක් නිසා සිදුකළේද? යන්න ඊයේ (06දා) සවස් වනතුරුත් අනාවරණය වී නොතිබිණි.

කෙසේවෙතත් මෙම ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් කීපදෙනකුගෙන් මේ වනවිට ප්‍රකාශ ලබාගෙන ඇති බවත් එම පිරිස අතරේ ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා ද සිටින බවත් පොලිසිය පවසයි. සිද්ධියට අදාළ සැකකරුවන් සොයා පොලිසිය විමර්ශන සිදුකරයි.

රාගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාගේ

උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අබේරත්න මහතාගේ

මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල්වරුන් වන සඳුන්, හෙට්ටිආරච්චි, පෙරේරා, මහින්ද, ප්‍රියංකර යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment