රාජකාරි වෙලාවේ අනිසි ලෙස හැසිරුණු ජ’පුර ගිලන් රථ රියැදුරන් 3 කගේ වැඩ තහනම්

2234

රාජකාරිය කාලය අතරතුර නොමනා ක්‍රියා සිදුකළ බව කියන ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ගිලන් රථ රියැදුරන් තිදෙනකුගේ වැඩ තහනම් කළ බව එම රෝහල් අධ්‍යක්‍ෂ විශේෂඥ වෛi රත්නසිරි ඒ. හේවගේ මහතා ‘දිවයින’ට ඊයේ (2 දා) පැවසීය.

විද්‍යුත් මාධ්‍යයකින් හෙළි කළ අනාවරණයෙන් පසු තමා මොවුන්ගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බවද අධ්‍යක්‍ෂවරයා පවසයි. එම රෝහලේ ගිලන් රථ රියැදුරන් බීමතින් රාජකාරිය පැහැර හරින බවට එහි සේවකයන් විද්‍යුත් මාධ්‍යයකට දැනුම් දී තිබේ. ඒ අනුව එම මාධ්‍ය ආයතනය රෝහලට ගොස් කරුණු සොයා බලා ඇත.

නිල ඇඳුමින් සිටිය යුතු ගිලන් රථ රියැදුරන් සාමාන්‍ය ඇඳුමෙන් සැරසී කැරම් ක්‍රීඩා කරමින් සිටින ආකාරයත්, රාත්‍රි කාලයේදී බීමතින් කලහකාරී ලෙස රෝහල තුළ සැරිසරන ආකාරයත් එම විද්‍යුත් මාධ්‍ය මගින් නිරීක්‍ෂණය කර තිබේ.

මාධ්‍යයෙන් හෙළිවූ කරුණු අනුව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සහ රාජ්‍ය සේවය අපකීර්තියට පත්වන අයුරින් රියැදුරු කාමරය තුළ බීමතින් කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධව ආයතන සංග්‍රහයේ සහ ජයවර්ධනපුර රෝහල් මණ්ඩල පනතේ වගන්ති මත ඔවුන්ගේ වැඩ තහනම් කළ බව රෝහල් අධ්‍යක්‍ෂවරයාගේ අත්සනින් යුත් එම ලිපිවල සඳහන් කර තිබේ.

එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් යථා කාලයේදී විධිමත් චෝදනා පත්‍රයක් නිකුත් කරන බවත් එම කාලසීමාව තුළදී ඔවුන්ට කිසිදු වැටුපක් හෝ දීමනාවක් නොගෙවන බවත් එම ලිපිවල සඳහන් වී තිබේ.

එසේම ප්‍රතිකාර ගැනීමකට විනා වෙනත් කිසිදු හේතුවකට අධ්‍යක්‍ෂවරයාගේ අනුමැතියකින් තොරව රෝහල් භූමියට ඇතුළු වීමද ඔවුන්ට තහනම් කර තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment