ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉකුත් 30 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අය-වැය යෝජනාවලිය නිසැකයෙන්ම මුදල් ඇමැතිවරයා ලෙස රටේ ආර්ථිකය මෙහෙයවීමට ඔහු අපේක්‍ෂා කරන ප්‍රතිපත්තිමය පදනම ලෙස දැක්විය හැකිය. ඒ පිළිබඳ විශ්ලේෂණය කළ එම ක්‍ෂේත්‍රයෙහි ප්‍රාමාණිකයන්ගේ අදහස වූයේද එය පූර්ණ අයවැයක් නොව රටේ අනාගත ආර්ථික ක්‍රියාන්විතයෙහි අඩිතාලම නැතහොත් පදනම බවය. රට සමාජ, ආර්ථික හා දේශපාලන වශයෙන්ද බරපතළ නායයෑමකට ලක්වෙමින් තිබෙන මොහොතක එයින් රට මුදා ගැනීමේ අභිලාෂය එම අතුරු අයවැය යෝජනාවලියෙහි ගැබ්වන බවද සමහරු පැවසූහ. ඒ කුමක් වුවත් මේ යෝජනාවලිය හා පාර්ලිමේන්තුවේ බහුතර කණ්ඩායම වන පොහොට්ටුව අතර එකඟතාවක් ඇති විය හැකිද යන්න පිළිබඳවත් දේශපාලන හා සමාජ ක්‍ෂේත්‍රවල විවිධ සංවාද මතුවෙමින් ද ඇත. මෙහිලා අප අවධානය යොමු වන්නේද එය දේශපාලනිකව කියවා බැලීම කෙරෙහිය. සාමාන්‍යයෙන් සමාජ ආර්ථික මෙන්ම දේශපාලන ක්‍ෂේත්‍රවල භාවිත වන පාරිභාෂික වචන දත්ත ඇසුරෙන් කෙරෙන සැසඳීම් අපට නුහුරු වුවද කාටත් තේරෙන බසින් දේශපාලන මෙන්ම ආර්ථිකය ගැන කතා කිරීම අපටද හුරුවී තිබේ. කවර සමාජයක වුවද පුරවැසියකුට වුවමනා මූලික අවශ්‍යතා කීපයක් තිබේ. ඒ ආහාර, වස්ත්‍ර හෙවත් ඇඳුම් හා නිවාසය. මේවායින් යම් සහනයක් තිබෙන විට ඒ සමාජය වෙනත් විනෝදජනක හා බුද්ධිමය ක්‍රියාකාරකම් පිළිබඳවද උනන්දු වේ. සාහිත්‍යය හා කලාව ඒ වෙනුවෙන් තිබෙන අත්හල නොහැකි දේවල් අතර මුලින්ම සඳහන් කළ යුතුය.
දේශපාලනය යනු ඒ සමාජ අපේක්‍ෂාවන් ඉටු කරදීමට, තරමක් බරපතළ වචනයකින් කිවහොත් යථාර්ථයක් බවට පත් කරදීම සඳහා කැප වූ සද් ව්‍යාපාරයකි. වසර හැත්තෑ ගණනක් තිස්සේ මේ රට පාලනය කළ දේශපාලන පක්‍ෂ ඒ කාර්ය ඉටු කර දී තිබේද? ඒ දේශපාලනය සමග වෙන් කළ නොහැකි සමාජ, ආර්ථික අධ්‍යාපන හා සංස්කෘතික ක්‍ෂේත්‍රවල වර්ධනයක් ඇතිකරලීමට ඔවුන්ට හැකිවී තිබේද? ඒ ප්‍රශ්න අදත් අසනු ලබන තවමත් උත්තරයක් නැති ප්‍රශ්න වැන්න. එහි තේරුම නිදහසින් පසු මෙරට පාලනය කළ කිසිම ආණ්ඩුවකට රට සමාජ, ආර්ථික දේශපාලන හා සංස්කෘතික වසයෙන් සංවර්ධනය කළ නොහැකි වූ බවය. ඒ දේශපාලන දුගී භාවය රටත් ජනතාවත් විනාශ මුඛයට ඇද වැටීමේ ප්‍රමුඛ හේතුව වූ බවය. එහෙත් මෙහිදී අපට ඒ පුළුල් විවාදාත්මක මාතෘකාව විමසා බැලීමටද අවකාශ නැත. එනිසා ඒ සංකීර්ණ දේශපාලන ඉතිහාසයෙන් වර්තමානයට එළඹෙමු.
අද ජනාධිපති රනිල් ඒ අදූරදර්ශී දේශපාලන සමාජ ආර්ථික අර්බුදවලට විසඳුම් සොයමින් සිටියි. ඔහුගේ අතුරු අය වැය ඔහු නිවැරදිව පැවසූ ආකාරයටම එකතැන පල්වූ රටක ඉරණම වෙනස් කිරීමේ අපේක්‍ෂාවේ දළ ප්‍රකාශනයකි. අප එක තැනක පල් වී සිටියදී ලෝකය සමග බොහෝ රටවල් ඉදිරියට ගොස් ඇත. ඉන්දියාව ගොසින් තිබෙන දුර සිතීමටද නොහැකිය. ජපානය පමණක් නොව බංගලාදේශයද අප පසුකර ගෙන ගිය රටවල් අතර අපට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටියි. මේ හැම රටකින්ම ආධාර උපකාර ලබන ලෝකෙන් උතුම් රට බවට අද අපේ රට පත් කරන ලද්දේ ඒ දේශපාලනඥයන් විසිනි. මෑත ඉතිහාසය තුළ ජේ. ආර්. ජයවර්ධනට අප විසින් 5/6ක බලයක් ලබා දෙන ලද්දේ මේ රටේ ධර්මිෂ්ඨ සමාජයක් බිහි කිරීමටය. පසුව මහින්ද රාජපක්‍ෂට රට භාර කළේ ආසියාවේ ආශ්චර්ය ඇති කර අපව ඔසවා තැබීමටය. ඔහුගේ සොයුරු ගෝඨාභය ආවේ සෞභාග්‍යයේ දැක්ම සමගය. එහෙව් ගෝඨාභය අද රටින්ද පැන ගොස් තායිලන්තයේ කාමරයක හිරවී සිටියි.
රනිල්ට රට භාර වූයේ ඉනික්බිතිවය. ඔහු මුලින්ම කියා සිටියේ තමන් ‘නයිට් වොච්මන්’ බවය. ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලන ක්‍රීඩාවට වෙනස් වුවද එදා රනිල් ඒ උපහරණය තෝරා ගත්තේ තමන්ට එතරම් බරපතළ වගකීමක් නැති බව පෙන්වා දීමටය. (නයිට් වොච්මන් යනු ක්‍රිකට් තරගයකදී අන්තිම හරියේ හොඳ ක්‍රීඩකයන් ක්‍රීඩාගාරයේ සිටියදී පැමිණෙන ඉනිමේ ආරක්‍ෂකයෙකි. ඔහුගෙන් පිතිහරඹයක්ද අපේක්‍ෂා නොකෙරේ.) ගෝඨාභයගේ ඉල්ලීමට එලෙස පැමිණි රනිල් අද ජනාධිපතිවරයා ලෙස අලුත් හා අභියෝගාත්මක ඉනිමක් අරඹා ඇත. එහෙත් ඔහුගේ කණ්ඩායමේ එක් අයෙක් හැර සියල්ලෝම ප්‍රතිවාදී පිල නියෝජනය කරන්නෝය. ඔහු සමග හැමදාම සටන් කළ මහින්දගේ පිල මෙහෙයවීමට ඔහුට සිදු වූයේද ගෝඨාභය පිටියෙන් ඉවත් වූ නිසාය. අද රනිල්ගේ ජයග්‍රහණය රඳා පවතින්නේද ඒ ගෝඨාභයගේ කණ්ඩායමෙන් ලැබෙන සහයෝගයත් කැපවීමත් මතය. වෙනත් ආකාරයකින් කිවහොත් ජනාධිපති රනිල් පාර්ලිමේන්තුවේ සිටින අයගෙන්ද 134 දෙනකුගේ කැමැත්ත ලබාගත් රාජ්‍ය නායකයාය.
ජනාධිපති රනිල්ගේ අතුරු අය-වැය යෝජනාවලියද ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙන්ම බොහෝ දෙනෙකුගේ ප්‍රසාදයට පාත්‍ර වූවකි. එය මෙයට පෙර පොහොට්ටුවේ මුදල් ඇමැතිව සිටි බැසිල්ගේ ව්‍යාජ ආර්ථික දැක්ම ප්‍රතික්‍ෂේප කළ වඩාත් ප්‍රායෝගික යෝජනාවලින්ද යුතු වූවකි. ජනාධිපති රනිල් මෙහිලා අවධාරණය කරන එක් වැදගත් කරුණක් ඇත. එනම් මේ රට අද පත්ව තිබෙන විනාශයට ප්‍රමුඛ හේතුවක් වී ඇත්තේ අදූරදර්ශී හා මුරණ්ඩු තීරණ බවය. හිටපු ජනාධිපති ගෝඨාභයගේ පාලනය හැඳින්විය හැක්කේද හිතුමතයට ක්‍රියා කළ මුරණ්ඩු තීරණගත් කිසිවකුට (සමීපතමයන් හැර) සවන් නොදුන් අනම්‍ය අපරිණත එකක් ලෙසය. රසායනික පොහොර තහනම ඔහුගේ ඒ දේශපාලන හිස් බව මෙන්ම අධිපතිවාදී මානසිකත්වයද පිළිබිඹු කෙරෙන බව බොහෝ දෙනෙකුගේ විවේචනයකි. මේ දේශපාලන මුරණ්ඩුකම බොහෝ විට පක්‍ෂ නායකයන් තුළද තිබෙන්නකි. ගෝඨාභය පාලන සමයේදී සිදුකළ රුපියල් බිලියන 500කට වැඩි බදු ආදායම කපා හැරීම විනිමය අනුපාතය තීරණය කිරීම මෙන්ම ගැසට් නිවේදනද ඔහුගේ අදූර්දර්ශී ක්‍රියා ලෙස දැක්විය හැකිය.
රාජ්‍ය නායකයකු විසින් ගනු ලබන මෙබඳු තනි හෝ සහචරයන්ගේ සිතැඟි අනුව ගන්නා තීරණ නිසා අද කෝටි දෙකකට අධික ජනතාවට විඳවීමට සිදුවී තිබේ. මේ පිළිබඳව එදා සිටි නිවට ඇමැතියෙක් ප්‍රකාශ කළේ එම බදු කප්පාදුව නිසා වැඩි දෙනෙක් බදු ගෙවීමට පෙලඹෙන බවකි. ඒ වර්ගයේ අනුගාමිකයෝද දේශපාලන පක්‍ෂවල සිටිති. කලකට පෙර සිරිමාවෝ මැතිනියගේ පාලන සමයේදී මැයි පෙළපාලියකින් ඇසුණු එක් සටන් පාඨයක් වූයේ ‘සීනි නැතුව තේ බොන්නම් මැතිනි කියනවානම් පිදුරු උනත් අපි කන්නම්’ යන්නයි. එසේම මහින්ද යුගයේදී ඇතැම් උසස් රාජ්‍ය නිලධාරීන්ගේ ජංගම දුරකථනවල නාද රිද්මය වූයේ ආයුබෝවන් මහ රාජාණෙනි යනුයි. ඒ වර්ගයේ දේශපාලන නිවටයන් වහලුන් බවට පත්වූ පිරිස් සිටින රටක් මේ තරමින් ඉතිරිවී තිබීම පුදුමයක් නොවේද?
මෙම අතුරු අයවැය විවේචනය කළ විපක්‍ෂයේ හර්ෂ ද සිල්වා සඳහන් කළේත් පොහොට්ටුවාදීන් විසින් ජනාධිපති රනිල්ට දක්වනු ලබන දේශපාලන ප්‍රතිචාරය සැකයට තුඩු දෙන්නක් බවය. එදා බැසිල්ගේ අයවැයට දෑත ඉස්සූ පොහොට්ටු මන්ත්‍රීවරුන්ට එයට පටහැනිව රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්ති අනුමත කළ හැකිද යන ප්‍රශ්නය ඔහු නැගුවේය. ඒ දේශපාලනය ඔහු හැඳින්වූයේ ජනවහරේ එන සත්ව හැසිරීමක්ද උපමාවට ගනිමින්ය. අද රනිල් කර තිබෙන්නේ කපුටු කූඩුවක බිත්තර දමන කොවුලකු මෙන් සිය ප්‍රතිවාදී පොහොට්ටු කඳවුරේ තමන්ගේ ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති නමැති බිත්තර දැමීමක් බවය. පොහොට්ටුවේ කපුටා ඒ බිත්තර මෝරා වැඩී සමාජ ගත වීමට ඉඩ දෙනු ඇද්ද යන්න සාධාරණ සැකයකි. එහෙත් මෙරටේ තිබෙන දේශපාලනය අනුව එදා බැසිල්ට එසවුණු අත් අද රනිල්ට එසවීම සාමාන්‍ය දෙයකි. සැබැවින්ම මෙය උත්ප්‍රාසය දනවන දේශපාලන ප්‍රතිචාරයකි. අද පොහොට්ටුවේ ශක්තියද දුබලවෙමින් තිබේ. 40කට නොඅඩු පිරිසක් පොහොට්ටුව හැර ගොස් සිටිති.
මේ අතුරු අය – වැය විවාදය පවතින අතර පොහොට්ටුවේ සභාපති ජී. ඇල්. හා භාණ්ඩාගාරික ඩලස්, වියත්මගේ ප්‍රධානීන් සීප දෙනෙක් ඇතුළු 13ක් විපක්‍ෂයේ අසුන් ගැනීමද සුවිශේෂ සිදුවීමක් විය. මේ කණ්ඩායමේ බහුතරය විද්වත් බවින් හා වෘත්තීය භාවයෙන්ද සම්පූර්ණ අය බවද කිව යුතුය. පොහොට්ටුවේ එබඳු පිරිස් හිඟ බව පමණක් කාටත් පෙනී යනු ඇත. පොහොට්ටුව හා රාජපක්‍ෂවරුන් රට විනාශ කළ බවට හර්ෂ ද සිල්වා චෝදනාවක්ද කර තිබේ. එබඳු දූෂිත හා චූදිත අය බහුලව සිටින පක්‍ෂයකට දේශපාලන වසයෙන් වුවමනා වන්නේද තමන්ගේ පැවැත්ම පමණි. එනිසා අතුරු අයවැය මෙන්ම තමන්ගේ ගැලවුම්කාරයා බවට පත්ව සිටින රනිල්ද රැක ගැනීම ඔවුන්ට අවශ්‍ය වනු ඇත. එසේම පොහොට්ටුව අපේක්‍ෂා කරන ඇමැති, රාජ්‍ය ඇමැති ප්‍රතිලාභ ලබා ගත හැක්කේ මේ ජනාධිපති රනිල්ගෙන් බවද ඔව්හු කල්පනා කරති.
මෙම අතුරු අයවැයෙන් යෝජනා කර තිබෙන කිසිවකුට එරෙහිව නැගී සිටිය හැකි දේශපාලන විචක්ෂණ භාවයක්, ප්‍රබුද්ධ සාමජ දැක්මක අද පොහොට්ටුවේ සිටින කණ්ඩායමේ කී දෙනෙකුට තිබේද? ජී. ඇල්. ප්‍රමුඛ පිරිස පොහොට්ටුවෙන් යෑම ගණන් ගත යුතු දෙයක් නොවන බවද එහි සමහරු කියති. තවත් අදහසක් වූයේ ජනාධිපති රනිල්ද තමන්ට ඡන්දය දුන් 134 දෙනා කෙරෙහි විශ්වාසය තැබිය යුතු බවය. ඒ පොහොට්ටු දේශපාලනය හා මහපොළවේ පවතින දේශපාලනය අහසට පොළව මෙන් දුරස්ථ බවද ජී. එල්. පාර්ලිමේන්තුවේදීම පවසා තිබේ.
කෙසේ හෝ ජනාධිපති රනිල් සිය අතුරු අයවැයෙන් ප්‍රකාශයට පත් කර ඇත්තේ ඔහු විශ්වාස කරන ලිබරල් ආර්ථිකය විනා පොහොට්ටු නායකත්වය පිළිගත් ජාතිකත්ව ආර්ථිකය නොවේ. අද ජනාධිපතිට නිර්භයව රාජ්‍ය ව්‍යවසායෙහි දෝෂ, විනාශය වැළැක්වීම සඳහා සිය රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ඉදිරිපත් කළ හැකි වාතාවරණය සකස් වී තිබේ. පසුගියදා කෝප් හා කෝපා කමිටු ඉදිරියෙහි හෙළිවූ රාජ්‍ය ආයතනවල දූෂණ, අක්‍රමිකතා, දේශපාලන අත පෙවීම් එයට තවත් තල්ලුවක් ලබාදී ඇත. පෞද්ගලීකරණ නිතරම රාජ්‍ය අංශයට වඩා කාර්යක්‍ෂම බව අද ආර්ථික විශේෂඥයෝද පිළිගනිති. දේශපාලන පත්වීම්, නාස්තිය, දූෂණය, අයතා ගනුදෙනු, විගණනයක් නොමැතිවීම ආදී කරුණු ගණනාවක් රාජ්‍ය ආයතන බිඳ වැටීමට හේතු වී තිබේ. රාජ්‍ය ආයතනවල නාස්තිය හා දූෂණය හඳුනා ගැනීමට වෙනම ඒකකයක්ද අතුරු අයවැය යෝජනා කර තිබේ. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට මේ පසුබිම ප්‍රබල හේතුවකි. රාජ්‍ය ආයතන යනු දේශපාලන නින්දගම් බවට පත් විය යුතු නැත යන හඬ දැන් ජනමතයක් වී තිබේ. අවුරුදු හැට පිරුණු අය රාජ්‍ය සේවයෙන් ඉවත් වීමට යෝජනා කරන රටේ දේශපාලනඥයන් හැට පිරුණු අය මෙන්ම හැරමිටියෙන් යන අය වීමද සිනා උපදවයි.
ජනාධිපති රනිල් යෝජනා කරන ආර්ථික මොඩලය (Economic Model) අද ලෝකයේ බොහෝ ආර්ථික විද්වතුන්ගේද එකඟතාව පළවූවකි. ශ්‍රී ලංකාවට සුවිශේෂ වූ ආර්ථික මාදිලිය කුමක්දැයි අපට යෝජනා කළ නොහැක. එහෙත් මේ හිරවී සිටින ආර්ථික වළෙන් ගොඩ යා යුතු බව නම් අප පිළිගත යුතුය. අපේ දේශපාලනයේ තිබෙන හොරකම, බොරුව, නාස්තිය, දූෂණය, අල්ලස යන පංච දුෂ්ප්‍රතිපත්ති දුරලන ප්‍රබල ක්‍රියාමාර්ගද අද අවශ්‍ය වී තිබේ. ආර්ථික ඝාතකයන්, උපදේශකයන් දේශපාලන සට්ටඹියන් ඒ සියලු ආර්ථික ව්‍යසනයන් සිදු කළේත් දේශපාලනයේ ඉහළම නායකයන්ගේ සෙවණ යටදී බවද සිහිපත් කළ යුතුය. රාජපක්‍ෂ පාලන යුගවල අධිකරණයෙන් දඬුවම් ලද අය පවා නැවත ගෙන්වා බල ගැන්වූ ආකාරය අපට මතකය. මේ ජනාධිපති රනිල්ද මහ බැංකුව භාර කළ තම මිතුරා නිසා අදත් අවලාද අපවාද ලබයි.
කෙසේ හෝ වේවා ජනාධිපති රනිල් විසින් ඉදිරිපත් කරන ලද අතුරු අය වැය යෝජනාවලිය දෙස බොහෝ දෙනෙක් ධනාත්මකව බලද්දී එයට එරෙහි වූ දේශපාලන ප්‍රතිචාරද මතු විය හැකිය. මේ යෝජනාවලියෙහි දැක්වෙන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පොහොට්ටු ආර්ථික ප්‍රතිපත්ති සමග සෘජුවම ගැටෙයි. මෙන්න රාජ්‍ය සම්පත් විකුණනවෝ යැයි පොහොට්ටුවේ වෘත්තීය සමිතිද පාරට බැසිය හැකිය. එදා සිටම මහින්ද පෙනී සිටියේද දේශීය සම්පත් රැක ගත යුතුය යන සටන් පාඨය අතට ගෙනය. ජනාධිපති රනිල්ගේ අතුරු අය වැය කාක් කූඩුවක දැමු කොහා බිත්තරයක් බව විපක්‍ෂයේ හර්ෂ කියන්නේද මේ දේශපාලන පරස්පරතාව නිසාය. පොහොට්ටුවේ සභාපති ලෙසම විපක්‍ෂයේ වාඩි වූ ජී. ඇල්ට අනුව අද එහි තිබෙන්නේ විකෘති දේශපාලනයකි. ඔහු අවධාරණය කරන්නේ කෙටිකාලීන අන්තර්වාර පාලනයකින් පසු ආණ්ඩුව මහ මැතිවරණයකට යා යුතු බවත් ඊට පෙර නියමිත පළාත්පාලන මැතිවරණ පැවැත්විය යුතු බවත්ය.
මෙරටේ සිටි විශිෂ්ට ගණයේ දේශපාලනඥයකු මෙන්ම විද්වතකු වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා එදා මැතිනියගේ ආණ්ඩුවේ මුදල් ඇමැති ධුරය හොබවමින් කියා සිටියේද අයවැය යනු ප්‍රතිපත්ති හා ප්‍රායෝගික දේශපාලනයේ සුජාත ප්‍රතිඵලයක්ද විය යුතු බවය. දේශපාලනයේදී මෙන්ම ආර්ථිකයේදීත් හාස්කම් කළ නොහැකි අතර නිතිපතා වෙහෙසවී වැඩ කිරීම හැර වෙනත් දෙයක් තමා නොදන්නා බවද ආචාර්ය ඇන්. ඇම්. පවසා තිබේ. එහෙත් එදාට වඩා (1963, 1970) බෙහෙවින් දූෂිත දේශපාලනයක උතුම් අරමුණු මෙන්ම සුජාත භාවයක්ද නැත.
ජනධිපති රනිල් අද මුහුණ දෙන දේශපාලන විකෘතිය අසාමාන්‍ය එකකි. අද පොහොට්ටුවට වුවමනා රටට හෙණ වැදුණත් ඔවුන්ට ප්‍රතිලාභ ලබා ගැනීම පමණි. සර්ව පාක්‍ෂික කතාද දැන් නිෂ්ඵලය. ජනාධිපති රනිල්ට ඔවුන් විසින් එල්ල කරනු ලබන දේශපාලන පීඩනය දරා ගැනීමට නම් ඒ ඇමති දොල පිදේනි දිය යුතුම වේ. අතුරු අයවැයට ඔවුන්ගේ අනුමැතිය හිමි විය හැක්කේද කවර හෝ දේශපාලන කප්පමක් ලබා දීමෙන් බවද නිසැකය. එසේ නොවුවහොත් පොහොට්ටු කූඩුවේ දැමු කොහාගේ බිත්තරයෙන් එන කොහා පැටියාද අනතුරේය. ඒ මොනවා වුවත් පොහොට්ටුවේ බොහෝ කපුටන්ට කාක් කාක් කීමට කටට පණ ආවේත් මේ කොහා නිසා බවද මතක් කළ යුතුය.
ගාමිණී සුමනසේකර