රාජපක්‍ෂලා කිසිදිනක ආණ්ඩු ගන්න අපිට ආරාධනා කළේ නෑ

360

අපි අභියෝග හමුවේ පැනල යන මිනිස්සු නොවේ
අනුර කුමාර දිසානායක

“රනිල් වික්‍රමසිංහ කියනවා ආණ්ඩුව භාරගන්න අපට ආරාධනා කළ අවස්ථාවේ පැනලා ගියා කියලා. අපි ඔහුට කියන්නේ රනිල් වික්‍රමසිංහ ඔයා ජනාධිපති. රනිල්ගේ තරමට ඔය වාගේ ප්‍රකාශ කළාට කමක් නැහැ. හැබැයි, ජනාධිපති ධුරයේ තරමට ඔය වාගේ කතා කියන්න එපා” යැයි ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (19දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා මෙසේද කීය.

රාජපක්ෂලා කිසිම අවස්ථාවක ආණ්ඩු ගන්න අපට ආරාධනා කළේ නැහැ. අප ඒ ගැන පුදුම වෙන්නෙත් නැහැ. රාජපක්ෂලා මල් වට්ටියක තියලා අපට බලය පවරා දෙන්නේ නැහැ. දෙදහස් විසිදෙකේ මැයි දොළොස් වැනිදා ආණ්ඩුව භාරගන්න සූදානම් බවට ගෝඨාභය රාජපක්ෂට ලිඛිතව දැන්වූවා. අඩුම තරමින් එවැනි ලිපියක් ලැබුණු බවටවත් පිළිතුරක් එව්වේ නැහැ. ඊළඟට ජූලි විසිවැනිදා පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තෝරා ගැනීමේදී අපට ලැබුණේ ජාතික ජන බලවේගයේ ඡන්ද තුන පමණයි. ඒ වෙලාවේ අපිට ඡන්දය දුන්නේ නැහැනේ.

අප අභියෝග හමුවේ කවදාවත් පැනලා යන මිනිසුන් නොවෙයි. මේ සියලු කඩාවැටීම් හමුවේත්, අප සූදානමින් සිටින්නේ රට ගොඩනැඟීමේ අභියෝගය භාර ගන්නයි. ඒ නිසා අප නැවත අවධාරණය කරන්නේ ‘රනිල් වික්‍රමසිංහ, ඔයා රනිල් වික්‍රමසිංහගේ තරමට හැසිරුණාට කමක් නැහැ. නමුත්, ජනාධිපති ධුරයේ ඔය විදියට කටයුතු කරන්න එපා’ කියලයි.

අපට අවලාද එල්ල කරමින් ඉතිහාසයේ සමහර ඝාතන පිළිබඳව ප්‍රචාරක මෙහෙයුමක් දියත් කිරීමට සූදානම් වෙනවා. ඒ ප්‍රචාරක කටයුතු සූදානම් කරන අයම අපිට ඒ පණිවිඩේ දෙනවා. අඩුම වශයෙන් රනිල් වික්‍රමසිංහට ඔවුන්ගේ ඡන්දයවත් ගන්න බැහැ. රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස ඔවුන්ගේ වේදිකාවල මොනවා කිව්වත්, පළමු වතාවට මේ රටේ ජනතාවගේ ආණ්ඩුවක් ගොඩනැඟීමට ලැබී තිබෙන අවස්ථාව ජයග්‍රහණය කරා ගෙන යන්න හැම දෙනාගේම කැපවීම අපේක්ෂා කරනවා”

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment