රාජපක්‍ෂලා හොරකම් කර ඇතැයි තහවුරු කරන්න බැරි වුණු අනුර කුමාරලාගේ හොරු අල්ලන කතාවලට තවත් රැවටෙන්න එපා – සාගර කාරියවසම්

63

යහපාලන ආණ්ඩු සමයේ දී අනුර කුමාරට රාජපක්ෂලා හොරකම් කර ඇති බව තහවුරු කිරීමට නොහැකි වූ බැවින් තවදුරටත් හොරු ඇල්ලීම පිළිබඳව කරන ප්‍රකාශවලට නොරැවටී රටට වැඩ කළ පක්ෂයට ඡන්දය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (17දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා මෙසේ ද පැවසුවේය.

“ජනතාව නොමග යවලා මේ රටට වැඩකරන නායකයින් සම්බන්ධයෙන් වැරදි මත පතුරු වන දේශපාලනඥයින් නිසා තමයි අද මේ රටට මෙහෙම වෙලා තිබෙන්නේ. හොරකමක් සිදුවී ඇති බව කියන්න නම් යම් කිසි තැනක තිබෙන දෙයක් නැතිවෙලා තිබෙන්න ඕනෑ. නමුත් හොරකම් පිළිබඳව කතා කරන අය නැති වූ දෙයක් පිළිබඳව සඳහන් කරන්නේ නැහැ.

මේ රටේ ඉතිහාසයේ රජවරු මහා විශාල සංඛ්‍යාවක් සිටියා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් රජකම් කළා විතරයි රටට දෙයක් කළේ නැහැ. හැබැයි මේ රටට දේවල් කරපු රජවරු පිළිබඳව අදත් ගෞරවයෙන් කතා කරනවා. පරාක්‍රමබාහු, ධාතුසේන, දුටුගැමුණු වගේ රජවරු. ඒ වගේම 1948 මේ රටට නිදහස ලැබීමෙන් පසු මේ රට පාලනය කළ නායකයින් අතරින් රටේ අනාගත පරපුර වෙනුවෙන් දෙයක් හැදුව නම් හැදුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා. ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ යම්කිසි දෙයක් කළා. නමුත් මහා දැවැන්ත සංවර්ධනයක් මේ රට වෙනුවෙන් කළා නම් ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පමණයි. එතුමා මේ රටේ දැවැන්ත විදුලිබල යෝජනා ක්‍රම රැසක් හදලා මේ රටේ 60% ක් ජනතාවට විදුලිබලය දෙන්න කටයුතු කළා. ඒ වගේම වරාය, අධිවේගී මාර්ග, ගුවන්තොටුපොළවල් හැදුවේ එතුමා ගෙදර ගෙනියන්නවත්, දරුවන්ටවත් නොවේ. මේ රටේ ඔබේත්, මගෙත් දූ දරුවන්ට රටේ අනාගතය වෙනුවෙන්.

බි්‍රතාන්‍යයන් මේ රට අතහැර ගියාට පසු මේ රටේ අලුතින් පාරක්, දුම්රිය මාර්ගයක් හදන්න පුළුවන් වුණු නායකයෙක් හිටියා නම් ඒ මහින්ද රාජපක්ෂ මහතා විතරයි. මේ රටේ කිසිම රාජ්‍ය නායකයකුට, ඇමැතිවරයකුට කරන්න බැරිවෙච්ච කාර්යයක් එතුමා කළා. එය තමයි ශ්‍රී ලංකාවේ සිතියම වෙනස් කරන්න හැකිවීම. ශ්‍රී ලංකාවේ සිතියමට අලුතින් භූමියක් එකතු කරන්න පුළුවන් වුණු එකම නායකයා ලෙස ඉතිහාසගත වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතායි.

advertistmentadvertistment
advertistmentadvertistment