රාජපක්‍ෂ කඳවුර දණ ගැස්වූ මහජන විරෝධය!

572

ශ‍්‍රී ලංකාවේ සමාජ දේශපාලනය උඩුයටිකුරු කළ දිනයක් මෙන්ම, රාජපක්‍ෂ පාලනය දණ ගැස්වූ පොදු ජන අරගලයේ සමාරම්භය ලෙසද 2022 මාර්තු 31 වනදා ඉතිහාසයට එක් වනු වැළැක්විය නොහැක. ‘‘මිරිහාන විරෝධතාව’’ විසින් බල ගන්වන ලද ඒ පොදු ජනමතයට උඩින් පැනල යෑමට හෝ එය නොතකා හැරීමට හෝ රාජපක්‍ෂ පාලනයට ධෛර්යක්ද නොවීය. ගෝඨාභය ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවාසය පිහිටි මිරිහාන පැඟිරිවත්ත ප‍්‍රදේශයෙන් උද්ගතවූ ඒ මහජන උද්ඝෝෂණය නිසැකයෙන්ම මේ රටේ නගර ගම් දනව් වෙනසක් නොමැතිව පාලකයන්ට දැක්වූ ජනතා විරෝධයෙහි උච්චතම අවස්ථාවද විය. ඉන්ධන, විදුලිය, ගෑස් පමණක් නොව එදිනෙදා ජීවිතයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙහෙත් ඇතුළු බොහෝ දේවල් නොලැබීමෙන් කඩාවැටුණු ජන ජීවිත යළි ගොඩනගා ගැනීමට වහාම පියවර ගත යුතුය යන ජනතාවගේ ඉල්ලීම ඒ මහජන විරෝධතාවලට හේතු විය. ඇත්ත වසයෙන්ම මෙරටේ බහුතර ජනතාවක් පාලකයන්ට (ආණ්ඩුවට) එරෙහිව වීදි බැසීම අලුත් දේශපාලන ප‍්‍රවණතාවක් ලෙස හැඳින්වීමද නිවැරදිය. ඒ වූ කලී පීඩනයේ මෙන්ම අසරණ භාවයේ ගොදුරු බවට පත් ජනතාවගේ හෘදය සාක්ෂිය අවදි වීමකි. එහෙත් බලකාමයෙන් අහංකාරත්වයෙන් යුත් දේශපාලන බල අධිකාරයකට එබඳු ජනතා හැඟවීම් විරෝධතා නොවැදගත් වීමද අරුමයක් නොවේ. වරප‍්‍රසාදිත පන්තියට මෙන්ම ජනාධිපති, අගමැති හා මැති ඇමැතිවරුන් ආදී කිසිවෙකුට නොදැනෙන බරපතළ ඛේදවාචකයක ගොදුරු බවට පත්ව සිටින ජනතාවගේ ප‍්‍රතිචාර සංවේදීව මෙන්ම ප‍්‍රබුද්ධ ආකාරයෙන් විසඳීම පැණසර පාලනයක මූලික ලක්‍ෂණය වේ. එහෙත් වර්තමාන පාලකයන්ට ඒ ජනතා ප‍්‍රශ්නවලට විසඳුම් ලබා දිය නොහැකි විය. ජනතාව මහ පාරට බැස්සේ තම ප‍්‍රශ්න රැගෙන විනා වෙනත් දේශපාලන අරමුණකින්ද නොවේ. මෙම බොහෝ විරෝධතා දේශපාලන දායකයත්වයකින් හෝ සිවිල් සංවිධානවල මැදිහත්වීම් ආදියෙන්ද තොරව සිදු වූවකි. විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂවල මෙහෙයවීමෙන්ද විරෝධතා සිදුවිය. එහෙත් ජනතාව පාරට ආවේ දේශපාලන පක්‍ෂයක්, බලය ලබා ගැනීමක් සඳහා නොවේ. මේ නිසා මිරිහාන ජනතා විරෝධයද එබඳුම පීඩනයකට ලක්වූ මිරිහාන, ජුබිලිකණුව ආදී ප‍්‍රදේශවල සාමාන්‍ය ජනතාවගේ පෙළ ගැසීමකි.

මෙම මිරිහාන විරෝධතාව පිළිබඳව ආණ්ඩුව විසින් පෙන්වීමට වෑයම් කළ චිත‍්‍රය හා සැබෑ චිත‍්‍රය අතර ප‍්‍රතිවිරෝධතා කීපයක් විය. ආණ්ඩුවේ පාර්ශ්වයෙන් සඳහන් කළ ආකාරයේ අන්තවාදීන් මෙන්ම කැති, මුගුරු පොලු වැනි දේවලින් සන්නද්ධවූ මැරයෝ එහි සිටියෝද? යන්න මෙතෙක් තහවුරු වී නැත. ඇතැම් විට එබඳු පිරිසක් එයට එක්ව කිසියම් විනාශයක් කර තිබේද යන්න විමර්ශනයකින් හෙළි කර ගත යුත්තකි. එහෙත් ජනාධිපති මාධ්‍ය අංශය පසුදින කළ නිවේදනයේ එබඳු කරුණු තිබීම කුහුල දනවන්නකි. මේ ආණ්ඩුව පමණක් නොව මෙරටේ තිබුණු හැම ආණ්ඩුවක්ම තමන්ට එරෙහිව සිදු කරන ලද වර්ජන, විරෝධතා ආදිය දෙස පසන් සිතින් නොබැලු බව රහසක් නොවේ. එනිසා වර්ජකයන්ට, විරෝධතාකරුවන්ට ඒ ඒ යුගවල දැක්වූ ‘කාරුණික ප‍්‍රතිචාර’ අපට මතකය.

කෙසේ හෝ මිරිහාන විරෝධතාව තුළ වූ සාමය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී විවේචන අබිබවා ගිය ප‍්‍රචණ්ඩත්වයක් තිබුණි. හමුදාවේ හා පොලිසියේ වාහන ගිනිබත් වූ අතර වෙනත් දේපොළ විනාශයක්ද එහිදී සිදුවිය. විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කඳුළු ගෑස්, ජල ප‍්‍රහාර හා රබර් උණ්ඩ භාවිතයද සිදුවිය. ප‍්‍රචණ්ඩ ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පිරිසක්ද සිටිති. ඒ කුමක් වුවත් ඒ ප‍්‍රචණ්ඩත්වය කිසියම් දේශපාලන උපායක් ලෙස සිදු වූ බව විපක්‍ෂයේ චෝදනාවකි. ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට අනුව මීට පෙර කිසිදු අවස්ථාවක හමුදා වාහනයකට ගිනි තැබීමක් සිදුවී නැත. පොලිසියත්, හමුදාවේ විශාල ආරක්‍ෂක වළල්ලකුත් තිබියදී එබඳු ගිනිතැබීමක් ප‍්‍රශ්නකාරී බව ඔහු දක්වා තිබේ. ඒවා යථා කාලයේදී අනාවරණය වනු ඇත. මෙහි ඊට වඩා ගැඹුරු දේශපාලන අරුතක් තිබිණි. පාලකයන් තිගැස්මකට පත් කරන දේශපාලන සංඥාවක්ද එහි විය.

මිරිහාන විරෝධතාවයට කිසියම් මර්දනකාරී ප‍්‍රතිචාරයක් දක්වා නිහ`ඩ කිරීමට අවශ්‍ය හේතු සාධක කීපයක්ම විය. ප‍්‍රචණ්ඩත්වය හා දේපළ විනාශය වඩාත් ප‍්‍රබල හේතු දෙකකි. එසේම මිරිහාන විරෝධතාවට පසු එනම් අපේ‍්‍රල් 03 වන දිනට සැලසුම් කළ තවත් විරෝධතාවක් ගැනද ආණ්ඩුව දැන සිටියේය. ඒ ෆේස් බුක් මිතුරු සංවිධානය විසින් සැලසුම් කරන ලද්දකි. ආණ්ඩුව වහාම හදිසි නීතිය ප‍්‍රකාශයට පත්කර අපේ‍්‍රල් 03 වනදා රට පුරාම බලපවත්වන පරිදි ඇඳිරි නීතියද පැනවීය. එයින්ද නොනැවතී සමාජ මාධ්‍ය සියල්ලම තහනම් කළේය. මතු පිටින් බලන කෙනෙකුට ආණ්ඩුව ගත් පියවර ගැන විශේෂත්වයක් නොවූවාද විය හැකිය. එහෙත් ආණ්ඩුවේ එම තහංචි, වාරණ හා ඇඳිරිනීතිය සමාජ සංවාදයකට හේතු විය. දේශපාලන පක්‍ෂවලට අමතරව, සිවිල් සංවිධාන හා නීති ක්‍ෂේත‍්‍රයේ දැඩි විරෝධතාවක්ද නැගුණි. සමාජ මාධ්‍ය වාරණයට එරෙහිව ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය, මහජන උපයෝගිතා කොමිසම හා මානව හිමිකම් සංගමයද ප‍්‍රතිචාර දැක්වීය. මානව හිමිකම් සංගමය ප‍්‍රකාශ කළේ එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවය. අදාළ බලධාරීන්ට කොමිසම ඉදිරිපිට එම වාරණයට හේතු දක්වන ලෙස නියෝගයක්ද නිකුත් විය. ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන ආයතනයේ සභාපති ඕෂද සේනානායක සිය ධුරයෙන් ඉල්ලා අස්වීමද එම අමන තීරණය ගත් අයට දුන් අතුල් පහරක් වැන්න. යුරෝපා සංගමය හා ජර්මන් තානාපති හොටර් ෂුබට් ද ඒ වාරණය ගැන කනස්සල්ල පළ කර තිබුණි. හිටපු ඇමැති නාමල් රාජපක්‍ෂ ට්විටර් පණිවිඩයක සඳහන් කළේ තමන් එය අනුමත නොකරන බවය. මේ සියලු විරෝධතා මැද ආණ්ඩුව පියවරක් පසුපසට ගෙන ඒ වාරණය ඉවත් කළේය. රාජ්‍ය ආරක්‍ෂාවට බලපාන බව කී තහනම පැය කීපයක් ඇතුළත ඉවත් කර ගැනීමද ආණ්ඩුවේ පරාජයකි. දස දෙසින් නැගී එන ජනතා විරෝධයක් රාජ්‍ය නායකයාගේ නිවස අසලට එන තුරුත් ඒ ජන හද ගැස්ම හඳුනා ගැනීමට ආණ්ඩුවට අවංක වුවමනාවක් නොවූයේද? ඒ ජන බලය මර්දනය කිරීමේ අන්තයට ආණ්ඩුව තල්ලුවී ගියේ කාගේ උපදෙසකින්ද?

ගෝඨාභය ජනාධිපතිවරයාට පිරිපුන් දේශපාලනයක් නැතැයි සමහරු කියති. එහෙත් අර්බුදයකදී විවේක බුද්ධියෙන් එයට ප‍්‍රතිචාර දැක්වීමට තරම් දේශපාලන විඥානයක් ඔහුට නැතැයි කිව හැකිද? රටක හදිසි නීතිය හා ඇඳිරි නීතිය බලාත්මක කිරීම සරල සිද්ධියක් නොවන බව ජනාධිපතිවරයාට වටහාදීමට තරම් පරිණත දේශපාලන උපදේශකයෙක් ඔහුට නොසිටියේද? කුමක් වුවත් මිරිහාන විරෝධතාව පිළිබඳ දේශපාලන කියවීමක් වෙත ක‍්‍රමයෙන් ආණ්ඩුව යොමු වූ බව පෙනේ. ඒ විරෝධතාකරුවන් පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට නීති වෘත්තිකයන් ඉදිරිපත් වූ ආකාරය ආණ්ඩුවට තේරුම් ගිය බව නිසැකය. ජනාධිපති නීතිඥවරුන් ප‍්‍රමුඛ තවත් නීතිඥයන් හාරසියයකට වැඩි පිරිසක් එයට මැදිහත් වූ ආකාරයද ඒ මහජන උද්ඝෝෂණ අනුමත කිරීමකි. සමාජ මාධ්‍ය ක‍්‍රියාකාරකයකු මෙන්ම සරසවි සිසුවකුද වූ අනුරුද්ධ බංඩාර අත්අඩංගුවට ගත් ආකාරයද බොහෝ අයගේ විවේචනයට ලක් වූවකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධය මාධ්‍ය නිදහස වැනි කරුණු දෙස ළිංමැඩි මානසිකත්වයෙන් බලා තීරණ ගැනීම මොනතරම් මුග්ධ ක‍්‍රියාවක්ද? ඒ අත්අඩංගුවට ගැනීම, ඔහු රඳවා තැබීම පිළිබඳ නීතිඥයන් විසින් කරන ලද විශ්ලේෂණ එක රටක එක නීතියක් ගැන දොඩවන කාගේත් අවධානයට ලක් විය යුතුය. එසේම ආණ්ඩුවේ හදිසි නීතියට විපක්‍ෂවලින් පමණක් නොව මුළු රටේම ජනතාවගෙන් ලැබුණු ප‍්‍රතිචාර නීතියට කළ සරදමකට වඩා අවිචාර දේශපාලනයකට දැක්වූ සමච්චලයකි. පොලිසිය තුළ හෘදයසාක්ෂිය කාකි ඇඳුමෙන් නොවැසූ පිරිසක්ද සිටිතියි හෙළි විය.

කෙසේ වුවද අපේ‍්‍රල් 03 වනදා මධ්‍යම රාත‍්‍රියට ළංවනවිට ආණ්ඩුව සිය දරදඬු අනම්‍ය දේශපාලනය අත්හැර, ප‍්‍රබල පසු බැසීමකට ලක් වූ බව පෙනුණි. ඒ තමන් අබියස තිබෙන දේශපාලන චිත‍්‍රය දෙස යථාර්ථවාදීව බැලීම නිසාය. මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයාට සියලුම කැබිනට් ඇමැතිවරුන් විසින් සිය ධුරවලින් ඉල්ලා අස්වීමේ ලිපියක් දෙන ලද්දේ ඒ අනුවය. ඒ වනවිට ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද විමල් වීරවංශ ඇතුළු සිව් දෙනාගෙන් ලැබුණු අන්තර් පාලන ආණ්ඩුවකට කැමැත්තද පළ කර තිබිණි. අපේ‍්‍රල් 04 වන සඳුදා වන විට කැබිනට් මණ්ඩලය අස්වූ බව ජනමාධ්‍යවල වාර්තා විය. ඒ සමගම, ජාතික අර්බුදය විසඳීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්‍ෂවලට ජනාධිපතිවරයා ලිඛිත ආරාධනයක්ද කළේය. ආර්ථික හා ගෝලීය කාරණා කීපයක් හේතුවෙන් වත්මන් අර්බුදකාරී තත්ත්වය හටගෙන තිබෙන බවද ආසියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් අතර ප‍්‍රධාන පෙළේ රටක් ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහය තුළම විසඳුමක් සෙවීම සඳහා ඒ ආරාධනය භාරගන්නා ලෙසද ඉල්ලා තිබුණි. මේ ආරාධනයට විපක්‍ෂ නායකයාගෙන් මෙන්ම ජ.වි.පෙ. නායකයාගෙන්ද සාධනීය ප‍්‍රතිචාරයක් නොලැබුණි. මේ ආණ්ඩුව සමග එබඳු සහ සබඳතාවකට කිසිසේත් නොඑළඹෙන බව සජිත් මෙන්ම අනුර කුමාරද අවධාරණය කර සිටියහ. මේ සටහන ලියන අවස්ථාව වනවිටද එබඳු අන්තර් පාලනයක් ගැන කිසිදු බලාපොරොත්තුවක් ඇති කර ගත හැකි දේශපාලන වාතාවරණයක් දැක ගත නොහැකි විය.

මෙසේ ජනාධිපතිවරයා ප‍්‍රමුඛ රාජපක්‍ෂ දේශපාලන කඳවුරම දේශපාලන සටන් විරාමයකට සූදානම් වුවත් ආණ්ඩුවට එල්ල වූ මහජන විරෝධය තවත් උත්සන්න වෙමින් තිබිණි. අගමැතිවරයාගේ කාල්ටන් නිවස මෙන්ම චමල්ගේ දෙබරවැව නිවස අබියසත් විරෝධතාකරුවෝ රොක්වී සිටියහ. පොලිස් මුරකාවල් බිඳගෙන නිවාසවලට ඇතුළුවීමට ගත් ජනතා ප‍්‍රතිචාර නැවැත්වීමට කඳුළු ගෑස් ගැසීමට පවා සිදුවිය. ඒ හැර ආණ්ඩුවේ හිටපු ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් රැසකගේ නිවෙස් ඉදිරිපිටද මහජන විරෝධතා පැවැත්විණි. එසේම කොළඹ හා තවත් ස්ථානවලද විවිධ ජනකොටස් උද්ඝෝෂණ කළහ. එයින් තහවුරු වූයේ මහජන විරෝධය නොනිවී දැල්වෙන බවය. ජනතාවට මෙම පාලනය පෙරළා දැමීමට දැඩි වුවමනාවක් තිබෙන බවය.

මෙහිදී අවසාන වසයෙන් තවත් එක් දෙයක් කිව යුතුය. ජනාධිපතිවරයා අලුත් වෙනසකට පක්‍ෂවලට ආරාධනා කරමින්ම අලුතින් ඇමැතිවරුන් හතර දෙනෙකු පත් කළ ආකාරයයි. මුදල් ඇමැති ලෙස හිටපු අධිකරණ ඇමැති අලි සබි‍්‍ර පත්කිරීමද කුහුල දනවන්නකි. අනෙක් තිදෙනා වන දිනේෂ්, ජී. ඇල්. හා ජොන්ස්ටන්ද කලින් සිටි ඇමැති ධුරවලටම පත් කරනු ලැබ ඇත. එයට විශේෂ පැහැදිලි කිරීම්ද සිදුවිය. එහෙත් එයින් ජනතාව තුළ නැගෙන සිතිවිලි කෙබඳු විය හැකිද? මුළු කැබිනට්ටුවම අසාර්ථක බවට චෝදනා නැගෙන පසුබිමක මොවුන් යළි කැඳවා තිබේ. අඩුම තරමින් මේ අර්බුදයට මුහුණ දිය හැකි වෘත්තිකයන් කීප දෙනෙකුවත් තෝරා ගැනීමට ආණ්ඩුවට නොහැකිවීමෙන් පෙනී යන්නේ ජනාධිපතිවරයා කර ඇත්තේ පරණ පුරුදු කුට්ටම ඇනීමක් බවද? ඒ විවේචනය කීප පැත්තකින්ම නැගෙයි. සමහරුන් කියන්නේ ජනාධිපතිවරයා වටයක් කැරකී එහි මුලටම පැමිණ සිටින බවය. මොනවා වුවත් ඉදිරි දිනවල තවත් බොහෝ දේ සිදුවිය හැකි බවද ලියා තබමි.

රාජපක්‍ෂ කඳවුර දණ ගැස්වූ මහජන විරෝධය!

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment