රාජ්‍යයේ සුරක්ෂිතතාව හමුවේ ත්‍රිවිධ හමුදාවේ වගකීම

309

දැන් අටවන විධායක ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්ව ඇත. ඔහු දිවුරුම්දී පැය 24ක් ගතවන්නට මත්තෙන් දවස් 100 කට අධික කාලයක් මෙම භුමියේ  රැඳී සිටි අරගලකරුවන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි. මේ හමුදා මෙහෙයුම පිළිබඳව තානාපති කාර්යාල මෙන්ම ජාත්‍යන්තර සංවිධාන කලබලවී ඇති නමුත් මෙරට බහුතරය කලබල වී නොමැත. අරගලකරුවන්ට අවශ්‍ය ලෙස රටේ පාලනය ගෙනයා නොහැකි බව රජයේ ස්ථාවරයයි. ජනපති කාර්යාලය මුදාගැනීම අනිවාර්යයෙන් සිදුවිය යුත්තකි. ත්‍රිවිධ හමුදාව රටේ විධායකයේ අණ ක්‍රියාත්මක කිරීමට බැඳී සිටී. හමුදාව හැමවිටම රාජ්‍යයේ සුරක්ෂිතතාවය වෙනුවෙන් පෙනී සිටින බව පැහැදිලිය. එනිසා ගාලු මුවදොර රටේ නීතියේ පාලනයට  ගැනීම අත්‍යවශ්‍ය විය.

 ‘කළු ජූලිය’ යනු ඉතිහාසයේ එක් අඳුරුතම කාල පරිච්ඡේදයකි.

 පසුගිය 23 වැනිදාට කළු ජූලියට වසර 39ක් සපිරිණි. කළු ජූලිය ආරම්භ වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් 1983 ජුලි 23 වන දින උතුරේදී හමුදා රථ පෙළකට සැඟවී කරන ලද පහරදීම මුල් කරගෙනය. එදා පලාලි මාර්ගය ඔස්සේ  ගමන් කරමින් තිබූ ගුරුනගර් කඳවුරින් පිටවුණු හමුදා ජීප් රියක් සහ ට්‍රක් රථයකට එල්.ටී.ටී.ඊ.ය විසින් ප්‍රහාර එල්ල කරනු ලැබීය. මුලින්ම රථ පෙළේ ඉදිරියෙන් ගමන් කරන ලද ජීප් රිය ඉලක්ක කරගෙන බිම් බෝම්බයක් පුපුරවන ලද අතර එයින් අඩුම වශයෙන් සෙබළුන් දෙදෙනෙක් තුවාල ලබන්නට ඇතැයි විශ්වාස කෙරේ.

 ජීප් රියට පසුපසින් පැමිණි ට්‍රක් රථයේ සිටි සෙබළුන් ජීප් රිය තුළ සිටි පිරිසට ආධාර පිණිස එළියට පැමිණි විගස ඔවුන්ට ස්වයංක්‍රීය ගිනි අවි හා අත්බෝම්බ ප්‍රහාර එල්ල කළහ. මෙහිදී එක් නිලධාරියෙක් හා සෙසු නිල 12 ක් මරණයට පත් වූ අතර, තවත් දෙදෙනෙක් බරපතළ ලෙස තුවාල ලදහ. මුළු මරණ ගණන 13 ක් වූ අතර, එල්.ටී.ටී.ඊ. ප්‍රාදේශීය නායකයෙක් වූ කිට්ටු විසින් මෙම පහරදීම සංවිධානය කිරීම හා ක්‍රියාත්මක කිරීමේ වගකීම භාරගෙන තිබිණි. මේ ඉතිහාසය මතක් කළේ ජූලි මාසයේ නොයෙක් අඳුරු සිද්ධීන් රැසක් වාර්තාවන නිසාය. පසුගිය ජුලි 9 වැනිදා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ රටේ ආර්ථික අර්බුදය නිසාවෙන් පැවැත්වූ මහජන විරෝධතා මධ්‍යයේ රටින් පිටව ඉල්ලා අස්වීය. දැන් අටවන විධායක ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්ව ඇත. ඔහු දිවුරුම්දී පැය 24ක් ගතවන්නට මත්තෙන් දවස් 100 කට අධික කාලයක් මෙම භුමියේ රැඳී සිටි අරගලකරුවන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි. මේ හමුදා මෙහෙයුම පිළිබඳව තානාපති කාර්යාල මෙන්ම ජාත්‍යන්තර සංවිධාන කලබලවී ඇති නමුත් මෙරට බහුතරය කලබල වී නොමැත. අරගලකරුවන්ට අවශ්‍ය ලෙස රටේ පාලනය ගෙනයා නොහැකිය. ජනපති කාර්යාලය මුදාගැනීම අනිවාර්යයෙන් සිදුවිය යුත්තකි. ත්‍රිවිධ හමුදාව රටේ විධායකයේ අණ ක්‍රියාත්මක කිරීමට බැඳී සිටී. හමුදාව හැමවිටම රාජ්‍යයේ සුරක්ෂිතතාවය වෙනුවෙන් පෙනී සිටින බව පැහැදිලිය. එනිසා ගාලු මුවදොර රටේ නීතියේ පාලනයට ගැනීම අත්‍යවශ්‍ය විය. මෙය මීට මාස කිහිපයකට පෙර සිදු කළා නම් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ගෙදර යන්නට සිදුවන්නේ නැත. රටක නීතියේ ආධිපත්‍ය සුරැකෙන්නේ නැත්නම් එම දේශය අරාජිකත්වයට පත්වෙයි. හමුදාව සිදු කළේ අරාජිකත්වයෙන් මුදා ගැනීම පමණක් විය හැකිය. රනිල් වික්‍රමසිංහ විසින් ගෝල්ෆේස් පිටියට ඉහළින් ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා පියාසර කරවන විට සහ ජනාධිපති ලේකම් කාර්යාලය හමුදාව යොදා නැවත අත්පත්කර ගැනීමේදී සිදුවූ පහරදීමේදී ජනයාට පෙරසේ පාරට ඒමට ඉඩ ලැබුණේ නැත. ඒ සියල්ල දැන් හෙළිවී තිබේ. හැටනම ලක්ෂය විසින් පත්කරන ලද මහජන නියෝජිතයන්ද පාර්ලිමේන්තුවේ දී සිය කැමැත්ත පළ කළේ ඔවුන්ගේ මතවාදී සතුරාටය. ඒ අවම වශයෙන් ඉදිරියේදී පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පවා රැඳී ඇත්තේ රනිල් ජනපති මත බව ඔවුන් දන්නා නිසාය.

 ජුලි 22 අළුයම ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග ගැන දැඩි කනස්සල්ලෙන් පසුවන බව කොළඹ අමෙරිකානු තානාපති ජූලි චන්ග් අවධාරණය කර තිබිණි. බලධාරීන් විසින් සංයමයෙන් කටයුතු කරන ලෙසත් තුවාල ලැබූවන් සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසත් කොළඹ අමෙරිකානු තානාපතිවරිය සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබිණි. අරගලකරුවන් ඉවත් කිරීම ගැන ඇමෙරිකානු තානාපතිනිය මෙරට එක් පෞද්ගලික රූපවාහිනි සේවාවකට මෙලෙස සඳහන් කර තිබිණි. “ආරක්ෂක අංශ විසින් විරෝධතාකරුවන්ට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන අපි දැඩි අවධානය යොමු කරනවා. අපි විශ්වාස කරන්නේ නව ජනාධිපති සහ ඔහුගේ රජය පළමුවෙන්ම ශ්‍රී ලංකා ජනතාවගේ සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය දිනාගත යුතුයි. එය සිදුකළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් සහ රාජ්‍ය පාලනය හරහායි. නමුත් මේ සිදුවූ දේ එම විශ්වාසය දිනා ගැනීමේ ක්‍රමය නොවේ. අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා සියලු දෙනාගේ අයිතීන්ට ගරුකර රැඳවුම් භාරයේ සිටින සියලු පුද්ගලයන් වහා නිදහස් කරන ලෙස. මෙය ඇමෙරිකා එක්සත් ජනපදය දැඩි ලෙස අවධානය යොමුකරන කටයුත්තක්. මෙය ඇමෙරිකාවට හා ජාත්‍යන්තර ප්‍රජාවට පමණක් නොවේ මේ වෙලාවේ අභියෝගවලට ලක්ව සිටින ශ්‍රී ලාංකික ජනතාවටත් ස්ථාවර භාවයක් පිළිබඳව බලාපොරොත්තුවක් ඇති වෙලාවක්.’ කෙසේ නමුත් ජනපති වික්‍රමසිංහ මහතා ඇමෙරිකානු තානාපතිනිය හා තවත් තානාපතිවරු කිහිපදෙනෙක් හමුවී නියම පිළිතුරක් ලබාදී ඇත. ඔහු සඳහන් කර ඇත්තේ හිටපු ජනපති ට්‍රම්ප්ගේ ආධාරකරුවක් ඇමෙරිකාවේ කැපිටල් ගොඩනැඟිල්ල බලහත්කාරයෙන් අල්ලාගත් විටදී එරට ආරක්ෂක අංශ එය මුදා ගැනීමට ක්‍රියා කළේ මේ ආකාරයට බවයි. තමන්ගේ නිවස ගිනි තැබූ විට කිසිම තානාපතිවරයෙක් සිය ට්විටර් ගිණුමේ එම ගිනි තැබීම හෙළාදකිමින් නිවේදන නිකුත් නොකළ බවද ජනපතිවරයා තානාපතිවරුන් හමුවේ ප්‍රකාශ කර තිබිණි. එය ඉතා වැදගත්ය. මන්ද මේ නිසා මෙරට තානාපති අංශවල දෙබිඩි ස්වාභාවය හොඳින් හෙළිවේ. හමුදාව ක්‍රියාකර ඇත්තේ රටේ නීතියට අනුකූලව බව මෙහිදී වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබිණි.

 කෙසේ නමුත් මේ ප්‍රහාරය විපක්ෂ නායකවරයා විසින් තරයේ හෙළා දැක තිබිණි. “රාජපක්ෂ සෙවණැලි ආණ්ඩුව” ගෝල්ෆේස් හි සාමකාමී අරගලකරුවන්ට එරෙහිව බියගුළු ප්‍රචණ්ඩ ප්‍රහාරයක් එල්ල කොට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනය කර තිබිණි. නව ජනාධිපතිවරයා දිවුරුම් දී දිනයක් යන්නට මත්තෙන් මෙම අමානුෂික ප්‍රහාරය එල්ල කොට ඇති අතර ඔහු එයින් ගම්‍ය කිරීමට උත්සාහ කරනුයේ ඔහුගේ ඉදිරි පාලන තන්ත්‍රයේ ස්වභාවය නම් ඔහුට සිහිපත් කොට දිය යුත්තේ මෙවැනි මිලේච්ඡතාවයන්ට එහා ගිය බලගතු ආණ්ඩු ද ජන බලයෙන් ගෙදර යවා ඇති බව යැයි විපක්ෂ නායකවරයා සඳහන් කර තිබිණි. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනුෂිකා දිසානායකගෙන් බී.බී.සී. සිංහල සමග පවසා තිබුණේ ගාලු මුවදොර සාමකාමී විරෝධතාකරුවන්ට අලුයම එල්ල කළ ප්‍රහාරය ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය හෙළා දකිනා බවත්, හමුදාව සහ පොලිසිය විරෝධතාකරුවන් අතරට බැස විරෝධතාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට පහරදීම, මාර්ග අවහිර කිරීම සහ වෙනත් පුද්ගලයන් එම ප්‍රදේශයට පිවිසීම වැළැක්වීම මෙන්ම නීතිඥවරුන් ද ඇතුළු විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම භාෂණයේ නිදහස, විරෝධතා දැක්වීමේ අයිතිය සහ මාධ්‍ය නිදහස උල්ලංඝණය කිරීමක් බවයි. කෙසේ නමුත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පසුගිය මැයි 09 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මහපාරේ මරා දමන විට එය හෙළාදකිමින් නිවේදන නිකුත් කළ බවක් අපට මතක නැත.

 අරගලය නිසා නව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට අරලියගහ මැඳුරට යෑමට හැකියාවක් නොමැත. ඒ අරගලකරුවන්ට මුවා වී එහි දේපළ විනාශ කර ඇති නිසාය. මේවා රජයේ දේපළ නොව රාජපක්ෂ දේපළ ලෙස සිතා සිටියේද? ලංකාව පහළට ඇද දමන්නේ මේ සමාජ විරෝධී කුහක චින්තනයයි. අරලියගහ මන්දිරය තවම යන්න පුළුවන් තත්ත්වයක නැතැයි නව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මීට දින කිහිපයකට පෙර ප්‍රකාශ කර තිබිණි. සිද්ධියකින් දෙකකින් රටක් ගැන පැහැදිලි චිත්‍රයක් ඇති කරගත නොහැකි බව පැවසූ ඒ මහතා රජය කටයුතු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බවද සඳහන් කළේය. ජාත්‍යන්තරය ගැන කතා කිරීමට පෙර රටේ අභ්‍යන්තරය ගැන දැනගත යුතු බවත් රජය විදේශ රටවල්වල සහයෝගය ලබා ගැනීමට කටයුතු කරගෙන යන බවත් අගමැතිවරයා අවධාරණය කර තිබිණි. ස්ථිරසාර රජයක් නොමැතිව රටකට ගමන් කළ නොහැකි බවද අගමැතිවරයා සඳහන් කර තිබිණි.

 අරගලකරුවන් විසින් අත්පත් කරගනු ලැබූ ජනාධිපති මන්දිරය අරලියගහ මන්දිරය ඇතුළු ස්ථානවලින් පෞරාණික වටිනාකම් ඇති භාණ්ඩ ඇතුළු විශේෂිත භාණ්ඩ 1000 කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. ඇතැම් පුද්ගලයන් මේ ස්ථානවල පෞරාණික භාණ්ඩවල යම් යම් කොටස් සඟවාගෙන රැගෙන ගොස් ඇති බවට විමර්ශන කණ්ඩායම්වලට තොරතුරු අනාවරණයවී ඇත. මේ අතර ජනාධිපති මන්දිරය පෞරාණික ස්ථානයක් ලෙස ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබුණද එහි පුරාවස්තු පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව නිශ්චිත වාර්තාගත තොරතුරු කිසිවක් නැතැයි වාර්තා වේ. විනාශවූ සහ අස්ථානගත වූ පුරාවස්තු පිළිබඳව නිශ්චිත සහ පැහැදිලි තොරතුරක් ලබාගැනීම මේ හේතුවෙන් දුෂ්කර වනු ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි. ජනාධිපති මන්දිරය අරලියගහ මන්දිරයේ ඇතුළු ස්ථානවලට අරගලකරුවන් මුවාවෙන් මංකොල්ලකරුවන් මත්ද්‍රව්‍ය පානය කරන්නන් ඇතුළුවී ඇති අතර මේ සොරකම් වැඩි වශයෙන් කර ඇත්තේ එම පිරිස් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පවසති. මේ පාඩුව පියවන්නේ කෙසේද ඒ සඳහා වැයවන්නේ ද මහජන මුදල් පමණි.

 චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment