මහ බැංකුව රජයෙන් වෙන් වූවක් ද ? මහ බැංකුව තිබෙන්නේ වෙනම ලෝකයක ද වැනි විවිධ අදහස් පසුගිය දිනවල කතාබහට ලක් විය. නව මහ බැංකු පනත අනුව මහ බැංකු වාර්ෂික වාර්තාව වෙනුවට නිකුත් වූ වාර්ෂික ආර්ථික විවරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ පසුගිය මැයි 07 වැනිදා බරපතළ කතාබහක් ඇති විය. මේ අනුව මහාචාර්ය චරිත හේරත් මන්ත්‍රීවරයා විසින් මහ බැංකුව නිකුත් කර තිබෙන වාර්ෂික ආර්ථික විවරණයෙන් මහ බැංකුව සහ රාජ්‍ය වෙනස් ආකාරයට අර්ථ දැක්වා ඇති බවට අදහස් දක්වා ඇත. ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහ බැංකු නිලධාරීන් ආංශික අධීක්ෂණ කාරක සභාවකට කැඳවන ලෙස ද චරිත හේරත් මහතා නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගෙන් පාර්ලිමේන්තුවේදී එදින ඉල්ලා සිටිනු දක්නට ලැබිණි. එවැනි වර්ගීකරණයක් කිසිසේත් සිදුකළ නොහැකි අතර අදාළ වාර්තාව අනුව කැබිනට් මණ්ඩලය කිසිදු කාර්යභාරයක් සිදුකර නොමැති බව මෙන්ම වැඩකර ඇත්තේ මහ බැංකුව පමණක් බවට හැඟීමක් ඇති වන බවද චරිත හේරත් මහතා පවසා ඇත. එහෙත් ඇත්ත වශයෙන්ම ප්‍රශ්නය තිබෙන්නේ චරිත හේරත් මන්ත්‍රීවරයා කියන පරිදි එම වාර්තාව මගින් මහ බැංකුවයි, රාජ්‍යයයි දෙකක් ලෙස අර්ථ දක්වා තිබේ ද යන්නයි.

මාධ්‍ය වාර්තා කර තිබූ පරිදි චරිත හේරත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී මෙසේ ද අදහස් දක්වා තිබිණි.

‘මහ බැංකුව සිය වාර්ෂික ආර්ථික විවරණය ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම මුදල් අමාත්‍යාංශය රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා. මේ වාර්තා දෙක අතර බරපතළ පරස්පරතා තිබෙනවා. මහ බැංකු ආර්ථික විවරණයේ භාෂාවත් වැරදියි. ඒ වාර්තාව අර්ථ දක්වන්නේ මහ බැංකුවයි, රාජ්‍යයයි දෙකක් කියලා. එවැනි වර්ගීකරණයක් කළ නොහැකියි. එලෙස අර්ථ දක්වන්නේ නම් එම වාර්තාව පාර්ලිමේන්තුවට ගේන්න අවශ්‍යයත් නැහැ. වාර්තාවට අනුව වැඩ කරලා තියෙන්නේ මහ බැංකුව විතරයි. කැබිනට් මණ්ඩලය කිසිවක් කරලා නැහැ.’

මේ වාර්තාවේ ‘සමස්ත සාරාංශය’ යන කොටස කියවන ලෙස ද ඔහු සඳහන් කර තිබුණි. එහි දෙවන වාක්‍ය පටන් ගන්නේ රජය සහ මහ බැංකුව විසින් ක්‍රියාවට නංවන ලද යනුවෙන් බව ද ඔහු සඳහන් කර ඇත. රජය සහ මහ බැංකුව යන යෙදුමෙහි ඇති වරදක් අපට නම් නොපෙනේ. බොහෝ විට රජය සහ මහ බැංකුව යන යෙදුම අප විසින් මෙන්ම තවත් බොහෝ අය විසින් ද භාවිතා කරනු ලබයි. එයින් මහ බැංකුව යනු රජයෙන් වෙන් වූ වෙනම ආයතනයක් බවක් අදහස් නොවේ. ඒ අනුව මෙවර මහ බැංකු විවරණ වාර්තාවේ සමස්ත සාරාංශය යන කොටසෙහි මෙසේ සඳහන් වේ.

‘නිදහසෙන් පසු ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම ආර්ථික පසුබෑමෙන් අනතුරුව 2023 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වීමක් පෙන්නුම් කළේය. ආර්ථිකයේ පාර්ශ්වකරුවන් කෙටිකාලීනව දුෂ්කරතාවලට මුහුණ දුන්න ද, රජය සහ මහ බැංකුව විසින් ක්‍රියාවට නංවන ලද තීරණාත්මක ප්‍රතිපත්ති ගැළපුම් සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මගින් සාර්ව ආර්ථික ස්ථායිතාව යළිත් බොහෝ දුරට ස්ථාපිත කිරීම සඳහා සහාය සැපයිනි.’

මීට පෙර වර්ෂවල මහ බැංකු වාර්තාවල ද (2022 මහ බැංකු වාර්තාවේ පවා) රජය සහ මහ බැංකුව යන යෙදුම භාවිතා කර ඇති අතර එය මෙවර පමණක් අලුතින්ම යොදන ලද්දක් ද නොවේ. මේ පසුබිම තුළ රජය, මහ බැංකුව, රාජ්‍ය මුදල් සහ මහ බැංකුවේ ස්වාධීනත්වය යන කරුණු පිළිබඳ කිසියම් කතිකාවක් ඇතිව තිබේ. ඒ පිළිබඳ අපි මේ ලිපියෙන් සාකච්ඡා කරමු.

රාජ්‍යය සහ ආණ්ඩුව යන වචන නිර්වචනය කිරීමේදී මෙම දෙකම සමාන අදහස් ඇති පද දෙකක් ලෙස හැඟී යා හැකිය. එහෙත් මෙම පද දෙකින් අදහස් වන්නේ පරස්පර විරෝධී අදහස් දෙකකි. රාජ්‍යය සහ ආණ්ඩුව යනු එකක් නොවේ. රාජ්‍යය යනු උත්තරීතර ආයතනය වන අතර ආණ්ඩුව එහි නියෝජිතයා වේ. ආණ්ඩුව කරන්නේ කෙටිකාලීන පරිපාලන ක්‍රියාවලියක් පමණී. මෙය උදාහරණයකින් පැහැදිලි කළහොත් රාජ්‍යය ස්වාමියා නම් ආණ්ඩුව වූ කලී සේවකයා වේ. රාජ්‍යය වෙනස් නොවන ස්ථාවර දෙයක් වන අතර ආණ්ඩු (රජයන්) කලින් කලට වෙනස් විය හැකිය. මෙහිදී රජය (රාජ්‍යය නොවේ) සහ ආණ්ඩුව යන වචන සමාන අර්ථයෙන් ව්‍යවහාර කෙරෙන බව ද අපි දනිමු. ඒ අනුව මහින්ද රාජපක්ෂ රජය මෙන්ම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කියා ද ව්‍යවහාර කළ හැකිය. නොයෙකුත් විද්වත් අදහස් අනුව රාජ්‍යයේ අරමුණු ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව ක්‍රියාකාරී වන අතර රාජ්‍යයේ සහ මහජනතාවගේ කැමැත්ත ප්‍රතිපත්තිවලට හරවා ඒවා ක්‍රියාත්මක කිරීමේ කටයුත්ත කරනු ලබන්නේ ආණ්ඩුව විසින් බව ද කියනු ලබයි. රාජ්‍යයක් ගොඩනැංවීමට නිශ්චිත භූමියක්, එයට අයත් ජනගහනයක්, එහි පවතින ආණ්ඩුවක් සහ ස්වාධිපත්‍යයක් යන සාධක හතර අඩංගු විය යුතු බව දේශපාලන විද්‍යාවේ දී පිළිගැනේ. ලොව පවතින සියලු රාජ්‍යයන්හි එකිනෙකට වෙනස්කම් රැසකි. භූමි ප්‍රමාණය සහ ජනගහණය අතින් සැලකුවත් නිශ්චිතව සමාන රාජ්‍යයන් දෙකක් දක්නට නැත. එහෙත් පොදුවේ රාජ්‍යයක් ලෙස හැඳින්වීමේ දී නිශ්චිත භූමිය,ජනගහනය, ආණ්ඩුව, ස්වාධිපත්‍යය, අන්තර්ජාතික පිළිගැනීම යන සාධක ප්‍රධාන වශයෙන් සලකන බව පෙනේ.

1948 වසරේ නිදහස ලැබීමත් සමඟ ම වේගවත් ලෙස ආර්ථික වර්ධනයට අනුබල දීමට සහ එය දිරිමත් කිරීමට අවශ්‍ය කාර්යක්‍ෂම මුදල් ප්‍රතිපත්තියක් සහ ක්‍රියාශීලී මූල්‍ය අංශයක් පවත්වා ගෙන යෑම සඳහා ලංකා රජය විසින් ලංකා මහ බැංකුව ස්ථාපනය කරනු ලැබීය. 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ ලංකා මහ බැංකුව ස්ථාපනය කළ අතර, එහි මෙහෙයුම් කටයුතු 1950 අගෝස්තු 28 වැනි දින ආරම්භ කරනු ලැබී ය. වර්ෂ 1985 දී මෙය ශ්‍රී ලංකා මහ බැංකුව ලෙස නැවත නම් කිරීම සිදු විය. යම් සංශෝධන හැර, මුදල් නීති පනත පසුගිය වසරවල දී පූර්ණ සමාලෝචනයකට හෝ සංශෝධනයකට ලක් වී නොමැති බැවින්, ආර්ථික ප්‍රවණතාවන් සහ මහ බැංකුකරණයේ සමස්ත පරිණාමයෙහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය මනා භාවිතයන්ට අනුකූලව මුදල් නීති පනත් විධිවිධාන ගණනාවක් සමාලෝචනය කිරීමේ අවශ්‍යතාව ඇතිව, ශ්‍රී ලංකා මහ බැංකු පනත 2023 වසරේ දී ක්‍රියාත්මක කිරීම සිදුව ඇත. මහ බැංකුවේ ස්වාධීනත්වය වැඩිදියුණු කිරීම, විවෘතභාවය සහ වගවීම ඉහළ නැංවීමට සහ ශ්‍රී ලංකාවෙහි අඛණ්ඩ මිල ස්ථායිතාවක් පවත්වා ගෙන යෑම සඳහා මුදල් ප්‍රතිපත්ති රාමුව ශක්තිමත් කිරීමේ විශේෂ විධිවිධාන මේ නව ශ්‍රී ලංකා මහ බැංකු පනත සතු ය. ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු ද ඒ අනුව වෙනස් වූ අතර ඒ අනුව දේශීය මිල ස්ථායිතාව සාක්ෂාත් කිරීම සහ පවත්වා ගෙන යෑම එහි ප්‍රාථමික අරමුණ වන අතර අනෙක් අරමුණ වන්නේ මූල්‍ය පද්ධති ස්ථායිතාව සුරක්ෂිත කිරීමයි.

මහ බැංකුව ස්ථාපිත කර ඇත්තේ වෙනම පාර්ලිමේන්තු පනතක් මගිනි. එනම් 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතයි. කලිනුත් මුදල් නීති පනත යටතේ ද අප මහ බැංකුව හැඳින්වූයේ ස්වාධීන ආයතනයක් ලෙස වුවත් මේ නව පනත මගින් මහ බැංකුව ස්වාධීනත්වය තවත් වැඩි ආයතනයක් බවට පත් කරනු ලැබ ඇත. මේ නිසා වෙනත් රාජ්‍ය ආයතනවලට වඩා මහ බැංකුවේ වෙනසක් ඇති අතර එය සුවිශේෂී ආයතනයකි. එහෙත් ඇතැම් දේශපාලනඥයන්ට මහ බැංකුවත් තවත් රජයේ දෙපාර්තමේන්තුවක තත්ත්වයෙන් සැලකීමට අවශ්‍ය වී තිබිය හැකිය. එසේ වුවහොත් මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මෙහෙයුම් ස්වාධීනත්වය මෙන්ම ප්‍රතිපත්තිමය ස්වාධීනත්වය ද ආරක්ෂා වන්නේ නැත. රජයේ හෝ දේශපාලන බලපෑම්වලින් තොරව ස්වාධීනව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව මහ බැංකුවට තිබිය යුතු වේ. මේ නව මහ බැංකු පනත හඳුන්වා දීමට පහත හේතු බලපා ඇත.

■ ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ සඳහා මුදල් නීති පනත යාවත්කාලීන කිරීමට අවශ්‍ය වීම.

■ ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය ශක්තිමත් කිරීමට සහ තිරසාර පදනමින් මිල ස්ථායීතාව සහතික කිරීම සඳහා.

■ මූල්‍ය අංශයේ අධීක්ෂණය ශක්තිමත් කිරීම සඳහා.

■ මහ බැංකුවේ පරිපාලනය වැඩිදියුණු කිරීම සඳහා.

■ අන්තර්ජාතිකව පිළිගත් යහපත් ක්‍රමවේදයන්ට මහ බැංකු කාර්යයන් අනුකූල වීම සඳහා.

කරුණු මෙසේ වුවත් මහ බැංකුව රාජ්‍ය ආයතනයක් (public institution/state institution) බව අවිවාදාත්මක කරුණකි. රාජ්‍යය හා ආණ්ඩුව යනු එකක් නොවූවත් අප සාමාන්‍ය ව්‍යවහාරයේ දී ආණ්ඩුව හා රජය යන්න සමාන අර්ථයෙන් භාවිතා කරනු ලබයි. ඒ අනුව අපට වර්තමාන ආණ්ඩුව හෝ වර්තමාන රජය ලෙස ව්‍යවහාර කළ හැකිය. ඒ අර්ථයෙන් ගත් විට මහ බැංකුව ආණ්ඩුවෙන්, නැතිනම් රජයෙන් (government), ස්වාධීන ආයතනයකි. එය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ ආණ්ඩුවෙන් වෙන්ව ස්වාධීනවය.

පෙර පැවති මුදල් නීති පනතෙහි මෙන්ම දැන් පවත්නා ශ්‍රී ලංකා මහ බැංකු පනතෙහි ද රජය /ආණ්ඩුව (government) සමග මහ බැංකුව ගනුදෙනු කළ යුතු සහ ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව කර ඇති පැහැදිලි කිරීම්වලින් රජයත්, මහ බැංකුවත් අතර වෙනස සනාථ වේ.

රජය හෙවත් ආණ්ඩුවත්, මහ බැංකුවත් ශ්‍රී ලංකා රාජ්‍යයේ පංගුකරුවෝ වෙති. ඒ නිසා මහ බැංකුව යනු රාජ්‍යයට අයත් ආයතනයක් වන අතර ඉන් විනිර්මුක්ත වූවක් නොවේ. රටේ මහජනතාව වෙනුවෙන් ඔවුන්ට නියම වූ කාර්ය භාරයන් තිබේ. රජයත්, මහ බැංකුවත් අතර සම්බන්ධීකරණයක් හා සම්බන්ධයක් තිබේ. මේ සම්බන්ධීකරණය පැවතියත්, ආණ්ඩුවට මහ බැංකුවේ රාජකාරි කිරීමට හෝ මහ බැංකුවට ආණ්ඩුවේ කටයුතු කිරීමටත් හෝ නොහැකිය. ශ්‍රී ලංකා රාජ්‍යයට අයත් මේ සියලු ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් මහජනතාව බලාපොරොත්තු වනු ඇත්තේ තම තමන්ට හිමි නෛතික බලය භාවිත කර තමන්ට හිමි අදාළ වැඩ කොටස මහජනයා වෙනුවෙන් ඉටු කරනු ඇති කියායි.

රාජ්‍ය මූල්‍ය (public finance) යන්නෙන් අදහස් වන්නේ බොහෝ විට රජයේ ආදායම හා වියදම පිළිබඳ කටයුතුයි. පාර්ලිමේන්තුවට හෝ ආණ්ඩුවට, මෙම රාජ්‍ය මූල්‍ය හැර මහජනයාගේ හෝ රටේ වෙනත් ආයතනයන්හි මුදල් පිළිබඳ අයිතියක් නැත. නැතිනම් රජයේ බැංකුවල තැන්පත් කළ මහජනයාගේ මුදල් පවා රාජ්‍ය මූල්‍ය යැයි යමෙකුට තර්ක කර ඒවා පාර්ලිමේන්තුවේ පාලනයට දිනෙක යටත් කළ හැකිය. එසේ මහජනයාගේ මුදල් රජයට අයිති කරගත හැක්කේ බදු හෝ බදු නොවන ආදායමක් ලෙස මෙම මුදල් ලබා ගතහොත් පමණි. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය හෙවත් ෆිස්කල් ප්‍රතිපත්තිය (fiscal policy) පාර්ලිමේන්තු අනුමැතියට යටත්ව රජය විසින් මෙහෙයවන්නේ සුදුසු පරිදි ආදායම් එක්රැස් කිරීමටත් විවිධ කටයුතු සඳහා එම ආදායම් වියදම් කිරීමටත්ය. රජයේ ආදායමට වඩා වියදම වැඩි වන විට රජයට ණය ගැනීමට සිදු වේ. එසේම එවිට ඒ සඳහා පොලී ගෙවීමටත් රජයට සිදු වේ.

මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන මුදල් ප්‍රතිපත්තිය (monetary policy), රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය හෙවත් ෆිස්කල් ප්‍රතිපත්තියට වඩා සහමුලින්ම වෙනස්ය. මුදල් ප්‍රතිපත්තිය රටේම මුදල් සම්භාරය කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇති කරයි. මුදල් ප්‍රතිපත්තිය මුදල්වල සැපයුම (money supply) හා පිරිවැය (cost) පාලනය කරන ප්‍රතිපත්තිය ලෙස නිර්වචනය කරනු ලබන්නේ ඒ නිසාය. මහජනතාවගේ හා පෞද්ගලික ආයතනවල පමණක් නොව රජයේ ණය පොලිය මත ද මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති බලපායි.

රටක මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ බලය මහ බැංකුවටත්, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ බලය රජයටත් බෙදා දී ඇත. එසේ බෙදා දීමේ විවිධ හේතු සාධක තිබේ. මුදල් ප්‍රතිපත්තිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට (රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සඳහා වගකියන රජයෙන්) මහ බැංකුවේ ස්වාධීනත්වය පැවතීම අත්‍යවශ්‍ය වන්නේ විශේෂයෙන් උද්ධමනය දිගින් දිගටම පාලනය කිරීමෙන් මහජනතාව වෙත ඔවුන්ගේ යුතුකම ඉටු කළ යුතු නිසාය. දේශපාලනඥයන් විසින් තීරණය කරනු ලබන රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සමහර විට (කාලයකින් පසුව හෝ) උද්ධමනකාරී විය හැකිය. උදාහරණයක් ලෙස මැතිවරණයක් ආසන්නයේ දී පවතින රජයට දේශපාලන වාසියක් ලබා ගැනීම සඳහා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ඇතුළු මහජනයාට වෙනත් සහන ලබා දීමට අවශ්‍ය විය හැකිය. එවැනි ක්‍රියාමාර්ග උද්ධමනයට තුඩු දෙයි.

එම නිසා උද්ධමනය පාලනය කිරීමට ගන්නා මහ බැංකු තීරණ සෑමවිටම ජනප්‍රිය තීරණ නොවේ. දේශපාලනඥයන්ට මහ බැංකුවේ වැටුප් පිළිබඳ තීරණ ගැනීමට බලය දිය යුතු යැයි අපි නොකියමු. එවිට මුදල් ප්‍රතිපත්ති තීරණවලට පවා දේශපාලනඥයන්ගේ බලපෑම ඇති විය හැකිය. එහෙත් මහ බැංකුව මහජනතාවට වගකිව යුතු ආයතනයක් නිසා මෙවැනි මොහොතක මහජනයාගේ ආර්ථික පීඩාවේ වේදනාව සලකා බලා තමන් ද එම ආර්ථික පීඩනය සමනය කර ගැනීමට දායක වෙමින් ආදර්ශමත්ව කටයුතු කළ යුතු වේ. වැටුප් වැඩි කර ගැනීමේ ප්‍රශ්නයේ දී මහ බැංකුව එලෙස කටයුතු නොකළ බව අපගේ අදහසයි. එහෙත් මහජනයාගේ තත්ත්වය නොසලකා එවැනි අසාධාරණ පිළිවෙතක් මහ බැංකුව විසින් අනුගමනය කළ විටෙක සාමාන්‍ය ජනයාට ඊට දොස් කියනවා හැරෙන්නට ඊට එරෙහිව ප්‍රායෝගිකව කළ හැකි දෙයක් නැත. ඒ නිසා එහිදී මහජනයා වෙනුවෙන් රටේ නීති සම්පාදනය කරන ජනතා පරමාධිපත්‍ය බලය හිමි උත්තරීතර පාර්ලිමේන්තුවට ඒ ගැන ප්‍රශ්න කිරීමේ සහ ඒ ගැන යම් විමර්ශනයකින් පසුව යම් නිර්දේශයක් ලබා දීමේ අයිතිය තිබිය යුතු බව මේ ලියුම්කරුගේ පිළිගැනීමයි. ඒ අනුව පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව මේ සඳහා මැදිහත් වී ඇති බව අපි දනිමු.

සිංහල භාෂාවේ දී අප කතා කළ මේ විෂයට අදාළ විවිධ වචන ව්‍යවහාර වන ආකාරය පිළිබඳව ද මෙහිදී යමක් සඳහන් කළ යුතුය. ඒ අනුව Finance Ministry අපි මුදල් අමාත්‍යාංශය යැයි කියමු. Monetary policy විටෙක අපි මූල්‍ය ප්‍රතිපත්තිය යැයි කියමු (නිවැරදි භාවිතය මුදල් ප්‍රතිපත්තියයි). Public finance යන්න රාජ්‍ය මූල්‍ය ලෙස මෙන්ම රජයේ මුදල් ලෙසත් හඳුන්වමු. Public funds රාජ්‍ය අරමුදල් වන අතර, public holiday රජයේ නිවාඩු ය. Public library යන්න මහජන පුස්තකාලය වේ. Government press යන්න රජයේ මුද්‍රණාලය වන අතර state counsel රජයේ අධිනීතිඥ වේ. කලින් මහ බැංකුව ස්ථාපිත කළ මුදල් නීති පනතට මූල්‍ය නීති පනත ලෙස ද ව්‍යවහාර කර ඇත. කාලයක් තිස්සේ පැවති මෙවැනි යෙදුම් (ව්‍යවහාරයන්) ප්‍රති-නිර්වචනය කිරීමද අපහසු විය හැකිය. එහෙත් අවශ්‍ය වන්නේ මේවායේ අරුත් නිවැරදිව වටහා ගැනීමයි. රජයට හෙවත් ආණ්ඩුවට සිය වගකීමත්, මහ බැංකුවට එහි වගකීමත් මහජනතාව වෙනුවෙන් ඉටු කිරීමට නිසි ඉඩ ප්‍රස්ථාව ලැබෙනු ඇත්තේ එවිටය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@gmail.com

advertistmentadvertistment
advertistmentadvertistment