රාජ්‍ය අංශයේ වැටුප් සංශෝධන…..

3716

රාජ්‍ය සේවක වැටුප් සංශෝධනයක් කිරීමට රජය තීරණය කර ඇත. එනම් රාජ්‍ය සේවයේ වැටුප්, වේතන හා අනෙකුත් පාරිශ්‍රමිකයන් සමාලෝචනය කර, රාජ්‍ය සේවයේ සියලුම අංශයන්වල වැටුප් සංශෝධනය කිරීම රජයේ අපේක්ෂා වී ඇත. ඒ සඳහා වූ යෝජනා ලබන වසරේ (2025) අයවැය මගින් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇත. මේ වැටුප් සංශෝධනය කිරීම සඳහා වන නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස විශේෂඥ කමිටුවක් ද මේ වන විට පත් කර ඇත. එම කමිටුව පත් කිරීම සඳහා 2024-.05.-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කැබිනට් අනුමැතිය ලබා දී ඇත. මේ විශේෂඥ කමිටුව පත් කර ඇත්තේ හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් වන අතර එම කමිටුව විසින් රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය අංශයේ ප්‍රධාන වෘත්තීය සංගම් සමග සාකච්ඡා කර අදාළ තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් පසුව අතුරු වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. එකී වාර්තාවේ වැටුප් සංශෝධනයට අදාළ නිර්දේශිත යෝජනා ගණනාවක් ඇති අතර ඒවාට ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමට සහ අදාළ යෝජනා 2025 වර්ෂයේ අයවැයට ඇතුළත් කර ක්‍රියාත්මක කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී ඇත. මේ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

රාජ්‍ය අංශයේ වැටුප් සංශෝධනයට නිර්දේශ ලබා ගැනීම සඳහා පත් කළ විශේෂඥ කමිටු අතුරු වාර්තාවේ එම වැටුප් සංශෝධනයට අදාළ නිර්දේශිත යෝජනා 17 ක් ඇතුළත් වේ. ඒවා කාගේත් දැන ගැනීම පිණිස අපි මෙසේ සටහන් කරමු.

  1. සමස්ත රාජ්‍ය සේවයේ සියලුම තනතුරු ප්‍රධාන මට්ටම් හතරක් යටතේ වර්ගීකරණය කර, එක් එක් කාණ්ඩය ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශය (SLQF) හා ජාතික වෘත්තීය නිපුණතාව (NVQ) පදනම් කර ගනිමින් හා අදාළ රැකියා කාර්යභාරය, වගකීම් හා විශේෂ රැකියා සඳහා නිපුණතාවකින් යුත් සේවකයින් ආකර්ෂණය කර ගැනීම හා රැකියාවන්හි රඳවා ගැනීම සැලකිල්ලට ගෙන, බඳවා ගැනීමේ සුදුසුකම් අනුකාණ්ඩවලට වර්ගීකරණය කිරීම.
  2. ප්‍රාථමික සේවා කාණ්ඩ සඳහා ද බඳවාගැනීමේ මූලික සුදුසුකම් ලෙස ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශය, ජාතික වෘත්තීය නිපුණතාව පදනම්ව සේවා අවශ්‍යතාව පරිදි සුදුසු තෝරා ගැනීමේ ක්‍රමවේද අනුගමනය කිරීම.
  3. අනෙකුත් සියලුම සේවා කාණ්ඩ සඳහා විධිමත් තරග විභාග හා සම්මුඛ පරීක්ෂණ ක්‍රම මගින් පමණක් බඳවා ගැනීම.
  4. ඒ අනුව යෝග්‍ය පරිදි දැනට පවතින අනුමත බඳවා ගැනීමේ පටිපාටි කඩිනමින් සංශෝධනය කිරීම.
  5. 2025 පාදක වසර ලෙස සලකා ජීවන වියදම් දීමනා සඳහා සිදු කර ඇති විවිධ ගැලපීම් හා මේ වන විටත් එක් කොට ඇති දීමනා සියල්ල ඒකාබද්ධ කොට, සියලුම රජයේ සේවකයින් සඳහා (සෑම වසර 03කටම වරක් සංශෝධනය කිරීමට යටත්ව) ජීවන වියදම් දීමනාව ලෙස මාසිකව රුපියල් 25,000 ක් ගෙවීම.
  6. රාජ්‍ය සේවයේ අවම ආරම්භක මාසික වැටුප 24%ක අවම ප්‍රතිශතයකින් වැඩි කොට, ජීවන වියදම් දීමනාව සමග දළ වැටුප රුපියල් 55,000ක් ලෙස ගෙන, අනෙකුත් සියලුම තනතුරු සඳහා මූලික වැටුප ඒ අනුව ගැලපීම.
  7. ව්‍යාපාරික රාජ්‍ය සමාගම් හා බැංකු හැර අන් සියලුම රාජ්‍ය ආයතන සඳහා මෙම නව වැටුප් හා දීමනා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම.
  8. 2030 වන විට රාජ්‍ය සේවයේ සමස්ත සේවක මණ්ඩලය ලක්ෂ දහයක් (1,000,000) හෝ ඊට අඩු මට්ටමක් දක්වා සීමා කර ගැනීමට ක්‍රියාමාර්ග ගැනීම.
  9. ඒ අනුව 2025 සිට වසර 03ක් ඇතුළත සමස්ත රාජ්‍ය සේවයේ හැකි සෑම ක්ෂේත්‍රයක් තුළම ඩිජිටල්කරණය (Digitalization) හා ස්වයංක්‍රීයකරණය (Automation) තුළින් ඉලෙක්ට්‍රොනික පද්ධති මගින් රාජ්‍ය පාලනය සඳහා ක්‍රමවේදයක් (E-Governance) හඳුන්වා දීම සහ ඒ සඳහා රාජ්‍ය ආයෝජනයේ ප්‍රමුඛතාව ලබා දීම.
  10. රාජ්‍ය අංශයේ සියලුම සේවකයින් හා විශ්‍රාමිකයින් ද ඇතුළත්ව මාසිකව අවම රුපියල් 1,000 ක දායකත්වයක් සහිත වඩාත් ආකර්ෂණීය ප්‍රතිලාභ හිමි වන පරිදි වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් 2025 ජනවාරි මස සිට ක්‍රියාත්මක කිරීම.
  11. හැකි සෑම අවස්ථාවකම බාහිර සේවා (Outsourcing) වැනි ක්‍රමවේද මගින් රජයේ වැය බර අවම වන ලෙස කාර්යක්ෂමතාව උපරිම වන පරිදි නියමිත ක්‍රමවේද අනුගමනය කරමින් සේවා ලබා ගැනීම.
  12. හඳුනාගත් රාජ්‍ය දෙපාර්තමේන්තු, සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත සීමිත පොදු සමාගම් (Public Liability Company) බවට පත් කිරීමේ ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
  13. නිසි වැඩ අධ්‍යයනයක් සිදු කොට, සමස්ත රාජ්‍ය අංශයේ කාර්ය මණ්ඩලවල හා සේවා පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කිරීම පිණිස 2025 වසර තුළ කටයුතු කිරීම.
  14. ඒ අනුව සියලුම රාජ්‍ය සේවකයින් සඳහා කාර්යසාධක දර්ශක සකස් කොට, එහි ප්‍රගතිය පදනම් කර ගනිමින් වැටුප් වර්ධක ලබා දීම.
  15. 2020 වසරට පෙර විශ්‍රාමලත් රාජ්‍ය නිලධාරීන්හට හිමිකම් ලැබූ වැටුප් වර්ධක ලබා දී ඔවුන්ගේ විශ්‍රාම වැටුප සංශෝධනය කර අදාළ විෂමතා නිරවුල් කිරීම.
  16. විශ්‍රාමිකයින් සඳහා ජීවන වියදම් දීමනාව, සක්‍රීය සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන් සඳහා ලබා දෙන ජීවන වියදම් දීමනාවෙන් 50% කට සමාන වන පරිදි 2025 ජනවාරි මස සිට ලබා දීම.
  17. දැනට පවතින බදු ප්‍රතිපත්තිය තුළම මෙම වියදම් කළමනාකරණය කිරීමට යටත්ව, මෙම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීම සහ යෝජිත වැටුප් ක්‍රමය 2025.01.01 දින සිට රාජ්‍ය මූල්‍ය අවකාශ ද සැලකිල්ලට ගෙන අදියරගතව (කොටස් වශයෙන්) ක්‍රියාත්මක කිරීම.

මේවා එක එකක් අප මෙහි වෙනම සාකච්ඡා නොකළත් කිව යුත්තේ මෙහි සාධනීය යෝජනා තිබෙන බවයි. එනම් අප දන්නා පරිදි අප රටේ විශාල රාජ්‍ය සේවක පිරිසක් සිටී. මේ අතිවිශාල රාජ්‍ය සේවක පිරිසට පඩිනඩි ගෙවා නඩත්තු කිරීමට මේ මොහොතේ ඉතා අමාරුවෙන් ජීවත් වන අපේ ජනයාට සිදුව ඇත. ඒ අනුව මේ යෝජනාවල සඳහන් වන්නේ වර්ෂ 2030 වන විට රාජ්‍ය සේවයේ සමස්ත සේවක මණ්ඩලය ලක්ෂ දහයක් හෝ ඊට අඩු මට්ටමක් දක්වා සීමා කර ගැනීමට ක්‍රියාමාර්ග ගන්නා බවයි. රාජ්‍ය සේවකයන්ගේ පැත්තෙන් එයට අකැමැති විය හැකි වුවත් අතිමහත් බහුතර පොදු ජනයාගේ පැත්තෙන් නම් අපට කීමට සිදු වන්නේ දැනට සිටින මේ අධික රාජ්‍ය සේවක පිරිස මෙසේ ක්‍රමයෙන් අඩු කර ගැනීම අවශ්‍ය දෙයක් බවයි. අනිත් කරුණ නම් විටින් විට රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම් සිදු කළත් ඒවාට සාපේක්ෂව පසුගිය කාලයේ රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය වැඩි වී තිබේද යන්න නම් ප්‍රශ්නයකි. රජයේ කාර්යාලයකට වැඩක් කර ගැනීමට යන ඔබට මෙය හොඳටම අත්දැකිය හැකිය. මේ කියන කරුණ සියලු රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් හෝ සියලු රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් නම් එකලෙසම අදාළ නොවන බව ඇත්තය. එහෙත් පොදුවේ කිව යුත්තේ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම්වලට සාපේක්ෂව රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවයේ වැඩි වීමක් සිදුව නැති බවයි. ඒ අනුව සියලුම රාජ්‍ය සේවකයින් සඳහා කාර්යසාධක දර්ශක සකස් කොට, එහි ප්‍රගතිය පදනම් කර ගනිමින් වැටුප් වර්ධක ලබා දීමේ යෝජනාව ද සුදුසු පිළිවෙතකි. එසේම නිසි වැඩ අධ්‍යයනයක් සිදු කොට, සමස්ත රාජ්‍ය අංශයේ කාර්ය මණ්ඩලවල හා සේවා පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කිරීම ද වැදගත්ය. දැනට සිටින රාජ්‍ය සේවක පිරිසෙන් හෝ උපරිම කාර්යක්ෂම සහ ඵලදායි සේවයක් සලසා ගැනීමට මෙය ඉවහල් වනු ඇත. කෙසේ වෙතත් දැනට පවතින බදු ආදායම් තුළම මෙම වියදම් කළමනාකරණය කර ගැනීමට සිදුවනු ඇත. යෝජනා කර ඇත්තේ මෙම යෝජිත වැටුප් ක්‍රමය ලබන වසර (2025) මුල සිට ක්‍රියාත්මක කිරීමටය. ඒ නිසා එය පවතින රාජ්‍ය මූල්‍ය අවකාශ ද සැලකිල්ලට ගෙන අදියරගතව ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරයි. ඒ නිසා මේ යෝජනා ක්‍රියාත්මක කළත් ඒවා කරනු ඇත්තේ කොටස් වශයෙන් මිස එකවර නොවේ. කෙසේ හෝ මේවා ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇත්තේ අනාගත රජයට බැවින් මේ ගැන තවදුරටත් සොයාබලා මහජනයාට ඇතිවෙන ආර්ථික පීඩනය ද සැලකිල්ලට ගෙන මේ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ යෝජනා ක්‍රියාත්මක කිරීමට වග බලා ගැනීම වඩාත් වැදගත් බව අපි අවධාරණය කරමු.

මෙය ජනපතිවරණ සමයකි. දිනෙන් දින ජනපතිවරණ උණුසුම ද ඉහළ යමින් තිබේ. මේ වන විට මාධ්‍ය වාර්තා කර ඇති පරිදි ඉදිරි ජනපතිවරණයට අපේක්ෂකයන් 40 දෙනෙක් ඇප මුදල් තැන්පත් කර තිබේ. ඒ අතර වත්මන් ජනාධිපතිවරයා ද වේ. ඒ නිසා රජය විසින් දේශපාලන වාසි අපේක්ෂාවෙන් පොදුවේ මහජනතාවට මෙන්ම නොයෙකුත් පාර්ශ්වයන් ඉලක්ක කරගෙන නොයෙකුත් සහන සැලසිය හැකිව තිබේ. මේ අනුව රාජ්‍ය සේවකයන් ඉලක්ක කරගෙන ද සෑම මැතිවරණ සමයකම පාහේ විවිධ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් විසින් පොරොන්දු ලබාදීම සිදුවෙන දෙයකි. මේ සම්බන්ධයෙන් කිව යුතු වන්නේ මේ සියලුම සහනවල පිරිවැය (වියදම) දරනු ලබන්නේ මේ රටේ සමස්ත බදු ගෙවන ජනයා විසින් බවයි. ඒ නිසා නොයෙකුත් පාර්ශ්වයන් ඉලක්ක කරගෙන දේශපාලන වාසි අපේක්ෂාවෙන් නොයෙකුත් සහන සැලසීමෙන් වන්නේ පොදුවේ මහජනතාවට විශාල ආර්ථික වැය බරක් පැටවීමයි. මේ නිසා බලයේ සිටින වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙන්ම බලයට ඒමට අපේක්ෂාවෙන් සිටින අනෙකුත් ජනපති අපේක්ෂකයන්ට ද අපට කීමට සිදු වන්නේ නොයෙකුත් පාර්ශ්වයන් ඉලක්ක කරගෙන සහන සලසනවාට වඩා වැදගත් වන්නේ පොදු ජනයා මේ මොහොතේ මුහුණ දී සිටින ආර්ථික පීඩනය (වේදනාව) සමනය කිරීම බවයි. එහෙත් මේ කියන්නේ රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි නොකළ යුතු බව නොවේ. එසේම මේ කියන්නේ රජය විසින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට මෙම යෝජනා ඉදිරිපත් කර ඇත්තේ දේශපාලන වාසි අපේක්ෂාවෙන් පමණක් බව ද නොවේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ ද රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමේ දේශපාලන අරමුණක් නොමැති බවයි.

2022 වසරේ වැටුණු ආර්ථික අගාධයෙන් රට තරමක් ගොඩට පැමිණ ඇත. ඒ නිසා මෙය තවමත් අපේ ආර්ථිකය වැටුණු බරපතල අගාධයෙන් ගොඩ එමින් සිටින මොහොතකි. ඒ නිසා අනාගත කවර රජයකට වුව ද රට හමුවේ ඇති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා අයිඑම්එෆ් එක සමග රජය එකඟ වී ඇති කොන්දේසිවලට සහ වැඩසටහනට අනුගතව කටයුතු කිරීමට සිදුව තිබෙන බව ද අමතක කළ යුතු නොවේ. එසේම එම ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග නිසා වඩාත් පීඩනයකට මුහුණ දී සිටින අතිමහත් බහුතර සාමාන්‍ය ජනයා මුහුණ දී සිටින පීඩනය සමනය වන පරිදි මේ කාලයේ ආර්ථික තීන්දු තීරණ ගත යුතුව ඇති බව ද කිව යුතුය. එනම් ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා දැනට ගමන් කරමින් සිටින ප්‍රතිපත්ති දිශානතියේ ඉදිරියට ගමන් කළ යුතුව ඇති බවයි. එහි අදහස පවතින අයිඑම්එෆ් වැඩසටහන මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර දශමයකින් හෝ වෙනස් කරගත නොහැකි බව නම් නොවේ. එහෙත් මේ යන ආර්ථික ගමන් මාර්ගයේ විශාල වෙනසක් සිදු කිරීමට අවකාශයක් ඇතැයි සිතීමට නම් අපහසුය. මෙය ජනපතිවරණයට ඉදිරිපත්ව ඇති ජනපති අපේක්ෂකයන් නොදන්නා කරුණක් නොවේ. මේ නිසා අප දේශපාලන පාර්ශ්වයන් කාටත් කියා සිටින්නේ දේශපාලන වාසි අපේක්ෂාවෙන් එක් එක් පාර්ශ්වයන් ඉලක්ක කරගෙන සහන යෝජනා ඉදිරිපත් කරනවාට වඩා අවශ්‍ය වන්නේ පොදුවේ අතිමහත් බහුතර ජනයාගේ ආර්ථික පීඩනය සමනය කිරීමේ ක්‍රියාමාර්ග දියත් කිරීම බවයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමේ දේශපාලන අරමුණක් නෑ

රාජ්‍ය අංශයේ වැටුප් සංශෝධන…..

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

රජය හැකි සෑම විටක ම ජනතාවට ලබාදිය හැකි උපරිම සහන ලබාදීමට කටයුතු කර තිබෙනවා. රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමේ යෝජනා තුළ කිසිදු දේශපාලන අරමුණක් නෑ. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණේ, කලක පටන් පැවති ඉල්ලීම් සලකා බලා හිටපු ජනාධිපති ලේකම් උදය සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ විශේෂඥ කමිටුව මගින් ලබාදුන් නිර්දේශ හා තීරණ අනුව ඉදිරිපත් කළ වැටුප් වැඩිකිරීමේ යෝජනාවලටයි. එහිදී පවතින ජීවන තත්ත්වය, ආර්ථික තත්ත්වය, ගෙවීමේ හැකියාව ආදී සෑම පැතිකඩක්ම පිළිබඳ අවධානය යොමුකර මෙම කමිටු වාර්තාව සකස් කර තිබෙනවා. විපක්ෂය විසින් කියන, බදු අඩු කර පඩි වැඩි කරන ක්‍රමවේදය සම්බන්ධයෙන් නම් සොයා බැලිය යුතුයි. එමෙන්ම සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවලින් අනතුරුව පත්කළ කමිටුව මගින් ලබාදුන් විසඳුම් යෝජනා මීළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment