රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට  කාර්යක්ෂම වැඩපිළිවෙළක් සකසනවා – මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ

86

උද්ධමනය සියයට හැත්තෑව වෙද්දී ආහාර උද්ධමනය 84.3ක් වෙලා – ආචාර්ය හර්ෂ ද සිල්වා (සජබ)

ලබන මාසේ රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමත් අසීරුයි – – මහින්දානන්ද අලුත්ගමගේ (ශ්‍රීපොපෙ)

කංසා අපනයන කර්මාන්තයක් ලෙස දියුණු කළ හැකියි – රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ

රටේ ධනය හොරා නොකෑවානම් රටට මෙහෙම වෙන්නේ නැහැ – එස්. එම්. මරික්කාර් (සජබ)


රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට කාර්යක්ෂම වැඩ පිළිවෙළක් මේ වන විට සකස් කෙරෙමින් පවතින බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21 දා) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (21 දා) පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණි. ප්‍රථමයෙන් නිවේදන, ලිපි ලේඛන, ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව, මන්ත්‍රීවරුන් විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ.

පසුව පක්ෂ නායකයන් විසින් 27(2) යටතේ සිදු කරන විශේෂ ප්‍රකාශ සිදු කිරීම සහ ඒවාට පිළිතුරු සැපයීමෙන් පසුව ‘රජයේ ආදායම වැඩිකර ගැනීමේ අවශ්‍යතාව’ පිළිබද රජය විසින් ගෙන එනු ලැබු සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනිණ.

විවාදය ආරම්භ කරමින්, මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා (ශ්‍රී.පො.පෙ.) : රටක් ලෙස බරපතළ අර්බුදයකට ලක්වෙලා. බංකොලොත් රටක් ලෙස නම් වෙලා. ඉන්ධන, ඖෂධ ගෙන්වීමට ගැටලු තියෙනවා. ලබන මාසයේ රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමත් අසීරුයි. උද්ධමනය වැඩිවෙලා. 91% වෙලා. ලංකාව ඉතිහාසයේ බරපතළම අර්බුදයට මුහුණදීලා.

රට තුළ යම් කළමනාකරණයක් ඇති කර විසඳුම් ලබාගත හැකියි. රාජ්‍ය ආදායම හරියට කළමනාකරණය කර ගෙවන්නේ නැති අයට නීතිය ක්‍රියාත්මක කළොත් ආදායම් වැඩිකරගත හැකියි.

පවුල් මිලියන 5.8 ක් ඉන්නවා. 2021 දී බදු ගෙවන්නේ 50,000 යි. මිලියන විසිදෙකක් රටේ ජනගහනය ඉන්නවා.

මිලියන 5 ට වඩා බදු ගෙවන අය ඉන්නේ සුළු ප්‍රමාණයයි. ප්‍රධාන සමාගම් වලින් බදු ගෙවා තියෙන්නේ 15000 යි. සමාගම් 343 යි. එක්ලක්‍ෂ පන්දාහක් සමාගම් තිබෙනවා.

ආදායම් බදු දෙපාර්තමේන්තුවට 665 දෙනයි දැනෙන ලෙස රටේ බදු ගෙවා තියෙන්නේ. බදු වර්ග 10 ක් තියෙනවා. ඒවා පනත් හතකින් ක්‍රියාත්මකයි. ඒවා හරියට ක්‍රියාත්මක නැහැ. අපි හරියට ක්‍රියාත්මක වුවොත් බදු ආදායම රුපියල් බිලියන 5 ක් දක්වා වැඩිකරන්න පුළුවන්.

අපනයනකරුවන් ආනයනකරුවන් බවට පත්වෙලා. අපනයන වලින් ලැබෙන මුදලින් චීස් ගේනවා සමහරු. ව්‍යාපාර බදු රුපියල් 100 යි. අවුරුදු 50 කට පෙර ඇති කළ පනත් තවම වෙනස් කර නැහැ. තියෙන ආදායම් හරියට කළමනාකරණය කළ යුතුයි.

නිමි ඇඳුම් ව්‍යාපාරවල කිසිකෙනෙක් බදු ගෙවන්නේ නැහැ. සුපර් මාකට් 2021 කිසිම බද්දක් ගෙවා නෑ.

රේස් බයි රේස් ගෙවන්නේ රුපියල් ලක්‍ෂ 6 ක බලපත්‍ර ගාස්තු පමණයි. බදු කිසිවක් ගෙවන්නේ නැහැ. කැසිනෝ බලපත්‍ර ගාස්තු විතරයි ගෙවන්නේ. බදු ගෙවන්නේ නෑ. තට්ටු නිවාස හදන වැඩිම ආදායම් ලබන සමාගම් දෙකක් බදු ගෙවා නැහැ. මත්පැන් බලපත්‍ර හිමියන් කිසිදු බද්දක් ගෙවන්නේ නෑ. වාහන ආනයනකරුවන් ඉන්ධන පිරවුම්හල් හිමියන් ඇතුළු ව්‍යාපාර රැසක් බදු ගෙවන්නේ නෑ.

පළමුව අපි ආදර්ශයක් ලෙස ලිපි  ගොනුවක් විවෘත කර ආදායම් බදු ගෙවමු. වරලත් ගණකාධිකාරි ආයතනය හරියට කටයුතු කළ යුතුයි. එහි නියාමනයක් අවශ්‍යයි.

ඒ වගේම වැටුප් මත බද්ද ගෙවන්න සම්පූර්ණ වැටුපට ටැක්ස් ගෙවන්න. මූලික වැටුපට පමණක් නොවෙයි. පාඩු ලබන ආයතනවලින් ටි්‍රලියන 1 ක් පාඩුයි. හැමදාම මෙහෙම කරන්න බැහැ. වහාම අපි සියලුදෙනාම එක්ව තීන්දු ගමු.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ (ශ්‍රීලපොපෙ)

මම යෝජනාව ස්ථිර කරනවා.

මෙම යෝජනාවෙන් අපි අදහස් කරන්නේ බදු වංචා කරන අයගෙන් බදු අයකර ගැනීම පිළිබදවයි. අලුතෙන් බදු පැනවීමක් නොවෙයි.

බදු ගෙවන සමාගම්වල තොරතුරු මාධ්‍යවල පළකළ යුතුයි. වක්‍ර බදු ප්‍රමාණය අඩුකර සෘජු බදු වැඩිකළ යුතුයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා (සජබ)

මහින්දානන්ද මන්ත්‍රීතුමා ගෙනාපු යෝජනාව

ගැන සතුටුවෙනවා වගේම අධෝමුඛයෙන් හිනාත් යනවා. ඒත් එතුමා ගෝඨාභය හිටපු ජනාධිපතිතුමාගේ ළඟම අයෙක්. ඒත් බැසිල් රාජපක්‍ෂගේ උදහසට ලක්වෙලා එතුමාට කැබිනට් ඇමැතිකමත් නැතිවෙලා. මෙතුමා තමයි රසායනික පොහොර තහනම් කරන විට හිටපු කෘෂිකර්ම ඇමැති. මෙයා ෆේල් ඇමැති කෙනෙක්. අද බදු එකතු කරන්න කතා කළාට මේ අය ගෙනාපු හිටපු ජනාධිපති කළේ ආපු ගමන්ම බදු සහන දීපු එකයි. අද ඇමැතිකම් නැති වුණාම මොළේ පෑදිලා. මේ රටේ ධනය හොරා නොකෑවානම් මේ රටට මෙහෙම වෙන්නේ නෑ.. හිටපු ජනාධිපතියි, නිවාඩ් කබ්රාල්, බැසිල් රාජපක්‍ෂ මේ ආර්ථික පරිහානියට වගකිව යුතුයි.

ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන

බදු නොවන ආදායම පහළ මට්ටමක තියෙන්නේ. රාජ්‍ය ආයතනවල ලාභාංශ, ප්‍රාග්ධන වත්කම් පොලිය ආදියයි. එම අංශය ගැන විසඳුම් සෙවීමට කටයුතු කර නැහැ.

රාජ්‍ය ආදායම වැඩි කිරීමට යෝජනා එද්දී දේශපාලන වෘත්තීය සමිති විපක්‍ෂයට බලකර ඒවා නවත්වනවා. ඒ වගේම ඒ ආණ්ඩු විපක්‍ෂයට ගියාම ඔවුන්ට එකතුවී බදු අයකිරීම් නීති යටත්

කරගන්නවා. මේ ප්‍රශ්නය පවතිනවා.

2021 වර්ෂයේදී ඛනිජතෙල් මෙහෙයුම් අලාභය බිලියන 82 යි. නොගෙවූ ණය බිලියන 505 ක් වෙනවා. රාජ්‍ය ව්‍යවසායෙන් ලාභ ලැබිය හැකි තත්ත්වයට ගේන්න පුළුවන්. පිරිවැය අවම මට්ටමකට ගෙන ආ යුතුයි. කුලී ආදායම් අලුත් තක්සේරුවට වැඩි කළ යුතුයි. බදු හා බදු නොවන ආදායම් ගැන සැලකිල්ලෙන් කටයුතු කළ යුතුයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා (සජබ)

රජයට ආදායම් ලැබූ උපයන විට බදු නැති කළා. එය පාඩුවක්. සීනි බදු වංචාවෙන් රුපියල් බිලියන 15 කට වඩා පාඩුවුණා. යහපාලන කාලයේ සීනි යෙදූ පානවර්ගවලට බද්දක් පැනවූවා. එයත් නැති කළා. බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම තුළින් රුපියල් බිලියන 600 කට වඩා මුදල් අහිමිවුණා. මේ නිසා වක්‍ර බදු වැඩිවුණා.

මේ රට මේ විදිහට පත්කිරීමට හේතුවූ කාරණා හොයලා පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතුයි. ඒ වැරදිකරුවන්ට දඬුවම් දිය යුතුයි.

හත් අටදෙනෙකුගේ වැරදි තීන්දු නිසා මිලියන 22 ක් අද දුක්විඳිනවා. තුන්වේල කන්න විදිහක් නෑ. පෝෂ්‍යදායී ආහාර වේලක් ජනතාවට ලැබෙන්නේ නැහැ.

මේ රට අවුරුදු ගාණක් පාලනය කළා මහින්දානන්ද අලුත්ගමගේ ආණ්ඩුවේ සිටිමින් බදු ගැන කතා කරනවා. ඔහුට පුළුවන් මුදල් ඇමැතිට ආණ්ඩුවට කතා කරලා මේ ගැටලු විසඳන්න. පාර්ලිමේන්තුවට කියලා වැඩක් නැහැ.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න

එදා 2020 බදු සංශෝධන නිසා බදු අඩු වුණා. බිලියන 500 ට වැඩි ආදායමක් අහිමි වුණේ. බදු ගෙවන්නන් ප්‍රමාණයත් අඩු වෙලා. අද මුහුණ දෙන ආර්ථික අපහසුතාවන්ට විසඳුමක් ලෙස බදු වෙනස් කිරීම වගේම අලුත් බදු ලබාගත හැකි අංශ ගැන අවධානය යොමු කළ යුතුයි. ගත්ත ණය ඵලදායි දේවලට යෙදවූයේ නෑ. කිසිම ආදායමක් ලැබෙන්නේ නැහැ.

ආදායම් බදු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, රේගුව එකම ආයතන යටතට ගෙන ආදායම නිවැරදි ලෙස ලබා ගැනීමට ක්‍රියා කළ යුතුයි.

රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ

මේ අර්බුදය විසඳීමට අපට විවිධ තීරණ ගන්න සිදු වෙනවා. රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට කඩිනම් ප්‍රතිසංස්කරණ කරමින් පවතිනවා. කෙටිකාලීනව ජනතාවට පීඩාවක් වුවත් දිගුකාලීනව ආදායම ලැබීමක් වෙනවා.

හැකිතාක් වංචාව හා දූෂණය අවම කරගෙන රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට අපි හැමෝම කැපවිය යුතුයි. බරපතළ අභියෝගය ජය ගැනීමට අපි හැමෝම එකාවන්ව කටයුතු කළ යුතුයි. විපක්ෂයේ විවේචන අවශ්‍යයි. ඒත් සත්‍ය තොරතුරු පමණක් විපක්ෂය කිව යුතුයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම විනිවිදභාවයකින් සිදු කරනවා. කිසිදු ලෙසක රටට අසාධාරණයක් නොවන පරිදි සිදුවෙනවා. සාකච්ඡා අවසානයේදී රටට ඇත්ත තොරතුරු හෙළි කරනවා. රාජ්‍ය ආදායම එකතු කර ගැනීමේ වැඩපිළිවෙළක් ඉදිරියේ ක්‍රියාත්මක වෙනවා.

පත් කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න (සජබ)

අපි රජය විවේචනය කළ යුතු තැන කරනවා. ඒ වගේම රජයට සහාය දිය යුතු අවස්ථාවල සහාය ලබා දෙනවා. මේ ප්‍රශ්නය ඇතිවීමට හේතුව 2020 දී බදු සංශෝධනයයි. අපට රුපියල් බිලියන 500 කට වැඩිය අහිමි වුණා. පසුගිය රජය ඊට වගකිව යුතුයි. වැරදි තීරණ නිසා බදු අහිමි වුණා. දාහත් ලක්ෂයක් වූ බදු ගෙවූ ප්‍රමාණය ලක්ෂ 5 කින් අඩු වෙලා. පේයින් ටැක්ස් ගෙවිම විශාල ලෙස අඩු වෙලා.

සුරාබදු ගැනත් සොයා බලන්න. වැරදි ලෙස බදු අය නොකිරීම නිසා බිලියන 46 ක් විතර අහිමි වෙලා. දුම්කොළ බදු අඩු වෙලා. හරියට බදු පැනවීම සිදුවිය යුතුයි. යහපාලන කාලයත් ඇතුළුව සොයා බලන්න.

විදේශ සංචිත 2019 දී ඩොලර් බිලියන 7.6 ක් තිබුණා. එය අද බින්දුවට බැහැලා. කවුද ඒ තත්ත්වයට රට පත් කළේ ජනාධිපතිට, අගමැතිට මුල්‍ය හෝ ආර්ථික පසුබිමක් තිබුණෙ නැහැ. හරි දැනුමක් ඇති අය පත්විය යුතුයි. රට වැටුණේ ඒකයි. අයවැය පරතරය 2019 දී රු. බි. 9.6 ක් කියලා බොරුවක් කිව්වා. මුළු පාර්ලිමේන්තුවක්ම නොමඟ ඇරියා.

2020 දී අයවැය පරතරය සියයට 14 යි. විශාල ලෙස වැඩි වෙලා.

අද මන්දපෝෂණය උග්‍රයි. තුවක්කුවෙන් ප්‍රශ්න විසඳන්න බැහැ. ජනාධිපති එය තේරුම් ගන්න. රජය සංවේදී විය යුතුයි.

රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක

2019, පාස්කු ප්‍රහාරය නිසා ඉදිරියට ගිය රටක් ආපස්සට යෑමට ආරම්භ වුණා. වසර කිහිපයක් තුළ දරුණු පසුබෑමක් ඇති වුණා. රටේ සෑම පුරවැසියකුටම බදු ලිපිගොනුවක් ඇති විය යුතුයි. ඉදිරියේදී ව්‍යාපාර ආරම්භයේදී එය මහත් වැදගත්.

අපි සියලුදෙනා එකට එකතු වී රට

ගොඩනැඟීම එකම අරමුණ විය යුතුයි. සමහර භාණ්ඩ හා සේවාවලට ප්‍රාදේශීයවත් බදු අයකරනවා. ඒ නිසා බදු වර්ග අඩු කර, එක බද්දක් පැනවීමට ක්‍රියා කළ යුතුයි.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රි නිරෝෂන් පෙරේරා (සජබ)

අද බදු යාන්ත්‍රණයක් ඉල්ලන්නේ බදු යාන්ත්‍රණය විනාශ කරපු අයමයි. රටේ ආදායම අඩු කර රට බංකොලොත් කළා.

2019 ජනාධිපතිවරණ ප්‍රතිපත්තියට මේ බදු සහන ඇතුළත් කළා. ආර්ථිකය උකසට තිබ්බා. ජනාධිපතිට, අගමැතිට, මුදල් ඇමැතිට එදා ආර්ථික මුදල් දැනුම පිළිබඳ පසුබිමක් තිබුණෙ නැහැ. එයත් මේ විනාශයට හේතු වුණා.

ලංකාව දූෂිත රටක් කියලා ලෝකයේ ප්‍රසිද්ධ වුණා. ජිනිවාවලත් කියැවුණේ ලංකාවේ ආර්ථිකය විනාශ කළේ රාජපක්ෂවරු හා ඒ ආණ්ඩුව කියලා. මේ රටේ ටෙන්ඩර් ක්‍රමය දේශපාලනඥයන් හා දූෂිත නිලධාරීන් එකතු වෙලා විනාශ කර තියෙනවා. මේ ටෙන්ඩර් ගනුදෙනු නිසා අත යටින් විශාල මුදල් හුවමාරු වන බව ජනතාව තුළ කතාබහක් ඇති වෙලා. ඒ නිසා ජනතාවගේ විශ්වාසය බිඳවැටිලා.

ඒ වගේම එක්ස්ප්‍රස් පර්ල් වන්දිය

ගැන පරීක්ෂණයක් කළ යුතු බවට විගණකාධිපති සඳහන් කරලා. ලැබිය යුතු වන්දිය විශාල ලෙස අඩු වෙලා. මෙහි සිදු වූ ගනුදෙනු ගැන තවම දන්නේ නෑ.

කර්මාන්ත හා වැවිලි ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ

ජනතාවට 225 ම එපා වෙලා තියෙන්නේ. හැම ඇමැතිටම දූෂණ චෝදනා නැහැ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට තාක්ෂණ පද්ධතිය හඳුන්වාදී වසර 7 ක් ගත වුවත් තවම ලිපි ගොනු හැදීම නිවැරදිව සිදු වී නැහැ. නිලධාරීන් හිඟනම් උපාධිධාරීන්ගෙන් සේවය ලබා ගන්න, කාර්යක්ෂම කරන්න. තාක්ෂණය ඉතාම අවමවයි පාවිච්චි වෙන්නේ. රේගුව මීට වඩා තාක්ෂණික ක්‍රම පාවිච්චි කළ යුතුයි.

මෙය වෙනස් කරන්න බැරි ඇයි. එකම තැන වසර ගණනාවක් වැඩ කරන නිලධාරීන් ඉන්නවා. මේ නිසා වංචා සිදුවීම වැඩියි. වහා නිවැරදි විය යුතුයි.

වෘත්තීය සමිති මේවා බල අධිකාරියක් කරගෙන. වැරදිකරුවන්ට දඬුවම් දෙන්න විදිහක් නැහැ. දඩ ගහන අයට ගහනවා. සමහරුන්ට දඩ නැහැ. තාක්ෂණය ගැන දක්වන මැළිකම හා බිය මෙයට හේතුව. එයින් හොරකමට හා වංචාවට ඉඩ හැදෙනවා.

උන්ඩියල් වෙළෙඳාමට සම්බන්ධ වී තියෙන්නේ රටේ නමගිය පිරිස්. මේවාට නීති නැහැ. උන්ඩියල් තහනම් කිරීමට නීති අවශ්‍යයි. ඉන්දියාවේ තහනම්.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය

ගම්මන්පිල

ජනතාවට කැප කරන්න කියලා දේශනා කරලා වැඩක් නැහැ. අපි කැපවීම් කරලා ක්‍රියාවෙන් ජනතාවට පෙන්විය යුතුයි. තෙල් අර්බුදය මැද රජය වාහන පාවිච්චි කරාවිද?

අර්බුදය විසඳීමට දැඩි පියවර ගත යුතු වෙනවා. මේවා කිරීමේදී රජය කැප කිරීම් කර ජනතාවට පෙන්වන්න. එහෙම නැතිව ජනතාවට පටි තද කර ගනිල්ලා කියලා වැඩක් නැහැ.

රාජ්‍ය ව්‍යාපාරවල ප්‍රශ්න තියෙනවා. ඇමැතිගේ සිට සුළු සේවකයා දක්වා ආයතනයෙන් මට කරගත හැක්කේ කුමක්ද කියා හිතනවා. පුද්ගලික ආයතන මීට වෙනස්. පාඩු ලබන්න රාජ්‍ය ආයතන හේතුවෙන්නේ කැපවීම නැති නිසයි.

ව්‍යාපාර විකුණනවාට විරෝධය පවතිනවා නම් ව්‍යාපාර යළි මිලදී ගැනීමේ ගිවිසුමක් ඇතිව විකිණිය හැකියි. ව්‍යාපාර යළි මිලදී ගැනීමේ අරමුදලක් හදන්න පුළුවන්. ආණ්ඩුවත්, ජාතියත් අලුතෙන් හිතන්න ඕන. එවිට අපිට මේ අර්බුදයෙන්  ගොඩයන්න පුළුවන්.

රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න

රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව විශාල මුදලක් තොරතුරු තාක්ෂණයට වෙන් කළා. එහෙත් අපේක්ෂිත ප්‍රතිඵල තවම නැහැ.

තාක්ෂණය නිවැරදිව කාර්යක්ෂමව යොදවා ගත්තොත් දූෂණ වංචා අවම කර ගන්න පුළුවන්. ඒ වගේම රාජ්‍ය ආයතන ජාලගත කරගෙන හැඳුනුම්පත් අංකය උපයෝගි කරගෙන කටයුතු කළහොත් වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදිය හැකියි.

රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ

අපට වඩා සංස්කෘතිය තිබෙන රටවල් අපට වඩා දියුණුයි. මොනවා හරි දියුණු වීමට දෙයක් කියපු ගමන් ඒකට ඉදිරියෙන් සංස්කෘතිය දානවා.

සමහරු මඩ විවේචනය කරනවා. ඒත් මම මඩවලට බය නැහැ. අපි රට ගොඩ දාන්න හැකි හැමදේම කරනවා. කාන්තාවන් ශ්‍රමිකයන් ලෙස පිටරට යවන එක ගැන ලැජ්ජා විය යුතුයි. පාලනය කළ සියලු දෙනා ලැජ්ජා විය යුතුයි. අපි ඔවුන්ව දැනුමෙන් ශක්තිමත් කර යවන්න තිබුණා. එහෙම නෑ.

මහ පරිමාණ ව්‍යාපාරිකයෝ නිලධාරීන් අල්ලගෙන බදු ගෙවීමෙන් පැන යනවා. කංසාවලින් රටට විදේශ විනිමය ගේන්න පුළුවන්. අපනයන කර්මාන්තයක් ලෙස දියුණු කළ හැකියි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

ගංජා පිටරට යවලා දියුණු විය යුතු යන ආකල්පයේ අපි නැහැ. ජන සංඛ්‍යා දෙපාර්තමේන්තුව උද්ධමනය වාර්තා කර නිසා රටේ උද්ධමනය සියයට 70.2 යි.

අගෝස්තු මාසේ ආහාර උද්ධමනය සියයට 84.3 ඉතා ගැඹුරු ආර්ථික අර්බුදයක් තුළ අපි ඉන්නේ.

රජයේ බදු ආදායම සියයට 8 තියෙන එක තව අවුරුදු 4 කින් සියයට 14 කට යන්න බලාපොරොත්තු වෙනවා. එදිනෙදා විසඳුම් ඉවත් කර ඉතිරි ප්‍රමාණයට සියයට 2.5 දක්වා වැඩි කරන්න ඉලක්ක කරනවා. වැට් බදු වැඩි කළත් එහි වැඩි වීමක් නැහැ. ඊට හේතුව වර්ධනය වන ආර්ථිකයක බදු ආදායම ලැබෙනවා. දැන් ආර්ථිකයේ වැටීමක් තියෙන්නේ. ඒ නිසා ආදායමක් නිසි ලෙස ලැබෙන්නේ නැහැ. අද කර්මාන්ත බොහෝ ප්‍රමාණයක් වැසී ගෙන යනවා. ආදායම වැඩි කර ගන්න විට ජනතාව සම්පූර්ණයෙන් හිර කරගෙන ආදායමක් ගන්න බැහැ.

රඳවා ගැනීමේ බද්ද යළි ඇති කරන්න. එය තිබුණේ නම් රුපියල් බිලියන 100 කට වඩා ගන්න පුළුවන්. ඒවා ක්‍රියාත්මක නැහැ.

දුම්වැටි මත බද්ද නැහැ. විවාද තියෙනවා. ඊට නිසි බද්දක් පනවන්න. පානයකට සීනි යොදා

ගන්නා විට බද්දක් පැනවුවා. එය 2020 ඉවත් කළා. නැවත ක්‍රියාත්මක කරන්න. ඩොලර් සීයක් අය කරනවා කැසීනෝ ගහන්න යද්දී. එය අය කරනවාද නෑ. ඩොලර් සීයේ බද්ද ගෙවන්නේ නැහැ.

පාර්ලිමේන්තුව යළි අද (22) පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment