රාජ්‍ය ආයතන නට්ටන් වෙනකම් පැය 24 ම ‘ඕවර් ටයිම්’

587

පාඩු ලබන එක පුදුමයක් නොවෙයි….

අපේ රටේ ප්‍රධාන රාජ්‍ය ව්‍යාපාරයන් 52න්, 20ක් පමණ පවත්වාගෙන යනු ලබන්නේ පාඩු පිටය. මහා භාණ්ඩාගාරයෙන් මෙකී ආයතන සඳහා මූල්‍ය අනුග්‍රහය නොලැබුණහොත් එකී ආයතන පවත්වාගෙන යෑම බරපතළ ගැටලුවක් බවට පත්වනු ඇත. මෙකී ආයතනවල පාඩුව රුපියල් ලක්ෂ ගණන් නොව, බිලියන ගනනි. මෙකී පාඩු ලබන රාජ්‍ය ආයතනවල අලාභයන්ට කරගැසීමට ද වී ඇත්තේ ද රට්ටුන්ටය. රජයේ ගණන්හිලව් වලට අනුව රජයේ ප්‍රධාන රාජ්‍ය ව්‍යාපාරයන් 20ක් මෙම වර්ෂයේ (2022) මුල් මාස හතර තුළදී රුපියල් බිලියන 859ක පාඩුවක් ලබා තිබුණි.

● රාජ්‍ය ව්‍යාපාර 20ක් රුපියල් බිලියන 859 ක් පාඩු ලබලා….

ඉකුත් වර්ෂයේ දි (2021) මෙම කාලසීමාව තුළ මෙම ආයතන ලබා තිබුණේ රුපියල් බිලියන 13ක අලාභයකි. එහෙත් මෙම වර්ෂයේ එම කාලසීමාව තුළ මෙම රාජ්‍ය ව්‍යාපාරයන් ලැබූ අලාභය විශාල වශයෙන් වැඩිව ඇත. මෙකී පාඩු ලැබීමට ප්‍රධාන වශයෙන් වගකිවයුත්තා වන්නේ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවයි. ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් වාර්තාකොට ඇති විදේශ විනිමය අලාභය මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි. මෙම වර්ෂයේ මුල්මාස හතර තුළදී ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ විදේශ විනිමය මත ඇතිවූ අලාභය රුපියල් බිලියන 549කි. එමෙන්ම 2021/2022 මූල්‍ය වර්ෂය තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් රුපියල් බිලියන 171ක අලාභයක් වාර්තාකොට තිබුණි. ඛනිජතෙල් සංස්ථාව මෙම වර්ෂයේ මුල් මාස හතර තුළ ලබා ඇති පාඩුව රුපියල් මිලියන 64,951කි.

එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය මෙම කාලසීමාව තුළ රුපියල් මිලියන 47,190ක් පාඩුවක් ලබා තිබුණි. මෙම කාලසීමාව තුළ ජාතික, ජලසම්පාදන, ජලාපවහන, මණ්ඩලය වාර්තාකොට ඇති අලාභය රුපියල් මිලියන 483 කි. මීට අමතරව අදාළ කාලසීමාව තුළ සීමාසහිත ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගම, රුපියල් 6407ක්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, රුපියල් මිලියන 599ක්, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, රුපියල් මිලියන 215ක, පාඩු ලබා තිබුණි. ඒ විතරක් නොව මෙරට සිල්ලර වෙළඳාම සිදුකරන ආයතනය වන ලංකා සතොස සමාගම, ඉකුත් වර්ෂයේ දි ලබා ඇති පාඩුව රුපියල් මිලියන 880 කි.

● පාඩු ලැබුවත් අතිකාල දීමනා ගෙවීම මිලියන බිලියන ගණනින්….

මෙම ආයතන පාඩු පිට පවත්වාගෙන ගියද එවායේ සභාපතිවරු, ප්‍රධාන විධායක නිලධාරීන්, සේවකයන්, කිසිදු හිරිකිතයකින් තොරව චක්‍රලේඛයන්ට පටහැනිව විවිධ වර්ගයේ දීමනා ලබාගනිති. ඒ විතරක් නොව ඇතැම් ආයතනවල සේවකයන් අතිකාල දීමනා, ලබාගන්නේ ලක්ෂ ගණනිනි. ආයතනය නැත්තටම නැතිවී ගියද, කුමක් හෝ ජිල්මාට් එකක් දමා තම මඩිය තරකරගැනීමට මෙකී ආයතනවල ඇතැම් සේවකයන් කටයුතු කරති. මේවායේ වංචාව, දූෂණය, ඉහවහාගොස් ඇත්තේය. අකාර්යක්ෂම පරිපාලනය, අනුමත ප්‍රමාණයට වඩා වැඩිපුර සේවකයන් බඳවා ගැනීම, ආදි හේතු නිසා මෙකී රාජ්‍ය ආයතන මහාභාණ්ඩාගාරයට ද බරක් වී ඇත. මෙම තත්ත්වය හමුවේ මෙම ආයතන නඩත්තු කිරීමට වී ඇත්තේ මෙරට බදුගෙවන ජනතාවටය.

දුම්රිය දෙපාර්තමේන්තුව, ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජතෙල් නීතිගත සංස්ථාව, යන ආයතනවල සේවකයන්, මෙන්ම ලංකා සතොස සමාගමේ සේවකයන්ද, විවිධ වූ දීමනා ලබා ගැනීම අතින් කප්ගැසූ සේවකයන්ය. ලංකා සතොස සමාගම සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය මගින් 2020 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවක මෙම තොරතුරු අනාවරණය වන්නේය. 2020 වර්ෂයේ දී සමාගමේ කාර්ය මණ්ඩලයට ගෙවිය යුතු ප්‍රසාද දීමනාව රුපියල් 3,000කි. එහෙත් සතොස සමාගම විසින් සේවකයන්ට රුපියල් 22,000ක. ප්‍රසාද දීමනාවක් ගෙවා තිබුණි. චක්‍රලේඛයට පටහැනිව සේවකයන් 3444 දෙනකු වෙත වැඩිපුර ගෙවා තිබු ප්‍රසාද දීමනාව හයකෝටි, තිස්හතරලක්ෂ, පන්දහස්, අටසිය පනහකි. (63,405,850 ) මේ සඳහා භාණ්ඩාගාර අනුමැතිය පවා ලබාගෙන නොතිබුණි.

● සතොස සමාගම චක්‍රලේඛයන්ට පටහැනිව කෝටි 06 ප්‍රසාද දීමනා ගෙවලා

සතොස සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි තනතුර වර්තමානය වනවිටත් කොන්ත්‍රාත් පදනමින් බඳවාගන්නා තනතුරකි. මෙකී ප්‍රධාන විධායක නිලධාරි තනතුරට මාසිකව රුපියල් 390,000ක වැටුපක් ගෙවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවි තිබුණි. එම කැබිනට් අනුමැතිය පදනම් කරගෙන 2020 වර්ෂයේ සිට ප්‍රධාන විධායක නිලධාරි තනතුරට මෙකී වැටුප ගෙවා තිබේ. කෙසේවුවද විගණනය මගින් අනාවරණය කොට ඇත්තේ චක්‍රලේඛනවලට පටහැනිව සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් විවිධ වැටුප් හා දීමනා අනුමත කරගෙන තිබූ බවය. ඒ අනුව විදිමත් අනුමැතියකින් තොරව 2019, 2020, සහ 2021, වර්ෂවලදි ගෙවා තිබූ වැටුප් හා දීමනා මුදල රුපියල් හැටපන්ලක්ෂ, හතළිස්හයදහස්, හයසිය හැටහතකි. (6,546,667) එමෙන්ම රජය සතු සමාගම්වල ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරීන්ට ගෙවන ලබන මාසික වෘත්තිය දීමනාව සේවාකාලය පදනම්ව ගෙවිය යුතුය. එහෙත් ඒ පිළිබඳ නොසලකා සතොස සමාගම විසින් 2020 වර්ෂයේ දී නිලධාරීන් 06 දෙනකුට රුපියල් 504,000ක මුදලක් වැඩිපුර ගෙවා තිබුණි. 2021 වර්ෂයේ දි නිලධාරින් 09 දෙනකුට ගෙවා ඇති වැඩිපුර ගෙවා ඇති වෘත්තිය දීමනා මුදල රුපියල් 589,000කි.

● ආරක්ෂිත කැමරා පද්ධතියට වෙන්කළ කෝටි 15 වතුරේ

එමෙන්ම ලංකා සතොස සමාගම විසින් රුපියල් පහළොස්කෝටි, විසිනම ලක්ෂ දෙදහස් තුන්සිය, හතළිස්හතක, මුදලක් (152,902,347) වැයකොට එකී සමාගමේ අලෙවිසල් 313ක් සඳහා ආරක්ෂික කැමරා පද්ධති ස්ථාපිත කිරීමට කටයුතු කරනු ලැබීය. එහෙත් මේවනවිට ආරක්ෂිත කැමරා පද්ධති ක්‍රියාත්මකව පවතින්නේ අලෙවිසල් 70ක පමණි. මේ නිසා සතොස අලෙවිසල් ජාලය සඳහා ආරක්ෂිත කැමරා පද්ධති ස්ථාපිත කිරීමේ අරමුණ ඉටුවී නොතිබුණි. එමෙන්ම වගකීම් කාලය අවසන් වූ පසු මෙකී කැමරා පද්ධතිය නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය පියවර ගෙන නොතිබුණි. එමෙන්ම මෙකී කැමරා පද්ධතියේ දර්ශන පරීක්ෂා කිරීම හා ගබඩා කිරීම සඳහා ක්‍රමවේදයක්ද නොතිබුණි. සතොස සමාගම විසින් අලෙවිසැල් 317ක ආරක්ෂිත කැමරා පද්ධති ස්ථාපිත කිරීම සඳහා පුද්ගලික සමාගමක් සමග 2016 වර්ෂයේ නොවැම්බර් මස 16 දින ගිවිසුමකට එළඹ තිබුණි. මෙකී පුද්ගලික සමාගම සමග ඇතිකරගත් ගිවිසුම අනුව වගකීම් කාලය වසර 02කි. මේ වනවිට සතොස අලෙවිසල් 445ක මෙහෙයුම් කටයුතු පැවතියද ආරක්ෂිත කැමරා පද්ධති ස්ථාපිතකොට තිබුණේ අලෙවිසල් 313ක් පමණි. කළමනාකරණයේ පැවති දුර්වලතාවන් නිසා කෝටි 15ක මුදලක් අපතේ ගොස් තිබුණි.

● විදුලිබල මණ්ඩලයේ සේවකයන් අවුරුදු දෙකට මිලියන 3,256.4 ක දීමනා අරගෙන

ලංකා විදුලිබල මණ්ඩලය ද ජනතාව මත බරපටවා ඇති ආයතනයකි. ඉකුත් වර්ෂයේ දි විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් මිලියන 21,450කි. විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීම සඳහා විදුලිබිල දෙතුන් ගුණයකින් වැඩිකොට ඇත. කොටින්ම කිවහොත් රට්ටුන් මේ නිසා දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටිති. ඒකොයිහැටිවුවද විදුලිබල මණ්ඩලයේ කාර්යමණ්ඩලය මිලියන ගණනින් විවිධ වූ දීමනා ලබාගෙන ඇත්තේය. විගණනය මගින් සඳහන් කොට ඇත්තේ චක්‍රලේඛයේ විධිවිධානවලට පටහැනිව අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය මත විදුලිබල මණ්ඩලයේ කාර්යමණ්ඩලය විසින් වරින්වර විවිධ දීමනා ලබාගෙන ඇති බවය. 2019,2020, යන වර්ෂයන් වලදි දීමනා වශයෙන් රුපියල් මිලියන 3,256.4ක මුදලක් විදුලිබල මණ්ඩලයේ කාර්යමණ්ඩල සඳහා ගෙවා තිබුණි. 2019 වර්ෂයේ දි දීමනා වශයෙන් ගෙවා ඇති මුදල රුපියල් මිලියන 1,712කි. 2020 වර්ෂයේ දි දීමනා වශයෙන් ගෙවා ඇති මුදල රුපියල් මිලියන 1,544.4කි. ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරිත්වය විසින් සඳහන් කොට ඇත්තේ සේවකයන්ගේ චිත්ත ධෛර්ය ඉහළ නැංවීම සඳහා මේ අයුරින් ප්‍රතිලාභ ලබාදී ඇති බවය. කොටින්ම කිවහොත් විදුලිබල මණ්ඩලය තුළ ඇත්තේ මාෆියාවකි. අවසානයේ මේවාට වන්දි ගෙවීමට වී ඇත්තේ අහිසංක ජනතාවටය.

අතිකාල දීමනා ලබාගැනීම අතින් දුම්රිය දෙපාර්තමෙන්තුව කප්ගැසූ ආයතනයකි. සාමාන්‍ය කටයුතුවලින් පරිබාහිර වූ සාමාන්‍ය කාර්යාල වේලාව තුළ ඉටුකළ නොහැකි වූ වැඩ සඳහා පමණක් අතිකාල දීමනා ගෙවිය යුතුය. එහෙත් දුම්රිය දෙපාර්තමෙන්තුව විසින් එහි සේවකයන්ට අතිකාල දීමනා ගෙවීම අනුගමනය කොට ඇත්තේ අමුතුම තාලයේ ක්‍රමවේදයකි. සාමාන්‍ය රාජකාරි කාලය සඳහාද අතිකාල දීමනා ගෙවා තිබුණි. එමෙන්ම නිලධාරියකුගේ තනතුරක් පුරප්පාඩු වූ පමණින් එම තනතුරේ රාජකාරි ආවරණය සඳහා අතිකාල දීමනා ගෙවීම අනුමත කළයුතු නැත. එහෙත් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නීති අංශයේ සහ විනය අංශයේ ඇබෑර්තු ආවරණය සඳහා අතිකාල දීමනා අනුමත කර තිබුණි

● රේල්වේ ඕ.ටී. ගැනිල්ල වසර 10 ට මිලියන 1828 ක්

මඩකලපුව ධාවනාගාරයේ අධීක්ෂණ කළමනාකාර තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා විශ්‍රාමික ධාවනාගාර අධීක්ෂණ නිලධාරීන් තිදෙනකු යොදවා තිබුණි. 2019, 2020, 2021, යන වර්ෂයන්වලදි කොවිඩ් වසංගතය නිසා පළාත් සීමා පනවා දුම්රිය ධාවනය සීමාකොට තිබුණි. එහෙත් මෙකී වර්ෂයන් සඳහා අදාළ නිලධාරීන් වෙනුවෙන් ගමන් වියදම්, සංයුක්ත දීමනා, සහ අතිකාල දීමනා ලෙස රුපියල් 8,695,950. ක මුදලක් ගෙවා තිබුණි. ඒ දුම්රිය දෙපාර්තමේන්තුවේ හැටිය. ඒ විතරක් නොව මඩකළපුව දුම්රිය ස්ථානය සඳහා විශ්‍රාමික අධීක්ෂණ කළමනාකරුවෙකුට 2021 වර්ෂයේ දි පමණක් අතිකාල දීමනා ලෙස නියමිත ගෙවීමට අමතරව රුපියල් 545,548 ක මුදලක් නිශ්කාර්යව ගෙවා තිබූ බව විගණනය මගින්ද අනාවරණයකොට තිබුණි. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් අතිකාල දීමනා උපයාගෙන ඇත්තේ දින 02,03,04,ආදි වශයෙන් අඛණ්ඩ ලෙස සේවයේ නිරතවීමෙනි. සැබවින්ම මෙය අසාමාන්‍ය තත්වයකි. ඒ පිළිබඳ අතිකාල දීමනා අනුමත කරන නිලධාරීන්ගේ අවධානය යොමුවී නොතිබුණි. දුම්රිය දෙපාර්තමේන්තුව දෛනිකව රුපියල් කෝටි දෙකහමාරක පාඩුවක් ලබයි. එසේ තිබියදී දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් සඳහා 2012 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා වූ වසර දහය තුළ දිරි දීමනා හා අතිකාල දීමනා ලෙස රුපියල් මිලියන 1828ක මුදලක් ගෙවා තිබුණි.

● සිමෙන්ති සංස්ථාවේ නිලධාරීන් 13 දෙනකු නඩත්තුවට වසරකට කෝටි 02ක මුදලක්

එමෙන්ම ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව වර්තමානය වනවිට සිමෙන්ති හෝ සිමෙන්ති ආශ්‍රිත කිසිදු නිෂ්පාදනයක් සිදු නොකරන ආයතනයකි. සිමෙන්ති සංස්ථාව සතු අක්කර 5164ක් වු අරුවක්කාලු, හුණුගල් නිධිය, බදුදීම, පලාවි පිහිටි අක්කර 12 රූඩ් 03ක් පර්චස් 30ක් වූ ඉඩම බදුදීම, කොල්ලුපිටියේ පිහිටි පර්චස් 89.07 ක්වු ඉඩම රථගාලක් පවත්වාගෙන යෑම සංස්ථාව සතු එකම ආදායම් මාර්ගය වේ. එහෙත් සංස්ථාවේ නිලධාරීන් 13 දෙනකු සඳහා වැටුප් දීමනා හා පරිපාලන වියදම් වශයෙන් වාර්ෂිකව රුපියල් එක්කෝටි, අනූනමලක්ෂ, අසූතුන්දහස්, හයසිය හතළිස් අටක (19,983,648) වියදමක් දරනු ලබයි. මේ සඳහා සංස්ථාව විසින් වාර්ෂික වැයකරනු ලබන වියදම සංස්ථාවේ මුළු බදුකුලී ආදායමෙන් සියයට 31කි. 2021 වර්ෂයේදී එම ආදායම රුපියල් හයකෝටි, පනස් දෙලක්ෂ පනස්හයදහස් දෙසිය, පහළොවකි. (65,256,215) මේ අපේ රටේ ඇතැම් රාජ්‍ය ආයතන රටට බරක් වී ඇති ආකාරයයි.

● වරායේ අතිරික්තයක් ඇති අංශවල සේවකයන්ටත් අතිකාල දීමනා ගෙවලා
ගෙවා ඇති අතිකාල දීමනා මුදල මිලියන 4,941 කි.

ශ්‍රීලංකා වරාය අධිකාරිය ද අතිකාල දීමනා ලබාගැනීම සම්බන්ධයෙන් කප්ගැසූ ආයතනයකි. වරාය අධිකාරියේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් සෘජුවම සම්බන්ධතාවක් නොදක්වන අංශ 14ක සේවකයන් 515 දෙනකුගේ අතිරික්තයක් පැවතුණි. එහෙත් 2020 වර්ෂයේ දි සේවක අතිරික්තයක් පැවති අංශවල සේවකයන් සඳහා ගෙවා ඇති අතිකාල දීමනාව රුපියල් මිලියන 1,046කි. එකී වර්ෂයේ වරාය අධිකාරියේ සේවකයින් සඳහා ගෙවා ඇති සමස්ත අතිකාල දීමනා මුදල රුපියල් මිලියන 4,941කි. අතිකාල ලබා ගැනීමේ දී කල වැඩ වාර්තා ඉදිරිපත් කළ යුතුය. එහෙත් වරාය අධිකාරිය විසින් අතිකාල ගෙවීම සම්බන්ධයෙන් කළ වැඩ වාර්තා විගණනය වෙත ඉදිරිපත්කොට නොතිබුණි. කාර්යමණ්ඩලය පලදායි ලෙස සේවයේ යොදවා අතිකාල දීමනා වියදම අඩුකර ගැනීමට කටයුතු කළයුතු බවට විගණනය මගින් ද නිර්දේශකොට තිබුණි.

එමෙන්ම ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මෙන්ම ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ද අනුමත සේවක සංඛ්‍යාවට වඩා සේවකයන් සිටින ආයතනයන්ය. මෙකී ආයතන භාරව සිටි ඇමැතිවරුන් තම දේශපාලන හිතවතුන්ගෙන් මෙකී ආයතන පුරවා ඇත්තේය. ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සඳහා අනුමත කාර්යමණ්ඩලයට පරිබාහිරව පුද්ගලයින් 1148 දෙනකු බඳවාගෙන ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ. සමාගමේ අනුමත සේවක සංඛ්‍යාව 3249කි. 2020 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදිනට මෙහි තනතුරු 746ක් පුරප්පාඩු වී තිබුණි. කෙසේවුවද මේ පිළිබඳ ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ අනුමත සේවක සංඛ්‍යාවට පරිබාහිරව බඳවාගෙන ඇති සේවක සංඛ්‍යාව සාමාන්‍ය එදිනෙදා බඳවා ගැනීමේ ක්‍රියාවලියක් නිසා ඇති වුවක් නොවන බවය. මෙය අනුමත සේවක සංඛ්‍යාවේ තනතුර හෝ ශ්‍රේණියේ නොගැළපීම නිසා මෙම විෂමතාව කාලයක් තිස්සේ නිර්මාණය වි ඇති බවය.

● ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ අතිරික්ත සේවකයන් 1148 ක්.

දේශපාලන වින්දිතයන් පිළිබඳ කටයුතු කිරීමේ ක්‍රියාවලියේදි අමාත්‍ය මණ්ඩලය විසින් උසස් කිරීම් හේතුවෙන් මෙම උසස්වීම්වලින් බොහොමයක් සුපිරි සංඛ්‍යාත්මක පදනමකින් සිදුකොට තිබීම, සේවක සංඛ්‍යා සමාලෝචනයේ දි සේවක තනතුරු සංඛ්‍යාව අඩුකිරීම, වසර 30ක සේවා කාලය මත විශ්‍රාම යන සේවකයන් සඳහා උසස්වීම් ලබාදීම, මෙම විෂමතාවන්ට හේතු වී ඇත. මෙම අතිරේක සේවකයන් සඳහා රාජකාරි පැවරීම මගින් ආසන්නතම අනුමත සේවක සංඛ්‍යාව සමග ගැළපීමට කටයුතු කරන බවත්, ඒ අනුව නව බඳවා ගැනීම් නොකිරීමට කටයුතු කළ ඇති බව කළමනාකාරිත්වය මගින් විගණනයට ප්‍රකාශකොට තිබුණි.

ලංකා ඛනිජවැලි සමාගම ද 2020 වර්ෂයේ දි ප්‍රසාද දීමනා අත්තිකාරම් වශයෙන් එහි සේවකයින්ට රුපියල් පන්කෝටි, අනූපන් ලක්ෂයක මුදලක් ගෙවා තිබුණි. (59,500,000) මේ සඳහා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ද, අමාත්‍යාංශයේ ද, භාණ්ඩාගාරයේ ද, අනුමැතියක් ලබාගෙන නොතිබුණි. කර්මාන්ත අමාත්‍යාංශය මගින් ප්‍රසාද දීමනා ගෙවීම් සම්බන්ධයෙන් අනුමත කරනු ලැබූ පටිපාටියට අනුව ප්‍රසාද දීමනා ගෙවීම වර්ෂයේ ලාභය පදනම්කර ගතයුතු බවට සඳහන් කොට තිබුණි. එහෙත් ඛනිජ වැලි සමාගමේ සභාපතිගේ ආරක්ෂාවට සමාගමේ මුදල් යොදවා ගිනි අවියක් මිලදීගෙන.

සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවා ඇත්තේ එකී පටිපාටියෙන් බැහැරව එම වර්ෂයේ දි (2020) ලාභයක් නොලබා තිබියදීය. අනික් කාරණය වන්නේ මුදල් අරපරිස්සමින් භාවිත කිරීමට සහ අනවශ්‍ය වියදම් නොදැරීමට වගබලාගත යුතු බවට මෙකී ආයතනවලට උපදෙස් ලබාදි තිබුණි. ඒකොයිහැටිවුවද මෙකී සමාගමේ සභාපතිවරයාගේ ආරක්ෂාව සඳහා ගිනි අවියක් මිලදී ගැනීම සඳහා සමාගම විසින් රුපියල් 405,956ක මුදලක් වැයකොට තිබුණි. මේ සඳහා අත්තිකාරම් වශයෙන් 2020 වර්ෂයේ ඔක්තෝබර් මස 15 වනදින රුපියල් 324,946 මුදලක්ද, 2021 වර්ෂයේ මාර්තු මස 04 වැනිදින රුපියල් 81,010 ක මුදලක් නාවික හමුදාව වෙත ගෙවා තිබුණි. ඒ විතරක් නොව 2020 වර්ෂයේ සැප්තැම්බර් මස 30 වැනිදින තවත් ආයතනයකට මේ සඳහා අත්තිකාරම් වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක් ගෙවා තිබුණි. එහෙත් එකී ගෙවීම කුමක් සඳහාද යන්න විගණනයට අනාවරණය කරගැනීමට නොහැකි වී තිබුණි. අනික් කාරණය වන්නේ සභාපතිවරයාගේ ආරක්ෂාවට සමාගමේ මුදල් වැයකොට ගිනි අවියක් මිලදී ගැනීමේ අවශ්‍යතාවද ප්‍රශ්නගත කරුණකි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment