රාජ්‍ය ආයතන 20ක දිනක පාඩුව කෝටි 79ක් – ඩයනා ගමගේ

240

රට බංකොලොත් වෙන එක අහන්නත් දෙයක් ද

රුපියල් බිලියන 12437ක වත්කම් සහිත මෙරටට උපක්‍රමිකව ඉතා වැදගත් රාජ්‍ය ආයතන පනස් හතෙන් ආයතන 20ක දිනක පාඩුව රුපියල් කෝටි 79ක් වන බැවින් රට බංකොලොත් වීම අහන්නත් දෙයක් දැයි පත් කළ මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (12 දා) පැවසුවාය.

ලංකා විදුලිබල මණ්ඩලය, සිපෙට්කෝ, ශ්‍රීලන්කන්, ජල සම්පාදන මණ්ඩලය, ලංගම, දුම්රිය වගේ ආයතන 20ක ගිය වසරේ පමණක් අලාභය රුපියල් කෝටි 28600ක් බවද ඇය සඳහන් කළාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් විවාදයේ දී අදහස් දක්වමින් මේ බව කී මන්ත්‍රීවරිය මෙසේ ද කීවාය.

අපේ රජයේ රාජ්‍ය ආයතන 557ක් තිබෙනවා. නමුත් මෙයින් 52 ක් පමණයි උපක්‍රමික වැදගත් ආයතන ලෙස හඳුනාගෙන තිබෙන්නේ. මේවාට විශාල වත්කම් තිබෙනවා. රුපියල් බිලියන 12437ක වත්කම් ඒ ආයතනවලට තිබෙනවා. ඒත් මේවායින් රාජ්‍ය ආදායමට ලැබී තිබෙන්නේ ගිය වසරේ රුපියල් බිලියන 30ක් වගේ සොච්චමක්. එය ආයෝජන ප්‍රතිලාභයෙන් සියයට 0.25යි. මේ මුදල ස්ථාවර තැන්පතුවක් දැම්මත් සියයට 20ක් හම්බෙනවා. විදුලිබල මණ්ඩලය, සිපෙට්කෝ, ශ්‍රීලන්කන්, ජල මණ්ඩලය, ලංගම, දුම්රිය වගේ ආයතන 20ක්. මේ ආයතනවලින් ගිය වසරේ පමණක් රුපියල් කෝටි 28600ක් පාඩුයි. එක දවසකට පාඩුව කෝටි 79ක්. ඉතින් අපේ රට බංකොලොත් වෙන එක අහන්න දෙයක්ද?

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment