දහසකුත් එකක් අර්බුද මැද රට පවතින මොහොතක රාජ්ය ඇමැතිවරුන් තිස් හත් දෙනකු පත් කර තවත් රාජ්ය වියදම වැඩි කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම සම්පූර්ණ වැරදි ක්රියාවක් යැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක මහතා ‘දිවයින’ට ඊයේ (9දා) පැවසීය.
ආර්ථික අර්බුදයකුත් පවතින මේ මොහොතේ කැබිනට් ඇමැතිවරුන් විසි දෙනකුගෙන් පමණක් රට ඉදිරියට ගෙන යා හැකි බව ද අත්තනායක මහතා කීවේය.
අත්තනායක මහතා මෙසේ ද කීවේය.
“අරගලයෙන් කිව්වේ සිස්ටම් චේන්ජ් කරන්න කියලා. වංචාව, දූෂණය, හොරකම නතර කර රාජ්ය වියදම අවම කරන්න කියලා. ඒත් එම පණිවිඩය තේරුම් නොගෙන ආණ්ඩුව පරණ අඩි පාරෙම යන්න තමයි රාජ්ය ඇමැතිවරු තිස්හත්දෙනෙක් පත් කර ගත්තේ.
යුනිසෙෆ් සංවිධානය කියනවා ළමා මන්ද පෝෂණය අතින් ශ්රී ලංකාව 6 වෙනි තැනට ඇවිත් කියලා. ආණ්ඩුව ඊට පිළියම් යොදනවා වෙනුවට කරන්නේ යුනිසෙෆ් ප්රකාශය ප්රතික්ෂේප කිරීමයි. වගකීම් සහගත ආණ්ඩුවක් නම් කළ යුත්තේ ළමා මන්දපෝෂණය තුරන් කිරීමට කටයුතු කිරීමයි. ආහාර හිඟය දුරු කිරීම, ජීවන වියදම අඩු කිරීම, විදෙස් සංචිත වැඩි කර ගැනීමට උපායමාර්ග යෙදීම ආදියට රජය අවධානය යොමු කළ යුතුයි. රාජ්ය ඇමැතිවරු වැඩි කළා කියලා රටට වෙන සෙතක් නෑ.
අනුරාධ හිරිපිටියගේ