රාජ්‍ය ඇමැති ධුරයෙන් ලාන්සා අස්වෙයි

109

ජනතාව දුකේ වැටී සිටියදී අහක බලාගෙන ඉන්න බැහැ

රටේ මහජනතාව දැඩි ආර්ථික අර්බුදයකින් සහ පීඩනයකින් පෙළෙන මෙවන් අවස්ථාවක ඒ පිළිබඳව කිසිදු තැකීමකින් තොරව බලාසිටීමට තම හෘද සාක්ෂියට එකඟව නොහැකි බව ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දෙමින් රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා මහතා ග‍්‍රාමීය සංවර්ධන හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඊයේ (22 දා) ඉල්ලා අස්විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඔහු විසින් යවන ලද ඉල්ලා අස්වීමේ ලිපියේ මේ බව සඳහන් කර තිබේ.

තනතුරු වරප‍්‍රසාද හා බලයට වඩා තම හෘද සාක්ෂිය වැදගත් බැවින් ඊයේ (22 දා) සිට තමන් ග‍්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ බව ද නිමල් ලාන්සා මහතා ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මෙම ඉල්ලා අස්වීම පිළිබඳව ‘‘දිවයින’’ කළ විමසීමකදී රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා මහතා කියාසිටියේ මේ මොහොතේ මාධ්‍ය වෙත කිසිදු ප‍්‍රකාශයක් කිරීමට තමන් ඉදිරිපත් නොවන බවත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට තමන් බලාපොරොත්තු වන බවත්ය.

රාජ්‍ය ඇමැතිවරයා ජනාධිපතිවරයා වෙත යැවූ ඉල්ලා අස්වීමේ ලිපියේ මෙසේ ද සඳහන් වෙයි.

‘සෞභාග්‍යයේ දැක්ම’ ජාතික වැඩපිළිවෙළ සහ රජයේ සංවර්ධන වැඩසටහන් කි‍්‍රයාත්මක කරමින් රටේ මහජනතාව වෙනුවෙන් ඉහළ සේවාවක් ලබාදීම සඳහා ග‍්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධුරයේ වගකීම මා වෙත පැවරීම පිළිබඳව මාගේ හෘදයාංගම ස්තූතිය පළ කරමි.

තම අමාත්‍යාංශයේ තමා වෙත පැවරුණු වගකීම් ඉටුකරලීමේදී මුහුණපෑමට සිදුවූ ප‍්‍රධාන ගැටලූ කීපයක් පිළිබඳව ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයට යොමුකරමින් ඉකුත් පෙබරවාරි 22 වැනිදා ලිපියක් යොමු කළ බව ද එම ලිපියේ සඳහන් කරුණු කාරණා තවදුරටත් එලෙසින්ම සිදුවන බව තමා දන්නා බව ද ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමුකර රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ද නිමල් ලාන්සා මහතා එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පක්ෂය නියෝජනය කරමින් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ මුල්ම අමාත්‍යවරයා වන්නේ ද නිමල් ලාන්සා මහතාය.

තමාට තම අමාත්‍යාංශයේ ගෞරවාන්විතව රාජකාරි කිරීමට බාධා පැමිණීම පිළිබඳව කලකිරීමෙන් පසු වූ නිමල් ලාන්සා මහතා මීට සති කීපයකට පෙර සිය රාජ්‍ය අමාත්‍යාංශයේ රාජකාරි කටයුතුවලින් ඉවත් වී තිබිණි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment