රාජ්‍ය බැංකු ආරක්ෂා කර ගැනීමට පවතින නීතී සියල්ල යාවත්කාලීන කරනවා -රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය

87

ඕනෑම වත්කමක වැඩිම වටිනාකම ඇත්තේ කලට වේලාවට ප්‍රයෝජන ගත්තොත් තමයි – එරාන් වික්‍රමරත්න (සජබ)

රාජ්‍ය බැංකු පද්ධතියේ ආරක්ෂාව සඳහා ඉදිරියේදී පවතින නීති සියල්ල යාවත්කාලීන කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (02 දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

බැංකු සංශෝධන පනත් කෙටුම්පත හා තවත් නියෝගයන් කිහිපයක් පිළිබඳව පැවැති විවාදය ආරම්භ කරමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කීය.

විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය ඇමැතිවරයා, මෙරට බැංකුවල වත්කම රුපියල් ටි්‍රලියන 20.4ක්. තැන්පතු ට්‍රිලියන 16.6ක්. ගිණුම් හිමියන් පන්කෝටි හැත්තෑ ලක්ෂයක් ඉන්නවා. ඉන් සියයට හැටක් පමණ රුපියල් 5,000ට අඩු කුඩා තැන්පත්කරුවන්. ඒ නිසාම බැංකු පද්ධතියේ ආරක්ෂාව සඳහා නීති යාවත්කාලීන විය යුතුයි.

බැංකුවල අය නොවන ණය සීමාව 2023 වනවිට ණයවලින් සියයට 17.78ක්. තීරණ ගනිද්දි හැම පැත්තක්ම බැලිය යුතුයි. පරාටේ නීතියට සංශෝධන කැබිනට් මණ්ඩලය අනුමත කර ගැසට් කර තියෙනවා. ඉදිරි පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා. දෙසැම්බර් මාසය දක්වා පරාටේ නීතිය ක්‍රියාත්මක වීම එමගින් වැළකෙනවා. ආනයනික භාණ්ඩවල මිලෙහි පරාසයන් තිබෙනවා. ඒ පිළිබඳ අපි දෛනිකව වාර්තා ලබා ගන්නවා. වෙළෙඳ ඇමැතිට අපි ඒවා යොමු කරනවා. ආනයනික භාණ්ඩවල ලාභ පරාසය අඩු කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකියි. සංක්‍රමණිකයන් දිරිමත් කරන්න විදුලි වාහන ආනයනට ඉඩ දුන්නා. ලබාදී ඇති බලපත්‍රවලට වාහන ගෙනැවිත් නැත්නම් අගෝස්තු මාසය දක්වා ඊට ඉඩ ලබාදෙනවා.

පත්කළ මන්ත්‍රි එරාන් වික්‍රමරත්න (සජබ),

කෝප් කමිටුව කතාව විතරයි වැඩ නෑ කියලා මතයක් සමාජයේ තියෙනවා. ඒ තත්ත්වය නැති කිරීමට නම් ස්ථාවර නියෝගවල වෙනසක් විය යුතුයි. යම් සිද්ධියක් පිළිබඳව ඍජුවම අල්ලස් කොමිසමට හෝ නීතිපතිට හෝ පරීක්ෂණ පවත්වන ආයතනයකට හෝ භාරදීමට කෝප් කමිටුවට බලය දිය යුතුයි.

මේ රටේ ජනතාවට ගොඩක් වත්කම් තියෙනවා. ඒවායින් නිසි ප්‍රතිලාභ ලැබෙන්නේ නෑ. රජයත් ඊට වගකිව යුතුයි. වසර 50ක පරණ කතාවක් අල්ලාගෙන අපට ශ්‍රී ලන්කන් ගුවන් සේවය අයිතියි, හැම එකක්ම අයිතියි කියලා අයිතිය විකුණන්න එපා කියනවා. අයිතිය තිබුණා කියලා මිනිස්සුන්ට තියෙන ලාභය කුමක්ද? පොස්ෆේට් රටේ තියෙනවා. මම මීට වසර 20කට පෙර එහි ගිහින් ජනතාවට කිව්වා පොස්ෆේට් එක විකුණන්න කියලා. තෙල් ටික මැදපෙරදිග රටවල් එදා වික්කෙ නැතිනම් අද ඒ රටවල් දියුණු නෑ. ඕනම වත්කමක වැඩිම ප්‍රයෝජන තියෙන්නේ කලට වේලාවට ප්‍රයෝජනයට ගත්තොත් පමණයි. සමහරු කියනවා ටෙලිකොම් එක විකුණන්න එපා ආරක්ෂාවට බලපානවාලු. අපි හිතන්න ඕන ආරක්ෂාවට බලපාන්නෙ කොහොමද කියලා. ලංකාවේ හැමදේම වගා කළ යුතු නෑ. ඒත් ආහාර, ආරක්ෂාව අවශ්‍යයි. රටේ ආරක්ෂාව රැඳී පවතින්නේ විදේශ ප්‍රතිපත්තිය අනුවයි.”

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රි කබීර් හෂීම් (සජබ),

අද රජය කෙරෙහි විශ්වාසය බිඳවැටී තියෙනවා. එය යළි ඇති කරගන්න නම් විදුලිබල ක්ෂේත්‍රය ගැන යම් යම් තීන්දු ගත යුතුයි. රජය ගන්න ක්‍රියාමාර්ග නිසා විනිවිදභාවය නැති අවස්ථා තියෙනවා. විදුලිබල පනතක් ගේනවා කියලා ඇමැති කිව්වා. අදානි සමාගමට පුනර්ජනනීය ව්‍යාපෘතියක්, මෙගාවොට් 500ක ව්‍යාපෘතියක් මන්නාරම ප්‍රදේශයෙන් දෙන්න යනවා.

අදානි සමාගමට දෙන ව්‍යාපෘතිය ගැන ප්‍රශ්න තියෙනවා. තෝරාගැනීමේ ක්‍රමවේදය ගැන කිසිම විනිවිදභාවයක් නෑ. මෙවැනි විශාල ව්‍යාපාරික තොරතුරු පාර්ලිමේන්තුවට ලබා දිය යුතුයි. අපි කවුරුවත් මේ ව්‍යාපෘතිය ගැන තොරතුරු දන්නේ නෑ.

ඒකකයකට ගෙවන මිල ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒකකයක් ඩොලර් ශත 12කට ගන්න මුලින් එකඟවුණා. පසුව ශත 9කට එකඟ වෙලා. පසුව ශත 8.8 කට විදුලි ඒකකයක් ගන්න උත්සාහ කරනවා. ගෙවන මුදල මිල ගණනයට ආවේ කොහොමද?

වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු,

මහ බැංකු පනත සම්මත කිරීම තුළින් ආර්ථිකය ස්වාධීනව ගොඩනඟන්න පුළුවන් කියලා හිතුවා. බැංකු විශේෂ විධිවිධාන පනත සම්මත කළා. අදත් බැංකු පනත සංශෝධනය කරනවා. බැංකු පද්ධතිය ශක්තිමත් කර මහජන සේවය පුළුල් කිරීම මෙහි අරමුණයි.

පසුගිය වසරේදී මෙරට ආර්ථිකය කඩාවැටුණා. එය නඟාසිටුවන්නයි ශක්තිමත් රජයක් පිහිටුවූයේ. අවුරුදු තිහ හතළිහක් ආණ්ඩු කළත් ආර්ථිකය කඩාවැටුණා. ආහාර නැති වුණා. ඩොලර් හිඟ වුණා.

අපි පුළුවන් උපරිමය, මූල්‍ය තත්ත්වය ස්ථාවර කරන්න තීරණ ගත්තා. මේවා ඉදිරියට පවත්වාගෙන යන්න නීති ගේන්න සිදුවුණා.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි ගයන්ත කරුණාතිලක (සජබ),

ආර්ථික ඝාතකයන් රටට කළ විනාශය අදට පමණක් නොව තව වර්ෂ, දශක ගණනාවක් යනතුරු දැනෙනවා. එහි බලපෑමෙන් මිදෙන්න බැහැ. ජනතාවගේ බලාපොරොත්තු අද බිඳවැටී තිබෙනවා. විශාල පිරිසක් තම කනකර, ඉඩකඩම් පවා උකස් කර තියෙනවා. රැකියා විරහිතභාවය ඉහළ ගිහින්. සංචාරක ක්ෂේත්‍රයත් පුද්ගලික අංශයේ ව්‍යාපාරත් බිඳවැටුණා. රැකියා වෙළඳපොළ පුළුල් කිරීමට ව්‍යවසායකයන් ශක්තිමත් කළ යුතුයි. පරාටේ නීතිය මගින් ව්‍යවසායකයන් තව දුර්වල වෙනවා.”

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා (ශ්‍රීලපොපෙ),

එදා තෙල් මිලදී ගැනීමට නිකුත් කළ බැංකු අණකර ජාත්‍යන්තරය පිළිගත්තේ නෑ. තෙල් නෑ. විදුලිය නෑ. මේ තත්ත්වයට වගකිවයුත්තේ කවුද? අද ආර්ථිකය යම් දුරකට ශක්තිමත් වී තියෙනවා. ඩොලර් තියෙනවා.

ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න ආණ්ඩු අසමත් වුණා. ඒවා ඉටු කිරීමට ආණ්ඩු කල්ගත්තා. ජනතාව විරුද්ධ වෙයි කියලා බය වුණා. ආණ්ඩුව කොයි පැත්තක හිටියත් රාජ්‍ය ක්ෂේත්‍රයම වැඩ කරන්න අවශ්‍යයි. අලුත් ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන සුබවාදීව බැලිය යුතුයි. නිවැරැදි කළමනාකරණයක් තිබිය යුතුමයි.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රි කේ.පී.එස්. කුමාරසිරි (ශ්‍රීලපොපෙ),

රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ලිපියක් නිකුත් කර තියෙනවා. මාර්තු මස 30 වැනිදා සිට ප්‍රාදේශීය ලේකම්වරුන්ට රුපියල් 15,000ක්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ට රුපියල් 10,000ක්, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) රුපියල් 10,000කුත්, නොතාරිස්වරුන්ට රුපියල් 10,000කුත් වැඩිකර තිබෙනවා. මාස 10ක දීමනාවක් ලෙස මෙය ඉතාමත් හොඳයි. නමුත් මේ අය පමණක් නොවෙයි රාජ්‍ය සේවයේ ඉන්නේ. ග්‍රාම නිලධාරි, සමෘද්ධි නිලධාරි, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි, පී.එච්.අයි. නිලධාරීන් ඉන්නවා. මේ අයට ප්‍රශ්න රැසක් තියෙනවා. ඒ අයටත් වැඩි කරන්න.

තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා, තවම විසඳී නෑ. ආදේශකයන් තවම බඳවාගෙන නෑ. ස්ථිර පත්වීම් දීලා නෑ. උසස්වීම් නතර වෙලා. තැපැල් ස්ථානාධිපතිවරුන්ට ස්ථිර පත්වීම් නෑ.

රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම,

වරාය නගරය තුළ ඉඩම් කට්ටි නොයෙකුත් කාරණා සඳහා තෝරාගත්තා. ඒ තෝරාගත් ආකාරය රෙගුලාසිවල තියෙනවා. වරාය නගරයේ ජාත්‍යන්තර පාසල හා විශ්වවිද්‍යාලය අතරට රෝහලක් ඉදිකිරීම පිළිබඳවත් සංශෝධන ඉදිරිපත් කර තියෙනවා.

වරාය නගරයේ තවත් ආයෝජකයන් සම්බන්ධ වී තියෙනවා. ජාත්‍යන්තර බැංකු කිහිපයක්ම ඒ අතර වෙනවා. ඊට අදාළ රෙගුලාසි සම්මත කළ පසුව ඉදිකිරීම් අරඹනවා.

රෝහල්, ජාත්‍යන්තර පාසල්, සුපිරි නිවාස ව්‍යාපෘති ළඟදීම ඉදිකිරීම් ඇරඹෙනවා. තට්ටු 50ක ගොඩනැඟිලි 2ක් ඉදිවෙනවා. තව ව්‍යාපෘති තුනක රෙගුලාසි ගැසට් කළ පසුව වැඩ ඇරඹෙනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment