රාජ්‍ය යාන්ත්‍රණය වෙනස් නොවුණහොත් රටට අනාගතයක් නැහැ

96

එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා 2023.11.27 වනදින පැවැති රජයේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ වෘත්තිකයන්ගේ සමුළුව අමතා සිදුකළ කතාව

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ඇමැතිවරයා හැටියටත් ඒ වගේම 2001 වසරේ ලංකාවේ රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා හැටියට කටයුතු කරපු නිසා මට සමහර අවස්ථාවල පාර්ලිමේන්තුවේදීත්, විවිධ ස්ථානවලදී හිතෙනවා කතා කරනවාට වැඩිය හොඳයි කතා නොකරන එක කියලා.

මොකද එච්චරට අපි සිහින ලෝක ගොඩක් දැකලා අවසානයි. මට මතකයි 2001 රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය භාර ගන්නවා. මට මතකයි මම ඒ වෙලාවේ කරපු කතාව. මම කිව්වා අද මම මේ අමාත්‍යාංශය භාර ගන්නවා. හැබැයි මගේ ඉදිරියේ ඉන්න ඔබ හිතනවද දන්නෙ නෑ අපි වගේ අයත් ඕනද කියලා. ඔහොම යමු කියලා තමයි පටන් ගත්තෙ.

ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා හැටියට බැලුවා ජාත්‍යන්තරයේ සහයෝගය ලබාගෙන සම්පූර්ණ රාජ්‍ය යාන්ත්‍රණයේ පරිවර්තනයක් ඇතිකරන්න. ඒ හදපු වාර්තා තාමත් මගේ ළඟ තියෙනවා. හැබැයි ඉතින් ඒවායින් රටට වැඩක් වුණේ නෑ කියන එකයි ප්‍රකාශ කරන්න තියෙන්නෙ. කාලය හා වේලාව ගත වුණා පමණයි.

ඒ වෙලාවේ අපි වොෂිංටන් එක්ක කෙළින්ම වැඩ කළා. වර්ල්ඩ් බෑන්ක් එක කෙලින්ම ඩොලර් මිලියන 98 ක් ලබාදෙන්න රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට පොරොන්දු වුණා. විශාල පරිවර්තනයකට යන්නයි අපි උත්සාහ කළේ. පරිවර්තනයක් කිව්වම සමහර වෙලාවට රාජ්‍ය සේවකයෝ හිතනවා දැන් අපිට අවස්ථාව අහිමි වෙනවාද කියලා. නෑ අවස්ථාව අහිමි වෙන්නෙ නෑ අවස්ථාව වැඩිවෙනවා.

අද රාජ්‍ය සේවකයෝ ලක්ෂ 13 යි, විශ්‍රාමිකයෝ ලක්ෂ 71/2යි, සියල්ල ලක්ෂ 20 ක් පමණ. රාජ්‍ය යාන්ත්‍රණය හොඳට දුවනවා නම් මේ ලක්ෂ 20 ටම වැඩ තියෙනවා. අපි එහෙමයි එවෙලේ හිතුවේ. ඒ වෙලාවේ හිටියා 450000 ක් වගේ විශ්‍රාමකයෝ. අද විශ්‍රාමිකයෝ හත් ලක්ෂ ගණනකට වැඩියි.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මේ රටේ තිබෙන වැදගත්ම අමාත්‍යාංශයක්. අද එහි රාජ්‍ය ඇමැතිතුමා හැටියට අශෝක ප්‍රියන්ත මැතිතුමා ළඟ ඒ වගකීම තිබෙනවා. ඒ වගේම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා පළපුරුදු දේශපාලන නායකයෙක් හැටියට එම අමාත්‍යාංශයට නායකත්වය ලබා දෙනවා.

දැන් මෙතන මතක් කළා ඉඩම් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ගැන. අවුරුදු 170 යි මේ දෙපාර්තමේන්තුවට වයස. කිසිම දවසක රාජ්‍ය නායකයෙක් පස් පාගලා නැති අමාත්‍යාංශයක්. මම ඇමැති කාලේ එතැනට අපි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා එක් කරගෙන ගියා. එතුමා මට දවසක් ලිපියක් එවලා තිබුණා. ඒ ලියුම තාම මගේ ළඟ තිබෙනවා.

ලෝකෙ ආධාර දෙන කණ්ඩායම් කියනවා හොර ඔප්පු, හොර ලියැකියවිලි තිබෙන දෙපාර්තමේන්තුව නිසා ආධාර දෙන කණ්ඩායම් රටට ආධාර දීමට පවා එකඟ නෑ කියලා. පසුව මහ බැංකුවේ දී අපේ අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරලා යම් යම් තීරණවලට ඇවිල්ලා හොඳ වාතාවරණයකට ආවා. ඒ වෙලාවේ තමයි ඔබේ හැඳුනුම්පත මාරු කළත් නොකළත් තව අංක දෙකක් එකතු කිරීමට කටයුතු කළේ.

ඒ වගේම එක් දින සේවාව පටන් ගත්තේ. ඒක පටන් ගන්නකොටත් ඇතැම් අය විවිධ කතා කිව්වා. ඒ වෙලාවේ නීතිඥයෝ ලංකාවේ 18,000 යි. දැන් 22,000 යි. එක් දින සේවාව පටන් ගන්නකොට එච්චර කැමති වුණේ නෑ. ඉඩම් අමාත්‍යාංශය ලංකාවේ තිබුණත් ඔබේ ඔප්පුව තිබෙන අමාත්‍යාංශය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය. ඔබේ ඔප්පුව තිබෙන අමාත්‍යාංශය ඉඩම් අමාත්‍යාංශය නොවේ. ඒ ඇයි?

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව Ceylon Period එකේ ඉඳලා අපේ අණ පනත්වල තිබෙන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය. ඒක අපේ අමාත්‍යාංශයෙන් ගලවන්න බැරි නිසා තිබෙනවා මිසක්, ගලවන්න පුළුවන් නම් ඒකත් තව කොහේ හරි ගමන් කරයි. දැන් මේ ශාලාවේ ඉන්න සියලු දෙනාගේම ඔප්පුව තිබෙන්නේ ඉඩම් අමාත්‍යාංශයේ නොවේ. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ. එතකොට මෙය ඉතාම වැදගත් අමාත්‍යාංශයක්. අපි 2001 ඉඳලා උත්සාහ කළා මුළු රටේම කාර්යක්ෂමතාවය වැඩි කරලා අපේ IT System එක දියුණු කරලා ඉස්සරහට යන්න.

මේ අමාත්‍යාංශය ඇතුළේ තිබෙනවා සේවා ගොඩක්. පරිපාලන සේවය තිබෙනවා. ඉංජිනේරු සේවා තිබෙනවා, නිර්මාණ ශිල්පී සේවා තිබෙනවා, විද්‍යාත්මක සේවා තිබෙනවා. සේවාවන් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ලංකාවේ දීප ව්‍යාප්ත සේවා ගොඩක් තිබෙනවා. අධ්‍යාපන සේවා වෙන්න පුළුවන්, අනිත් සේවාවන් වෙන්න පුළුවන්. මේ සේවාවන්වලට සම තැන ලැබෙන තුරු ශ්‍රී ලංකාවට හරියන්නෙ නෑ. ඒක ඉස්සරවෙලා සියලු දෙනා හිතේ තියාගන්න ඕන.

ලෝකයේ එහෙම දියුණු වුණු රටවල් නැහැ. සිංගප්පූරුව දියුණු වෙලා තිබෙන්නේ එහෙමයි. මැලේසියාව දියුණු වෙලා තිබෙන්නේ එහෙමයි. මේ IT ක්ෂේත්‍රයේ ඉන්න අය මම ඇමැති කාලෙත් හමුවුණා. ඒ කාලෙත් සාකච්ඡා කළා. නමුත් අදටත් විසඳුමක් නැහැ. වෙනස් වෙන්න තිබෙනවා. ඉතින් වෙනස් වෙන්න බැරි නම් අපේ රටට අනාගතයක් නැහැ.

රාජ්‍ය යාන්ත්‍රණය වෙනස් නොවුණොත් කඩාගෙන වැටේවි. ඒකෙ වැරැද්ද අපේ. ඇයි අපි වෙනස් වෙන්න කැමති නැහැ. පෞද්ගලික යාන්ත්‍රණය? පෞද්ගලික යාන්ත්‍රණයෙත් වැඩ කරනවා 80,000 ක් විතර. බලන්න කොයි තරම් ඉස්සරහින්ද ඔවුන් ඉන්නෙ කියලා. කොයිතරම් වේගයෙන් ගමන් කරනවද කියලා.

මා විෂයභාර ඇමැතිවරයා ලෙස සිටි කාලයේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මට කිව්වා හැඳුනුම්පතෙන් මුළු ලංකාවම පාලනය කරන සැලැස්ම හදාගන්න කියලා. අපි ඒකට ගමන් කරමින් තිබුණේ. හැඳුනුම්පතට උපතේ දී හරි අංකය ලබා දුන්නොත්, ඒ අංකය මැරෙන තුරු තිබුණොත් දෙකෝටි තිස් ලක්ෂයට අංක දෙකෝටි තිස් ලක්ෂයයි. පිටරටින් එන සංඛ්‍යාව ලක්ෂ 100 ක් විතර කියලා, එතකොට ඕන නම් මිලියන 33 ක්, එන විදේශීකයන් කටුනායකින් පාලනය කිරීම සහ රටින් පිටවීම සහ ඇතුල්වීම පාලනය කිරීම. ඒ සියල්ල හිතලයි අපේ හැඳුනුම්පත් අංකයට අංක දෙකක් එකතු කරලා තිබෙන්නේ. මියගියාම ඒ අංකය Death Box එකේ ඇතුල්වෙන්නෙ. ඒක මියයන්නෙ නෑ, මිය ගියත් යම් යම් අවස්ථාවල මරණ සහතිකය, ඉතිහාසයේ ඔහුගේ යම් යම් කරුණු සම්බන්ධයෙන් ඕන වුණාම ඒක Death Box එකේ Plant කරන්න තිබෙනවා.

මගේ මතකය හැටියට ලක්ෂ 1000 ක් අංක යනකල් කිසිදු හානියක් වෙන්නෙ නෑ. එහෙම තමයි ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපිට උපදෙස් දුන්නේ. මට මතක විදියට 2017 අපිට ඕන කරලා තිබුණා ඒ වැඩේ කරන්න. ඒ සඳහා එදා අපිට බිලයන 30 ක් අවශ්‍ය වුණා. අද යයි බිලියන 60 ක් විතර. බිලියන 30 ක් ආයෝජනය කළොත් විශාල මුදලක් අපිට ඉතුරුකර ගන්න පුළුවන්.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට, විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයට වෙන තැනකට යනකොට කොළ මිටියක් අරගෙන යන යුගය මීට අවුරුදු 20 කට ඉහත දී අවසන් වෙන්න තිබුණේ. තාමත් අපේ අය අද රියැදුරු බලපත්‍රය අලුත් කරන්න ගියොත් ආයෙමත් ඉල්ලනවා කොළ ටික. එහෙම රටකට ඉදිරියට යන්න පුළුවන් ද?

ඒ ඒ පුරවැසියන්ගේ තිබෙන දත්ත ඇතුල්කරගන්න, අලුතින් ඇතුල්වෙන සහතික, බලපත්‍ර තියෙනවා නම් ඒක එක බොක්ස් එකකින් ක්‍රියාත්මක කරන්නත්, ඒක ක්‍රියාත්මක කරද්දි එතැනට ශත 10 ක් වැටෙන ක්‍රමයක්. අද සෙන්ට්‍රල් බෑන්ක් එක, මහජන බැංකුව, ලංකා බැංකුව තාම පසුගාමී තැනක තිබුණත් ඔවුන් මේ ක්‍රමයන් යම් තාක් දුරකට භාවිතා කරනවා. ඒවා පාලනය වෙනවා තාක්ෂණය යටතේ.

දැන් ඒ වෙනස කළොත් ඒ හැඳුනුම්පතේ අංක වෙනස හරියට ඇතිකර ගත්තොත් විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයට යන්න ඕන නැහැ. මාර්ගගත ක්‍රමයේ එයාගේ විස්තර සේරම තිබෙනවා. අලුතින් දෙන්න තියෙන දත්ත විතරයි එයා දෙන්න ඕන. කොළ පූජාව ඉවර වෙනවා. කොළ පූජාව ඉවර වුණත් වැඩක් නෑ මේ සේවාවේ ඉන්න අයට ශක්තිමත් වෙන්න දෙන්නෙ නෑ අපේ රාජ්‍ය යාන්ත්‍රණය.

මම ඒක දැකලා තිබෙනවා. ඒ අභියෝගය පාලනය නොකළොත් රටට අනාගතයක් නැහැ. ඒ නිසා ඒ අභියෝගය පාලනය කළ යුතුමයි. විකල්ප නැහැ. එතකොට ලෝකය ඒ ගමන ගිහින් ඉවරයි. අපි සිංගප්පූරුවට ගියාම අපේ පස්සෙන් කවුරුවත් එනවද, නෑනේ. අපි ඇතුල් වුණත් පිට වුණත් අපිව සම්පූර්ණයෙන් ග්‍රහණයට හසුකරගෙන ඉවරයි. ලෝකයේ හැම තැනම ඒක කරලා ඉවරයි. අපි තාම ගුවන්තොටුපළේ බෑග් එක තියාගෙන තව කෙනෙක් බෑග් එක පරීක්ෂා කරනවා.

අපි හැමදාමත් ලබාගත්තේ ලෝකයේ පැරණි තාක්ෂණය. ලෝකය AI වලට යනවා. අපි ඉන්නෙ වෙන තැනක. ඉතින් මේක ලේසි වැඩක් නොවේ. අවධානය මං හිතනවා යොමුකරගන්න තිබෙන්නේ මේ සේවාව කොහොමද දීපව්‍යාප්ත සේවාවක් හැටියට පවත්වන්නේ කියලා. දැන් පුද්ගලික අංශ ඒක පිළිඅරගෙන වේගයෙන් ඉදිරියට යනවා. දැන් ළමයි ලක්ෂ ගාණක් ඉන්නවා, ගෙවල්වල ඉඳන් වැඩ කරන්නෙ. වැටුප් ගන්නවා. විශාල ආදායමක් උපද්දවලා දෙනවා අපේ රටට. ඒගොල්ලන් තමයි අරගලය ආවම ලිබර්ටි ප්ලාසා එක ළඟ, එයාලට දේශපාලනයක් අදාළ නැහැ. විදුලිය කප්පාදු කළ නිසා බොර්ඩ් අල්ලගෙන හිටියේ. එයාලා ගෙවල්වල වැඩ කරපු අය. විදුලිය නොතිබුණු නිසා ඔවුන් පාරට බැස්සා.

දැන් මේ වැරැද්ද හැදුනේ නැතිනම් රට කිසි දවසක ඉදිරියට යන්නේ නෑ, ඒකයි මං කිව්වෙ. මේ සේවාවන් ඔක්කොම එක මේසයක වැඩ කරන්න තිබෙනවා. පරිපාලන, ඉංජිනේරු, වෛද්‍ය, කෘෂිකර්ම, අධ්‍යාපන ඇතුළු සියලු සේවාවන් එක මේසයක වැඩ කරන්න බැරි නම් රටට අනාගතයක් නැහැ. තරගයට කවුරුවත් ලොක්කො වෙන්න යන්න එපා.

දැන් මේ වගේ සේවාවක් ඇතිකරන්න ගියාම ඒවාට අකුල් හෙළන්න හොඳ නෑ. මම විෂයභාර ඇමැති කාලේ ඒ අකුල්හෙළීම දැකලා තිබෙනවා. ප්‍රියන්තටත් ඒකම වෙයි. පසුකාලීනව හිතයි අපරාදෙ කතා කළේ කියලා. මේ IT Service එක දැන් මීට වැඩිය ගොඩක් ඉක්මනින් ඉස්සරහට යන්න තිබෙනවා. හොඳටම පමා වෙලා තිබෙන්නෙ. මං බැලුවා ලෝකෙ නම් තියෙනවා IT Service එකේ 40 ක් විතර තනතුරු. මෘදුකාංග පැත්තෙන්, ක්ලවුඩ් සිස්ටම් පැත්තෙන් විශාල වේගයෙන් ගිහිල්ලා. සිස්ටම් 50 ක් විතර තියෙනවා.

ලංකාවේ IT අධ්‍යක්ෂවරයෙක්, ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්, ආරක්ෂාව භාරව ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මේ සේවාව ශක්තිමත් කළ යුතුයි ලංකාවට අනාගතයක් අවශ්‍ය නම්. නැතිනම් තරග කරන්න බැහැ. නැත්තම් සම්ප්‍රදානුකූලව කඩදාසි කොළ පුරව පුවර ලිපිගොණු ගොඩගහගෙන ඉන්න පුළුවන්. ඒ සමාජයෙන් ලෝකය මිදිලා, අපි මිදිලා නැහැ.

මම විෂයභාර ඇමැති කාලේ මට මතකයි දිසාපති සම්මේලනයේදී ICT එක ගැන මගේ විරෝධය මම ප්‍රකාශ කළා. විරෝධය කියන්නේ පුද්ගලික තරහක් නොවේ, ඒ සේවාව තිබෙන්නෙ අර අපේ සුපර් මාර්කට් එකක තියෙනවට වඩා පහළින්. එහෙම බැහැ. ඒක අලුත් අණ පනත් ඇතුලේ ශක්තිමත් කළ යුතුව තිබෙනවා. සුපර් මාර්කට් එකක් ඊට වඩා වේගවත්.

ලංකාවේ හෝටල් තිබෙනවා අයිතිකාරයා ජපානයේ. ජපානයේ ඉඳන් පාලනය කරන්නෙ. මේ කොළඹ තියෙනවා කොල්ලුපිටියේ කාමර දෙතුන් සීයෙ හෝටල්. අයිතිකාරයෝ ජපන් ජාතිකයෝ. පාලනය කරන්නෙ ජපානයේ ඉඳගෙන. අවුරුද්දකට දෙපාරයි එන්නෙ. 100% ක් සාර්ථකයි. රටේ ආර්ථික වර්ධන වේගය වැඩිවෙනවා නම් අපේ ආර්ථික ශක්තිය වැඩි වෙනවා නම් රාජ්‍ය යාන්ත්‍රණය වේගවත්ව යන්න තිබෙනවා. නැතිනම් රාජ්‍ය යාන්ත්‍රණය අකර්මණ්‍ය වෙනවා.

ලෝකය යන ගමනත් එක්ක ලංකාවෙ රාජ්‍ය යාන්ත්‍රණය ගමන් කරන්න තිබෙනවා. දැනට අපි පසුගාමී වෙලා අවුරුදු 25 කට වැඩියි. ඉතින් මෙය ලේසි අභියෝගයක් නොවේ. සියලු දෙනා එකතුකරගෙන සියලු දෙනා මේක තේරුම් අරගෙන හැම සේවාවකම ඉන්න අය මෙය තේරුම් ගෙන ඉදිරියට යා යුතුයි.

මට මතකයි 2001 මම විෂයභාර ඇමැති වුණාම මම Management Service එක ඇති කළා. ඒක ඇති කරද්දි මට වෘත්තිය සමිති සියලු දෙනා සහයෝගය දුන්නා පක්ෂ විපක්ෂ ඔක්කොම. වෘත්තිය සමිතිවල වැඩත් ප්‍රතිපත්ති කාරණා නොවේ. වෘත්තිය සමිති ප්‍රතිපත්ති කරනවා නම් ඒ රටට අනාගතයක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් 27 වෙනි වගන්තියේ තිබෙන්නේ, ඒක මහජන පරමාධිපත්‍යයට ආදාළ රාජකාරියක්. එය වෘත්තිය සමිති රාජකාරියක් නොවේ. දැන් අපේ රටේ කුමක් හෝ වෙනසක් කරන්න ගියාම වෘත්තිය සමිති ඊට මැදිහත් වෙනවා. වෘත්තිය සමිතිවල අයිතිවාසිකම් වෙනස්. රාජ්‍ය ප්‍රතිපත්තිවල අයිතිවාසිකම් වෙනස්.

ඉතින් මට මතකයි අපි 2001 දී Management Service එක හැදුවා. ඒ වෙලාවේ අපි සිංහල, ඉංග්‍රීසි යතුරු ලේඛකලා, ගබඩා පාලකලා වර්ග 8 ක් එකතු කරලා තමයි ඒ සේවාව හැදුවේ. අද ඒකෙ අඩුපාඩු මතුවෙලා තිබෙනවා. ඒ අඩුපාඩුවලට දැන් විකල්පවලට යන්න තිබෙනවා. Management Service එක හැදුවට අපිට නැතිවුණා ඉංග්‍රීසි ටයිපිස්ට්ලා, සිංහල ස්ටෙනොග්‍රැෆර්ලා අපිට නැති වුණා. දැන් ඒවාට කොහොමද IT වලින් අලුත් කණ්ඩායමක් ඇතිකරගන්නෙ. එතකොට දැන් රෙකෝඩින් වලින් ටයිපින්ග් යනවා. වෙන විදියකට. එහෙනම් දැන් ඒ Management Service එක වෙනස් වෙන්න තිබෙනවා. එදාට ගැළපෙන වැඩේ කළා. අපි එදා බැලුවේ ටයිපිස්ට් කෙනකුට මාරුවක් ගන්න ටයිපිස්ට් කෙනෙක් හොයන්න ඕන. ඒක වෙනස් කරන්න තමයි Management Service හැදුවේ. දැන් Management Service එක නිසා ඒ සේවාවන් ඔක්කොම ඒකාබද්ධ කරලා දුන්නට සමහර කරුණු ඒකෙන් ඉෂ්ට වුණේ නෑ. ඒක ඒ වෙලාවට අවශ්‍ය කාරණයක් හැටියට තීරණය කළා.

මේ තාක්ෂණයත් එක්ක වෙනස් වෙලා ඉස්සරහට යන්න තිබෙනවා. ඉතින් මෙය පහසු අභියෝගයක් නොවේ. විශේෂයෙන් අපේ දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමාට මේ ගැන බලවත් ඕනෑකමක් තිබෙනවා. ඒ වගකීම සම්පූර්ණයෙන් අපේ ප්‍රියන්ත ඇමැතිතුමාට කියලා තිබෙනවා බලලා කරගෙන යන්න කියලා. අපිට පුළුවන් ඕන සහයෝගයක් අපි ලබා දෙනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අපේ කනක ඇමැතිතුමා සමග කිට්ටුවෙන් මේ තාක්ෂණ ව්‍යාපාරය ලංකාවේ දියත් කරන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා.

මං හිතනවා අපිට පුළුවන් වෙයි පමාවෙලා හරි නිවැරදි තැනට ගමන් කරන්න. පමා වෙන්න පමා වෙන්න අපි පසුගාමී තැනක ජීවත් වෙනවා. ඒකෙ ප්‍රතිපල තමයි අර අවසානයේ අපි භුක්ති වින්ඳේ. ඒ නිසා තමයි පාර්ලිමේන්තුවේදීත් මම කිව්වේ රාජ්‍ය ප්‍රතිපත්ති සහ මූලික යුතුකම් කියන පිටුව පවා ඉගෙන නොගත් සමාජයක අපි ජීවත් වෙන්නෙ කියලා. ඒ පිටුවේ තිබෙන කිසිදු දෙයක් 29 වෙනි වගන්තිය අනුව කිසිම අධිකරණයක ප්‍රශ්න කරන්න බැහැ. එහෙමයි තිබෙන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ.

ඒකෙ කියලා තියෙනවා මිනිසුන්ගේ අයිතිවාසිකම්, නිවාස, රැකියා, නොයෙකුත් දේවල්. ඒවා සම්බන්ධයෙන් වාක්‍ය අවසන් කරන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 29 වෙනි වගන්තිය අනුව. ඉහත සඳහන් කාරණා ඉටු කළත්, නොකළත් කිසිම අධිකරණයක ප්‍රශ්න කරන්න බැහැ. කිසිම අධිකරණයකට ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කරන්න බැහැ. එතකොට ඔබ හිතයි මේක තියෙන්නෙ ලංකාවෙයි කියලා. නැහැ. ඔබ ගිහින් බලන්න ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 වෙනි වගන්තිය. එහෙමම තියෙනවා. ඔබ ගිහින් බලන්න ජපානයේ, එහෙමම තියෙනවා.

ඇයි? මහජන පරමාධිපත්‍ය තමයි මෙතන ඉන්න කනකගේ මගේ, යදාමිණිගේ, ප්‍රියන්තගේ නඩු අහන්නෙ. අපි හතර දෙනාගේ නඩු අහන්නේ මහජනතාව. මහජනතාව තමයි සුප්‍රීම්. අවුරුදු 5 ට සැරයක් ඔවුන් අපේ නඩු අහනවා. එක්කො අපි හතර දෙනා සමත් කරනවා, එක්කො අසමත් කරනවා. ඒ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපි හතර දෙනාට දීලා තිබෙන දඬුවම.

ඔබට දීලා තිබෙන දඬුවම වෙනස්. ඔබට ආයතන සංග්‍රහය අනුව ඔබ Interdict, Dismissed, Charge Sheet වැටෙනවා, ආපසු වෙනස් වෙනවා, ආපසු ඉස්සරහට යනවා. එහෙම නැතිව අපේ නඩුව අහන්න පුළුවන් Criminal Office එකක තමයි. හැබැයි ඒවා පවා සමාජයේ නැති සමාජයක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා. මිනිස්සුන්ට වැරදි මත ගොණු කරනවා. මිනිස්සු හිතනවා ඒක තමයි ඇත්ත කියලා. ඉතින් ඔබ උගත් පිරිසක් හැටියට මේවා ගැන අධ්‍යයනය කළ යුතුයි, මේවා ගැන බැලිය යුතුයි, ඒ අනුව ඉදිරියට යා යුතුයි. මේ Service එකේ තිබෙනවා කාණ්ඩ 50 ක් පමණ. ඒ කාණ්ඩ 50 ම IT Service එක හැටියට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා, අනුමත කරලා ඒක ආයතන සංග්‍රහයේ කොටසක් කරගෙන ඉදිරියට යා යුතුයි. එයයි නිවැරදි කියලා ප්‍රකාශ කරන්න කැමතියි.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති,
පා.ම. හිටපු අමාත්‍ය
වජිර අබේවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment