මෙරට ආර්ථික අර්බුදය සමනය කිරීමට, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඔස්සේ ලැබෙන දායකත්වය පිළිබඳ පසුගියදා රැස් වූ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බලා තිබේ. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා දැනට ස්ථාපිත කර ඇති ආයතනය වන්නේ රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයයි. මේ කාරක සභා රැස්වීමේ දී ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා තෝරා ගෙන තිබෙන රාජ්‍ය ආයතන, පසුගිය වසර 10 තුළ ව්‍යාපාර සිදුකළ ආකාරය ගැන සියලු දත්තයන් සහිත වාර්තාවක් ලබා දෙන ලෙස මෙම කාරක සභාවෙන් රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයට නිර්දේශයක් ලබා දී ඇත. එසේම, රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පත්කළ මෙම ඒකකයේ නී්‍යනුකූල භාවය ගැන වාර්තාවක් ලබා දෙන ලෙස ද මෙම කාරක සභාවෙන් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්විය. වර්තමානය වනවිට ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳව සලකා බැලීම මෙහිදී සිදුව ඇත. මෙදින කාරක සභාව හමුවට රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පත්කළ ඒකකයේ නිලධාරීන් ඇතුළු තවත් රාජ්‍ය නිලධාරීන් පිරිසක් කැඳවා තිබුණි. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය මගින් මෙම ඒකකය පත්කර ඇති බව එම නිලධාරීන් විසින් කාරක සභාවට දන්වමින් ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳව කාරක සභාව දැනුම් දී ඇත. රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයේ වෙබ් අඩවියේ තිරසර වර්ධනයක් සඳහා රජයසතු ව්‍යවසායයන් පරිවර්තනය කිරීම මැයෙන්යුත් විස්තරයක් එම ආයතනය ගැන සඳහන් කර ඇත. එහි මෙසේ සඳහන් වේ.

රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යූහගත කරන නීතිය කුමක්ද?

‘වසර ගණනාවක් තිස්සේ, රජයේ බොහෝ වාණිජ ව්‍යවසායන් අඩු කාර්යසාධනයක් පෙන්නුම් කරන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පුරවැසියන් සඳහා දුර්වල ගුණාත්මක භාණ්ඩ හා සේවා යන දෙකම සහ ආර්ථිකයට සැලකිය යුතු සෘණාත්මක බලපෑමක් ඇති කරයි. මෙම ප්‍රශ්නය හඳුනා ගනිමින්, රජය කැබිනට් තීරණයකට අනුව රජය සතු වාණිජ ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කිරීමේ වරම ඇතිව මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය පිහිටුවන ලදී.

මේ අනුව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන මේ ඒකකය පිහිටුවා ඇත. එහෙත් මෙය පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන පිහිටුවන ලද ඒකකයක් නොවන බව ද අප තේරුම්ගත යුතුයි. රජය සතු වාණිජ ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කිරීමේ වරම ඇතිව මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ මෙම ඒකකය පිහිටුවන ලද බව ප්‍රකාශ කළත් එලෙස රජය සතු වාණිජ ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කිරීමේ වරමක් (හෝ බලයක්) ඇත්ත වශයෙන්ම මේ ආයතනයට තිබේ ද යන ප්‍රශ්නය මතු වේ. යම් ආයතනයකට රජය සතු සම්පත් හෝ දේපොළ

ගැන තීරණ ගැනීමේ වගකීමක් ඇත්නම් එය ඉතා බරපතළ එකකි. එසේම එම කාර්යභාරය ඉටු කිරීම සඳහා පිහිටුවා ඇති ආයතනයකට ඒ සඳහා නිසි පරිදි නීතිමය බලයක් ලැබී තිබිය යුතු බවත් අපගේ අදහසයි. ඒ අනුව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත ඒකකය ක්‍රියාත්මක වන්නේ කවර නීතියකින් ද? මුදල් අමාත්‍යාංශ ලේකම්තුමනි, ඒ ගැන මේ රටේ ජනතාව දැනුම්වත් කළ මැනවි. අතීතයේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කළ පර්ක් නම් ආයතනය ක්‍රියාත්මක වූයේ නම් පාර්ලිමේන්තුවෙන් සම්මත වූ නීතිමය බලයක් ඇතිව බව අපගේ මතකයයි.

රාජ්‍ය ආයතන වූ කලී පාර්ලිමේන්තුවේ අණපනත් මගින් ස්ථාපිත කර ඇති ඒවායි. ඒ නිසා එවැනි ආයතන ගැන තීරණ ගැනීමට කැබිනට් තීරණයකට අනුව පමණක් පිහිටුවා ඇති ඒකකයට නීතියෙන් හැකියාවක් තිබේ ද යන ප්‍රශ්නය සාමාන්‍ය ජනයාට මතුවීමට ඉඩ තිබේ. ඒ අනුව අපට පෙනෙන්නේ එම ඒකකයේ නීත්‍යනුකූල භාවය ගැන ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට ද ගැටලුවක් ඇතිව තිබෙන බවයි. ඒ ගැන එහි සභාපති ගාමිණී වලේබොඩ මන්ත්‍රීවරයා ද ප්‍රශ්න කර ඇත. එසේ නම් එය නීතිමය ගැටලුවක් බැවින් ඒ පිළිබඳ නිරවුල් වීමක් විය යුතුව තිබේ. මේ ගැන එම කාරක සභාවට නීතිපති දෙපාර්තමේන්තුව කැඳවා මෙකී ඒකකයේ නීත්‍යනුකූලභාවය සහ රාජ්‍ය ව්‍යවසාය ආයතන ගැන තීරණ ගැනීමට එම ආයතනයට බලයක් තිබේ ද යන්න විමසිය හැකිය. මේ ගැන මහජනයාට හෝ පුරවැසි සංවිධානවලට ගැටලුවක් ඇත්නම් ඔවුන්ට අධිකරණයට ද යෑමේ හැකියාවක් ද ඇත. එසේ වුවහොත් මේ ගැන අවසානයේ නිර්ණය වනුයේ, අධිකරණයෙන් බව අපගේ අදහසයි. කෙසේ හෝ රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පත්කර ඇති මෙම ඒකකයේ නීත්‍යනුකූල භාවය ගැන වාර්තාවක් ලබා දෙන ලෙස ද වලේබොඩ මන්ත්‍රීවරයාගේ සභාපතිත්වයෙන් යුත් මේ කාරක සභාවෙන් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයේ වෙබ් අඩවියේ රජය සතු ව්‍යවසායකයන්ගේ ප්‍රතිසංස්කරණවල සමස්ත අරමුණු ද්විත්වයක් ඇති බව දක්වා ඇත. එනම් පළමුව, තරගකාරී සහ මනාව නියාමනය කරන ලද වෙළෙඳපොළක් හරහා පුරවැසියන්ට සාධාරණ මිලකට සහ පහසුවෙන් ලබාගත හැකි පරිදි වඩා හොඳ තත්ත්වයේ නිෂ්පාදන සහ සේවාවන් සැපයීම සහ දෙවැනුව, රාජ්‍ය මූල්‍යවලට බරක් නොවන තිරසර ව්‍යවසායකයන් නිර්මාණය කිරීම යන්නයි. මෙම අරමුණු සාක්ෂාත් කරගනු ලබන්නේ පහත ක්‍රියාකාරකම් දෙක මගින් බව ද එහි දැක්වේ.

  1. පාලනය, වගවීම, කාර්යක්ෂමතාව සහ සඵලතාවය කෙරෙහි අවධානය යොමු කරමින් රාජ්‍ය පාලනය යටතේ පවතින ව්‍යවසායන්හි වෘත්තීය කළමනාකරණය
  2. පුද්ගලික පාලනය යටතේ තබා ඇති විට මහජන යහපතට වඩා හොඳින් සේවය කරන ව්‍යවසායකයන් ඉවත් කිරීම මූල්‍ය අභියෝග, මෙහෙයුම් අකාර්යක්ෂමතා සහ අනෙකුත් යටින් පවතින ගැටලුවලට විසඳුම් සෙවීමෙන් පුරවැසියන්ගේ අවශ්‍යතා සඳහා වඩාත් හොඳින් සේවය කරන අතරම මෙම ව්‍යවසායවල ලාභදායිතාව සහ දිගුකාලීන ශක්‍යතාව සහ රජයේ සම්පත් ප්‍රශස්ත ලෙස භාවිත කිරීම සහතික කරන බව සඳහන් කරන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය පවසන්නේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිපත්තිය මගින් යෝජිත ප්‍රතිසංස්කරණ පිළිබඳ වැඩි විස්තර සපයන බවයි. එසේම රාජ්‍ය ව්‍යවසාය අංශය පාලනය කිරීම සඳහා නීති සම්පාදනය කරමින් පවතින බවත් එහි අනුමැතිය සඳහා නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බවත්ය.

අප කියන්නේ මේ කරන දේවල් නිසි පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් කළ යුතු බවයි. එසේම මේ ඒකකයේ කටයුතු විනිවිදභායෙන් සිදු කිරීම ද වැදගත්. ඒ පිළිබඳ මහජනයා දැනුවත් කිරීම ද අවශ්‍ය වේ. මාධ්‍ය නිවේදන ක්‍රමවේදය ද අපට පැහැදිලි නැත. අප අතරින්පතර එම නිවේදන දකින්නේ මෙම ඒකකයේ ෆෙස්බුක් ගිණුම හරහා ඉංග්‍රීසියෙන් පමණකි. ඒවා සිංහලෙන් නිකුත් කර තිබෙනු ද අප දැක නැත. මේ ලියුම්කරු එම ඒකකයේ වෙබ් අඩවියට ගොස් පරීක්ෂා කළත් එහි තිබෙන්නේ ඉංග්‍රීසියෙන් නිකුත් කළ නිවේදන පමණි. එහි කිසිදු සිංහල හෝ දෙමළ මාධ්‍ය නිවේදනයක් දැකගත නොහැකිය. එසේ නම් මෙකී ඒකකය මාධ්‍ය නිවේදන නිකුත් කරන්නේ මේ රටේ ජනතාවට ද යන ප්‍රශ්නය අපට මතු වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ රටේ රාජ්‍ය භාෂාවන් දෙක වන්නේ, සිංහල සහ දෙමළයි. ඉංග්‍රීසි යනු, සම්බන්ධීකරණ භාෂාව පමණි. එසේ නම් මේ රටේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයට හැකියාවක් තිබේ ද? මේ ගැන සහ මේ ආයතනයේ කටයුතු ගැන මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන දැනුවත් ද?

මේ තවමත් ක්‍රියාත්මක වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ රටේ ලක්ෂ 69ක අතිමහත් බහුතර ජනතාව ලබාදුන් ජනවරමයි. ඒ ජනවරමට අනුව මේවා කරන්න පුළුවන් ද යන්න වෙනම ප්‍රශ්නයකි. රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්ව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් මිස මහජන ඡන්දයෙන් ද නොවේ. එම ඡන්දවලින් බහුතරය ද පොහොට්ටු මන්ත්‍රීවරුයි. මේ පොහොට්ටු මන්ත්‍රීවරු ද අද වන විට කණ්ඩායම් කිහිපයකට බෙදී ගොස් ඇත. ඒ නිසා අපට නම් හැඟන්නේ මේ වන විට ඇත්තේ පසුගිය මහ මැතිවරණයේ දී ප්‍රකාශ වූ ජනවරම විකෘර්ති වූ පාර්ලිමේන්තුවකි. මේ නිසා අප සිතන්නේ සැබෑ මහජන වරමක් නැති රනිල් වික්‍රමසිංහ පාලනය මේ රට, රටේ සම්පත් හෝ දේපොළ ගැන බරපතළ තීන්දු තීරණ ගැනීමෙන් වැළැකී අන්තර්කාලීන භාරකාර රජයක භූමිකාවක් නිරූපණය කළ යුතු බවයි. 69 ලක්ෂයේ ජනවරමට පිටින් මේ ආණ්ඩුව කරන හැමදෙයටම අතඑසවීමට පෙර තමන්ට ලැබුණු ජනවරම ගැන පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිහිපත් කර ගැනීම වටී. මේ නිසා අද වන විට බරපතළ ලෙස විකෘර්ති වී ඇතැම් විට පාවා දීමකට ද පත්ව ඇති 69 ලක්ෂයක ජනවරම වෙනුවට නව ජනවරමක් සහිත අලුත් පාලනයක අවශ්‍යතාව රටට තිබේ. එසේ නව ජනවරමක් සහිත අලුත් පාලනයකින් රට, රටේ සම්පත් හෝ දේපොළ ගැන අවශ්‍යතාව පරිදි බරපතළ තීන්දු තීරණ ගැනීම ද කළ හැකියි. වර්තමානය වනවිට ආයතන 07ක් ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව රජය සතු ව්‍යවසායකයන් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පත්කළ ඒකකයේ නිලධාරීන් විසින් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට දැන්වා තිබේ. එම ආයතන හත මෙසේයි.

  1. ශ්‍රීලන්කන් එයාර් ලයින්ස් සමාගම
  2. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම
  3. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
  4. හොටෙල් ඩිවෙලොපර්ස් සමාගම
  5. කැන්විල් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම
  6. ලිට්රෝ ගෑස් සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් සමාගම
  7. ලංකා හොස්පිටල් කෝපරේෂන් සමාගම
රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යූහගත කරන නීතිය කුමක්ද?

මේ ආයතන එලෙස ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට එක්කොට ඇත්තේ කුමන පදනමක් මත ද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත් ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ කමිටුවට පැවරී ඇති වගකීම පිළිබඳව අදහස් දක්වමින් එම ඒකකයේ නිලධාරීන් මෙම ආයතනවල අයිතිය රජයෙන් ස්වාධීන කිරීම හා ඉන්පසු ලංසු කැඳවා පෞද්ගලික අංශයේ දේශීය හා විදේශීය ආයෝජකයන්ට ලබාදීම බව ප්‍රකාශ කළ බව මේ කාරක සභා රැස්වීම ගැන පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් මාධ්‍යට නිකුත් කළ නිවේදනයේ දැක්වේ. එහි සඳහන් වන පරිදි මේ වනවිටත් ආයතන කීපයකට අදාළව ලංසු ( Expression ) කැඳවා ඇති බව ද ඔවුන් ප්‍රකාශ කර ඇත.

මෙම කාරක සභා රැස්වීමේ දී සාමාජික මන්ත්‍රීවරුන් විසින් මෙලෙස රජය සතු ව්‍යවසායකයන් ප්‍රතිව්‍යුහගත කිරීම ඔස්සේ මෙරට සමාජ, ආර්ථික හා ජාතික ආරක්ෂාව යන අංශයන්ට එල්ලවිය හැකි බලපෑම සම්බන්ධයෙන් එම ඒකකයේ නිලධාරීන්ගෙන් කරුණු විමසන ලදී.

ඒ අනුව කාරක සභා සභාපතිවරයා විසින් මෙලෙස ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නම් කර ඇති ආයතනවල පසුගිය වසර 10 තුළ සිදු කෙරුණු ව්‍යාපාර කටයුතුවල සම්පූර්ණ දත්ත වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති අතර එමෙන්ම මෙරට ආර්ථික අර්බුදය සමනය කිරීමට රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඔස්සේ ලැබෙන දායකත්වය පිළිබඳව ද වාර්තාවක් සකස් කර යොමු කරන ලෙසට කාරක සභාව විසින් උපදෙස් ලබා දී තිබේ. එසේම මෙම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඔස්සේ ජාතික ආරක්ෂාව හා සම්බන්ධව පවතින කරුණු ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට යොමු කරන බව කාරක සභා සභාපතිවරයා පැවසා ඇත. මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා විසින් මෙම කරුණු මෙලෙස දීර්ඝ ලෙස කාරක සභා තුළ සාකච්ඡා කිරීම ඔස්සේ වඩාත් විනිවිදභාවයකින් මෙන්ම කාර්යක්ෂමව සියලුම වැඩකටයුතු සිදු කිරීමේ හැකියව පවතින බව පෙන්වා දී ඇත. ඒ සඳහා උදාහරණයක් ගෙන හැර දක්වමින් කාරක සභා සභාපතිවරයා ශ්‍රී ලංකා මහ බැංකුවේ ණය තොරතුරු කාර්යාංශයට ලබා දුන් නිර්දේශයක් අනුව මහජනතාවට තමන් ක්‍රිබ් එකේ සිටිනවා ද නැද්ද යන්න පිළිබඳව පහසුවෙන් දැනගැනීම සඳහා දුරකථන යෙදවුමක් නිර්මාණය කර ඇති බව පෙන්වා දුන්නේය. එම කටයුතු නුදුරු දිනකදීම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් සිටින බව කාරක සභා සභාපතිවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් පෙන්වා දුන්නේය.

මේ කාරක සභා රැස්වීම සඳහා කාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය සරත් වීරසේකර, වෛද්‍ය ගයාෂාන් නවනන්ද, ඩබ්ලිව්.එච්.එම්. ධර්මසේන, සහන් ප්‍රදීප් විතාන ඇතුළුව පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්ස, ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම් , එරාන් වික්‍රමරත්න, සිවඥානම් ශ්‍රීධරන්, අසංක නවරත්න, ජගත් ප්‍රියංකර යන මහත්වරුන් ද ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද පිරිසක් සහභාගි වී සිට ඇත.

රාජ්‍ය ආයතන පාඩු ලබනවා නම් ඒ බර දැරීමට සිදු වන්නේ මේ රටේ මහජනයාටයි. ඇතැම් විට ලාභ ලබන ආයතන පවා මීට වඩා වැඩි කාර්යක්ෂමතාවකින් ක්‍රියාත්මක කර මහජනයාට වැඩි සේවයක් සැලසිය හැකිව තිබේ. අනිත් අතට අත්‍යවශ්‍ය මහජන සේවා සලසන ආයතන යම් ප්‍රමාණයක් රාජ්‍ය අයිතිය සහ නියාමනය යටතේ පැවතීම ද වැදගත් විය හැකියි. ඒ නිසා රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ වරදක් නැත. ප්‍රතිව්‍යුහගත කිරීම යනු, රජය ආයතන විකුණා දැමීම හෝ රාජ්‍ය අයිතියන් බැහැර කිරීම පමණක් නොවේ. යම් ආයතනයක් කාර්යක්ෂම කිරීමෙන් ද ප්‍රතිව්‍යුහගත කිරීම කළ හැකියි. රාජ්‍ය අයිතිය යටතේ තවදුරටත් පවත්වාගත යුතු නොවන යම් ආයතන ප්‍රමාණයක් වේ නම් ඇතැම් විට ඒවා මුළුමනින්ම රාජ්‍ය අයිතීන් බැහැර කිරීම ද කළ හැකියි. එහෙත් මේ හැමදෙයක්ම නිසි විනිවිදභායෙන් සහ නිසි නීතිමය බලය සහිතව සිදුවිය යුතු දේවල්ය. මේ නිසා ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සහ එහි සභාපති ගාමිණී වලේබොඩ මන්ත්‍රීවරයා ඇතුළු සෙසු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මුදල් අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය කැඳවා ප්‍රශ්න කිරීමත් එම ඒකකයට වාර්තා ඉදිරිපත් කරන ලෙස දන්වමින් නිර්දේශ ලබා දීමත් අපි ඉතාමත් අගය කරමු. මේ ගැන මාධ්‍ය වශයෙන් අප ද අවධියෙන් සිටින බව මහජනයා වෙනුවෙන් සඳහන් කළ යුතු වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@gmail.com

advertistmentadvertistment
advertistmentadvertistment