රාජ්‍ය සේවයේ සිස්ටම් චේන්ජ් කරමු

626

වෘත්තීය මට්ටමේ අනන්‍යතාවයකින් යුක්ත රාජ්‍ය කළමනාකරණ සේවාවක් අප රට තුළ නොමැතිවීම හා එහි ප්‍රතිඵලයක් වශයෙන් ඕනෑම කෙනෙකුට එය කළ හැකිය යන සිතිවිල්ල මත දේශපාලනීකරණය වූ රාජ්‍ය කළමනාකරණය එහි සෑම ක්ෂේත්‍රයක් පුරාම විහිදීම නිසා නිසි කලට නිසි තීරණ ගැනීම හා ක්‍රියාත්මක කිරීම සිදු නොවීම ප්‍රමුඛව හට ගත් මූල්‍ය හා ආර්ථික අර්බුද හමුවේ අද පවත්නා සමාජ හා දේශපාලනික අස්ථාවරභාවය ගොඩනැගී ඇත. පවත්නා සම්පත් හා එහි සීමාවන් හඳුනාගෙන ප්‍රමුඛතා අනුව ඒවා යොදා ගනිමින් තිරසාර සංවර්ධනයක් ඔස්සේ සමාජ හා ආර්ථික සුරක්ෂිතතාවය ඇති කරන්නේ කෙසේ ද යන්න නොබලා කටයුතු කිරීම නිදහසින් පසුව සෑම රජයක් යටතේම අඩු වැඩි වශයෙන් සිදුව ඇති කරුණක් බව පැහැදිලිය. පවත්නා ව්‍යසනයට හේතුව වන්නේ මෙම අදූරදර්ශීභාවය මෑත කාලයේ වර්ධනය වෙමින් මේ වන විට උච්චතම ස්ථානයකට පත්වීමය. රාජ්‍ය කළමනාකරණය තුළ යම් සාධනීය ලක්ෂණයක් තිබුණා නම් එයද මේ වන විට වියැකී ගොස් හමාරය. මේ නිසා සමස්ත ජාතියම අද දුක්මුසු තත්ත්වයට පත්ව ඇත. දේශපාලන වුවමනාවන් මතම තවදුරටත් කටයුතු කරන්නේ නම් මෙයින් ගොඩ ඒමට නොහැකිය. ඒ නිසා දේශපාලනීකරණය වූ රාජ්‍ය කළමනාකරණයට තිත තැබීම සඳහා පියවර ගැනීම කාලයේ ප්‍රමුඛ අවශ්‍යතාවයක්ව පවතී. අප්‍රබුද්ධ රාජ්‍ය පාලනය නිසා වර්තමාන අර්බුදය හටගත් බව පසුවී හෝ ජනතාව අවබෝධ කර ගැනීම නිසා වර්තමාන අරගලය, විසඳුමක් සොයමින්, කරළියට පැමිණ ඇත. එහි සංකේතවත් වන්නේ පාලන ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බවට වන සංකල්පනාවයි. එහෙත් එයද නිසි මාර්ගයට යොමු නොවේ නම් එයින්ද පලක් නොවන අතර කාලයාගේ ඇවෑමෙන් වෙනත් මුහුණුවරකින් දේශපාලකයන් විසින් කළමනාකරණය තම තමන්ගේ වුවමනාවන් සඳහා අඛණ්ඩව පවත්වා ගෙන යෑම සිදු කරනු ඇත.

අරගලය හා විප්ලවය

දේශපාලකයන් තවමත් අරගලයට එරෙහිව ආවරණය ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට හා ව්‍යවස්ථා ප්‍රතිපාදනයන්ට අදාළ කරුණුවලට මුවාවෙමින්ය. අරගලය විප්ලවයක් කරා මෙහෙය වන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදය හා ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන් අමතක කිරීමට සිදුවිය හැකි අතර එය ප්‍රඥාගෝචර වන්නේ ද නැත. රටේ ජනතාව මුහුණ දී ඇති දුෂ්කරතාවලට එයින් ආසන්න විසඳුමක් නොලැබේ. විප්ලවයකින් බිහිවන පාලනයකින් ජනතාව මුහුණ දී ඇති දුෂ්කරතා, ආර්ථික අහේනිය හා මූල්‍ය අවපාතය සඳහා කෙටි කාලීන විසඳුම් ලබා ගත් රටක් නැත. එවිට පාලකයන්ට ප්‍රජාතන්ත්‍ර විරෝධී දරදඬු පාලනයක් ගෙන යෑමට සිදුවන අතර එය ජනතාවට අමිහිරි අත්දැකීමක් විය හැකිවාක් මෙන්ම ඒ නිසාම ප්‍රති අරගලයක් ද බිහි වීමට ඉඩ ඇත. ඒ නිසා දැනට පවතින සාමකාමී අරගලයේ ආශිර්වාදයෙන් කළයුතු එක් කරුණක් වන්නේ පවත්නා දේශපාලන ව්‍යුහය තුළ නොකළ එහෙත් කළ හැකිව තිබූ වෙනස්කම් කරමින් රාජ්‍ය කළමනාකරණය තිරසාර ලෙස ස්ථාපිත කිරීමය. පවත්නා ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට එය මහෝපකාරී වේ.

රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කිරීම

අරගලකරුවන් වඩාත් බලපෑම් කළ යුත්තේ සිදුකළ යුතු වෙනස්කම් තෝරාගෙන එය වහාම ක්‍රියාත්මක කිරීමට රජයට බලපෑම් කිරීමය. මේවා නොකර සිටින අය ව්‍යවස්ථාදායකය තුළ මෙන්ම විධායකය තුළද, රාජ්‍ය සේවය තුළ ද සිටින තාක් හා කල් මරණ තාක් කල් අරගලය මගින් බලාපොරොත්තු වන ක්‍රමයේ වෙනස මෙරටේ ඇති නොවනු ඇත. රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට බලපෑම් කිරීම මේ සඳහා ඇති එක් ක්‍රමයකි.රාජ්‍ය අංශයේ කළමනාකාරීත්වය ස්ථාපිත කිරීම සඳහා ප්‍රථමයෙන් මුල් පුටු වෙනස් කිරීම හා ආයතනික ක්‍රියා පටිපාටින්ගේ හා එහි පැවැත්මේ ස්ථාවරත්වය ඇති කිරීම කළ යුතු අතර ඒ මගින් අනවශ්‍ය දේශපාලන අත පෙවීම් මත නොකළ යුතු දේ කිරීමට හා කළ යුතු දේ නොකිරීමට කරන බලපෑම් නවතාලීම හා විෂයානුබද්ධ කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය ඇති කිරීම පහසු වනු ඇත. මෙසේ ඇතිකරන ක්‍රමයේ වෙනස, වරින් වර සිදුවන දේශපාලන අධිකාරියේ වෙනස්කම් මගින් නැවත ආපස්සට ගෙන යෑම වැළැක්වීම සඳහා එයට අනම්‍යතාවයක් ඇති කිරීමට රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර සම්මත කර ගැනීම ද කළ යුතුය. මේ සඳහා ජනාධිපතිට පමණක් නොව පාර්ලිමේන්තුවට බලපෑම් කිරීමේ වගකීමට දායක වීමට අරගලකරුවන්ට හැකිය. ඔවුන් හඬ නගන ගෝඨා, අතීත හා වර්තමාන පාලකයන්ගේ සංකේතයක් පමණක් වන අතර ඔහු ගෙදර යැවීමට කරන හඬ මගින් ධ්වනිත විය යුත්තේ අවකළමනාකරණය හා එයට පිටුබලය වූ ක්‍රමවේදයන් ඉවත් කිරීම පමණක් නොව නව ක්‍රමවේදයන් ද ඇති කිරීමය.

ස්ථිර ඉහළ තනතුරු

රාජ්‍ය කළමනාකරණය හා එය මෙහෙය වන්නන් රටට හිතකර ලෙස වෙනස් කිරීම සඳහා අනිසි දේශපාලන අතපෙවීම්වලින් තොරව සුදුසුකම් ලත් රාජ්‍ය නිලධාරීන් පත් කිරීම හා ඔවුන්ගේ කාර්යභාරය ද විද්‍යාත්මක පදනමක් මත නීති ගත කිරීම වහාම කළ යුතු දෙයක් වේ. වර්තමානයේ රට පත්ව ඇති තත්ත්වය අනුව ඒ සඳහා මුලින්ම කළ යුත්තේ නිසි සුදුසුකම් හා පළපුරුද්ද ඉහළින්ම ඇති පුද්ගලයන්ගෙන් රාජ්‍ය කළමනාකරණයේ ප්‍රධාන තනතුරු වන මහ බැංකු අධිපති, මහා භාණ්ඩාගාර ප්‍රධානී (ලේකම්) හා රාජ්‍ය පරිපාලන ප්‍රධානී (ලේකම්) ස්ථීර ලෙස තෝරා පත්කර ගැනීමය. එය යෝජිත ව්‍යවස්ථාදායක සභාවේ මූලික කාර්යයක් විය යුතුය. ඒ හැර රජයේ සෙසු ඉහළම නිලයන්ට නිලධාරීන් පත් කිරීම තනිකරම ව්‍යවස්ථාදායක සභාවට බලය පැවරෙන ලෙස ප්‍රතිපාදන සැලසීම තවදුරටත් ප්‍රගතිශීලීව ජනතා විශ්වාසය දිනා ගැනීම හා නිවැරදිව පරමාර්ථ ඉටු කර ගැනීම

සඳහා ක්‍රමවේදය සැකසිය යුතුය. ඒ සඳහා මෙම තිදෙනාගෙන් හා සියලුම මූලික රාජ්‍ය සේවා විෂයයන් හා වෘත්තීන් නියෝජනය වන හා සිවිල් සමාජයේ සුදුසුකම් ලත් විද්වතුන් නියෝජනය වන අයගෙන් සැදුම් ලත් ජාතික රාජ්‍ය කළමනාකරණ සභාවක් ඉන්පසු පිහිටුවා ගත යුතුය. එය දැනට ඇති රාජ්‍ය සේවා කොමිෂම් සභාවට ඉහළින් ක්‍රියාත්මක වන බලධාරි ආයතනයක් වශයෙන් ද සැලකිව යුතුය. අමාත්‍යාංශ ලේකම්වරයන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා ඒ හා සමාන රාජ්‍ය නිලධාරීන්ගේ පත් කිරීම් කළ යුත්තේ මෙම සභාව විසින් කරනු ලබන නිර්දේශ අනුව වන අතර ඒ සඳහා නිලධාරීන් තෝරා ගැනීම සඳහා විවිධ විෂයන්ගෙන් හා වෘත්තීන්ගෙන් සුදුසුකම් හා පලපුරුද්ද ඇති අයගෙන් අයදුම්පත් කැඳවීම හා ලකුණු දීමේ ක්‍රමයක් මගින් තෝරා ගැනීම් කිරීමේ ක්‍රමවේදයක් ස්ථාපිත විය යුතුය. ව්‍යවස්ථාදායක සභාව මෙම නිර්දේශ පිළි නොගන්නේ නම් ඒ සඳහා මෙම සභාවට හේතු සහගතව කරුණු දක්වා තීරණයකට එළඹිය හැකිය. නිසි ලෙස පත්වීම් ලබාදීමෙන් පසුව ඔවුන් විශ්‍රාම යන තුරු හෝ සිය කැමැත්තෙන් අස්වන තුරු අදාළ අමාත්‍යාංශයේ හෝ ආයතනයේ සේවයේ ස්ථීර පත්වීම් ලද අය ලෙස සැලකිය යුතු වේ.කෙසේ වෙතත් නඩු නිමිත්තක් ඇති නම් මොවුන්ගේ පත්වීමට, කාර්යක්ෂමතාවයට හා යහ පැවැත්මට හෝ ධුරයේ රැඳීසිටීමට එරෙහිව ඕනෑම අයකුට ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන නඩුවක් මගින් අභියෝග කළ හැකි විය යුතුය. පැරණි ස්ථිර ලේකම් පදවිය ඉවත්කොට රාජ්‍ය කළමනාකරණය දේශපාලනීකරණය කිරීමෙන් වූ අගතිය ඉවත් කිරීම පමණක් නොව එය තවදුරටත් ඵලදායි ලෙස සියලු විෂයන්ට අදාළව මෙම තනතුරු ලබාදීම හා ස්ථිර කිරීම මේ මගින් සිදු වේ.

අමාත්‍යාංශවල අඛණ්ඩ පැවැත්ම

පුද්ගලානුබද්ධ මෙම වෙනසට සමගාමීව විෂයානුබද්ධව විද්‍යානුකුල පදනමක් මත අමාත්‍යාංශ ස්ථීරව පිහිටුවීම හා ඒවාට අයත් විෂය පථය හා ආයතන නම් කිරීම ව්‍යවස්ථාගත විය යුතුය. මේවා ද මූලික වශයෙන් කලින් කල හා රජයන් වෙනස් වන විට වෙනස් නොවන අඛණ්ඩ පැවැත්මක් ඇති ස්ථාවර ආයතන වශයෙන් පිළිගත හැකිය. මේ කාර්යය සඳහා ප්‍රවීණයන්ගේ අනු කමිටුවක්, ඉහත කළමනාකරණ සභාවට අනුබද්ධිතව පිහිටු විය හැකි අතර එහි නිර්දේශ අනුව ආයතන ගැසට් කිරීමට රජය වගබලා ගත යුතුය. ඇමැතිවරුන් පත්කළ යුත්තේ මෙසේ පිහිටුවන අමාත්‍යාංශ සඳහා මිස අමාත්‍යවරුන්ට වුවමනා ලෙස ඒවා වෙනස් කිරීම බලාපොරොත්තු නොවේ. ඒ නිසා අමාත්‍යාංශ හා විෂය පථය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නොවෙනස් වන ලෙස නීති ගත විය යුතුය. මෙවැනි තත්ත්වයක් නොවීම මත එම ආයතනවල සමස්ත කළමනාකාරිත්වයම බිඳ වැටී ඇතිවාක් මෙන්ම එම ආයතනවලින් සේවාව ලබා ගන්නා ජනතාව ද ඒවායේ සේවකයන් ද පීඩාවට ලක් වී ඇත. මේවායේ කාර්යයන් ප්‍රමිතිගත කිරීම, කාර්ය පටිපාටිමය නියමයන් හා ප්‍රතිපත්ති සම්පාදනය කිරීම, කාර්ය සාධනය හා එහි නිර්නායකයන් පිහිටුවීම හා වැඩ මිමි හා සම්මතයන් ඇති කිරීම ද සෑම අමාත්‍යාංශයකම අනුයාත අවශ්‍යතාවයන් වේ. ඒවා එහි ප්‍රතිපත්ති රාමුව තුළට ඇතුළත් කර ගත හැකි අතර ආයතන ඉලක්කයන් හා පරමාර්ථ සපුරා ගන්නාතාක් දුරට ඒවා නොවෙනස් වුවද එසේ නොවන විට අදාළ වෙනස්කම් ඇති කිරීමට නීතිමය බාධාවන් ද නො පැවතිය යුතුය. ස්ථීර ලේකම්වරුන්ගේ අභිමතය පරිදි එම වෙනස්කම් ඇති කළ හැකිය. අනම්‍ය වූ යල්පැනගිය හා කාර්ය ප්‍රගතියට බාධා පමුණුවන නීති රීති හා නියමයන් වෙනස් කිරීමත් ඒ සඳහා ප්‍රමාණවත් බලතල නිසි ලෙස පත් කරන ප්‍රධානීන් වෙත පැවරීමේ දී අවදානමක් හෝ අවභාවිතයක් ඇති විය නොහැකිය. පූර්ව නිගමනය වන්නේ ප්‍රබුද්ධ නිලධාරීන් අතින් එසේ වැරදි නොවන බවයි. අද පවතින තත්ත්වය යටතේ නිලධාරීන්ගෙන් එවන් මෙහෙයවීමක් බලාපොරොත්තු වීම අනතුරුදායකය. කළමනාකරණය ස්ථාපිත කිරීමේදී අද එය බාධාවක්ව පවතී.

පාර්ලිමේන්තු වගකීම

රාජ්‍ය කළමනාකරණයේ සිදුවිය යුතු මෙම පුද්ගලානුබද්ධ හා විෂයානුබද්ධ වෙනස් වීම, ක්‍රමයේ සිදුවිය යුතු ප්‍රමුඛ අවශ්‍යතාවයක් ලෙස සලකා පාර්ලිමේන්තුව තුළ සම්මත කරදීමේ වගකීම එහි නියෝජිතයන්ට පැවරෙන අතර සිවිල් සමාජයේ බලපෑම ඒ සඳහා යොමු විය යුතුය. මේ මගින් සුදුස්සාට සුදුසු තැන ලැබීම හා විෂයානුබද්ධ විද්වතුන්ට හා වෘත්තිකයන්ට ආර්ථික හා රාජ්‍ය මූල්‍ය හා කළමනාකරණ ක්ෂේත්‍රයේ දියුණුව සඳහා දායකත්වය ලබාදීමට හැකිවීම සාක්ෂාත් වන අතර දේශපාලන ඇඟිලි ගැසීම් නිසා පැන යන කළමනාකාරිත්වය එම අංශය තුළ රඳවා ගැනීමට ද එය ඉවහල් වේ. එසේම කිසිදු පදනමක් නැති අමාත්‍යාංශකරණය හා විෂය හා ආයතන බෙදීම හා ඒවා ද වරින්වර වෙනස් කිරීම මත රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාවය බිඳ වැටීම, සම්පත් අපතේයෑම, ආයතනික අඛණ්ඩ පැවැත්ම නැති නිසා සමාජ කාර්ය සාධනය ද අතරමඟ බිඳ වැටීම හා සේවකයන්ගේ වගවීම අයාලයේ යෑම, ඒකක (ආයතනික) සංකල්පය බිඳ වැටීම නිසා අරමුණු හා තොරතුරු විකෘති වීම, වෙනස් වන කාර්ය මණ්ඩල හා ආයතනික රටාව නිසා සේවාදායකයන් පීඩාවට පත්වීම ආදී දශක ගණනාවක සිටම ජනතාව අත්වින්ද අව කළමනාකරණයේ ප්‍රතිඵල රාජ්‍ය අංශයෙන් ඉවත්වී යෑමට ද මෙම වෙනස්කම හේතුවක් වේ.

 ආනන්ද අමරවංශ – මූල්‍ය හා ආර්ථික විශ්ලේෂක

advertistmentadvertistment
advertistmentadvertistment