රාජ්‍ය සේවය රටට බරක් ද?

969

රාජ්‍ය සේවය රටට බරක් යැයි මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා කර ඇති ප‍්‍රකාශයක් නිසාවෙන් ඒ පිළිබඳව අලූත් කථිකාවක් ඇතිවී තිබේ. යම් ක්‍ෂේත‍්‍රයක ප‍්‍රශ්නසහගත බවක් තිබේ නම් එය නොසඟවා එළිපිට කතා කිරීම අප දකිනුයේ ඉතා හොඳ ප‍්‍රවණතාවක් බවයි.

මේ වන විට රාජ්‍ය සේවයේ ලක්‍ෂ 17 ක් පමණ සිටින බව වාර්තා වෙයි. මේසා විශාල රාජ්‍ය සේවකයන් පිරිසක් රටට බරක් වන්නේ ඔවුනගෙන් අවශ්‍ය නියම ඵලදායී ප‍්‍රතිඵල රටට නොලැබෙන්නේ නම් පමණි. ඇත්තටම රාජ්‍ය සේවය වඩා ඵලදායී කාර්යක්‍ෂම ලෙස රටේ අවශ්‍යතාවන් වෙනුවෙන් යොදා ගත හැකි නම් රාජ්‍ය සේවය රටට බරක් වන්නේ නැත. නමුත් ප‍්‍රශ්නය වන්නේ එවැනි කාර්යක්‍ෂම රාජ්‍ය සේවයක් අප රට තුළ නොමැති වීමය. රාජ්‍ය සේවයට එක්වීමට බොහෝ දෙනා තුළ කැමැත්තක් ඇත්තේ ෂේප් එකේ වැඩක් කරගෙන විශ‍්‍රාමයෙන් පසුවත් යම් සුරක්‍ෂිතතාවයකින් ජීවත්වීමට මෙය ඉවහල් වන නිසාවෙනි. එය සංකල්පමය වශයෙන් දුර්වල අදහසකි. නමුත් රාජ්‍ය සේවයට එන්නේ, රටටත් දැනෙන යමක් කර තම දරු පවුලට සුරක්‍ෂිත අනාගතයක් ගොඩනැඟීම වැනි යහපත් ආකල්පවලින් නම් අදට වඩා හෙට දවසේ මේ රටේ රාජ්‍ය සේවය සුභදායී මාවතකට ගමන් කරනු ඇත. නමුත් අදටත් රාජ්‍ය ආයතනයකින් යම් කාර්යයක් ඉටුකර ගැනීමට ගිය විට ජනතාව විඳින දුකෙහි වෙනසක් සිදු වී නොමැත. මෙම තත්ත්වය අද වන විට පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල ද දැකිය හැකිය. බොහෝ අයට මෙම ආයතනවලින් යම් සේවාවක් සිදුකර ගැනීමට ගිය විට අනිවාර්යයෙන් ම රස්තියාදු වීමට සිදුවන අවස්ථා එමටය. එපමණක් නොව සමහර අවස්ථාවලදී තමන්ට අවශ්‍ය කරන සේවාව පහසුවෙන් කරගැනීම සඳහා අතයට ගනුදෙනුවක් දීමට සිදුවන අවස්ථා ද වාර්තා වනු දැකිය හැකිය. එනිසාම දැනට පවතින රාජ්‍ය සේවය වඩා ඵලදායී ලෙස රටට, ජනතාවට බරක් නොවන ලෙස කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය පියවර වහා ගත යුතුව ඇත.

රාජ්‍ය සේවය ගැන කතා කරන විට අපේ රටේ දේශපාලනඥයන්ගේ ක‍්‍රියාකාරීත්වය ගැන ද කතා කළ යුතුමය. ඡුන්දයක් කාලයේදී බොහෝ ජනතාව දේශපාලනඥයන් පසුපස යනුයේ රජයේ රක්‍ෂා අපේක්‍ෂාවෙන් ය. එනිසාම ඡුන්දය ජයග‍්‍රහණය කරන මහජන නියෝජිතයන්ගේ ආධාරකරුවන්ගෙන් රාජ්‍ය සේවය පිරවීම කාලයක් තිස්සේම සිදුවිය. එහි අවසාන ප‍්‍රතිඵලය වූයේ සමහර රාජ්‍ය ආයතන සේවකයන්ගෙන් පිරී ඉතිරී යෑමය. සමහර ආයතනවලට පත්වීම් ලිපි ලබා පැමිණෙන සේවකයන්ට ඉඳගැනීමට අසුනක් නොමැති තරමටම එම ආයතන සේවකයන්ගෙන් පුරවා තිබෙන අවස්ථා දැකගත හැකිය. මෙම තත්ත්වය පක්‍ෂ පාට භේදයකින් තොරව කාලයක් තිස්සේම සිදුවිය. එනිසා රාජ්‍ය සේවය කළමනාකරණය කිරීමේදී එය ඔළුගෙඩිවලින් නොව අදාළ ආයතනයේ ධාරිතාවයට ගැළපෙන අයුරින් සහ රටේ අවශ්‍යතාවයට අනුව කළමනාකරණය කර ගැනීම ආයතන ප‍්‍රධානීන්ගේ වගකීමකි. එසේම රාජ්‍ය සේවයට බඳවා ගැනීමට නිසි පටිපාටියක් සකස් කිරීම ද බලධාරීන්ගේ වගකීමක් බව අවධාරණය කරනු කැමැත්තෙමු.

මෙවර අයවැයේ එක් ප‍්‍රධාන යෝජනාවක් වූයේ රාජ්‍ය සේවකයන්ගේ විශ‍්‍රාම යන වයස අවුරුදු 65 දක්වා දික්කිරීමයි. රාජ්‍ය සේවය රටට බරක් වීම සහ රාජ්‍ය සේවකයන්ගේ විශ‍්‍රාම යන කාලය දීර්ඝ කිරීම එකිනෙකට ගැටෙන කාරණයන් බව ඉතා පැහැදිලිය. රාජ්‍ය සේවයේ යෙදී සිටින පිරිස දැනටමත් වැඩිනම් ඔවුන්ගේ විශ‍්‍රාම යන කාලසීමාව දිගු කිරීමෙන් අලූතෙන් රාජ්‍ය සේවයට බැඳීමට අපේක්‍ෂා කරන තරුණ තරුණියන්ට යම් අසාධාරණයක් සිදුවිය නොහැකිද යන ගැටලූව අනිවාර්යයෙන්ම මතුවනු ඇත.

මේ මොහොත වන විට අප රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව පැහැදිලි සත්‍යයකි. එනිසාම රටේ නිෂ්පාදන ක‍්‍රියාවලිය පණගැන්වීමේ යාන්ත‍්‍රණයට රටක් ලෙස මුල්තැන දිය යුතුව ඇත. ඒ සඳහා රාජ්‍ය සේවයෙන් උපරිම ප‍්‍රයෝජන ගැනීමට ප‍්‍රායෝගික වැඩපිළිවෙළක් සකස් කළහොත් රාජ්‍ය සේවය රටට බරක් නොවන තැනට ගෙන ඒමට බැරිකමක් නැත.

advertistmentadvertistment
advertistmentadvertistment