රාජ්‍ය සේවය හා අයවැය යෝජනා

241

*  පෙරඹර

රටක අයවැය යනු ඉදිරි වර්ෂයක කාලයක් සඳහා රටේ ජනතාව හා සමස්ත රට සංවර්ධන ක‍්‍රියාවලියට දායක කරගන්නා ආකාරයත්, ඒ සඳහා රාජ්‍ය ප‍්‍රතිපත්තියට අනුකූලව සැකසුණු වැඩපිළිවෙළ/යාන්ත‍්‍රණය ඉදිරිපත් කරන ලියවිල්ලකි. එම ලියවිල්ල මත රටේ රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය හා සමස්ත මහජනතාවට තමන්ගේ ඉදිරි වසර සඳහා සැලසුම් සකස් කර ගැනීම සිදු කළ හැකි විය යුතුය. එනම් ආයෝජන අවස්ථා වැනි සුවිශේෂි කාරණා වලදි හා අනාගත වෘත්තීය සැලසුම්වල දිශාව තීරණය කර ගත හැක. එමෙන්ම අයවැයක් සකස් විය යුත්තේ පාලකයන් බලයට පත් වන විට ජනතාවට ලබා දුන් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයන්ගේ සැකැස්මට සමපාත වන අයුරිනි. මන්දයත් ඔවුන්ට ජනතාව වසර 5 ක කාලයකට රට පාලනය කිරීමට බලය පවරා ඇත්තේ අදාළ ප‍්‍රතිපත්ති ප‍්‍රකශය රට තුළ ක‍්‍රියාත්මක කරවීමට බැවිණි. එබැවින් ජනතා බලය ලබා ගැනීමට ඉදිරිපත් කරන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට පටහැනිව රජයක් අයවැය ඉදිරිපත් කරයි නම් එය මහජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ විශ්වාස බිඳ දැමීමකි. මෙවර අයවැයද අප විමසා බැලිය යුතුව ඇත්තේ එම ව්‍යුහය තුළය.

මෙවර අයවැයේදි රාජ්‍ය සේවකයන්ගේ විශ‍්‍රාම වයස අවුරුදු 65 දක්වා වැඩිකිරීමට ගත් තීරණය ගැඹුරින් විශ්ලේෂණය කළ යුතු කරුණකි. එම තීරණය ගැනීමේදී ශ‍්‍රී ලංකාවේ ජනතාවගේ ආයු අපේක්ෂාව වැඩි වීම හා වැඩිහිටි ජනගහනය වැඩි වීම හේතුව ලෙස පෙන්වා දී තිබුණි. වෙනත් ආයු අපේක්ෂාව වැඩි සංවර්ධිත රටවලද මේ ආකාරයේ විශ‍්‍රාම වයස ඉහළ දැමීම නිරීක්ෂණය කළ හැකිය. නමුත් එම රටවල ආයු අපේක්ෂාව වැඩි වීම ශ‍්‍රී ලංකාවේ ආයු අපේක්ෂාවට වඩා ඉහළ අගයක් ගන්නා බව පෙනෙන්නට ඇත. ශ‍්‍රී ලංකාවේ පිරිමි පුද්ගලයන්ගේ ආයු අපේක්ෂාව වයස අවුරුදු 73 –  74 ත් වන අතර කාන්තාවකගේ ආයු අපේක්ෂාව වයස අවුරුදු 80 – 81 අතර පමණ වේ. නමුත් සංවර්ධිත රටවල මෙම අගයන් සියල්ල වයස අවුරුදු 80 ට වඩා වැඩි අගයක් ගන්නා බව පෙනෙන්නට ඇත. තවද හුදෙක් ආයු අපේක්ෂාව වැඩි වීම පමණක්ම විශ‍්‍රාම ගැන්වීමේ වයස තීරණය කිරීමට යොදා ගන්නේද යන්න ගැටලූවකි. එසේ නම් ශී‍්‍ර ලංකාවේ විශ‍්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා ඉහළ දැමීම කුමන සමීක්ෂණවල හෝ කුමන තාර්කික පදනමක් මත කළේද යන්න පැහැදිලි කළ යුතුව ඇත. එමෙන්ම මෙසේ විශ‍්‍රාම ගැන්වීමේ වයස ඉහළ දැමීමෙන් පමණක්ම රාජ්‍ය සේවයේ මෙන්ම පෞද්ගලික අංශයේ කාර්යක්ෂමතාව හා ප‍්‍රමිතිය පවත්වාගත හැකි ද යන්න ප‍්‍රශ්නකාරීය. මේ හරහා තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලැබීම හෝ යම් වෘත්තීයක් තුළ තම දක්ෂතා මත ඉහළ යෑමට බාධාවක් වන්නේ නම් එය රටක සංවර්ධනය ආපස්සට හැරවීමකි. එබැවින් වැඩිමහල් ජනගහනය වැඩිවන රටක් හැටියට ශී‍්‍ර ලංකාවේ විශ‍්‍රාම ගැන්වීමේ වයස වැඩි කිරීමේ තීරණය හා සමගාමිව වෘත්තීය ක්ෂේත‍්‍ර තුළ තරුණ/තරුණියන්ට ඇති වෘත්තීය අවස්ථා හා සංවර්ධනයට දායක වීමේ අවස්ථා අහිමි නොකිරීමට වැඩ පිළිවෙළක් අත්‍යවශ්‍යය. තවද රාජ්‍ය සේවය තුළ වෘත්තීයවේදි කාණ්ඩවල ප‍්‍රවීණයන්ගෙන් තවදුරටත් අත්දැකීම් හා සේවය ලබා ගැනීමට මේ හරහා හැකි වීම අගය කළ යුතු අතර එය සැබෑ යථාර්ථයක් වන්නේ නවීන තාක්ෂණය හා දැනුම සහිත තරුණ වෘත්තීයවේදීන්ගේ දක්ෂතා වලට රට තුළ ඉඩක් ලැබෙන බවට හා ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන බවට ඔප්පු කිරීමෙන් පමණි. එසේ නොවුණහොත් එම කාණ්ඩ රට හැරදා යෑම වළක්වාලිය නොහැකි වනු ඇත. අවසානයේදි එය රටේ සංවර්ධන ගමනට විශාල බාධාවක් වනු ඇත. එමෙන්ම මේ හරහා තරුණ තරුණියන් හට රැකියා අවස්ථා හා ඔවුන්ගේ වෘත්තීය අවස්ථා මගහැරී ගියහොත් එය අනාගතයේදී තරුණ අසහනය මත පදනම් වූ දේශපාලනික අරගලයකට හේතු වනු ඇත. එයද රටේ සංවර්ධන ගමනට අවාසිදායක ලෙස බලපානු ඇත. එබැවින් විශ‍්‍රාම ගැන්වීමේ වයස වැඩි කිරීම තුළින් බලාපොරොත්තු වන වාසි ලබා ගත හැක්කේ මෙම ගැටලූවලට ස්ථිරසාර විසඳුම් ලබා දීමෙන් පමණක් බව අපගේ විශ්වාසයයි.

නව අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවය සඳහා නව වැටුප් ප‍්‍රතිපත්තියක් සකස් කිරීමට යෝජනා කර ඇත. එය පසුගිය කාලය පුරාවටම අප විසින් කරන ලද ඉල්ලීම් වලට ලද යහපත් ප‍්‍රතිචාරයක් ලෙස පෙනෙන්නට තිබුණද එය යථාර්ථයක් බවට පත් කළ හැක්කේ එම වැටුප් ප‍්‍රතිපත්තිය නිර්මාණය කිරීමේ ක‍්‍රියාවලිය හුදු කල් මැරීමේ ක‍්‍රියාවලියක් වෙනුවට නිශ්චිත කාල රාමුවකට අනුගතව එය ක‍්‍රියාත්මක වුවහොත් පමණි. එබැවින් රාජ්‍ය සේවයේ වගවීම, වගකීම වැනි ජාතික වැටුප් ප‍්‍රතිපත්තියකට විද්‍යානුකූල ප‍්‍රවේශයක් ලබා දීම තුළින් රාජ්‍ය සේවය ශක්තිමත් වන අතර රාජ්‍ය සේවක කාණ්ඩ අතර තිබෙන වැටුප්/දීමනා විෂමතා හඳුනා ගනිමින් ඒවා නිවැරදි කිරීමටත්, වෘත්තීය අරගල අවම කර ගැනීමටත් හේතුවක් වනු ඇත. එබැවින් මෙම නව වැටුප් ව්‍යුහය එවැනි විද්‍යානුකූල ප‍්‍රවේශයක් තුළ වැටුප් හා දීමනා සම්බන්ධ ප‍්‍රතිපත්තියක් ඉදිරි වසර තුළදී රට තුළ ක‍්‍රියාත්මක කිරීම රටක් ලෙස අප ලබන ජයග‍්‍රහණයකි. රාජ්‍ය සේවක කාණ්ඩ සඳහා වැටුප් හා දීමනා වැඩි වීම ඊට අනුකූලව සිදු විය යුතුය. එහිදී සියලූම සත්‍ය වෘත්තීය නියෝජනයක් සහිත පිරිස් කැඳවා සාකච්ඡුා කිරීම මෙය යථාර්ථයක් කර ගැනීමට පහසු වනු ඇත.

මෙම අයවැයෙන් පසු පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී අදාළ අමාත්‍යවරයා රාජ්‍ය සේවය රටට බරක් ලෙස කරන ලද ප‍්‍රකාශය ආන්දෝලනාත්මක එකක් විය. රාජ්‍ය සේවය යනු රටේ ජනතාවගේ අවශ්‍යතාවන්ට රාජ්‍ය අංශයේ සේවා ලබා දෙන යාන්ත‍්‍රණයයි. එය ජනාධිපති ලේකම්වරයාගේ සිට සාමාන්‍ය කම්කරුවා දක්වාම පරාසයක විසිරී පවතී. එබැවින් රාජ්‍ය සේවය රටට බරක් යැයි පැවසීමට පවතින නිශ්චිත දත්ත කවරේදැයි රටට හෙළිකළ යුතුව ඇත. එමෙන්ම රාජ්‍ය සේවය රටට බරක් වී ඇත්නම් ඒ සඳහා දේශපාලන තීන්දු ගත් දේශපාලකයන්ගේ නම්ද රටට ප‍්‍රකාශ කරන්නේ නම් ඔවුන් සම්බන්ධව දේශපාලන තීන්දු තීරණ ගැනීමට රටේ ජනතාවට පහසු වනු ඇත. වෛද්‍යවරු ලෙස මේ රටේ රාජ්‍ය සේවය තුළ සේවාවන් සපයමින් රටේ සෞඛ්‍ය සේවය අන්තර්ජාතික මට්ටමට පවත්වාගෙන යෑමට අප දායක වී ඇත්තෙමු. අනිකුත් රටවල් හා සසඳා බැලීමේදී සෞඛ්‍ය සේවයට දළ ජාතික නිෂ්පාදනයෙන් ලබා දෙන ප‍්‍රතිපාදන ප‍්‍රතිශතය අවම රටක් ලෙස වුවද රටේ සෞඛ්‍ය දර්ශක සංවර්ධිත රටවල මට්ටමට පවත්වාගෙන යෑමට හැකියාව ලැබී ඇත්තේ රටේ රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ දායකත්වය නිසා බව අපට ආඩම්බරයෙන් කිව හැක. එය හුදෙක් වෛද්‍යවරුන්ගේ දායකත්වය නිසා පමණක් සිදු වූවක් නොවේ. වෛද්‍යවරුන්ගේ නායකත්වයෙන් යුතු සෞඛ්‍ය සේවයේ නියුතු අනිකුත් සේවා කාණ්ඩ සියල්ලන්ගේම කැප කිරීම් වල ප‍්‍රතිඵලයකි. එබැවින් සෞඛ්‍ය සේවයේ රාජ්‍ය සේවකයන් හැටියට අප ඊයේත්, අදත්, හෙටත් රාජ්‍ය සේවයට හෝ රටට බරක් නැති බව මතක් කිරීමට කැමැත්තෙමු. කෙසේ වුවද මෙම රජය බලයට පත්වීමට පෙර ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ රාජ්‍ය සේවය රටට බරක් ලෙස සටහන්ව නොතිබුණු බව අවධාරණය කළ යුතුය. කෙසේ වුවද දේශපාලඥයන් විසින් රාජ්‍ය සේවය තුළට පොම්ප කරන ලද දේශපාලනික පත්වීම් මගින් රාජ්‍ය සේවයට අනවශ්‍ය බරක් ඇති කර ඇති බව කිව යුතුමය. එබැවින් රාජ්‍ය සේවය රටට බරක් යැයි කීමෙන් අදහස් කරන්නේ කුමක්දැයි යන්න පැහැදිලිව රටට ඉදිරිපත් කිරීමත් රජයේ වගකීම වනු ඇත. මන්දයත් රාජ්‍ය සේවයක් කාර්යක්ෂමව පවත්වා ගෙන යෑමෙන් අවසන් ප‍්‍රතිඵල ලබන්නේ රාජ්‍ය සේවකයන් නොව සමස්ත මහජනතාවම වන බැවිනි. රාජ්‍ය සේවය බරක් යැයි ප‍්‍රකාශ කරන ගමන්ම රාජ්‍ය සේවයේ විශ‍්‍රාම වයස ඉහළ දැමීම තර්කානුකූලව ගලපා ගැනීමට නොහැකිය. මේ ආකාරයට අයවැය තුළ එකිනෙකට පරස්පර වූ කාරණා අන්තර්ගතව තිබීම අයවැය ලියවිල්ලට ලැබිය යුතු ගරුත්වය නොලැබී යෑමට හේතුවනු ඇත.

ශී‍්‍ර ලංකාව තුළ දැනුම මත පදනම් වූ ආර්ථිකයක් (Knowledge economy) සෞඛ්‍ය සඳහා සංචරණය (Health Tourism)  සඳහා මූලිකත්වය ලබා දිය යුතු බවටත් ඒ සඳහා පශ්චාත් උපාධි අවස්ථා (උදා –  Travel Medicine)  වැඩි කළ යුතු බවත් අපි යෝජනා කළ අතර එය යම් ආකාරයක රටේ සංවර්ධන ක‍්‍රියාවලියට මෙන්ම වෘත්තීය සංවර්ධනයටද අවස්ථාවක් බව අප විශ්වාස කළෙමු. ඒ සඳහා යම් අවධානයක් ලබා දෙමින් සුවතා සංචරණය (Wellness Tourism) අය වැය යෝජනා තුළ ඇතුළත් වී තිබීම සාධනීය තත්ත්වයකි. එය රට තුළ යථාර්ථයක් බවට පත් කිරීමට කටයුතු කළ යුතුය. ඒ සඳහා ක‍්‍රියාකාරි වැඩපිළිවෙළක් කඩිනමින් ඉදිරිපත් කළ යුතුය. අය වැය යෝජනා තුළ තිබෙන මෙවැනි සාධනීය යෝජනා ක‍්‍රියාත්මක කිරීමේදි විශාල බාධා වලට මුහුණදීමට සිදු වනු ඇත. එබැවින් අයවැයේදි ඉදිරිපත් කරන සාධනීය යෝජනා රට තුළ ක‍්‍රියාත්මක කිරීමට රජය සක‍්‍රියව කටයුතු කළ යුතු අතර ප‍්‍රශ්නකාරි හා නොගැළපෙන යෝජනා ඉවත් කිරීම හෝ සංශෝධනය කිරීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුතුව ඇත.

රට කරවන පිරිස් ප‍්‍රතිපත්තිගරුකව රට නිවැරදි මගට ගෙන යන්නේද පිළිබඳව විමසිලිමත්ව සිටීම සෑම පුරවැසියෙකුගේම පරම වගකීම වේ. එසේ නොවුනහොත් අවස්ථාවාදී දේශපාලනඥයින් රටේ අනාගත පරම්පරාවට රටක් ඉතිරි නොකරනු ඇත.

ජනතාව පෙළගැසිය යුතු කාලය එළඹ ඇත.

රාජ්‍ය සේවය හා අයවැය යෝජනා



* වෛද්‍ය  නවීන් ද සොයිසා
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

advertistmentadvertistment
advertistmentadvertistment