හිටපු සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව චෝදනා එල්ල වී ඇති සුදු වෑන් නඩුවේ පැමිණිල්ලේ පළමුවැනි සාක්ෂිකාර සකලවල්ලි ආරච්චිලාගේ සරත් කුමාර නමැත්තා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (08දා) පස්වරුවේ නියෝග කළේය.
තමාට ජීවිත තර්ජන ඇති බව කියමින් එම සාක්ෂිකරු පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීමට අධීකරණය හමුවේ පෙනී නොසිටීම කෙරෙහි අවධානය යොමු කළ විනිසුරුවරයා ඊයේ (08දා) පැවැත්වීමට නියමිතව තිබූ පැමිණිල්ලේ සාක්ෂි විභාගය ලබන සැප්තැම්බර් 5 වැනිදා දක්වා කල් තබමින් එම නියෝගය කළේය. සැකකරුගේ ජීවිතයට තර්ජනයක් ඇතිනම් පොලිසියේ පමණක් නොව ඔහු ඉල්ලා සිටින ත්‍රිවිධ හමුදාවේ කුමන අංශයක හෝ ආරක්ෂාව ලබාදීමට සුදුසු නියෝගයක් නිකුත් කළ හැකි බවත් ඔහු අපේක්ෂා කරනුයේ කුමන ආරක්ෂාවක් දැයි නිශ්චිතව දැනුම් නොදී අධිකරණය මඟහැර සිටීම පැමිණිල්ලේ නඩුවට ඉතා අහිතකර තත්ත්වයක් බවත් විවෘත අධිකරණය හමුවේදී පෙන්වා දුන් විනිසුරුවරයා එම නියෝගය කළේය.
සිය සේවාදායකයාගේ ජීවිතයට තර්ජනයක් පවතින බව එම සාක්ෂිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පැවසීය.
පසුගිය ජනාධිපතිවරණය සමයේ එනම් 2019.11.10 වැනිදා තිඹිරිගස්යාය ප්‍රදේශයේදී පැවති මාධ්‍ය හමුවකදී වෙස් මාරුකර ගත් පුද්ගලයන් දෙදෙනකු යොදවා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අසත්‍ය කරුණු ප්‍රකාශ කිරීම ඇතුළු චෝදනා යටතේ රාජිත සේනාරත්න හා රාජ්‍ය ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූම් යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබිණ.
ඒ. ජේ. ඒ. අබේනායක