රාමුවෙන් පිටත මැතිවරණ ප්‍රතිසංස්කරණයක්

179

දැනට මිලියන 22 කට අඩු ජනගහනයක් ඇති අප කුඩා රටෙහි, මිලියන 16 ක් ඉක්මවන ඡන්ද දායකයින් සිටියත්, 2020 මහා මැතිවරණ ප‍්‍රතිපල අනුව, වලංගු ඡන්දයක් භාවිතා කිරීමට උද්‍යෝගිමත් වී ඇත්තේ 70% – 72 % ක් පමණය. එයින් බොහෝ දුරට පෙනී යන්නේ, ඡන්දය පාවිච්චි නොකළ අයට, දැනට පවතින සංකීර්ණ මැතිවරණ ක‍්‍රමය හා දේශපාලනඥයන් පිළිබඳව නිසි දැනුමක් හෝ විශ්වාසයක් හෝ නොමැති බවය. වලංගු ඡන්දයක් පාවිච්චි කළ අයගෙන් බහුතරය පවා කිනම් පදනමක් මත තම තීරණයට එළඹුනා දැයි යන්න අපැහැදිලිය.
 
 එවන් සංදර්භයක් තුළ, මහා මැතිවරණ ක‍්‍රියාවලියක පහත සඳහන් මූලික හා ද්විතීයික අරමුණු මත පිහිටා, වසර 73 ක් පුරා ක‍්‍රියාත්මකවූ ප‍්‍රධාන ඡන්ද ක‍්‍රමවල, යහපත් ගුණාංග උපයෝගී කරගනිමින් හා පැවති දෝෂ හා අඩු ලූහුඬුකම් අවම කරමින්, ‘රාමුවෙන් පිටත, වඩාත් සරල, ප‍්‍රජාතාන්ත‍්‍රික, අඩු වියදම් සහිත පිරිසිදු මැතිවරණ ක‍්‍රමයක් වෙත ස්වෛරී ඡන්දදායකයෙකු වශයෙන් මා සිත නිරතුරුව යොමු විය. ඒ අනුව, වෙනත් උද්‍යෝගිමත් ඡන්දදායකයින් හා ‘පැෆරල්’ වැනි සිවිල් සංවිධාන විසින් විටින් විට මාධ්‍ය මගින් ඉදිරිපත් කළ අදාළ යෝජනා ද ඇතුළත් කරමින්, සර්වග‍්‍රාහී මැතිවරණ ප‍්‍රතිසංස්කරණ යෝජනාවලියක් කාලානුක‍්‍රමිකව සකස් කර පහත අයිතම 3.0 යටතේ ඉදිරිපත් කරමි. මෙය මා විසින් ජනාධිපතිතුමා විසින් පසුගිය වසරේ නව ව්‍යවස්ථාවක් සඳහා පත් කළ ‘නීති විශේෂඥ කමිටුව’ට හා කථානායක තුමා විසින් මෑතකදී පත්කළ ‘පාර්ලිමේන්තු කාරක සභාව’ වෙත ද ඉදිරිපත් කර ඇත.
 
 1978 ට පෙර පැවති වෙස්ට්මිනිස්ටර් මොඩලයේ කොට්ඨාස (EPP) ක‍්‍රමය හා අඩුපාඩු සහිත වර්තමාන සමානුපාතික නියෝජන (PR) ක‍්‍රමය පිළිබඳව ස්වෛරී ඡන්දදායකයින්, දේශපාලනඥයින් හා විද්වතුන් අතර, මාධ්‍ය තුළින් මතුවූ විසංවාදය ඔස්සේ මවිසින්, සකස් කළ සංසන්දනාත්මක විග‍්‍රහයක් උපයෝගී කර ගතිමි. ඊට අමතරව, ‘නව මිශ‍්‍ර ඡන්ද ක‍්‍රමය’ පිළිබඳ පහත සඳහන් විග‍්‍රහය හා වගුවෙන් මතුවන ප‍්‍රතිඵල ද මෙම තේරීමට දායක විය. වඩාත් නිවැරදි ප‍්‍රතිඵල ලබා ගැනීමට අවශ්‍ය ගණිතමය පදනම පහත සඳහන් වගුවෙන්ම මනාව පැහැදිලි වේ. එබැවින් විවෘත මනසකින් යුතුව එය අධ්‍යයනය කර ප‍්‍රවේශයක් ලබා ගන්නා ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.
 

නව මිශ්‍ර ජන්ද ක්‍රම​ය
 
 ඉහත සඳහන් කළ ඡන්ද ක‍්‍රම 02 ටම ආවඩමින්, 2018 වසරෙහි පළාත් පාලන මැතිවරණය තුළින් අත්හදා බැලූ නව ‘මිශ‍්‍ර ඡන්ද’ක‍්‍රමය, නොයෙක් ප‍්‍රායෝගික ගැටලූ, ප‍්‍රමාදයන් සහ සංකීර්ණතාවයන්ට මුහුණ දුන් අතර එය සමස්ත පළාත් පාලන සභික සංඛ්‍යාවේ අතිවිශාල, නාස්තිකාර වැඩිවීමකට ද (තුන් ගුණයකට ආසන්න) තුඩු දුන් හෙයින් අරමුණාත්මකවද එය සාර්ථක නොවීය. තවද, කොට්ඨාස ක‍්‍රමය හා සමානුපාතික ක‍්‍රමය අතර තුලනාත්මක නියෝජනයක් ඇති කිරීම සඳහා පැනවූ 60:40 ක හෝ 50:50 අනුපාතයේ විද්‍යාත්මක පදනමක් නොපෙනෙන හෙයින් එයට විශේෂ පිළිගැනුමක් ආරෝපණය කළ නොහැකි විය. මන්ද යත් කෙනෙකුට, එය 55:45 හෝ 65:35 වශයෙන්ද විවාදයට ලක් කළ හැකිවීමය. මෙම ක‍්‍රමය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා යෙදුව හොත්, මන්ත‍්‍රීන් සංඛ්‍යාව 300 දක්වා වැඩිවීම ද අරුමයක් නොවේ. දැනටමත් මැතිවරණ කොට්ඨාස 196 ට, දළ වශයෙන් එක් කොට්ඨාසයක් සඳහා දේශපාලනඥයෝ (පා. මන්ත‍්‍රීන්+ප.ස මන්ත‍්‍රීන්+ ප.පා සභිකයන්) 48ක් බැගින් සිටිති. තවද, කාන්තා නියෝජනය පිළිබඳ අපේක්ෂාවද, මෙම ක‍්‍රමය යටතේ යථාර්ථයක් නොවීය.
 
මැතිවරණ ප‍්‍රතිසංස්කරණ යටතේ ‘රාමුවෙන් පිටත’ සර්වග‍්‍රාහී යෝජනාවලිය
 
 ඡන්ද දායකයින් ව්‍යාකූලත්වයට පත්කරන, දිගු ඡන්ද පත‍්‍රිකා කෙටිකිරීම උදෙසා, දැඩි සුදුසුකම් සහ ඉහළ මුදල් තැන්පතු අවශ්‍යතා පැනවීම තුළින්, හතු පිපෙන්නාක් මෙන්, ව්‍යාපාරික හා වෙනත් බාහිර අරමුණු ඇතිව මතුවන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ලියාපදිංචි කිරීම, අධෛර්යමත් කළ යුතුය. ඡන්දදායකයින්ගේ තීරණයට මග පෙන්විය යුතු ප‍්‍රධානතම සාධකය වන ‘පක්ෂ මැතිවරණ/ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ’ පිළිගැනුම හා අව්‍යාජභාවය තහවුරු කිරීම සඳහා, එය නිසි ආයතනික නියාමනයකට හා විගණනයකට යටත් කළ හැකි ලේඛනයක් හෝ නඩු පැවරිය හැකි ලේඛනයක් හෝ බවට පත් කළ යුතුය.
 
 මහ මැතිවරණ ක‍්‍රියාවලියේ මූලික පරමාර්ථය සපුරාලීමට නම්, පළමුවෙන්ම ජාතික පාර්ලිමේන්තුව තුළ නියෝජනය කිරීම සඳහා, රටෙහි වසන මිලියන 16 කට වැඩි ඡන්ද දායකයින්ට, පනවා ඇති ආසන (196 + 29) සංඛ්‍යාව, තරඟයෙහි සිටින පක්ෂ /සන්ධානවලට, ඔවුන් ජාතික වශයෙන් ලබාගත් සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාවට අනුරූපව වෙන්කර දිය යුතුය. එය නිවැරදිව ඉටුකිරීමට නම්, දැනට දිස්ත‍්‍රික් මට්ටමින් ලබා දෙන ප‍්‍රසාද ආසන 22 සහ 5% ක අවම ඡන්ද අවශ්‍යතාවය අහෝසි කර, ‘අනෙකුත්’ ගණයට අයත්වන ජාතික ඡන්ද එකතුවද අතහැර, තරඟයෙහි සිටින පක්ෂ/සන්ධාන පමණක් ලබාගත් ජාතික, වලංගු ඡන්ද එකතුවට සරල සමානුපාතික ගණිතය යෙදිය යුතුය. එවිට ගණනයට හසුවන සෑම ඡන්දයකටම සමාන වටිනාකමක් ලැබී, මහ මැතිවරණ ක‍්‍රියාවලියේ මූලික පරමාර්ථය සුපිරිසිදුව ඉටුවේ. ඉන් පසුව, එම පක්ෂ/සන්ධාන හිමි කර ගත් මුළු ආසන සංඛ්‍යාවට හා තමන් විසින් දිස්ත‍්‍රික් මට්ටමේ ලබාගත් ඡන්ද එකතුවන්ට සමානුපාතික ගණිතය යොදා දිස්ත‍්‍රික් ආසන සංඛ්‍යාව තීරණය කළ යුතුය.
 
 ද්විතීයික පරමාර්ථය සාක්ෂාත් කරගැනීම උදෙසා, පළමුවෙන්ම, අනිවාර්ය නොවන ‘මනාප ඡන්ද’ ක‍්‍රමය අහෝසි කළ යුතුය. එවිට, නිතැතින්ම මැතිවරණ ක‍්‍රමය සරල, අර්ථවත්, පිරිවැය අඩු හා අවිහිංසාවාදී ව්‍යායාමයක් බවට පත්වේ. දෙවනුව, අදාළ පක්ෂ/සන්ධාන විසින්, ජාතික පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ගේ කාර්යභාරය සඳහා ලබා දී ඇති විවිධ බර සලකා බැලීමෙන් අනතුරුව, පහත යෝජනා කර ඇති විකල්ප ලැයිස්තුවලින් එකක් (සියලූ පක්ෂ සම්මුතියකට එළඹීමෙන් පසුව එක් විකල්පයක් තෝරා ගැනීම හෝ අදාළ පක්ෂයේ තනි තේරීම අනුව හෝ) තෝරාගත යුතුය.
 
 (අ) 1978 මුල් ‘සමානුපාතික ක‍්‍රමය’ට අනිවාර්ය උපාංගය වූ කුසලතා අනුපිළිවෙළට සැදූ දිස්ත‍්‍රික් ලැයිස්තු, (ආ) කොට්ඨාස ක‍්‍රමයට අනුව එක් ඡන්ද කොට්ඨාසයකට එක් අපේක්ෂකයකු හෝ වැඩි ගණනක් බැගින් (225) අවශ්‍යතාවය පිරවීම සඳහා) කුසලතා අනුපිළිවෙළට සකස් කළ දිස්ත‍්‍රික් ලැයිස්තු, (ඇ) මෑතක් දක්වා ජවිපෙ විසින් භාවිතා කරන ලද මධ්‍යම අපේක්ෂක නාම සංචිතය.
 
 (ඈ) දැනට භාවිතා වන ‘සිංහල අකාරාදී පිළිවෙළට’ සකස් කරන ලද දිස්ත‍්‍රික් ලැයිස්තුව. මෙහිදී ‘මනාප ඡන්ද අංක’ අත් හැරිය යුතුය.
 
 ‘දේශපාලනික වෘත්තිකයින්’ තෝරා ගැනීම හා පත් කිරීම
 
 අ) තිරසාර ‘ජාතික පාර්ලිමේන්තුවක’ අරමුණු හා කාර්යයන් ඉටු වීම සහතික කිරීම සඳහා හැකි තරම් දුරට ‘පළමුව- රට’ යන මානසිකත්වයෙන් ඔදවැඩුණු, අව්‍යාජ දේශපාලන වෘත්තිකයන් අවශ්‍ය හෙයින්, ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් විටින් විට නියම කරනු ලබන මූලික අධ්‍යාපන හා වෘත්තීමය සුදුසුකම්, ඇතුළු අනෙකුත් අනිවාර්ය සුදුසුකම් නිර්ණායකයන් වන භාෂා සන්නිවේදන හැකියාවන් හා ශක්තිමත් සාමාන්‍ය බුද්ධියක් සතු, ශිෂ්ටසම්පන්න, නැණවත්, අවංක පුද්ගලයන් (නීතිඥයින්, ගණකාධිකාරිවරුන්, ආර්ථික විද්‍යාඥයින් සහ පළපුරුදු සමාජ-දේශපාලන වෘත්තිකයන්ට වැඩි අවධානයක් යොමු කරමින්), ව්‍යුහාත්මක සම්මුඛ පරීක්ෂණයන් මගින් තෝරාගැනීමේ භාරදුර වගකීම පක්ෂ/සන්ධානවලට සම්පූර්ණයෙන් පවරනු ඇත. මෙහිදී, මැතිවරණ කොමිසම විසින් පනවනු ලබන විශේෂිත ප‍්‍රතිශතයකට (15% ප‍්‍රයෝගික බව පෙනේ) යටත්ව, කාන්තා නියෝජනය තහවුරු කිරීම සඳහා, සම්මුඛ පරීක්ෂණ ක‍්‍රියාවලියේදී, සුදුසු පරිදි අතිරේක පූර්ව ලකුණු එකතු කිරීමක් තුළින් මූලික හා අවසාන ‘දිස්ත‍්‍රික් කුසලතා නාම ලැයිස්තු’වල ඔවුනට ඉහළ ප‍්‍රමුඛත්වයක් ලබාදීම අනිවාර්ය කළ යුතුය.
 
 ආ) මැතිවරණ කොමිසම විසින් ප‍්‍රකාශිත දිනයකට පෙර, පක්ෂ විසින් පාර්ලිමේන්තුවේ ආසන 196 ක් ආවරණය වන පරිදි, මූලික ‘දිස්ත‍්‍රික්/මධ්‍යම කුසලතා නාම ලැයිස්තු’ද , ‘ජාතික ලැයිස්තු’ අරමුණු අනුව, ආසන 29 ක් වෙනුවෙන් වෙනම මූලික දිස්ත‍්‍රික්/මධ්‍යම කුසලතා ලැයිස්තුවක්ද පිළියෙළ කළ යුතුය. මෙහිදී, නුසුදුසුකම්, මරණ, අස්වීම්, අස්කිරීම් වැනි හේතූන් ද සැලකිල්ලට ගනිමින්, අමතර නාම කිහිපයක් තම නාමයෝජනා ලැයිස්තුවල අගට කුසලතා අනුව ඇතුළත් කළ හැක.
 
 ඇ) ඉන් පසුව, එම ලැයිස්තු අවම වශයෙන් එක සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි ජාතික පුවත්පතක, ජනතා ප‍්‍රතිචාරය සඳහා පළ කළ හැකිය. නියමිත දිනකට පෙර ලැබෙන ජනතා විරෝධතා හා ප‍්‍රතිචාර, මැතිවරණ කොමිසම විසින් සලකා බලා දැන්වීමෙන් අනතුරුව, පක්ෂ විසින් (අවශ්‍ය වෙතොත්) තම මූලික ලැයිස්තු සංශෝධනය කර, අවසන් නාමයෝජනා ලැයිස්තු සකස් කර, ඒවායේ අඩංගු නම් තෝරාගත් පිළිවෙතේ නිරවද්‍යභාවය ද සහතික කරමින්, මැතිවරණ කොමිසමේ ආකෘතියකට අනුව සකස් කළ දිව්රුම් ප‍්‍රකාශනයක් සමග නාමයෝජනා අවසන් දිනයට පෙර, තේරීම් භාර නිලධාරීන්ට භාර දී ලියාපදිංචි කළ යුතුය. යම් හෙයකින්, මෙම ක‍්‍රියාවලිය අනුගමනය කර නොමැති බවට තහවුරු වුවහොත්, තේරීම් භාර නිලධාරියාට, නාමයෝජනා ලැයිස්තුවෙන් අදාළ නම් ඉවත් කළ හැක.
 
 ඈ) මැතිවරණයට පසුව නුසුදුසුකම් එලිදරව් වුවහොත් මැතිවරණ පෙත්සමක් තුළින් අභියෝගයට ලක් කළ හැක. එය සාර්ථක වුවහොත්, මෙම නව වෘත්තීය තේරීම් ක‍්‍රමවේදය යටතේ සුදුස්සන් පමණක් ලැයිස්තුවේ සිටිය යුතු බැවින් හා මෙම යෝජනාවලියේ අංක 3.4 දරන ක‍්‍රමවේදය නිසාවෙන්, අවස්ථානුකුලව අදාළ කුසලතා ලැයිස්තුවේ කැමති අපේක්ෂකයකු පක්ෂ ලේකම් හරහා පාර්ලිමේන්තුවට නම් කිරීමට ඉඩදීම ප‍්‍රායෝගිකය. නමුත් සාමාන්‍යයෙන් සිදු කළ යුත්තේ අදාළ කුසලතා ලැයිස්තුවේ ඉදිරියෙන් සිටින අනෙක් අපේක්ෂකයා නම් කිරීමය.
 
 ඉ) නව පරපුරේ හා රටෙහි පවතින දැඩි කාලීන අවශ්‍යතාවය අනුව මෙම ‘පද්ධතී වෙනස’ (System change) සිදුවිය යුතු බැවින්, පවතින ව්‍යවස්ථාවේ 90 වැනි වගන්තිය යටතේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වීම සඳහා ලබා දී ඇති සරල නිර්වචනයන් අවශ්‍ය පරිදි සංශෝධනය කළ යුතුය. මෙම සමස්ත පද්ධතී වෙනස තුළින්, දැනටත් පාර්ලිමේන්තුව තුළ මන්ත‍්‍රීවරුන් හා පක්ෂ අතර පවත්නා ‘ගැටුම්කාරී’ ප‍්‍රවේශය, වෙනුවට ‘පළමුව-රට’ යන බුද්ධිමත් ‘සම්මුතිවාදී’ ප‍්‍රවේශයකට යොමුවී, අවිධිමත් ‘පැති-මාරු’, අස්ථාවර රජය, එල්ලෙන පාර්ලිමේන්තුව සහ 2/3 බහුතරය වැනි පාඨ, ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තු ශබ්ද කෝෂයෙන් ඉවත්වනුවා දැකීම පුරවැසියන් වන අපට මහත් සැනසීමක් වනු ඇත.
 
 ඒ කෙසේ වෙතත්, පැති මාරු විගඩම තහනම් කර, මන්ත‍්‍රී පුරප්පාඩු ඇති වූ විට, අදාළ පක්ෂ/සන්ධානයන්ට, තම ලියාපදිංචි දිස්ත‍්‍රික් නාමයෝජනා ලැයිස්තුවෙන්, කැමති මන්ත‍්‍රීවරුන් නම් කිරීමට ව්‍යවස්ථානුකුලව අවස්ථාව ලබා දීම ප‍්‍රායෝගිකය.
 
 ජාතික ලැයිස්තු මන්ත‍්‍රීන් අරමුණාත්මකව විශේෂ ඝනයකට අයත් වන නිසා, ඔවුන්ව ද ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් විටින් විට නියම කරනු ලබන, අරමුණට සරිලන අනිවාර්ය සුදුසුකම් නිර්ණායකයන් සහ ව්‍යුහාත්මක සම්මුඛ පරීක්ෂණයන්ට යටත්ව තෝරා, 29+ සංඛ්‍යාවක් දිස්ත‍්‍රික් කුසලතා අනුව ලැයිස්තු ගත කර, ඉහත සඳහන් පරිදි ලියාපදිංචි කළ යුතුය. මෙම ලියාපදිංචි ලැයිස්තුවෙන්ද පක්ෂයට කැමති අය නම් කිරීමට ව්‍යවස්ථානුකුලව අවස්ථාව ලබා දීම ප‍්‍රායෝගිකය.

advertistmentadvertistment
advertistmentadvertistment