රාවණා ඇල්ලේන් මතු වූ රූ සටහන මවා ගත්තක් ද?

973

මුහුදු මට්ටමින් අඩි 3445 ක් උසින් පිහිටා තිබෙන රාවණා ඇල්ල උස අඩි අසූදෙකකි. වර්තමානය වනවිට වෙසෙසි සංචාරක අකර්ශනය දිනාගත් ස්ථානයක් ලෙසට රාවණා ඇල්ල හැඳින්වේ. ඇල්ල වැල්ලවාය මාර්ගයේ විසි එක්වන කිලෝ මීටර් කණුව අසල මේ ඇල්ල පිහිටා තිබෙන අතර මෙහි ජල මූලාශ‍්‍රයන් වන ජීවී රක්ෂිතයක පිහිටා තිබේ. රාවණා ඇල්ල නොහොත් බඹරගල ඇල්ල ප‍්‍රසිද්ධව තිබෙන්නේ රාවණා පුරාවෘත්තය සමගයි. මේ නිසා රාවණා කතා වස්තු සොයා ගෙන යන බොහෝ අය මේ ඇල්ල වටා තිබෙන ජන ප‍්‍රවාදයන් ස්පර්ශ කරන ආකාරය වළක්වන්නට නොහැකිය. රාවණා විසින් සීතා කුමරිය පැහැර ගෙන විත් මෙම ඇල්ල ට ඉහළින් තිබෙන රාවණා ගුහාවේ සඟවා ගෙන සිටි බවද එහිදී රාවණා හත්ත නමැති වීණාව රාවණා විසින් වාදනය කළ බවත් මේ ප‍්‍රවාදයන්හි අඩංගුය.

 රාවණා ඇල්ල පිළිබඳ පැරණිතම ජනප‍්‍රවාදය එය වුවද දිනෙන් දින මේ ප‍්‍රවාදයන්ට අලූතින් එකතු වන කතා ප‍්‍රවෘත්ති ගැන ද අපට අවධානය යොමු කරන්නට අවස්ථාව ලැබී ඇත. මීට දිනකීපයකට පෙර රාවණා ඇල්ල ගලා බසින කඳු ශිඛරයේ ගල් පතුරක් ගැලවී යෑමෙන් පසු මතු වූ රූසටහනක් ගැන විද්‍යුත් නාළිකා විසින් වාර්තාකර ඇත. කොවිඞ් වසංගත තත්ත්වය යටතේ වුවද මේ රූපය දැක බලා ගන්නට විශාල පිරිසක් මේ ස්ථානයට යනෙන බව පෙනේ.

 රාවණා යනු මෙරට ජනතාවගේ වීරයෙකි. විජයාගමනයට ප‍්‍රථම මෙහි සිටියා යැයි පැවසෙන රාවණා පිළිබඳ පුරාවෘත්ත රාශියකි. දේශීය වෛද්‍ය ක‍්‍රමය ප‍්‍රවර්ධනය කරන්නට ද රාවණා රජු ගත් උත්සාහ නිසා අර්ක ප‍්‍රකාශය නම් ආයුර්වේද ග‍්‍රන්ථය බිහිවිය. අර්ක නොහොත් බෙහෙත් අරක්කු පෙරීම මෑතක දක්වාම සිංහල වෛද්‍යවරු අතර ප‍්‍රකටව තිබුණි. රාවණා ගමන් ගත් දඬු මොනරය දැවයෙන් නිර්මාණය කළ බවද රසදිය ඉන්ධනය ලෙසට භාවිත කිරීමෙන් ගුවන් ගත කළ බවද පුරාවෘත්ත වල සඳහන්ය. මෙම ගුවන් යානය එවකට ලෝකයේ පැවැති වේගවත්ම ගුවන් යානය විය. රාවණා විසින් සීතා කුමරිය පැහැර ගෙන එන්නේ මේ දඬු මොනරයෙනි. රාවණා ඇල්ලට නුදුරු වර්තමාන රාවණා විහාරයට ඉහළින් තිබෙන රාවණා ගුහාව තුළට මෙම දඬු මොනරය ඇතළු කළ බව ද පැවැසෙයි. රාවණා ගේ අභාවයෙන් පසු මෙම දඬු මොනරය සබරගමු පළාතේ භූගතව නිදන් කළ බවට තිබෙන ජන ප‍්‍රවාදයක්ද ඇත. මෙම දඬු මොනරයේ කුඩා ආකෘතියක ඡායාරූපයක් පසුගිය කාලයේ අන්තර්ජාලය හරහා සංසරණය විය.

rawana2ලංකාවේ ප‍්‍රාග් ඉතිහාස පිළිබඳ බොහෝ භෞතික සාධක අප සතුය. මහාචාර්ය ශිරාන් දැරණියගල මෙන්ම මහාචාර්ය රාජ් සෝමදේව මහතා ආචාර්ය විජේපාල වැනි විද්වතුන් විසින් කරන ලද කැණීම් සහ පර්යේෂණ ඔස්සේ විජයාගමනයට ප‍්‍රථම මෙරට පැවැති ශිෂටාචාරයක තතු හෙළි වේ. ගල් ආයුධ භාවිත කළ වන ගත මිනිසුන් ගේ ජීවන රටාව පිළිබඳ විශාල සාක්ෂි ප‍්‍රමාණයක් අප සතුය. කුරුවිට බටදොඹ ලෙන පාහියංගල ලෙන” බළන්ගොඩ වැලිපොතයාය සහ කූරගල වැනි ස්ථානවලින් හමුවන මානව ඇට සැකිලිවල ස්වභාවය සහ ඔවුන් විසින් පරිහරණය කළ ආහර පිළිබඳ තොරතුරු මගින් දනවන කුතුහලය විශේෂිතය. මහාචාර්ය සෝමදේව මහතා විසින් බළන්ගොඩ සහ ඕපනායක නිම්නවල පැවැති ගල්ගුහා අභ්‍යන්තරයේ කරන ලද කැණීම්වලින් මේ ආදී මානවයාගේ කාෂිකාර්මික දිවි පෙවෙත ද හෙළි කරගන්නට සමත්ව ඇත. දඹුල්ල ඉබ්බන් කටුව
 සුසානයන්ගෙන් හමු වන්නේ එහි තවත් ඉදිරි තොරතුරු සමූහයක් යැයි සෝමදේව මහතා කරන නිගමනය ගැන ද අප කල්පනා කළ යුතුය.

 විජයාගමනයෙන් පසුව ඇති වූ සභ්‍යත්වය පිළිබඳ මෙරට ඉතිහාසඥයන්ට සහ පුරාවිද්‍යාඥයන්ට බොහෝ නිගමන ඇත. අහවල් රාජ්‍ය කාලයේ දී කරවන ලද ස්ථූපය සෙල් ලිපිය ආදී වශයෙන් කාල නිර්ණයකර ගැනීමට තිබෙන පහසුව ඉතා විශාලය. නමුත් අප තේරුම් ගත යුත්තේ පූර්ව ඓතිහාසික යුගයක් පිළිබඳ විශාල සාක්ෂි ප‍්‍රමාණයක්ද අප සතුව තිබෙන බවයි. මේ අතර ඓතිහාසික පුරාවෘත්ත රාශියක්ද හමුවේ. සුර අසුර යුද්දයක් පැවැති බවද තාරක පද්ම බලි රාවණ පුලස්ති වැනි නරපතියන් මෙහි පාලනය හෙබ වූ බවද මේ පුරාවෘත්තවල සඳහන් වේ. රමායනය වැනි කෘතියක් දක්වන ඉතිහාසය මිථ්‍යා ප‍්‍රබන්ධයක් යැයි පවසන අය සිටිති. නමුත් ඉන්දියාවේ විවිධ පළාත්වල පවත්වන දුසේරා නම් උත්සවයේදී රාවණා පිළිරුවට ගිනි තබන බව කවුරුත් දන්නා කරුණකි. රාමා දෙවිඳුන් ඔවුන්ට දේවත්වයට පත් නර පතියෙකි. නමුත් රාවණා දුෂ්ට චරිතයකි. නමුත් වර්තමාන ඉතිහාසඥයන්ට සහ පුරාවිද්‍යාඥයන්ට රාවණා හුදෙක් මන:කල්පිතයකි.

 දැන් අප බැලිය යුත්තේ මේ පුරාවෘත්ත සමග ප‍්‍රාග් ඓතිහාසික සාධක සලකා බැලිය හැකිද යන්න පිළිබඳවයි. රාවණා ඇල්ල කඳු ශිඛරයේ ගල් පතුරක් ගැලවී යෑමෙන් මතු වූ චායාව මෙයට පාදක කර ගන්නට හැකියාවක් ඇති යැයි සිතනවා නම් එය බොළඳ ව්‍යායාමයකි. විද්‍යුත් නාළිකාවල ජනපි‍්‍රයභාවය රඳවා තබා ගැනීමට මෙවැනි පුවත් පළ කරන බවද අප කල්පනා කළ යුතුය. නමුත් එය හුදෙක් පුවතක් ලෙසට නොසලකා රාවණා පිළිබඳව හෝ තාරක පද්ම හෝ බලි පිළිබඳව තිබෙන පුරාවෘත්ත සත්‍යයක් යැයි හෙළි කර ගත හැකි භෞතික සාධක අප මතුකර ගත යුතුය. වර්තමාන රාවණා ඇල්ල සැබෑ රාවණා ඇල්ල නොවේ යැයි මතයක් ඇත. එයට ඉහළින් රාවණා ගුහාව කිට්ටුවෙන් සැබෑ රාවණා ඇල්ල පවතින බවද ඒ අසල උමං පද්ධතියක්ද පවත්නා බවද මේ පිළිබඳ ගවේශන කළ පිරිස පවසයි. උමා ඔය ව්‍යාපෘතිය යටතේ එය භාරව සිටි ඉරාන ජාතිකයන් මේ උමං වසා දැමූ බවද පිටස්තර අයට එහි අතුළු වීම තහනම් කළ බවද මේ ගවේශනය කළ පිරිස දක්වා ඇත. කෙසේ වෙතත් ලංකාව පුරා රජධානි පිහිටා තිබෙන තැන්වල පවතින උමං පිළිබඳ පවතින ආරංචි බොරු නොවේ. එකම කාරණය නම් ඒ පිළිබඳව කිසිම ගවේශනයක් මේ දක්වා පුරා විද්‍යාදෙපාර්තමේන්තුව විසින් නොකිරීමයි. මෑතකදී ගාල්ල කොටුවෙන් මතු වූ උමං පද්ධතියක් ගැනද ප‍්‍රවෘත්ති පළ වී තිබීමද මෙහිදී සැලකිල්ලට ගත හැකිය.

 විජයාගමනයට පෙර මේ රටේ තිබූ බොහෝ දේ ස්වදෙශිකයන් ගේ නිර්මාණ විය. ඔවුන් සතුව තිබී ඇතැයි පැවසෙන භාෂාවක ලකුණු බෙහෙත් තෙල් ගබඩා කර තිබූ ගල් භාජනවලින් හමුවේ. උතුරු පළාතේ ආනකොට්ටෙන් හමු වූ මුද්‍රාවේ ද මේ අක්ෂර තිබේ. ඒවා චීන සංකේත අක්ෂරවලට සමානය. එක් අක්ෂරයකින් විශේෂ අදහසක් මතු කරගත හැකිය. එවැනි භෞතික සාධක සොයා බැලීම වර්තමාන පුරාවිද්‍යාඥයන් ගේ වගකීමයි. විද්‍යාත්මක පසු තලයක සිට මෙම සාධක අර්ථ නිරූපණය කිරීමෙන් සැබෑ ඉතිහාසය සොයා ගැනීමට අපට හැකියාව ලැබේ. රාවණා ඇල්ලේ ගල් පතුරක් ගැලවී යෑමෙන් මතුවන රූ සටහන ඔස්සේ හිතලූ නිර්මාණය කරනවාට වඩා මේ ශාස්ත‍්‍රීය පිවිසුම ඉතා වැදගත් වේ.

– මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment