රැකියාවේ සුබසිද්ධිය අහිමි කරන වාස්තු දෝෂ

2

නිවසක් වාස්තු විද්‍යාත්මක ස්වභාවධර්මයාට අවනතව හා අනුකූලව ඉදිකර නැත්නම් එම නිවසේ ශුභ සංඛ්‍යාත වෙනුවට අශුභ සංඛ්‍යාතයන් වර්ධනය වේ. කෙසේ වුවද තමන් ජීවත්වන නිවස වාස්තු දෝෂ ඇති බවට තමන්ට ද අවබෝධ වුණ ද සමහර අයට එය නිවැරදි කිරීමට එය පරීක්ෂා කිරීමට සිත් නොදේ. එක අතකින් එයට ද සාධාරණ හේතු පවතී. අද බොහෝ දෙනකු වාස්තු පරීක්ෂාවන් කියා කරන්නේ නිවසේ ඉදිරිපස දොරින් ඇතුළු වී වටපිට බලාගෙන පිටුපස දොරින් පිටවීමට යන තුරු මේක කඩන්න, මේක අයින් කරන්න, ඉස්සරහ ජනේලයෙන් පිටුපස පේනවා. ජනේලය කඩන්න මෙවැනි උපදෙස් පමණි. එයට පසු එම නිවැසියන් කරන්නේ දොරවල් ජනෙල් ටික ගලවා තැබීම පමණයි. ඒත් ප්‍රතිඵල අත්වී නොමැත. මේ ආකාරයට බොහෝ දෙනකු කිසිම අවබෝධයක් නැතිව මේ ශාස්ත්‍රය හෑල්ලුවට ලක්කිරීමෙන් මේ තුළින් මනුෂ්‍යයන්ට ලබාගත හැකි නියම ඵලයන් අහිමිවේ. නිවසක වාස්තු පරීක්ෂාවක් කිරීමට නිවසේ මූලික කටයුතු සඳහා පරීක්ෂාවට පැය 4ක් පමණ කාලයක් ගතවන අතර එම පරීක්ෂණයේ ලිඛිත වාර්තාව සම්පූර්ණ කිරීමට හරියට ම පැය 12ක 15ක කාලයක් ගතවේ. එහිදී නිවසේ අගලක පවා පවතින දෝෂ, භූමියේ දෝෂ, නිවැරදිව පෙන්වා විග්‍රහ කළ යුතු වන අතර නිවසක සම්පූර්ණ පරීක්ෂාවට පැය 20ක අඛණ්ඩ කාලයක් ගතවේ. එම නිසා ඔබ නිවස පරීක්ෂා කිරීමට පෙර පරීක්ෂකයාගෙන් ඇසිය යුතු ප්‍රධානම කරුණු වන්නේ නිවස පරීක්ෂාවට ගත වන කාලය හා නිවස පරීකෂණ වාර්තාව ලිඛිතව ලබාදෙන දවසයි. නිවසක් පරීක්‍ෂාවේදී දෙනු ලබන ලිඛිත ප්‍රකාශනය වාස්තු ශිල්පියා වගකීමට බැඳෙන සහතිකයකි. මෙහි සඳහන් කරුණු ඔහු කීවේ නැත කියා ප්‍රකාශ කළ නොහැක. මක්නිසා ද වාස්තු පරීක්ෂක විසින් වාස්තු පරීක්ෂණ වාර්තාව තම නමින් අත්සන යොදා අදාළ දින දමා ලබාදෙන නිසාය. මේ කරුණ මා පෙන්වූයේ අද වාස්තු පරීක්ෂණය කරමින් සමහර අය කරන වංචනික කටයුතු නිසාය. මාගේ නම ද පසුගිය කාලයක භාවිත කරමින් මම ඩබ්.කේ.ඒ.එම්. චන්ද්‍රසිරි කියා එක්තරා ප්‍රදේශයක වාස්තු පරීක්ෂණ කරගෙන ගිය පුද්ගලයකු සොයාගැනීමට හැකිවූ අතර පසුව එය සමථයකට පත් කර ගතිමි.

මේ ලිපියෙන් මා අදහස් කළේ ඉහත කරුණු සමග මෑතක දී මා ලද ප්‍රායෝගික අත්දැකීමකි. මේ කියන පුද්ගලයා යහමින් මුදල් හදල් තිබෙන අයෙකි. නමුත් මසුරුගතිය වැඩිය. එම නිසාම තමන්ගේ නිවස ඉදිකිරීමෙන් පසුව එය පරීක්ෂාවට කීපවිටක් එක එක්කෙනා කැඳවා ගත්තේ විටෙක අරක්කු බෝතලයක් ලබාදීමෙනි. තවත් විටෙක නිවසේ පාපැදියක් දීමෙනි. තවත් කීපවිටක් වාස්තු පිළිබඳව මෙලොව හසරක් නොදන්නා ජ්‍යොතිර්වේදීන් දෙදෙනකු මගිනි. මෙහිදී සිදු වුණේ ප්‍රධාන දොර කීප සැරයකට ගලවා කීප ස්ථානයක තැබීම පමණි. අවසානයේදී හිතවතකුගේ බල කිරීම මත පැමිණ මා මුණ ගැසී මාගෙන් ඒ සඳහා අය කරන ගාස්තු විමසා එම මුදල අඩුකර තමන්ගේ වැඩය කරදෙන මෙන් ඉල්ලීය. මා ඔහුට පැවසුවේ මා අය කරන ගාස්තුව කිසිදු අඩුවක් නැති බවත් මා කියන ආකාරයට කටයුතු කර හරි නොගියහොත් මා ගන්නා මුදල් ඔහුට ආපසු දෙන බවත්ය. එක්තරා දිනයක ඔහුගේ නිවසට මම ගියෙමි.

නිවස පරීක්ෂාවට ප්‍රථම එම නිවස පිහිටි භූමිය පරීක්ෂා කළ යුතුය. එය දුටු සැණින් බොහෝ දෝෂ පෙන්නුම් කරන ලදී. නිවසක භූමියක වාස්තු දෝෂ සමහර දේ නිවැසියන්ගේ බලාපොරොත්තු වගේම ඉගෙන ගත්, උගත්කමින් පිරි දරුවන්ගේ තමන් බලාපොරොත්තු වන රැකියාව, උසස්වීම් තම සුදුසුකමට සරිලන ආකාරයේ රැකියාව වැනි නිවැසියන්ගේ අනාගත දියුණුවට සරිලන අපේක්ෂාවන් බිඳ දමයි. එම කියමන අදහස් කරමින් මෙම නිවසේ පිරිමි දරුවා උපාධිධාරියෙක් හා විවිධ පාඨමාලා සමත්ව සිටි අයකු වූ අතර ඔහු ගිය සෑම සම්මුඛ පරීක්ෂණයක දීම ඔහුට නිසි රැකියාවක් ලැබී නොමැති අතර එයට වඩා අඩු සුදුසුකම් ලද අය එම රැකියා සඳහා තෝරාගෙන ඇත. ඒ නිසා ඔහු දැඩි මානසික පීඩනයකින් පෙළන බව මාගේ සේවාදායකයා පවසන ලදී.

භූමියේ හැඩය පොරව හැඩයක් ගැනීම නිවසේ හැඩය සමචතුරස්‍රව, නොතිබීම අත්තිවාරම ශුන්‍ය වීම (දිශාවන්) හා නිවසට විවිධ හැඩයට කොටස් එකතු කිරීම තුළින් නිවැසියන්ගේ සුදුසුකම් ඇති අයගේ සුදුස්සාට සුදුසු ස්ථානය අහිමි කරයි. විශේෂයෙන් තමන්හට තමාගේ උගත්කමට සරිලන ආකාරයට රැකියාවක් හෝ රැකියාවක් කරන අයකුට එම රැකියාවෙන් ඉහළට යෑම නවතාලයි. මේ නිවස පරීක්ෂාවේදී ලත් දත්තයන් මත බ්‍රහ්ම පාදය පවතින්නේ දරුවා නිදාගන්නා ඇඳ යටය. මේ තුළින් ඔහුට අධික මානසික පීඩනයක් පවතී. එක් වරක් සිය දිවි නසා ගැනීමට පවා සැරසී ඇත. නිවාස වර්ගීකරණය, ගෘහපොරොන්දම් ද මෙම නිවසේ නොගැළපේ. සියලු දෝෂයන් ඉවත් වීමට ප්‍රථමයෙන් භූමියේ හැඩයෙහි දෝෂය නිදොස් කර නිවසේ අත්තිවාරම බ්‍රහ්ම පාද ලක්ෂ්‍යය සාලයට වැටෙන ආකාරයට සකස් කර සති දෙකක් යන්න මත්තෙන් ඔහුට ලංකාවේ ප්‍රසිද්ධ විදේශ සමාගමක ඉහළ තනතුරක් සඳහා සම්මුඛ පරීක්ෂණයට සහභාගි වීමට ලැබුණ අතර එම ස්ථානයේ රැකියාව ඔහුට හිමිවිණි.

එම නිසා පැවැසීමට ඇත්තේ භූමියක, නිවසක පවතින සමහර වාස්තු දෝෂ නිසා එම නිවසේ වෙසෙන නිවැසියන්ට තමන්ගේ සුදුසුකම අනුව රැකියාවක් හිමිවීමත්, රැකියාවක් කරන අයකු නම් තමන්ට එම රැකියාවෙන් කිසිම ඉහළට යෑමක් දියුණුවක් ලබාගැනීම අපහසු බවයි. එයත් මා ප්‍රායෝගිකව අත්විඳ ඇත්තේ පරිපාලන සේවයේ නියුතු මහත්මයකුගේ නිවසක් පරීක්ෂාවේදී ඔහු විසින්ම පැවසුවේ තමන් වසර ගණනාවක සිට ම මෙතරම් සුදුසුකම් පැවැතිය ද තමන්ට පහළ සිටි හිතවතුන් උසස්වීම් ලැබ උසස් වැටුපක් ලබා ගත්ත ද හෙතෙම තවමත් ගිය තැනම බවයි. එම නිවස පරීක්ෂාවේදී ද නිවසේ පැවැති ප්‍රධානම වාස්තු දෝෂ 02ක් ඔහුගේ රැකියාව හා ආදායම් මාර්ග අවහිර කර තිබුණි. ඉන් එකක් නම් නිවසේ පැවැති පොරව හැඩය හෙවත් පාර්ශුනාම හැඩයයි.

පොරව හැඩයක් නිවසේ පවතිනවිට තම අතට ගත් බත් පිඟාන කෑමට පින නොමැතිව පිඟාන බිමට වැටෙනවා වැනි තත්ත්වයක් හටගනී. අනෙක් පැවැති දෝෂය නම් උතුරු දිශාවේ පැවැති වැසිකිළි වළ හා අපද්‍රව්‍ය ගබඩා වීමට පැවැති කුණු වළයි. ඒ තුළින් උතුරු දිශාව තුළින් නිවසට ඇදී එන අශුභ ශක්තීන් තුළින් හෙවත් අශුභ සංඛ්‍යාතයන් ඍජුව බලපෑම් කරන්නේ රැකියාව සම්බන්ධයෙන් වීමයි. එය සම්පූර්ණයෙන් නිවැරදි කිරීමෙන් මාස 1 1/2ක් යෑමට පෙර ඔහුට රැකියාවෙන් උසස්වීමක් ලැබුණේය. පොත්පත්වල කොපමණ දේ මේ වාස්තු විෂය සම්බන්ධයෙන් පැවතුණ ද එය තහවුරු වන්නේ නිවාස පරීක්ෂාවලදී ලැබෙන ප්‍රායෝගික අත්දැකීම් මතය. එම නිසා මා නම් බොහෝ ඉදිරිපත් කරන ප්‍රකාශ කරන දේවල් මා ලද අත්දැකීම් ඇසින් දැක තිබෙන දේම උපයෝගි කර ගෙනයි ඔබ දැනුවත් කරන්නේ. එහෙම නොමැතිව කවුරුන් හෝ ලියලා තිබුණ ආකාරයට, කවුරු හෝ කීව පළියට නොවේ. එම නිසා ප්‍රායෝගිකව අත්විඳි කරුණු කාරණා නිසා නිවසක් දුටු සැණින් පරීක්ෂාවට ප්‍රථම එම නිවසේ තත්ත්වය අවබෝධ කර ගැනීමට හැකියාව පවතී. භූමිය ගැන පැවසීමේදී තමන්ගේ රැකියාව, රැකියාවක් හිමිවීමට භූමිවල බෑවුම ද තවත් සාධකයකි. භූමියේ බෑවුම දකුණට, නිරිත බස්නාහිරට පැවැතීම ද රැකියාව සම්බන්ධයෙන් තම ජීවන උපාය මාර්ග කෙරෙහි ප්‍රභලව අශුභවේ. උතුරට, ඊශානට බෑවුම් වන භූමිවල වෙසෙන අයට රැකියාවෙන් ව්‍යාපාරවලින් තම ආදායම් තත්ත්වය ඉහළ මට්ටමකට පත්වේ. ශුභ ප්‍රතිඵල අත්වේ. තමන් බලාපොරොත්තු වන ආකාරයේ රැකියාවක් එම රැකියාව තුළින් ඉහළට යෑමේ අවස්ථාව උදාවේ. මා කලින් කී භූමිවල පවතින හැඩයන් අතරේ ත්‍රිකෝණයක හැඩය ගත් භූමියක පදිංචි නිවැසියන්ට ද තම ජීවන උපාය මාර්ගයන්ට බාධා, පීඩා විවිධ ප්‍රශ්න පැන නඟී. දියුණුව නවතී. රැකියා මාර්ග අවහිර වේ.

සමහර භූමි කුල්ලක හැඩය ගත් භූමි පවතී. මේවාට කියන්නේ ශුර්පි භූමියක් කියාය. මෙවැනි ආකාරයේ භූමි ද බොහෝ ඉඩම් කැබලි කරන ආයතන විසින් නොදන්නා අය අඩු මිලයට මිලට ගෙන නිවාස ඉදිකර පදිංචි වී නොබෝ දිනකින් තමන්ගේ රැකියාවේ ගැටලු, රැකියාව අහිමිවීම, එසේ නැතිනම් මෙවැනි භූමියක පදිංචි සුදුසුකම් ඇති තම පුතාට, දුවට රැකියාවක් නොමැති වීම නිසා බලාපොරොත්තු කඩා වැටුණ බොහෝ දෙනා සිටී. මෙවැනිම ප්‍රතිඵලයක් අත් කරන තව භූමි වර්ග පවතී.

වර්තමානයේ නිවාස පරීක්ෂාවලදී බොහෝ දෙනකු අපේක්ෂා කරන දැනට පොදු සාධකයක, නිවාස හිමි ගෘහ හිමියාට තමන්ගේ දරුවාව විදේශගත කිරීමේ සිහිනය. එම සිහිනය සැබෑවක් වීමට නම් දැනට තමන් පදිංචිව සිටින භූමියේ නිවසේ දෝෂයන් තමන්ට ඍජු බලපෑමක් ඇති කරයි. ඒ සම්බන්ධයෙන් ද බොහෝ අත්දැකීම් පැවතුණ ද ඒ සියල්ල ඉඩකඩ මද නිසා ප්‍රකාශ කළ නොහැක. නමුත් තමන් පදිංචි නිවසේ වාස්තු දෝෂ මා මෙහි සඳහන් කළ ආකාරයේ ඒවා හා තවත් බොහෝ පවතී නම් තමන් කොතරම් උනන්දු වුණ ද විදේශ ගත රැකියාවක් ලැබීම සිතන පරිදිම ඉටු නොවනු ඇත. සමහර අය විශාල මුදලක් වැය කර ණය වී පොලියට මුදල් ගෙන විදේශ රැකියාවකට ගිය ද ඔහුට තමුන්ගේ උගත්කමට, පළපුරුද්දට සුදුස්සාට සුදුසු ආකාරයේ රැකියාවක් ආදායම් මාර්ගයක් නොලැබේ. ඔහු විදේශයකට පිටත් වුණ ද දේශය පරිසරය පදිංචියට ගිය සැණින් දවසකට දෙකකට වෙනස් වී තමන්ට ශුභඵල අත් නොවේ. ඒ සඳහා සති කීපයක් ගත වේ. නමුත් එයට ප්‍රථම ශුභ තත්ත්වයකට පත්වීමට නම් ඔහුගේ හෝ ඇයගේ ජන්ම කේන්ද්‍රය ද එම අවස්ථාවේ බලවත්ව පැවැතිය යුතුයි.

රැකියාවේ සුබසිද්ධිය අහිමි කරන වාස්තු දෝෂ

දේශබන්ධු දේශමාන්‍ය විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්‍ද්‍රසිරි
සෙන්දිරියමුල්ල – සඳලංකාව
0777 856649

advertistmentadvertistment
advertistmentadvertistment