රැජිනත් මුණගැහුණු අවුරුදු 106 ආච්චි… තවමත් තනිවම වැඩකරගන්නවා

662
දූ දරු මුණුබුරු - මිණිබිරියන් සමග

කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මේ වන විට ජීවත්ව සිටින වැඩිහිටි පරම්පරාවේ වයස්ගතම කාන්තාව ලෙස වාර්තා වන්නේ උම්මු සහිරා ය. මුල්ලේරියාව හිඹුටාන පටුමගේ පදිංචිව සිටින ඇයගේ වයස අවුරුදු 106 කි.

මේ වන විට පරම්පරා හයක දරු මුණුබුරු මිණිබිරියන් පිරිවරාගෙන එකම ගෙදරක තම සැඳෑසමය ඇය ගත කරන්නේ ඉතාමත් සතුටිනි.

ඇය නිවසට මිණි පහණකි. ආලෝකයකි. ඉතා නිරෝගිමත් ඇය විටෙක තාලයට ගීතයක් ගයන්නීය. තවත් විටෙක ලතාවට රැඟුමන් පාන්නීය. ඇයව සතුටින් තැබීමට දුවා දරුවන් උත්සාහ ගනිද්දී තම දරු පරම්පරාව සතුටු කිරීමට ඇය උත්සාහ දරන්නීය.

උම්මු සහිරා උපත ලබන්නේ 1917 මාර්තු 17 වන දාය. ඒ කොළඔ නගරයේ බාබර් වීදියේ පිහිටි නිවෙසකය.

ඇය අදටත් හොඳ මතකයෙන් සිය අතීතය සිහිපත් කරන්නේ මෙලෙසය. පුංචි කාලෙ මම ජීවත් වුණේ කොළඔ නගරෙ. අම්මල තාත්තල මාව කසාද බන්දල දුන්නෙ වයස 12 දී. ඒ කාලෙ කසාද බඳින්නෙ අඩු වයසෙන්නෙ. මගේ මහත්තය ඒ කාලෙ මූණබලන කණ්ණාඩි හදන එක තමයි රස්සාවට කළේ. මට පළවෙනි දරුවා ලැබුණෙ වයස 13 දි.

රැජිනත් මුණගැහුණු අවුරුදු 106 ආච්චි… තවමත් තනිවම වැඩකරගන්නවා

මට දරුවො නව දෙනෙක් හම්බ වුණා. ඒ ඔක්කොම හම්බ වුණේ ගෙදර තමයි. ඉස්සර අද කාලෙ වගේ ඉස්පිරිතාලවලට යන්නේ නෑ. උම්මු සහිරාට හොඳ මතකයක් තිබේ. ඇය මොහොතක් කල්පනා කර අතීත මතක සිහියට නඟන්නීය.

මට හොඳට මතකයි මහ රැජිණි ලංකාවට ආපු එක. දරුවො හම්බ වෙන්න ඉන්න ගැණු අයව එයා රජ ගෙදරට ගෙන්නුවා. මමත් එතකොට දරුවෙක් හම්බ වෙන්න හිටපු හින්දා ගියා. අපිට තෑගි බෝග ලැබුණා. බේසමක් සබන්, ඇඳුම් පැළඳුම් වගේ ඒවා ලැබුණා.

හැබැයි සමහරක් ගැණු බොරුවටත් බඩවල් බැඳගෙන ආවා. ඒවා අහුවුණා. ඇය මහ හඬින් සිනාසෙමින් පැවසුවාය. ජපන්නු බෝම්බ දාපු වෙලාවෙ අපි හොඳටම බයවෙලා හිටියෙ. අපේ අහළ පහළ හිටපු මනුස්සයො ගෙවල් අතඇරල දුර පළාත් වලට ගියා. අපි නම් එහෙමම හිටියා.

ඒ හමුදා කාරයෝ මගේ ලොකු දරුවව ඇදගෙන ගියා. මම පස්සෙන් ගිහින් උදුරාගත්තේ. එයාටත් මේ වගේ දරුවෙක් ඉන්නව කියලා ආදරේට තමයි අරන් යන්න හදල තියෙන්නෙ. ඇයගේ දරුවන් නව දෙනාගෙන් අද ජීවත්ව සිටින්නේ තිදෙනෙක් පමණි. එක් දියණියක වන මිසිලින් අයිනුන් (අවු.76) සමග හිඹුටාන පටුමගේ ඇයගේ නිවසේ සැඳෑසමය ගත කරන්නීය.

රැජිනත් මුණගැහුණු අවුරුදු 106 ආච්චි… තවමත් තනිවම වැඩකරගන්නවා

අයිනුන් තම මව පිළිබඳව අදහස් පළ කළේ මෙලෙසය.

අපි පොඩි කාලෙ කොළඹ වීරකේසරී කන්තෝරුව ඉස්සරහ ගෙදරක තමයි හිටියේ. මේ ගෙදරට ආවේ 1977දී. අද මගේ දරුවො බැඳල ඒ අයගෙ දරුවොත් බැඳල ඒ අයටත් දරුවො ඉන්නව. පරම්පරා හයක් මේ ගෙදර ඉන්නවා. සමහරු ගෙවල් හදාගෙන ගිහිල්ලා.

අපේ අම්මට අදටත් හොඳට ඇවිදින්න වැඩ කරන්න පුළුවන්. නිකං ඉන්නේ නෑ. මොනව හරි වැඩක් කරන්න ඕනෑ. මගේ දරුවො හැමදාම බත් පාර්සල් හදලා කොළඹට යවනවා. අම්මත් ඒ වැඩවලට උදව් වෙනවා. එයා දවසට හාල් මැස්සන් කිලෝ දෙකක් ඔළු කඩලා දෙනවා. සුදු ලූනු කිලෝ එකහමාරක් සුද්ද කරල දෙනවා. සමහර දවස්වලට පාන්දර 3.00 විතර වෙනකන් ඒ වැඩ කරනවා. ඔක්කොම වැඩ ඉවර වෙලා අස් පස් කරල අතුගාලා රොඩු ටික උරේකට දාලා එළියෙන් තියල තමයි නිදා ගන්නෙ. හැබැයි දවල්ට නම් නිදා ගන්නව. ලෙඩක් දුකක් නෑ. සන්තෝසෙන් ඉන්නවා. එයාට අදටත් හොඳට මස් මාළුත් එක්ක කන්න ඕනෑ.

මේ සිංහල ගම්මානයට තියෙන එකම මුස්ලිම් නිවෙස ඔවුන්ගේය. ගමේ කවුරුත් මේ පවුලට ආදරය කරති. දවස ගානේ ඇවිල්ලා මේ මාතාවගේ දුක සැප සොයා බලන්නේ ඒ හින්දාය.

සිරිසේන ගමගේ – වැල්ලම්පිටිය

advertistmentadvertistment
advertistmentadvertistment