රැඳවියකු  මිය යෑමත් සමග රැකවල් බිඳ දමා කන්දකාඩු රැඳවියෝ 500ක් පැන යති – 230ක් ආපසු අල්ලයි

195

පොලොන්නරුව කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් රඳවා සිටින ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියකු අභිරහස් ලෙස මිය යෑමත් සමග එම මධ්‍යස්ථානයේ නේවාසිකව සිටි රැඳවියන් 500කට ආසන්න පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරී මධ්‍යස්ථානයේ මුරකාවල් කඩා බිඳ දමා ඊයේ (29 දා) පෙරවරුවේ පලාගොස් ඇත.

එම මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියකු සහ නිලධාරීන් අතර පෙරේදා (28 දා) රාත්‍රී යම් සිද්ධියක් ඇතිවීමෙන් පසු උණුසුම්කාරී තත්ත්වයක් හටගත් අතර පසුව එය සමථයට පත්වී තිබේ. පසුදා (29 දා) අළුයම එම රැඳවියාගේ සිරුර මධ්‍යස්ථානයේ තිබී හමුවීමත් සමග රැඳවියන් එහි පාලනාධිකාරියට විරෝධය පළ කරමින් හැසිරීමට පටන්ගෙන ඇත. අනතුරුව ඔවුන් මධ්‍යස්ථානයේ ගේට්ටු, වැටවල් කඩා බිම දමමින් නිලධාරීන්ට ගල්මුල්වලින් ගසමින් සෝමාවතී වනෝiානය දෙසට පළාගොස් තිබේ.

මෙම මධ්‍යස්ථානය පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යන අතර මධ්‍යස්ථානයේ රැඳවියන්ගේ ආරක්‍ෂාව සඳහා මධ්‍යස්ථානයෙන් පිටත යුද හමුදාවෙන් ආරක්‍ෂාව සලසා තිබේ.

මියගිය රැඳවියා හාලිඇළ 07 කණුව ප්‍රදේශයේ පදිංචි බුද්ධික රාජපක්‍ෂ නැමැත්තෙකි. සෙසු රැඳවියන් පිරිස මියගිය රැඳවියාගේ සිරුර අසල විරෝධය දක්වමින් පැය කිහිපයක් රැඳී සිට ඇති බවද දැනගන්නට ලැබිණි.

කලහකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඔෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් 03ක් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ද යොදා තිබුණි. සෝමාවතී වනෝiානයට පලාගිය රැඳවියන් නැවත කඳවුරට රැගෙන ඒම සඳහා යුද හමුදා කණ්ඩායම් උත්සහ ගනිමින් සිටියහ.

සිද්ධිය සම්බන්ධයෙන් පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ මියගිය රැඳවියාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් ලැබෙන වාර්තාව අනුව අපක්‍ෂපාතීව කටයුතු කරන බවයි.

මියගිය රැඳවියා මීට මාසයකට පමණ පෙර මෙම මධ්‍යස්ථානයට පැමිණි අයකු බවත් ඔහු සතුව දුම්කොළ තිබී මේ සිද්ධියත් සම්බන්ධයෙන් නිලධාරියකු සමග බහින් බස් වීමක් ඇතිවූ බවත් වාර්තා වේ. රැඳවියාගේ මරණය සම්බන්ධයෙන් අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් පවත්වන බවත් එහිදී නිලධාරීන් අතින් යම් වරදක් සිදුවී තිබුණහොත් ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවත් පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයා පැවසීය.

මේ අතර පලාගිය රැඳවියන් 232ක් පොලොන්නරුව පොලිසි මගින් අත්අඩංගුවට ගත් බවත් ඔවුන් අධිකරණය හමුවට ඊයේ (29 දා) ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඔෂාන් විතාරණ මහතා ‘දිවයින’ට පැවසීය.

චමින්ද සිල්වා, ප්‍රදීප් සමරකෝන්,  රොෂාන් තුෂාර-අරලගන්විල
 

advertistmentadvertistment
advertistmentadvertistment