රිටක් මත හිඳ ඇමක් නැතිව මාළු බාන සාස්තරේ

671

රිටි පන්නය දැන් සංචාරක සිම්බල් එකක් වෙලා…

මෙහෙම තාක්ෂණයක් ලෝකේ කොහේවත් නෑ

වාරකන් සුළඟ මුහුදු දිය උස්සා වෙරළට ගසන්නේය. එසැනින් සුදෝ සුදු පෙන කැටි මවා යළි දියඹට මුසු වන්නේය. ගල් පර බාධක නොමැති මුහුදු දියේ චණ්ඩ බව වැඩිය. වාරකන් සමයේ මුහුද දියේ හැසිරීම වියරු වෙස් ගන්නේය. මුහදු බඩ මාර්ගයේ ගාල්ලට යන තෙක්ම අප දුටුවේ මුහුදේ මේ චණ්ඩ හැසිරීමය. කොග්ගල පසු කරන විට වෙරළේ පැවති එම ඝෝෂාකාරී දසුන වෙනත් දසුනකට රූපඡේදනය වූයේ මොහොතකට අප එහි නතර කරමින්ය. ඔවුන් නොගැඹුරු මුහුදු තීරයේ තනි අණ්ඩෙන් සිටගෙන සිටින මිනිසුන් පිරිසකි. දුර සිට බැලූ බැල්මට පෙනෙන්නේ එහෙමය. මේ අපේ රටට ආවේනික මසුන් ඇල්ලීමේ කර්මාන්තයේ යෙදෙන රිටි පන්න ධීවරයින්ය.

වාරකන් සමය උදා වෙත්ම මුහුද මඟුල් සක්වළක් වන්නේ රිටි පන්න ධීවරයින්ටය. මුහුදු දිය චණ්ඩ වූ වාරකන් කාලයට ධීවරයින් මුහුදු යෑම අත්හරින විට මසුන් ඇල්ලීමේ වසන්තය තවත් ධීවරයින් පිරිසකට උදා වන්නේය. රිටි පන්න ධීවරයින් යනු ඔවුන්ය. ලෝකයේ කොහේවත් නැති ධීවර තාක්ෂණයක් මගින් මසුන් අල්ලන මේ ධීවරයින් දැකගත හැකි වන්නේ ශ්‍රී ලංකාවේ දකුණු බඩ වෙරළ තීරයේදීය. වෙරළට ආසන්න නොගැඹුරු දියඹේ රිටක් මත සමබරව සිටිමින් මසුන් අල්ලන එම ධීවරයින්ගේ තාක්ෂණය එය දෙස බලාසිටින්නන් කුතුහලයට පත්කරන දසුනකි. ඉතිහාසය නිශ්චය කළ නොහැකි කාලයක සිට දකුණු වෙරළ තීරයේ වූ ඒ සුන්දර දසුන පිටුපස හරි අපූරු කතාවක් ඇත.

රිටිපන්න ධීවර ක්‍රමය අනෙකුත් මසුන් ඇල්ලීමේ තාක්ෂණයට වඩා වෙනස්ය. මාළුවෙක් අල්ලා ගැනීමට මූලිකවම භාවිතා කළ යුතු උපක්‍රමය වන්නේ ඇමක් යෙදීමය. ඒත් එම මූලික උපායෙන් ද තොරව මාළු ඇල්ලීමේ තාක්ෂණය ඇත්තේ මේ රිටිපන්න ධීවර තාක්ෂණයේය. ඔවුන්ගේ බිලී පිත්තට මත්ස්‍යයින් අසු වන්නේ ඇමක් නැතුව ය. රිටක් මත ඉඳගෙන ඇමක් නැතිව මාළු අල්ලන මේ ක්‍රමයේ වැදගත්ම කොටසක් වන්නේ රිටිපන්න බිලී කටුවය. එය සාමාන්‍ය බිලී කටුවට වඩා වෙනස් රිටිපන්නය සඳහාම නිර්මාණය වූවක්ය.

එම බිලී කටුව නිර්මාණය කිරීමේ තාක්ෂණය තිබෙන්නෙ සාම්ප්‍රදායික රිටිපන්න ධීවරයින් සතුවය. ලෝකයේ දියුණු තාක්ෂණයේ ධීවර කර්මාන්ත ඇති රටවලත් නැති මේ බිලී කොකුව නිර්මාණය කර තිබෙන්නෙ ඊයම් ලෝහයෙනි. ඊයම් ලෝහය උණු කර අච්චුවකට දමා මේ සියුම් නිර්මාණය ඔවුන් නිර්මාණය කරගන්නේය. එම බිලී කොකු අච්චුව සඳහා භාවිතා කරන්නේද මුහුදේ සිටින දැල්ලාගේ පිට පොත්තය. හොඳින් වැඩුණු දැල්ලන්ගේ ගැල වී යන පිට පොත්ත ගෙනවිත් ධීවරයින් කරන්නේ එය දුම් මැස්සේ තබා පදමට වේලීමය. එම වේළුන පොත්ත රත් කර අවශ්‍ය පරිදි කැබලි වශයෙන් අච්චුවේ හැඩයට සකසා ගනී. ඊයම් දියර උණු කර දමා බිලී කොක්ක නිරමාණය කරගන්නෙ එකී දැලිපොතු අච්චුවෙනි. පරපුරෙන් පරපුරට රැකගෙන පැමිණි එම තාක්ෂණය ගැන අවබෝධයක් ඇත්තේ වර්තමානයේ සිටින රිටිපන්න ධීවරයින්ගෙන් අතලොස්සකටය. ගාල්ලේ මෝදරගොඩ වෙරළේ රිටක් මත සමබරව මසුන් අල්ලමින් සිටියදී අප සමග කතා කළ ප්‍රේමතිලක එම අතලොස්සක් වන ධීවර කුලකයේ සාමාජිකයෙකි.

රිටක් මත හිඳ ඇමක් නැතිව මාළු බාන සාස්තරේ

“මේ බිලී කොක්ක හැමෝටම හදන්න බෑ. ඒකට අතේ හුරුව තියෙන්න ඕන. මේක රත්තරන් බඩු හදනවා වගේ වැඩක්. බිලී කට්ටට ඇමක් නොතිබුණාට මාළුවා හිතන්නෙ මේ ඉස්සෙක් වගේ කෑමක් කියල. ඊයම් පාට බිලී කට්ට ගැස්සෙනකොට ඌ රැවටෙනවා. ඒකයි මේකට ඇමක් ඕන නැත්තෙ. අපි පිත්ත හදාගන්නෙ කරදියට ඔරොත්තු දෙන ලීයකින්. ඇට්ටෝනියා, ගොඩපර, කඩොල් වගේ ලී මේකට යොදාගන්නෙ. බිලී පෙත්ත බඹයක් වගේ උසයි. බඹයක් කියන්නෙ අපේ අත්දෙක දික්කළාම එන ප්‍රමාණයට. රිටි පන්නයට කණු හිටවන්නෙ අඩිවලින් මැනල නෙවෙයි. ඒකට ගන්නෙ රියන. වැලමිටේ ප්‍රමාණයට රියනක් කියන්නෙ. ගැඹුරෙ අඩියට රියන් අටක් දහයක් විතර පතුලෙ ගල් අණ්ඩ කඩාගෙන රියන් එකහමාරක් විතර ගැඹුරට කණුව ගහනවා. ඒ කණුවේ හරහට බඳින ලීයේ ඉඳගෙන තමයි මාළු බෑම සිදුකරන්නෙ. බිලී කොක්කට අහුවෙන මාළු දාගන්නෙ අපේ ඉනේ තියෙන මඩිස්සලේට. මාළු තියෙන කාලේට බිලී පෙත්ත වතුරට දානවා ගන්නවා. එක දිගට මාළු අහුවෙනවා. ඒ කාලෙට ඉස්පාසුවක් නෑ. මට මේ දැනුම ආවේ පරම්පරාවෙන්. අපේ පරම්පරාවෙන් පස්සෙ මේ දැනුම ගෙනියන්න කව්රුත් ඉදිරිපත්වෙන පාටක් පේන්න නෑ. ”

මත්ස්‍යයින් සුලබ වාරකන් සමයේ රිටි පන්නයේ නියැලෙන ධීවරයින්ගේ ප්‍රමාණය මේ වෙරළ තීරයේ ඉහළ යන බව ප්‍රේමතිලක කියන්නේය. එම කාලයට ඔවුන් මුහුදට කියන්නේ “අල්මාරියේ සල්ලි තියෙනවා වාගේ කියාය.”

“උදේට මාළු එනවා ආයෙත් හැන්දෑවට යනවා. මාළු ආවොත් අපි කියන්නෙ ඔය කතාව. ඒ දවස් වලට මාළු බිලී අල්ලනව නම් කන්න වෙලාවකුත් නෑ බොන්න වෙලාවකුත් නෑ.” ඔහු කියන්නේය.

කතළුව, වැලිගම, කළු කන්ද, දේදූව,

ගොවියාපාන, අහංගම තෙක් දකුණු වෙරළ තීරයේ රිටිපන්නයේ නියැලෙන ධීවරයින් මැයි මාසයේ උදාවෙත්ම වැඩි වන්නේය. ඒ එසමයේ දියවැල් සමග වෙරළ ආසන්නයට මත්ස්‍යයින්ගේ පැමිණීම බහුල වන නිසාය.

අද වන විට රිටිපන්න ධීවරයින්ගේ ආදායම රඳා පවතින්නේ මත්ස්‍යයින් අල්ලා අලෙවි කිරීමෙන් පමණක් නොවේ. වර්තමානයේදී රිටිපන්න ධීවර කර්මාන්තය සංචාරක කර්මාන්තය හා බද්ධ වී තිබේ. නොගැඹුරු මුහුදේ කණුවක් මත සිට මසුන් අල්ලාගන්නා රිටිපන්න ධීවරයින්ගේ සුන්දර දසුන සංචාරක ආකර්ෂණය දිනා ගන්නා දර්ශනයකි. එය දැන් මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ සංකේතයක් බවට ද පත්ව තිබේ. මේ නිසා මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින් ස්වකීය සංචාරක ගමනාන්තයක් ලෙස දකුණු වෙරළ තීරයේ රිටිපන්න ධීවර තොටුපළකට පැමිණීම සුලබව සිදුවේ. එම සංචාරකයින් හමුවේ රිටිපන්න ධීවරයින් මත්ස්‍යයින් අල්ලන අයුරු විදහාපෑම මගින් විදේශිකයන්ගෙන් ආදායමක් උපයා ගැනීම වර්තමානයේදී රැකියාවක් ලෙසම සිදුවේ. නමුත් එය සිදුවන්නේ විදේශීය සංචාරකයින්ට කිසිදු අවහිරයක් නොවන පරිද්දෙන් බව එම ධීවරයින් පවසන්නේය.

රිටක් මත හිඳ ඇමක් නැතිව මාළු බාන සාස්තරේ

“අපි කවදාවත් සුද්දොන්ගෙන් සල්ලි ගන්නෙ නෑ. අපිට ගෙවන්නෙ සුද්දො එක්කගෙන එන කොම්පැනියේ ගයිඩ් මහත්තයා. රිටි පන්නයෙන් මාළු අල්ලන්නෙ නැති කාලවලදී සංචාරකයන්ගෙන් තමා අපි කීයක් හරි හොයා ගන්නෙ. විදේශිකයන් බොහොම කැමතියි රිටි පන්නයෙන් මාළු අල්ලන පිංතූර ගන්න. අපි කිහිප දෙනෙක් මුළු දවසෙම ඒ වෙනුවෙන් වෙරළට වෙලා ඉන්නවා. විදේශිකයන් ආව ගමන් අපි ඔවුන්ගෙ පිංතූරවලට පෙනී සිටින්න රිටිපන්න කණුවට නගිනවා. දවස පුරා එහෙම කරල ලැබෙන ආදායම දවස අවසානයේ අපි අතර බෙදෙනවා. සමහර අවස්ථාවලදී විදේශිකයනුත් රිටි පන්න කණුවට නැගල පිංතූර ගන්න කැමතියි. ඒක අපිට වැඩි මුදලක් ලැබෙන ක්‍රමයක්.”

සංචාරකයින් රිටිපන්න ධීවරයින් මසුන් අල්ලන දසුනට ආකර්ෂණය වීමට හේතුව මෙම කර්මාන්තය ලෝකයේ වෙන කොතැනකවත් මෙවැනි තාක්ෂණයක් භාවිතා කරන ධීවර කණ්ඩායම දසුනක් නොමැති වීමයි. නමුත් රිටිපන්න ධීවර කර්මාන්තය කවදා කොහේ ආරම්භ වූයේද යන්න තවමත් නිශ්චිතව පිළිගන්නා තොරතුරක් නොවේ. එම පැනයට රිටිපන්න ධීවරයින් තුළ විවිධ මත තිබේ. මෙම තාක්ෂණය ධීවරයින්ට ලැබුණේ ලන්දේසි යුගයේදී බවට ද මතයක් තිබේ. තවත් අයගේ මතය වී තිබෙන්නේ එය දෙවන ලෝක යුද්ධය කාලයේ පැමිණි රුවල් නැව්වල සිටි නාවිකයන්ගෙන් මෙම තාක්ෂණය ලැබුණු බවකි. තවත් අයෙක් කියන්නෙ රිටිපන්න ධීවර පුරාණය ගන්දර රාළහාමි නම් ගන්දර ප්‍රදේශයේ ජීවත් වූ ධීවරයෙක් මූලිකව මෙම රිටිපන්න ධීවර ප්‍රජාව ප්‍රචලිත වූ බවකි. ඒ කුමක් වෙතත් රිටිපන්න ධීවර කර්මාන්තය මේ තාක් නොනැසී පැමිණ ඇත්තේ පරම්පරාවෙන් පරම්පරාවට උරුමයක් සේ රැගෙන පැමිණි රැකියාවක් හේතුවෙනි. වර්තමානයේ එය අනාගත ලෝකය කරා රක්ෂා වේද යන්න අභියෝගයක් වී තිබේ. ඊට හේතු වී තිබෙන්නෙ ගැඹුරු මුහුදේ යාත්‍රා යොදාගෙන සිදුවන මාළු ඇල්ලීම සහ දැල් යොදාගෙන වෙරළ ආසන්නයේ මහා පරිමාණයෙන් සිදුවන මත්ස්‍යයින් ඇල්ලීමයි. මේ නිසා කොරබුරුවා වැනි මත්ස්‍ය රෑන් වෙරළට පැමිණීම අඩු වී තිබේ. එය රිටිපන්න ධීවර කර්මාන්තය අභාවයට යෑමට බළපෑම් කරන්නකි. රිටිපන්න ධීවරයින්ගෙ ඊළඟ පරපුර මේ කර්මාන්තයෙන් ඈත් වෙමින් පැවතීමද දකුණු වෙරළ තීරයේ දකින මේ සුන්දර රිටිපන්න ධීවර දසුන හෙට දවසේදී වියැකෙන්නට හේතු වන්නකි.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment