රිදීමාලියද්ද උණුසුම් කරන ඉඩම් ගැටලුවේ සත්‍ය කතාව

77

අපි කතා කරන්නේ බඩ ගැන හෝ පෞද්ගලික වාසි බලාගෙන නෙමෙයි. මේ කර්මාන්තපුරය අපේ ප‍්‍රදේශයට සම්පතක්…
කර්මාන්ත ව්‍යාපෘතියට කැමැති ප‍්‍රදේශවාසීන්

මේ ඉඩම් ගන්න නම් අපිව මරන්න ඕනෑ…
කර්මාන්ත ව්‍යාපෘතියට විරුද්ධ ප‍්‍රදේශවාසීන්

නුදුරු දිනක යෝජිත ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කරනවා…
මහවැලි අධිකාරිය…

එහෙත් අවුල්ය… මෙහෙත් අවුල්ය… රිදීමාලියද්දත් අවුල්ය… යෝජිත කර්මාන්ත ව්‍යාපෘතියක් නිසා රිදීමාලියද්දේ ඇකිරියන්කුඹුර සහ දෙහිගම ප‍්‍රදේශවාසීන් දෙපිලකට බෙදී චෝදනා කරගනිමින් සිටිති. ගමේ කර්මාන්තශාලාවක් විවෘත වෙනවාට කැමති බහුතරය මාදුරුඔය අසලට එක්රොක් වෙමින් පොලූ, කැති අමෝරාගෙන සිටිති. යෝජිත කර්මාන්ත ව්‍යාපෘතිය ගමට සාපයක් කියන සුළුතරය රක්‍ෂිත මායිමේ සටනට සූදානම් වෙමින් සිටිති. දෙපිරිස ඉදිරියේ ස්වාමීන්වහන්සේ නොසිටින්න ද්වින්ධ සටන ඇවිළී මහා විනාශයක් සිදු වී හමාරය. යෝජිත කර්මාන්ත ව්‍යාපෘතිය නිසා දෙපිරිස එතරම්ම ගිනියම් ය. එහෙත් බිබිල පමණක් නොව, මුළු රටම හැඬවීමට ප‍්‍රබල ඒ ආරවුල මැදට පසුගිය දිනෙක අපි ගියෙමු. දෙපාර්ශ්වයේම මිනිස්සු උද්ගතව ඇති ගැටලූව සම්බන්ධයෙන් අපට කරුණු පැහැදිලි කළහ. ප‍්‍රථමයෙන් යෝජිත කර්මාන්ත ව්‍යාපෘතිය සාපයක් සේ දකින මිනිසුන් කියන කතාවට අපි සවන්දී සිටිමු.

කර්මාන්ත ආරම්භ කරනවාට අකැමති මිනිස්සු කියන කතාව…

‘‘අපි මේ ඉඩම්වල වගා කරන්න ගත්තේ අද, ඊයේ නෙමෙයි. අපේ මුතුන්, මිත්තොත් මේ ඉඩම් අස්වැද්දුවා. බඩඉරිගු වගාව ප‍්‍රධාන කොටගෙන කුරක්කන්, මෙනේරි, කවුපි, රටකජු, මුංඇට, මිරිස්, බටු වගා කරනවා. අපේ පවුල් ජීවත් වෙන්නේ මේ හේන් යාය අස්වද්දලා. අපි වගා කරන අක්කර දෙකේ භූමියට සරිලන ඉඩමක් අපිට දීලා මේ ඉඩම් ගත්තට ප‍්‍රශ්නයක් නෑ. ඒත් මහවැලි අධිකාරිය ඒක කරන්නේ නෑ. බයිබෝස් ක‍්‍රමයට අපිව මේ ඉඩම්වලින් එළියට දාන්න හදනවා. අපි ජීවතුන් අතර ඉන්නකම් එහෙම කරන්න දෙන්නේ නෑ… ජනාධිපතිතුමා බදුල්ල කුමාරතැන්නට ආපු අවස්ථාවේ අපිට කිව්වා වගා කටයුතු කරගෙන යන්න කියලා. අපේ ඉඩම් ගන්න එපා කියලා මහවැලියටත් දැනුම් දුන්නා. ජනාධිපතිවරයා එහෙම දැනුවත් කරලා තිබියදීත් පහුගිය දවසක කණ්ඩායමක් ඇවිත් අපේ හේන් සම්පූර්ණයෙන් කැති ගාලා, පැල් කොට බිමට සමතලා කර දලා තිබුණා. කිරි වැදුණු බඩඉරිඟු කරල් කීතු, කීතු වෙන්න කැති ගාලා තිබුණා. සන්තකයේ තියෙන පිච්චිය වියදම් කරලා, දහදිය වගුරලා උස් මහත් කරගත්ත වගා බිම් කැති ගාලා දැම්ම ම අපි කොහොමද මහත්තයො පවුල් ජීවත් කරවන්නේ…’’

රිදීමාලියද්ද උණුසුම් කරන ඉඩම් ගැටලුවේ සත්‍ය කතාව

‘‘අපිට රජයෙන් කියලා කිසිම දෙයක් ලැබෙන්නේ නෑ. අඩුම තරමින් බීජ ඇටයක්වත් දෙන්නේ නෑ. පිනට කන්න ඕනෙත් නෑ. අපි මහන්සි වෙලා ගොවිතැන් කරලා හම්බ කරගෙන හොඳට ජීවත් වෙනවා. දරුවන්ට හොඳට උගන්වනවා. අපේ පවුල්වල විශ්වවිද්‍යාලවල ඉගෙනගන්න දරුවො ඉන්නවා. මගේ ලොකු දුවත් උසස් පෙළ කරනවා…’’ තිලකසිරි ගුණපාලගේ උස් හඬ පොදු හඬ අතරින් ඉස්මතු විය. ඔහුට වයස අවුරුදු 48 කි. දෙදරු පියෙකි. අක්කර දෙකක් වගා කර දරු පවුලක් නඩත්තු කරන ආබාධිත මිනිසෙකි. ඔහුගේ එක් පාදයක් ආබාධයකට ලක් වී ඇති බවත්, ආබාධ ජීවත්වීමට ගැටලූවක් නොවන බවත් හේ අපට පැවසීය.

‘‘ගොවිතැන් කරන්න කම්මැලි අය තමයි කොම්පැණිය පැත්තට කතා කරන්නේ. ඒ වගේම මේ කරදරය අද ඊයේ ආපු එකක් නෙමෙයි. මේ භූමිය ගන්න වළිකන්නේ 2006 අවුරුද්දේ ඉඳලා. ඔය ඉඩමට කුරුමානම් අල්ලන තවත් හේතු තියෙනවා. ඒවා අපිට වැඩක් නෑ. මෙතැන මරලා ගියත් අපි වගා කරන ඉඩම් නම් දෙන්නේ නෑ. දැනටමත් මහවැලි අධිකාරිය මේ හේන් යායේ වගා කරන 46 දෙනකුට නඩු දාලා තියෙනවා. එක් අයෙක් අක්කර 10,15,20 වගා කරනවා කියලා මහවැලි අධිකාරිය කියනවා. ඒත් අපේ ගොවියො හැම කෙනෙක්ම වගා කරන්නේ අක්කර දෙකක් වගේ පුංචි ඉඩම් කෑලි. ඒ අක්කර දෙකට තමයි අපිව මරන්න හදන්නේ…’’ ඈත පේන හේන් යායට ඉහළ දෙහිගම සහ ඇකිරියන්කුඹුර ගමේ දහ පහළොස්දෙනෙක් ඔවුන්ගේ ගැටලූ අපට කීහ. එහෙත් බහුතරය නම කියන්න අකැමැති වූහ. අනන්‍යතාවක් සහිතව එඩිතරව කතා කළේ තිලකසිරි පමණි.

එමෙන්ම ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණේ ප‍්‍රධාන අනුශාසක බිබිල ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ලේඛක දොඩම්ගොල්ලේ සෝරත හාමුදුරුවෝ ද ඒ අසරණ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටිමින් ‘අපි නොහිටින්න මේ මිනිසුන්ගේ ඉඩම් මේ වෙනකොටත් අරගෙන’ බව පැවසූහ. උන්වහන්සේ කියන කතාව මෙන්ම යෝජිත ව්‍යාපෘතියට විරුද්ධ මිනිස්සු කියන කතාව අපට පැහැදිලිය. එමෙන්ම ගැටලූවට තුඩු දී තිබෙන භූමියේ ගොවීන් පවසන්නේ දැනට වගා කරන අක්කර දෙක වෙනුවට වෙනත් ප‍්‍රදේශයකින් ඒ සා භූමියක් ලබාදෙන්නේ නම් අදාළ භූමියෙන් යෑමට සූදානම් බවය. එම ඉල්ලීම සාධාරණය. ඔවුන්ගේ පවුල් නඩත්තු කිරීමට ආදායම් මාර්ගයක් තිබිය යුතුය. එමෙන්ම එම හේන් යායේ වගා කරනුයේ පවුල් 49 ක් වැනි සුළු පිරිසකි. එහෙයින් ඌව පළාතේ, බදුල්ල දිස්ත‍්‍රික්කයේ, රිදීමාලිද්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජීවත්වන මේ පවුල් 49 ට වගා කටයුතු සඳහා ලබාදීමට ඉඩම් අක්කර 98 එම ප‍්‍රදේශයෙන් සොයාගැනීම අසීරු කාර්යයක් නොවේ. එහෙත් ගැටලූව වවාගෙන හත්පොලේ ගාගැනීම ගැන අපට ඇත්තේ ගැටලූවකි. එවැනි සිතුවිලිවලින් සිත පෑරෙන අතරේ යෝජිත කර්මාන්ත ව්‍යාපෘතියට කැමැති බහුතරය අතරට අපි ගියෙමු. මේ ඒ මිනිස්සු කියන කතාවය.

කර්මාන්ත ආරම්භ කරනවාට කැමති මිනිස්සු කියන කතාව…

‘‘මේ ව්‍යාපෘතියට මුල පිරුවේ 2005 අවුරුද්දේ. මේක රජයේ ඉඩමක්. කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට යෝජිත බව දැන, දැනම තමයි මේ මිනිස්සු අක්කර ගණන් අල්ලගෙන බඩඉරි`ගු වගා කරන්නේ. ඒ අයට වෙනත් තැන්වලත් ඉඩම් තියෙනවා. ඒ වගේම පවුල් 49 යි මේ ඉඩමේ වගා කරගෙන යන්නේ. මේ ව්‍යාපෘතිය පටන් ගත්තට පස්සේ මේ ඉඩමේ වගාකරුවන්ට වෙනත් ප‍්‍රදේශවලින් ඉඩම් ලබාදෙන්න සමාගම සැලසුම් කරලා තියෙනවා. වගාකරුවොත් කැමැත්තෙන් හිටියා. ජනතා විමුක්ති පෙරමුණ තමයි ඒ වගාකරුවන්ව උසිගන්වලා නැති ප‍්‍රශ්නයක් ඇති කළේ. ඒ වගේම මේ ව්‍යාපෘතියට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ මහ බිල්ලෙක් මවලා තියෙනවා. නිල් ගල රක්‍ෂිතයක් ගැන කතා කරනවා. පුරාවිද්‍යා භූමියක්, කටු උණ කැලෑවක් ගැන කතා කරනවා. ඒවා තියෙන්නේ කර්මාන්තශාලාවට යෝජිත භූමියෙන් එපිට. නිල්ගල රක්‍ෂිතයක් නම් අහලකවත් නෑ. ඒ වගේම ඉඩම් අක්කර හැටපන්දාහසක් ගැන කතා කරනවා. මේ යෝජිත කර්මාන්තශාලාවට ගන්න යන්නේ අක්කර 365 යි…’’ ඇකිරියන්කුඹුර ග‍්‍රාම සංවර්ධන සමිතියේ සභාපති ටී. බී. ගුණදාසගේ කතාවට ප‍්‍රදේශයේ දැන, උගත් කිහිපදෙනෙක්ම අඩු වැඩි එකතු කළහ.

‘‘පවුල් හතළිස් නවයක් ඇර මේ ප‍්‍රදේශයේ සියලූ පවුල් මේ සංවර්ධන ව්‍යපෘතියට කැමතියි. අපි මේ කතා කරන්නේ ඒ පවුල් ලක්‍ෂ ගාන වෙනුවෙන්. මේ නොදියුණු ප‍්‍රදේශයේ දියුණුව වෙනුවෙන්. මේ කර්මාන්තපුරය අපේ ප‍්‍රදේශයට ලැබෙන සම්පතක්. එදා වේල කන්න නැති මිනිසුන්ට රැකියාවක් කරගෙන සතුටින් ජීවත් වෙන්න ලැබෙන අවසාන අවස්ථාව. මේ මහඟු අවස්ථාව නැති කරගන්න අපි කැමැති නෑ. ඒත් ජනතා විමුක්ති පෙරමුණට ඕන මේ ප‍්‍රදේශය හැමදාම නොදියුණු ප‍්‍රදේශයක් බවට පත් කිරීමට. මේ ප‍්‍රදේශවල ජනතාව හිඟන්නො වෙන තරමට ඔවුන්ට දේශපාලනය කරගෙන යන්න පහසුයි. අපි මේ කතා කරන්නේ යෝජිත ව්‍යාපෘතිය ගැන වගේම ප‍්‍රදේශයේ දේශපාලනය ගැන හොඳ අවබෝධයක් ඇතිවයි…’’

‘‘අපේ ගමේ ආරම්භ කිරීමට යෝජිත සීනි කර්මාන්තශාලාව ආසියාවේ විශාලතම සීනි කර්මාන්තශාලාව. මේ කර්මාන්තශාලාව ආරම්භ වීමත් එක්ක සීනි ආනයනයට පිටරටට ඇදී යන විශාල මුදලෙන් යම් ප‍්‍රමාණයක් අපේ රටට ඉතිරි වෙනවා. උද්ගතව ඇති ඩොලර් ප‍්‍රශ්නයට ඒක ලොකු විසඳුමක් වෙනවා. සීනි කර්මාන්තශාලාව ආරම්භ කිරීමට සමගාමීව මෙගා වොට් 20 ක විදුලි බලාගාරයක් ආරම්භ වෙනවා. ඒ බලාගාරයේ විදුලිය නිෂ්පාදනය කෙරෙන්නේ සීනි නිෂ්පාදනයෙන් ඉවත දමන උක් රොඩු, ගිනිසීරියා ශාක යොදාගෙන. ඒ වගේම සීනි නිෂ්පාදනයෙන් ඉවත දමන උක් රොඩු යොදාගෙන සත්ව ආහාර කර්මාන්තශාලාවක් ආරම්භ වෙනවා. කාබනික පොහොර නිෂ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ වෙනවා. මහවැලි සංවර්ධන අධිකාරිය යෝගට් සහ කිරි නිෂ්පාදන ආයතනයක් ආරම්භ කරනවා. එවැනි විශාල කර්මාන්තශාලා ආරම්භ වෙනකොට ප‍්‍රදේශයේ යටිතල පහසුකම් දියුණු වෙනවා. ප‍්‍රදේශයේ ගොවියො 7500 ට මහවැලි බල ප‍්‍රදේශ යටතේ මහඔය, පදියතලාව, මහියංගනය, රිදීමාලියද්ද ප‍්‍රදේශවලින් ඉඩම් අක්කර පහ බැගින් බෙදාදීමට සැලසුම් කර තියෙනවා. එම ඉඩම් අයිති ගොවීන්ට අක්කර බාගයක භූමියක් තුළ අංගසම්පූර්ණ නිවසක් ඉදිකරදෙනවා. කිරි ගවයෙක් ලබාදෙනවා. ඒ කිරි ගවයන්ට කර්මාන්තශාලාව තුළින් නොමිලේ ආහාර ලබාදෙනවා. ඒ වගේම ප‍්‍රදේශයේ තරුණ තරුණියන් 2200 ට කර්මාන්තශාලාව තුළ ස්ථිර රැකියා අවස්ථා ලබාදෙනවා. වක‍්‍ර රැකියා අවස්ථා එක්දාහස් ගානක් නිර්මාණය වෙනවා. නිෂ්පාදනය කෙරෙන සෑම සීනි මිටියකින්ම රුපියල් 12.50 ක මුදලක් මහවැලි අධිකාරියට ලබාදීමට යෝජිතයි. ශුද්ධ ලාභයෙන් සියයට 1 ක බද්දක් රජයට ලබාදීමට යෝජිතයි…’’

රිදීමාලියද්ද උණුසුම් කරන ඉඩම් ගැටලුවේ සත්‍ය කතාව

‘‘ඒ වගේම දැන් ගොවිතැනෙන් ලැබෙන ආදායමත් අඩුයි. යෝජිත සීනි සමාගම ගොවීන්ට උක් ප‍්‍රභේද දීලා අස්වැන්නත් මිලට ගන්නවා. වසරින්, වසර අස්වැන්නට ගෙවන මුදලත් වැඩි කරනවා. ඒ වගේම බඩඉරිඟු වගාවට වඩා උක් වගාවෙන් ලැබෙන ආදායම වැඩියි. උක්වලට නිශ්චිත මිලක් තියෙනවා. ගොවිතැන ගැන අපිට හොඳ දැනුමක් තියෙනවා. අපිත් පරම්පාරික ගොවියො. ඒත් මෙපමණ ආර්ථික ලාභ ලැබෙන සංවර්ධන ව්‍යාපෘතියකට විරුද්ධ වෙන්න තරම් අපි ආත්මාර්ථකාමීන් නෙමෙයි. ඒ වගේම අපේ ගම්වල හොඳට විභාග පාස් වෙච්ච තරුණ, තරුණියො රැකියා නැතිව අපා දුක් විඳිනවා. සමහර කොල්ලො කොළඹ ගිහින් කොන්ක‍්‍රීට් අනනවා. කෙල්ලො හේන්වල පිච්චෙනවා. ජීවිත කාලයේම අපි විඳපු දුක ඒ ළමයින්ටත්, අපේ දරුවන්ටත් විඳින්න දෙන්න ඕන නෑ…’’ ගමේ වැඩිහිටි උදවිය පිළිවෙළට කරුණු ඉදිරිපත් කරන විට උසස් පෙළ සමත් රැකියා නැති තරුණයන් තිදෙනෙක්ද අපට කතා කළහ. මේ ඔවුන් කියන දුක හිතෙන කතාවය.

‘‘මම චමල් හසන්ත. වයස අවුරුදු 26 යි. ඇකිරියන්කුඹුර පාසලේ ඉගෙනගෙන සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් නවයම සමත් වුණා. කලා අංශයෙන් උසස් පෙළ කරලා විෂයන් තුනම සමත් වුණා. මේ ඉන්න සචින්ත, දිලූක, පසිදු තුන්දෙනාම හොඳට උසස් පෙළ සමත්. ඒත් අපිට තවම ජොබ් එකක් හොයාගන්න බැරි වුණා. ප‍්‍රදේශයේ සමහර ළමයි සාමාන්‍ය පෙළ සමත් වෙලා, දේශපාලනඥයන් පස්සේ ගිහින් රාජ්‍ය ආයතනවල කාර්ය සහායක ජොබ්වලට ගිහින් ඉන්නවා. ඒත් උසස් පෙළ සමත් ජොබ් එකක් නැති තරුණ, තරුණියො අපේ වසමේ විතරක් පනහකට වඩා ඉන්නවා. අපි නම් ත‍්‍රීවීල් හරි හයර් කරනවා. ගෑනු ළමයි, ත‍්‍රීවීල් එකක්වත් ගන්න වත්කමක් නැති කොල්ලො මොනව කරන්නද? කර්මාන්තශාලාවක් ගමේ විවෘත වෙනකොට අපේ සුදුසුකම්වලට රැකියාවකට යන්න පුළුවන්. මහ ලොකු වැටුප්, තනතුරු අපිට ඕන නෑ. අධ්‍යාපන සුදුසුකම්වලට සාධාරණයක් වෙන ජොබ් එකක් ලැබෙනවා නම් ඒ ඇති. ඒ වගේම විශාල කර්මාන්ත හැදෙනකොට ප‍්‍රදේශයේ පාසල් ළමයි ඉගෙනගන්නත් උනන්දු වෙනවා. නූගත් දේශපාලනඥයන්ගේ පස්සෙ නොගිහින් සම්මුඛ පරීක්‍ෂණයකට ඉදිරිපත් වෙලා තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් පෙන්වලා අභිමානයෙන් යුක්තව රැකියාවක් ලබාගන්න පුළුවන් වෙනවා. පවුල් 49 ක් සහ ප‍්‍රදේශයේ ස්වාමීන්වහන්සේ තුන්නමක් එකතුවෙලා මේ විනාශ කරන්න හදන්නේ අපේ අනාගතය. යෝජිත කර්මාන්ත ව්‍යාපෘතියට විරුද්ධ ස්වාමීන්වහන්සේ අපේ ගම්වලත් නෙමෙයි. අපේ ගමේ නායක හාමුදුරුවෝ මේ ව්‍යාපෘතියට එදා ඉඳලා කැමැතියි. අයියලා ගිහින් නායක හාමුදුරුවො එක්ක කතා කරන්න…’’ අදහස් දැක්වූ තරුණයන්ගේ ඉල්ලීමට ඇකිරියන්කුඹුර ශ‍්‍රී අශෝකාරාමය, දම්කුඹුර ගල්ලෙන් රජමහා විහාරය, කනවේගල්ල මාලිගාතැන්න රජමහා විහාරයේ විහාරාධිපති ඇකිරියන්කුඹුරේ සුමනරතන හාමුදුරුවන්ට ද අපි කතා කළෙමු. උද්ගතව ඇති ගැටලූව සම්බන්ධයෙන් උන්වහන්සේ දැක් වූයේ මෙවැනි අදහසකි.

‘‘යෝජිත කර්මාන්තශාලාව ආරම්භ කරන්න සැලසුම් කරලා තියෙන්නේ ඇකිරියන්කුඹුර පන්සලට ආසන්නයේ. මේ ගැන පළමු වරට මම දැනුවත් වුණේ 2006 වර්ෂයේදී. ඒ කාලයේදී මේ ව්‍යාපෘතියට ගමේ කිසිම කෙනෙක් විරුද්ධ වුණේ නෑ. ඒත් පසුකාලීනව ගොනු වෙච්ච විරෝධතා නිසා කර්මාන්තශාලාව ආරම්භවීම ප‍්‍රමාද වුණා. මේ වෙනකොට එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් බොරු ප‍්‍රචාරයන් රාශියක් සමාජගත කරලා තියෙනවා. ඒ බොරු ගැන කතා කරන්න මම කාලය වැය කරන්නේ නෑ. මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වෙන්නේ ඉඩම් අක්කර 365 ක් තුළ. ඒ භූමිය රජයට අයිති භූමියක්. ගමේ විහාරයේ ස්වාමීන්වහන්සේ විදිහට මම විශ්වාසයෙන් කියනවා එම භූමිය තුළ කිසිදු පුරාවිද්‍යා ස්ථානයක් නෑ. ඒ වගේම ගමට, ප‍්‍රදේශයට යම්කිසි හානිදායක දෙයක් සිද්ධ වෙනවා නම් මුලින්ම විරුද්ධ වෙන්නේ මමයි. මේ ව්‍යාපෘතියෙන් ගමට, රටට සෙතක් වෙනවා විනා හානියක් වෙන්නේ නෑ. අපේ ගම්වල තරුණ පරපුරට මේ ව්‍යාපෘතියෙන් විශාල සෙතක් වෙනවා. ඒ නිසා මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මම ආශිර්වාද කරනවා. මගේ උපරිම දායකත්වය ලබාදෙනවා. මේ ව්‍යාපෘතිය පටන් ගැනීමට කල් ගත්තා හොඳටම ඇති. දැන් මේ ව්‍යාපෘතිය ඉක්මනින් පටන් ගන්න කියලා මම කියනවා…’’ රිදීමාලියද්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොඩගම ප‍්‍රදේශයේ ආරම්භ කිරීමට යෝජිත කර්මාන්තපුරය සම්බන්ධයෙන් කැමති අකැමැති, ගිහි පැවිදි දෙපිරිසම දැක් වූ අදහස් පැහැදිලිය. උද්ගතව ඇති ගැටලූව සම්බන්ධයෙන් මහවැලි අධිකාරියේ රිදීමාලියද්ද කොට්ඨාසය භාර, කළමනාකාර කේ. එච්. නිහාල් මහතා කියන කතාවටත් දැන් අපි සවන් දී සිටිමු.

මහවැලි අධිකාරිය කියන කතාව…

රිදීමාලියද්ද උණුසුම් කරන ඉඩම් ගැටලුවේ සත්‍ය කතාව

‘‘මේ ව්‍යපෘතිය ආරම්භ කිරීමට යෝජිත වෙලා තියෙන්නේ රීදීමාලිද්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇකිරියන්කුඹුර සහ දෙහිගම ග‍්‍රාම සේවා කොට්ඨාස දෙක අතර ඉඩම් කොටසක. භූමි ප‍්‍රමාණය හෙක්ටයාර් 149.2 යි. ඒ භූමි ප‍්‍රමාණයට අමතරව වෙනත් කිසිදු තැනකින් ඒ සමාගමට ඉඩම් ලබාදෙන්නේ නෑ…’’ මම ඔහුගේ කතාවට බාධා කරමින් පැනයක් යොමු කළෙමි.

අදාළ ඉඩම් ප‍්‍රමාණය අදාළ සමාගමට නිදහස් කර අවසානයි ද?

‘‘තවම නෑ. මාස් කන්නයට ඒ භූමියේ අනවසර වගා කටයුතු කරගෙන ගිය පනස්දෙනෙක් අපි හඳුනාගත්තා. ඔවුන් අතරින් හතරදෙනෙක් දිවුරුම් ප‍්‍රකාශ ඉදිරිපත් කර වගා කටයුතුවලින් ඉවත් වුණා. ඉතිරි හතළිස් හයදෙනාට අධිකරණ ක‍්‍රියාමාර්ග අරගත්තා. මේ වෙනකොට නීත්‍යනුකූලව තිස්හයදෙනෙක්ව එම භූමියෙන් ඉවත් කරලා ඉඩම්වල භූක්තිය මහවැලි අධිකාරියට පවරාගෙන තියෙනවා. ඉතිරි වගාකරුවන්ගේ ඉඩම් ටිකත් නීත්‍යනුකූලව පවරාගෙන මහවැලි අධිකාරියේ ඉඩම් බදු දෙන ක‍්‍රමවේදයට දිගු කාලීන බදු පදනම මත අදාළ සමාගමට ලබාදෙනවා…’’

දැනට එම භූමියේ වගා කරන ගොවීන්ට ඉදිරියට වගා කටයුතු කරගෙන යෑමට වෙනත් ප‍්‍රදේශවලින් ඉඩම් ලබාදෙනවද?

‘‘ඒ ගැන මහවැලි අධිකාරිය, ප‍්‍රදේශීය ලේකම් සහ අදාළ දේශපාලන අධිකාරිය සාකච්ඡා කරගෙන යනවා. සුබවාදී විසඳුමක් ලැබෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අධිකරණ ක‍්‍රියාමාර්ග අවසාන වූ පසුව අදාළ ඉඩමේ මැනුම් කටයුතු අවසාන කර ඉදිකිරීම් කටයුතු කිරීමට අදාළ සමාගමට පූර්ණ බලතල ලබාදෙනවා. නුදුරු කාලයේදී අදාළ ව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භ වෙනවා…’’ මහවැලි අධිකාරියේ නිලධාරිවරයාගේ කතාව ද අවසානය.

සිහිබුද්ධියෙන් මේ කතාව කියවන මිනිසුන්ට රිදීමාලිද්ද ඇකිරියන්කුඹුර සහ දෙහිගම ගම්මාන පාදක කරගෙන ආරම්භවීමට යෝජිත කර්මාන්තපුරයේ ගැටලූව ගැන අවබෝධ වන බව සැබෑය. එමෙන්ම රටට යහපත් ව්‍යාපෘති මුල් කරගෙන ‘බිල්ලො’ මවන කාලකණ්ණි දේශපාලන ක‍්‍රමය මේ රටට සාපයක් බව ද කිවයුතුය. මේ වල් බූරු දේශපාලන ක‍්‍රමයත් රටේ ධනය හොරා කන තුප්පහි දේශපාලනඥයන් වෙනස් නොවෙන්න මේ රටට ආලෝකයක් නැති බවත් විශේෂයෙන්ම මතක් කර තැබිය යුතුය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment