රියැදුරුට පිහියෙන් ඇන මැරූ අනිත් රියැදුරු හා කොන්දොස්තර අත්අඩංගුවට

416

මාර්ග අංක 99 බදුල්ල – කොළඹ පෞද්ගලික බස්රථ රියැදුරකුට පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළ එම මාර්ගයේම පෞද්ගලික බස්රථ රියැදුරකු සහ කොන්දොස්තරවරයකු අත්අඩංගුවට ගත් බව බදුල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

පෙරේදා (06 දා) රාත්‍රී මෙම ඝාතන සිද්ධිය බදුල්ල නගරයේ සේනානායක ක්‍රීඩාංගණය අසලදී සිදු වී ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බෙලිහුල්ඔය, පඹහින්න පදිංචිව සිටි සුජීව සම්පත් නමැති 41 හැවිරිදි අයකු බව පොලිසිය පවසයි. ඝාතනයට ලක්වූ බස්රථ රියැදුරු අනෙක් බස් රථ රියැදුරු හා කොන්දොස්තරවරයා එකට මත්පැන් පානය කර ඇති බවත්, එහිදී ඔවුන් අතරේ බහිස්බස් වීමක් සිදුව ඇති බවත්, අනතුරුව ඔවුන් සේනානායක පිටිය අසල ගඟබඩ පාර ඔස්සේ ගමන් කරමින් සිටියදී මොහු පිහි ඇනුමකට ලක්ව ඇති බවත් හෙළිවිණැයි පොලිසිය පවසයි.

පිහි ඇනුම් හා බරපතළ තුවාල ලැබ මාර්ගයේ වැටී සිටි බස්රථ රියැදුරු 1990 සුවසැරිය ගිලන් රථයක දමාගෙන ගොස් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරුමුවට පත්ව ඇතැයි පොලිසිය කියයි. මෙම සිද්ධියෙන් පසු පලාගොස් සිටි සැකකාර බස්රථ රියැදුරා හා කොන්දොස්තර ඊයේ (07දා) අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ එච්.එම්. සමරකෝන් බණ්ඩා – බදුල්ල


advertistmentadvertistment