රිය අනතුරුවලින් දවසකට අටදෙනෙක් මියයනවා – ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි

164

වැඩිම අනතුරු සිදුවන්නේ මෝටර් සයිකල්වලින් –

මේ රටේ රිය අනතුරුවලින් දවසකට අට දෙනෙකු මිය යනවා. ඉන් වැඩිම අනතුරු සංඛ්‍යාවක් සිදුවන්නේ මෝටර් සයිකල්වලින් යැයි ප‍්‍රවාහන අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. මෙම අනතුරු අවම කිරීම සඳහා ජාතික වශයෙන් වැඩපිළිවෙළක් සැකසිය යුතුයැයිද ඇය පැවසුවාය. අමාත්‍යවරිය මේ බැව් පැවසූවේ ඊයේ (01දා* මාකුඹුර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයේදී පැවති මාර්ග අනතුරුවලට ලක්වූ වින්දිතයන් සිහිකිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් සංවිධානය කරන ලද සැමරුම් උත්සවයකදීය.

සැමරුම් උත්සවයේදී මාර්ග ආරක්ෂාව, රිය අනතුරු අවම කරගැනීම හා පදිකයන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් ස්වෙච්ඡුාවෙන් කටයුතු කළ ක‍්‍රියාකාරී පුද්ගලයින්ට සමරු සහ මුල්‍ය සහන ලබාදීම සිදුකරන ලදි. ශ‍්‍රී ලංකාවේ මාර්ග අනතුරු 50% කින් අඩු කිරිම සඳහා මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික සභාව විසින් සකසන ලද ක‍්‍රියාකාරී සැලැස්ම ද එළි දැක්වීම මෙහිදී සිදුවිය.

ප‍්‍රවාහන අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ලබාදුන් උපදෙස් මත නව වන්දි ක‍්‍රමය 2022 වසරේ සිට ක‍්‍රියාත්මක කරන බව මෙහිදී ප‍්‍රකාශයට පත්විය.ඒ අනුව

හඳුනා නොගත් රිය අනතුරු හේතුවෙන් ලබාදෙන වන්දි මුදල රුපියල් ලක්ෂ දෙකේ සිට රුපියල් දෙලක්ෂ පනස්දහසක් දක්වාත් ,බරපතළ තුවාල ලබන වින්දිතයින්ට රුපියල් ලක්ෂයේ සිට රුපියල් එක් ලක්ෂ පනස් දහස දක්වාත් වැඩි කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පියවර ගෙන ඇත.

එමෙන්ම හඳුනා නොගත් රිය අනතුරුවලින් මියගිය පුද්ගලයින්ගෙන් යැපෙන්නන් වෙනුවෙන් සහ බරපතළ ලෙස අනතුරුවලට පත්වූවන් වෙනුවෙන් වන්දි මුදල් ප‍්‍රදානය කිරීමද අමාත්‍යවරිය අතින් මෙහිදී සිදුවිය. මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති ඇන්ටන් ද මෙන්ස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.


advertistmentadvertistment