රිලා කැරැල්ල

600

රිලවුන් විසින් ආරම්භ කරන ලද කැරැල්ලක් ගැන කෘෂිකර්ම ඇමැති කේ. ඩී. ලාල්කාන්ත පාර්ලිමේන්තුවේදී කීවේය. මෙය විහිළුවක් නොවෙයි. රිලව්, දඬුලේන්නු, මොනරු, ඉත්තෑවෝ, වල් අලි යනාදීහූ මේ රටේ කෘෂිකර්මයට එරෙහිව විනාශකාරී වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. ගොවි බිම්වලට කඩා වදින මේ සත්තු ගොවි බිම් ද වනසා ඒවායේ තිබෙන පල වැල ද කඩා ගෙන ගොස් අනුභව කරති. අන්තිමේදී මිනිස්සුන්ට සිදුවන්නේ සහල් වෙනුවට ගොයම් කන්නටය. බඩ ඉරිඟු කරල් වෙනුවට බඩ ඉරිඟු ගහ කන්නටය. පොල් වෙනුවට පොල් අතු කන්නටය. කිසියම් ඇට වර්ගයක් වගා කළ සැණින් මොනරු හමුදා පිටින් පැමිණ වපුරන ලද ඇට කා දමති. වල් ඌරන්ගෙන් ඇති කරදරය සුළු පටු නොවේ. වල් ඌරාට ඕනෑම වගාවක් දිරවයි. මේ සතාට නොදිරවන්නේ කළුගල් සහ යකඩ පමණි. මේ නිසා මතු යම් දවසක අලින්, මොනරුන්, ඉත්තෑවන්, වල් ඌරන් සහ දඬුලේන්නු විසින් රට පාලනය කරනවා ඇති. ජෝර්ජ් ඕවල් නමැති සුප්‍රකට ලේඛකයා විසින් ලියන ලද ගොවිපොළේ පෙරළිය නමැති පොතක් තිබේ. මේ පොතේ කතන්දරයට අනුව සත්ත්ව ගොවිපළක අයිතිය එහි සිටින ඌරන් විසින් භාරගනු ලැබේ. එහෙත් ඌරන්ට ගොවිපළක් පවත්වාගෙන යෑමට නොහැක. අන්තිමේදී ඌරෝ සටන පාවා දෙති. අප මේ කිව්වේ අතුරු කතාවකි. වන සතුන් එක්වී මේ රටේ කෘෂිකාර්මික කලාපයට කරන විනාශය කෘෂිකාර්මික ඇමැති කේ. ඩී. ලාල් කාන්ත විසින් පාර්ලිමේන්තුවේදී සවිස්තරාත්මකව කියන ලදී. ඒ අතර තවත් අතුරු කතාවක් කියමු. මේ රටේ පොල් ගෙඩියක් රුපියල් 200කි. ස.තො.සෙ. නම් 130කි. පොල් ගෙඩිය 200 ට ගියේ රිලවුන් විසින් පොල් කන නිසා නොවේ. මේ වන විට ලංකාවේ පොල් ඵලදාව වැඩි වන ජනගහනයට සාපේක්‍ෂව ඉතා අඩුය. ඇතැම් පොල් වතුකාරයන් පොල් ගස්වලට පොහොර දමන්නේ නැත. මේ වනවිට පොල් පොහොර මිල ඉතා ඉහළය. මේ නිසා ගස්වල ඵලදාව අඩුය. පොල් වවන කට්ටිය පොල් වගාවට නොසලකන්නේ අරමුණු දෙකක් පෙරදැරි කරගෙනය. ඉන් පළමු වැන්න නම් පොල් වත්ත ස්වභාවික මරණයකට පත්වීමට ඉඩ හැර ගස් ටික කපා පොල් පරාලකාරයන්ට විකිණීමය. ඉන් පසු ඒ ඉඩමේ හෝටලයක් හෝ නිවාස යෝජනා ක්‍රමයක් ඉදිකරනු ලැබේ. දෙවැනි කාරණය නම් පොල් ගස් මැරුණු පසු පොල් වත්ත කැබලි කර විකිණීම සඳහා ඉඩම් වෙන්දේසිකාරයන්ට භාර දීමය. මේ නිසා පොල් කේස් එකට රිලව් වගකිව යුතු නැත.

වන සතුන් කැලෑවේ සිට මිනිස් වාසභූමිවලට පැමිණ වගාව අනුභව කරන්නේ ඇයි. එයට හේතුව මේ රටේ වන ගහනය ඉතා වේගයෙන් අඩු වීමය. මේ රටේ සිටින හොර ජාවාරම්කාරයෝ කැලයේ තිබෙන ගස් කපා විකුණති. ඒ හිස් භූමියේ කෑමට දෙයක් වන සතුන්ට නැත. මේ නිසා වන සත්තු ගම් වදිති. ලාල් කාන්ත සහෝදරයා මේ කතාව දන්නා නමුදු එය පාර්ලිමේන්තුවේදී කීමට ඔහුට අමතක විය. නොඑසේ නම් ඔහුට එසේ අමතක වූ බව අපි විශ්වාස කරමු. මනුෂ්‍යයාගේ වගා බිමට එන වන සතුන්ට එරෙහිව ඕනෑම පියවරක් ගැනීමේ අයිතිය එම වගා බිමේ අයිතිකරුට ඇති බව ලාල් සහෝදරයා පැවැසීය. හැබැයි මෙසේ පියවර ගැනීමට යෑමේ දී ඉඩම් අයිතිකාරයාට විවිධ ප්‍රශ්න මතුවේ. ලංකාව බෞද්ධ රටකි. මේ රටේ සතුන් මැරීමට නොහැක. ඉඩමට එන රිලවාට වෙන ඉඩමකට ගොස් ගහ කොළ කන්නැයි කීව ද ඒ සතාට එය නොතේරෙයි. වත්තට එන වල් අලියාට මෙය කියන්නට ගියොත් ඌ නිසැකවම ගොවියා අල්ලා පොළවේ ගසා මරනවා ඇත. මේ නිසා ගොවීන් විසින් වගා විනාශකාරී වනසතුන් මරන්නට පටන් ගත්තොත් සත්ත්ව අයිතිවාසිකම් පිළිබඳ සංවිධාන ක්‍රියාත්මක වී අයි.එම්.එෆ්. එකේ ඊළඟ ණය වාරිකය අත්හිටුවන ලෙස බලපෑම් කිරීමට පවා ඉඩ තිබේ. මේ නිසා වනජීවී නිලධාරීන් ගොවීන් සමග එක්ව මේ තත්ත්වය කළමනාකරණය කළ යුතුය. එහෙත් එසේ කිරීමට තරම් ප්‍රමාණවත් වනජීවී නිලධාරීන් මේ රටේ නොමැත. ඒ අනුව වගා හානියට විසඳුම් ප්‍රතිසංවිධානය කිරීමේ පළමු පියවර ලෙස වනජීවී නිලධාරීන් ප්‍රතිසංවිධානය කිරීමට සිදුවෙයි. රාජ්‍ය සේවයේ සිටින, බත් කකා තේ බිබී අනුන්ගේ පල් හෑලි කියවන සේවකයන් පිළිබඳ සොයා බලා ඔවුන් වනජීවී නිලධාරීන් ලෙස පත් කරන්නේ නම් මැනවි. කෘෂිකර්ම ඇමැති ලෙස පවත්වන ලද පළමු කතාවේදීම කේ. ඩී. ලාල්කාන්ත ඇමැතිවරයා වන සතුන් විසින් වගාව විනාශ කිරීම ගැන කතා කිරීම සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙමු. මේ කතාවේ විදිහට වැඩෙත් විය යුතුය.


advertistmentadvertistment