රිෂී සුනක් ගෙදරම යැවූ කම්කරු නායකයා

593

බි්‍රතාන්‍ය මැතිවරණ ඉතිහාසය ගැන කතා කිරීමේදී රජුට ඉංග්‍රීසි කතා කිරීමට නොහැකි වූ හෙයින් පළමු අග්‍රාමාත්‍යවරයාට රැකියාව ලැබුණු බව සඳහන් වේ. පළමුවන ජෝර්ජ් රජු ජර්මන් ජාතිකයෙක් විය. එරට පළමු මහ මැතිවරණය පැවැත්වුණේ, 1708 වසරේදී ය. එකල පැවති ජාතික මට්ටමේ මැතිවරණ වර්තමානයට වඩා බෙහෙවින් වෙනස් විය. රිෂී සුනක් බි්‍රතාන්‍යයේ ප්‍රථම ආසියාතික සම්භවයක් සහිත අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූයේ 2022 ඔක්තෝම්බර් මාසයේය.ඒ, ඔහුට කොන්සර්වේටිව් පක්ෂයේ නව නායකයා ලෙස ඡන්දය ප්‍රකාශ වීමෙන් අනතුරුවය. සුනක් බි්‍රතාන්‍යයේ ප්‍රථම ආසියාතික මෙන්ම හින්දු අගමැතිවරයා ද වේ. සුනක්ගේ දෙමාපියන් නැගෙනහිර අප්‍රිකාවේ සිට එක්සත් රාජධානියට පැමිණි අතර ඔවුන් දෙදෙනාම ඉන්දියානු සම්භවයන් සහිත තැනැත්තන්ය. රිෂී සුනක් සති හතක් ඇතුළත පත් වූ තුන්වන කොන්සර්වේටිව් පක්ෂ අගමැති වූයේ මීට වසර දෙකකට පෙරය. නමුත් දැන් ඔහුට ගෙදර යන්නට සිදුව ඇත්තේ ජුලි 04 වැනිදා පැවති මහ මැතිවරණයෙන් එරට කම්කරු පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා තිබීම හේතුවෙනි. ඇත්තෙන්ම 2021 වසරේ සිට පැවති මත විමසුම්වලින් රිෂී සුනක්ගේ කොන්සර්වේටිව් පක්ෂයේ ජනප්‍රියත්වය පිරිහෙමින් තිබිණි. වසර 14ක් පුරා කම්කරු පක්ෂයට බි්‍රතාන්‍යයේ පාලන බලය ලබා ගැනීමට නොහැකි වූ අතර දැන් කම්කරු පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් කරා මෙහෙයවූ ශ්‍රීමත් කියර් ස්ටාර්මර් නව අගමැති ලෙස පත්ව තිබේ. කම්කරු පක්ෂය පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 650 න් 400 කට වඩා දිනාගෙන ඇති අතර හිටපු අගමැති රිෂි සුනක්ගේ නායකත්වයෙන් යුත් කොන්සර්වේටිව් පක්ෂයට හිමිකර ගැනීමට හැකිව ඇත්තේ ආසන 110කට වැඩි සංඛ්‍යාවක් පමණි. කොන්සර්වේටිව් නායකයන් පස් දෙනකු රට පාලනය කළ යුගයක් අවසන් කරමින් ශ්‍රීමත් කියර් ස්ටාර්මර් පසුගිය සිකුරාදා පස්වරුවේ අගමැති ලෙස පත්කරනු ලැබිණි.

සිය ජයග්‍රාහී කතාවේදී කම්කරු පක්ෂයේ නායක කියර් ස්ටාර්මර් “ජාතියේ පුනර්ජීවය” උදෙසා කටයුතු කරන බවට ප්‍රතිඥා දුන් අතර “රට පළමුව, පක්ෂය දෙවනුව” තබන බවට ද පොරොන්දු විය. නව අගමැති ශ්‍රීමත් කියර් 1990 ගණන්වල නීතිඥවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර, 2008දී ඔහු රජයේ අභිචෝදක කාර්යාලයේ අධ්‍යක්ෂවරයා බවට පත් වූයේ එංගලන්තයේ සහ වේල්සයේ ජ්‍යෙෂ්ඨතම අභිචෝදක බවට පත් වෙමිනි. ඔහු ප්‍රථමයෙන් 2015දී උතුරු ලන්ඩනයේ හොල්බෝන් සහ සාන්ත පැන්ක්‍රස් මැතිවරණ කොට්ඨාසයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර, ජෙරමි කෝබින්ගේ වාමාංශික නායකත්වයෙන් පසු “නව යුගයක්” ආරම්භ කිරීමට ප්‍රතිඥා දෙමින් 2019 මහ මැතිවරණයෙන් පසු කම්කරු පක්ෂයේ නායකත්වය භාර ගත්තේ ය. ශ්‍රීමත් කියර් නීතීඥයකු ලෙස කීර්තිමත් වෘත්තීය දිවියක් ගත කිරීමෙන් පසු ජීවිතයේ 50 වන විය පසුවන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්විය. දරුවන් සිව් දෙනකුගෙන් යුත් පවුලක දරුවකු ලෙස කියර් 1962දී ලන්ඩනයේ උපත ලැබූ අතර සහ ඔහු හැදී වැඩුණේ අග්නිදිග එංගලන්තයේ සරේහි ය. තමාට කම්කරු පන්ති මූලයන් ඇති බවට ඔහු නිතර සඳහන් කරයි. ඔහුගේ පියා කර්මාන්ත ශාලාවක මෙවලම් සාදන්නෙකු වූ අතර ඔහුගේ මව හෙදියක් වූවා ය. ශ්‍රීමත් කියර් වයස අවුරුදු 16දී කම්කරු පක්ෂයේ ප්‍රාදේශීය තරුණ ශාඛාවට සම්බන්ධ විය. කලක් ඔහු ‘Socialist Alternatives’ නම් රැඩිකල් වාමාංශික සඟරාවක් ද සංස්කරණය කළේ ය. ශ්‍රීමත් කියර් 2014 දී නයිට් පදවිය ලැබීය. ශ්‍රීමත් කියර් 2007 වසරේදී ජාතික සෞඛ්‍ය සේවය කරන ඔහුගේ බිරිඳ වික්ටෝරියා ඇලෙක්සැන්ඩර් සමග විවාහ විය. මෙම යුවළට දරුවන් දෙදෙනකු සිටියි. ඔහු තම විවේක කාලය පාපන්දු ක්‍රීඩා කිරීමට යොදවන අතර ආර්සෙනල් පාපන්දු කණ්ඩායම වෙත සහය දක්වයි. අග්‍රමාත්‍ය ටෝනි බ්ලෙයාර්, ඇමෙරිකාවට සහාය පළ කරමින්, ඉරාකය ආක්‍රමණය කිරීමට සහය දක්වද්දී එය නීති විරෝධී බව පෙන්වා දෙමින් ඊට විරෝධය පළ කළ නීතිඥවරයකු ලෙස ස්ටාර්මර් ප්‍රසිද්ධ විය. ඔහු සක්‍රීය දේශපාලනයට පිවිසියේ 2015 වසරේදී යි. ශ්‍රීමත් ස්ටාමර්, යුරෝපා සංගමයෙන් බි්‍රතාන්‍යය ඉවත් වීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර ඇතත්, බි්‍රතාන්‍යය යළි යුරෝපා සංගමයට එක් නොකරන බව අවධාරණය කර තිබේ. 2016 ජූනි මාසයේ පැවති ජනමත විචාරණයේදී බි්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට පක්ෂව ඡන්ද දායකයන්ගෙන් 51.9% ක් ඡන්දය ලබා දී තිබිණි. ඒ අනුව 2019 මාර්තු 29 වන දින මධ්‍යම රාත්‍රියේ බි්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය.

2022 සැප්තැම්බරයේ බොරිස් ජොන්සන් ඉල්ලා අස්වීමෙන් පසු හිස්වූ කොන්සර්වේටිව් පක්ෂ නායකත්වය සඳහා පැවති තරගයෙන් ජයග්‍රහණය කිරීමෙන් ලිස් ට්‍රස් අගමැති විය. නමුත් මෙවර මැතිවරණයෙන් ලිස් ට්‍රස් හිටපු අගමැතිනිය පරාජයට පත්විය. ඇයට අගමැති ධුරයේ රැඳී සිටීමට අවස්ථාව ලැබුණේ දින 49ක් පමණි. පසුගිය සිකුරාදා අලුයම ඇගේ නිරිතදිග නෝෆෙක් ඡන්ද කොට්ඨාසය ද අහිමි විය. රිෂී සුනක් අගමැති වූයේ ඇයට පසුවය. මැතිවරණයේදී සුනක් යෝක්ෂයර්හි ඔහුගේ ආසනය 12,000ක පමණ පහසු බහුතරයකින් දිනා ගත් නමුත් ඔහුගේ පක්ෂයට ඇප නැති විය. 2025 ජනවාරි පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය ඉක්මනින් පැවැත්වූයේ කොන්සර්වේටිව්ට අත්වන අවාසිසහගත තත්ත්වය වළක්වනු සඳහාය. නමුත් එය විපතක්ම විය.

බි්‍රතාන්‍ය පහළ මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන්, නොඑසේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 650ක් සිටිති. ඔවුන්ගේ එක් එක් “ආසන” රටේ කොතැනක හෝ තනි ඡන්ද කොට්ඨාසයක් – හෝ ප්‍රදේශයක් – නියෝජනය කරයි. වයස අවුරුදු 18 සපුරා, ඡන්ද ලැයිස්තුවේ ලියාපදිංචි වී සිටින ඕනෑම බි්‍රතාන්‍ය පුරවැසියකුට ඡන්දය භාවිත කිරීමේ අයිතිය හිමි වේ. එමෙන්ම බි්‍රතාන්‍යයේ වාසය කරන අයර්ලන්ත ජනරජයේ පුරවැසියන්ට මෙන්ම සුදුසුකම් ලබන පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල පුරවැසියන්ටද – වයස අවුරුදු 18 ට වැඩි නම් සහ ඡන්ද ලැයිස්තුවේ ලියාපදිංචි වී සිටින්නේ නම් – ඡන්ද බලය හිමිය. ඒ අනුව බි්‍රතාන්‍යයේ පුරවැසිභාවය තිබීම හෝ ස්ථිර පදිංචිය සඳහා අවසර තිබීම බි්‍රතාන්‍ය මහ මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීම පිණිස අත්‍යවශ්‍ය සාධකයක් නොවේ. එමෙන්ම ගතව ගිය 15 වසර ඇතුළත මැතිවරණ ලැයිස්තුවේ ලියාපදිංචි වී සිටින්නේ නම් දැනට විදේශගතව සිටින බි්‍රතාන්‍ය පුරවැසියන්ටද සිය ඡන්දය භාවිත කළ හැකිය. කිසිවකු තාවකාලිකව විදේශගත වී සිටින්නේ නම් ඔහුට හෝ අයට තැපැල් ඡන්දය භාවිත කළ හැකිය. පසුගිය මැයි 30 වන බ්‍රහස්පතින්දා බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවා හැරුණු අතර එහිදී හිටපු මන්ත්‍රීවරුන් 100කට අධික පිරිසක් පවසා තිබුණේ තමන් ඊළඟ මහ මැතිවරණයට ඉදිරිපත් වන බවයි. මෙයින් කොපමණ ප්‍රමාණයක් යළි පත්ව ඇත්දැයි යන්න පිළිබඳව තොරතුරු නැත. නමුත් හිටපු පාලක පක්ෂයේ බොහෝ දෙනකු නම් පරාජය වී ඇති බව පෙනේ. ශ්‍රී ලාංකික සම්භවයක් ඇති උමා කුමාරන්ද පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබේ. මැය කොටි හිතවාදී ස්ථාවරයක් දරන අතර පසුගියදා ප්‍රකාශ කර තිබුණේ 2009 මැයි මාසයට පෙර සහ එම කාලය තුළ ශ්‍රී ලංකාවේ සිදු වූ යුද අපරාධ සම්බන්ධයෙන් මේ දක්වා කිසිවකු වගකියනු නොලැබීම සැබවින්ම ඇදහිය නොහැකි කරුණක් බවයි. ඉදිරියේදී මේ උමා කවර නැටුම් නටන්නට පටන් ගනීදැයි කිව නොහැකිය. කොටි හිතවාදී මාධ්‍ය ඇගේ ජයග්‍රහණය වඩා උත්කර්ෂයෙන් සමරන බව පෙනේ.

බි්‍රතාන්‍යය ලේබර් පක්ෂය ජය ලැබූ නිසා අපට ඩොරීන් වික්‍රමසිංහ එනම් විදේශයක උපන් පළමු ලංකා මන්ත්‍රීවරිය මතක් වේ. ඇයත් බි්‍රතාන්‍ය ලේබර් පක්ෂයට සම්බන්ධ පවුල් පසුබිමක් ඇති තැනැත්තියක් විය. ලංකාවේ ඉංග්‍රීසි යටත් විජිත පාලනයට අභියෝග කළ එම ඉංග්‍රීසි තරුණිය එංගලන්තයේ මධ්‍යම පන්තික පවුලක දියණියක වූ ඩොරීන් යං (Doreen Young) වූවාය. ඇය ලංකාවේ සිය වෘත්තීය ජීවිතය ඇරඹුවේ විදුහල්පතිනියක ලෙසිනි. මාතර සුජාතා විදුහලේ විදුහල්පතිනිය බවට පත් තරුණ ඩොරීන් යං, පසුව ඩොරීන් වික්‍රමසිංහ බවට පත්වූයේ දොස්තර සුගීශ්වර වික්‍රමසිංහ සමග විවාහ වීමත් සමගය. රොඩී කුලයේ දැරියක් ආනන්ද බාලිකා විදුහලට ඇතුළත් කරගත් ඩොරීන්, එම දැරියට තම නිවසේ නවාතැන් පහසුකම් සලසමින් උසස් අධ්‍යාපනයක් ලබාදුන් අතර තරුණ වියේ දී හෙද සේවයට එක්වූ එම දැරියට එංගලන්තයේ පදිංචිය සැලසීමට පවා අත දුන්නාය.

ඩොරීන් වික්‍රමසිංහ විදේශයක උපත ලැබ ලංකාවේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු මහජන මන්ත්‍රීවරිය (1952-56) ලෙසද ඉතිහාසයට එක්වූවාය. 1952 මහ මැතිවරණයේ දී තම සැමියා නියෝජනය කළ ‘අකුරැස්ස’ ඡන්ද කොට්ඨාසය සඳහා තරග වැදුණු ඩොරීන් ඡන්ද 16,626 ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය. සාරිය ඇඳගත් ඩොරීන් සිංහල භාෂාවෙන් ප්‍රචාරක රැළි අමතනු ඇසීමට මහජනයා ආශාවෙන් සහභාගි වූ බව ඇයගේ දේශපාලන සඟයෝ පවසති. මන්ත්‍රීවරුන් 101 දෙනකු නියෝජනය වූ 1952 පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් දෙදෙනකු පමණක් වීමෙන් කාන්තාවන්ට සිදුව ඇති අසාධාරණය කථානයකවරයාට පෙන්වා දුන් ඩොරීන්, ලංකාවේ කාන්තාවන්ගේ ප්‍රශ්න වෙනුවෙන් හඬ නැඟීම සිය අරගලකාරී දිවියේ කොටසක් බවට පත්කර ගෙන සිටියාය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment