රුක්මණී දේවිව වෙනස් කළ දොස්තර

572

දේශීය සිනමාව තුළ රුක්මණී දේවියට ලැබෙනුයේ සුවිශේෂිතම ස්ථානයකි. සිංහල සිනමාවේ සුරුපිම නිළි රැජිනත් ගායනයේ කොකිලාවිය ලෙසත් හඳුන්වන රුක්මණී සිංහල සිනමාවේ ප‍්‍රථම නිළිය, ගායිකාව පමණක් නොව රඟපැමේදී තමාටම පසුබිම් ගීත ගයා ඇති එකම නිළියද වේ. මෙවැනි කුසලතාවයක් දක්නට හැක්කේ හින්දි සිනමාවේ සුරෙයියා, නුර් ජහාන් වැනි සීමිත නිළියන් කීප දෙනෙක් තුළින් පමණි. මෙය රුක්මණී දේවියගේ අභාවයේ 43 වන සංවත්සරයට සමගාමීව ඇයගේ කලා ජීවිතයේ හැරවුම් ලකෂය වූ දොස්තර මතකයට නැ`ගීමට ගත් උත්සහයකි.

1923 ජනවාරි 15 වැනි දින උපත ලැබූ රුක්මණීගේ මුල් නම වූයේ ඬේසි රාසම්මා ඩැනියල්ය. එහෙත් ඇයට කලාවට ගැළපෙන ලෙස රුක්මණී දේවිය නම වෙනස් කරන ලදී.

රුක්මණී කලා ලෝකයට එළඹෙනුයේ ළමා වියේදීමය. ඇය පාසල් වියේදීම නාට්‍ය කලාවට යොමුවේ. ඇයට ගීත ගැයීමට ඇති හැකියාව දුටු සී. ඒ. ෆොන්සේකා, ජයන්ත වීරසේකර ආදීන් ඇයට අත දෙන අතර ඇය ගායිකාවක කිරීමේ ගරුත්වය ලැබෙන්නේ එච්. ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර්ටය. 1939 රූපසිංහ මාස්ටර් ගැයූ සුභ සරණ වේවා වාසනා හා දීර්ඝායු සිරි ලැබේවා යන ගීත දෙකට කෝකිල දේවි සමග සහය ගායනයෙන් එක් වූ රුක්මණී තම පළමු ගීතය එච්. එම්. වී. තැටියකට ගයයි. එයට පසුව ගීත රාශියක් ඇය ගැයුවාය.

රුක්මණී දේවිව වෙනස් කළ දොස්තර

රුක්මණී නිළියක් වන්නේ වයස අවුරුදු අටේදී සපත්තු මසන්නාගේ බිරිඳ නම් නාට්‍යයක රඟපෑමෙනි. එයට පසුව සීතා, රාමායණය, සිරිසඟබෝ, මයාවතී, රොමියෝ ජුලියට්, ආදී නාට්‍ය රාශියක රඟපායි. 1940 ගණන්වල මුල් භාගයේදී බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ මිනර්වා නාට්‍ය කණ්ඩායමට නිළියක් ලෙස එක්වීම රුක්මණී දේවියගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් විය. රුක්මණී දේවිගේ සිනමාගමනයට මග පාදනුයේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න ඇතුළු මිනර්වා නාට්‍ය කණ්ඩායමයි.

 1947 ජනවාරි 21 කඩවුණු පොරොන්දුව ලංකාවේ පළමු චිත‍්‍රපටය තිරගත වීමත් සමග කලාවේ නව මාවතක් විවෘත විය. මේ සමගම රුක්මණී දේවි ලංකාවේ ප‍්‍රථම නිළිය පමණක් නොව ප‍්‍රථම පසුබිම් ගායිකාව බවට ද පත් විය. එතැන් පටන් ගමන් ඇරඹූ රුක්මණී 1950 ගණන් වන විට කිසිවෙකුට අභියෝග කළ නොහැකි අසහාය ජනප‍්‍රිය නිළිය බවට පත් විය.

ජනප‍්‍රියත්වයේ ඉහළම ස්ථානයේ පසු වූ රුක්මණී එඞී එකළ ගත කළේ ඉන්දියාවේ බොම්බායි නගරයේ ජීවත් වූ ඉන්දීය නළු නිළියන් ලෙසිනි. එඞී රුක්මණීට ඔවුන් විසින් වැටුප් ගෙවූ පුද්ගලික සේවක පිරිසක් ද සිටියේය. එසේ සිටි එකම කලාකරුවන් දෙපළ ඔවුන් දෙදනා විය. ඔවුන් ගිය ගිය තැන රසිකයන්ගෙන් පිරී තිබුණි. 1953 දී තිරගත වූ කැළෑ හඳ සමගම රුක්මණී තවත් ජනප‍්‍රිය විය. මෙයට හොඳම උදාහරණය 1956 දී දිනමිණ රඟ මඬල තරගය නමින් දිනමිණ පුවත්පත මගින් පවත්වන ලද තරගයකදී රුක්මණී ලංකාවේ ජනප‍්‍රිය නිළිය ලෙස විශාල ඡුන්ද ප‍්‍රමාණයකින් තේරීපත් වීමය.

මෙවැනි දැවැන්ත ජනප‍්‍රියත්වයක් තිබූ රුක්මණීිට ප‍්‍රකට නිෂ්පාදකයන් පමනක් නොව වෙනත් නිෂ්පාදකයන් කෙතරම් ප‍්‍රමාණයක් අරාධනා කරන්නට ඇද්ද? ඇය යොදා චිත‍්‍රපටයක් නිපදවීම නිෂ්පාදකයන්ට තම ආයෝජනයේ උපරිම ප‍්‍රයෝජන ලැබෙන බව ඔවුන් හොඳින් දැන සිටියේය. එසේ නම් 1955 දක්වා ඇය බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ චිත‍්‍රපටවලට පමනක් සීමා වූයේ ඇයිද යන්න විමසා බැලීම වටී.

රුක්මණී දේවිව වෙනස් කළ දොස්තර

1947 කඩවුණු පොරොන්දුවේ සිට 1955 දක්වා රුක්මණී රඟපෑ චිත‍්‍රපට දොළහම බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ චිත‍්‍රපට විය. කඩවුණු පොරොන්දුව එස්. එම්. නායගම් ගේ නිෂ්පාදනයක් වූ එයට පසුව බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න චිත‍්‍රපට තුනක් සඳහා සිලෝන් තියටර්ස් සමාගම සමග ගිවිසුම්ගත වේ. කපටි ආරක්‍ෂකයා, වැරදුනු කුරුමානම, පෙරළෙන ඉරණම එම චිත‍්‍රපට වේ. මෙයට පසුව කළ චිත‍්‍රපට අටම බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ නිෂ්පාදනයන් විය. බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ චිත‍්‍රපටවලටම රුක්මණී සීමා වූයේ ජයමාන්න ඇයට දුන් අතදීමත්, එඞී ජයමාන්න පවුලේ සාමාජිකයකු වීමත්, එඞී හා රුක්මණී සමහර චිත‍්‍රපට වලට බී. ඒ. ඩබ්ලිව්. සමඟ මුදල් ආයෝජනය කරණු හේතු කොට ගෙනය. එසේම බී. ඒ. ඩබ්ලිව්. තම තීරණයන්හි දැඩිව සිටීමද එක් හේතුවක් විය. කඩවුණුු පොරොන්දුවේ ගිවිසුම් නායගම් හා අත්සන් කරන විට කාර්මික පැත්ත හැර සියලූම අංශයන්ට මිනර්වා නාට්‍ය කණ්ඩායමේ අය යොදාගත යුතු යැයි ගිවිසුමට ඇතුළත් කරණු ලැබීම මෙයට හොඳම උදාහරණය වේ. එහෙත් නුදුටු පැත්තක් වනුයේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න කිසි දිනක රුක්මණී එඞී ඔහුගෙන් වෙන්වීමකට ඉඩ නොදුන් අතර දැඩි අවධානයෙන්ද සිටියේය. මන්ද යත් මුදල් ඉපැයීමේ රහස රුක්මණී හා එඞී වීමය. මේ අතර රුක්මණී පමනක් නොව එඞීද නිදහසේ තම කලා ජීවිතයේ වෙනසක් සොයා යෑමට අවස්ථා සොයමින් සිටියේය.

එඞී හා රුක්මණී ප‍්‍රබලම අවස්ථාවක් එනතුරු බලා සිටියේය. බී. ඒ. ඩබ්ලිව්. ගෙන් වෙන් වීමේ ප‍්‍රබල සාකච්ඡුාව සිදුවන්නේ ඉන්දියාවේදීය. මතභේදය චිත‍්‍රපටය ඉන්දියාවේ නිෂ්පාදනය කරන අතර තුර ඉන්දියාවට පැමිණ සිටි සිනමාවේ ප‍්‍රබල නිෂ්පාදකයකු වූ කේ. ගුණරත්නම් හා එඞී අතර හමුවක් ඇතිවිය. එය මූලික සාකච්ඡුාවකි. දෙවන සාකච්ඡුාව චිත‍්‍රපටය ගනු දෙනු ආදී කරුණු සම්බන්ධවය. එකළ ඉතා විශාල මුදලක් අය කරන එඞී තමාට ලැබිය යුතු මුදල කී විට එය අඩු කිරීමට හැකියාවක් ඇද්දැයි ගුණරත්නම් විමසූයෙන් ඉතා සුළු ගණනක් අඩු කළේය. එයට මූලිකම හේතුව වූයේ මෙතෙක් කල් ප‍්‍රධාන චරිතයක් රඟ නොපෑ එඞීට නව චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය ලැබීමය. සියල්ලම ස්ථිර විය. බී. ඒ. ඩබ්ලිව්. මෙයට ප‍්‍රසිද්ධියේ විරුද්ධත්වයක් නොපෙන්වූයේ නිෂ්පාදනයේදී ප‍්‍රබල දකුණු ඉන්දියානු නිෂ්පාදකයන් කේ. ගුණරත්නම් හා එක්ව සිටීමය. මන්ද බී. ඒ. ඩබ්ලිව්. තවම ඉන්දීය චිත‍්‍රාගාරවල තම චිත‍්‍රපට සෑදීම නිසාය. එඞී රුක්මණී බී. ඒ. ඩබ්ලිව්. ගෙන් වෙන් වී කළ මෙම චිත‍්‍රපටය නිෂ්පාදනය කළේ ඉන්දියාවේ ඒ. වී. ඇම්. චිත‍්‍රාගාරය හා හවුල්ව කේ. ගුණරත්නම් විසිනි.

1956 පෙබරවාරි දෙවැනිදා සිනමාවේ පරිවර්තනයක් කළ එම චිත‍්‍රපටය ”දොස්තර’’ නම් විය. මෙතෙක් කල් එකම කණ්ඩායමක් සමග වැඩ කළ එඞී රුක්මණී නව පිරිසක් හමුවිය. එඞී පළමු වරට එහි ප‍්‍රධාන චරිතය රඟ පෑ අතර ඔහුගේ බිරිඳ ලෙස කාන්ති ගුණතුංග රඟපෑවේය. ශාන්ති ලේඛා, සිරිමතී රසිදරී, බන්දු ගුණසේකර, ලතා, ධර්මදාස වල්පොල, ආනන්ද සමරකොන් පමනක් නොව භගවාන් වැනි ඉන්දීය නළුවන්ද පළමු වරට ඔවුන් සමඟ සිනමාවේදී එක් විය. චිත‍්‍රපටය රූගත කරන කාලයේදී රුක්මණී එඞීගේ පහසුකම් ගැන ගුණරත්නම් පුද්ගලිකවම සොයා බැලීය.

දොස්තර විසින් වෙනස් මගකට ගත් රුක්මණී එදා සිට මියයන තුරුම නිදහසේ කලා කටයුතුවල යෙදුනු අතර ඇගේ සිනමා ජීවිතයේ සැබෑ වසන්තය උදා විය. මෙයට පසුව එඞී රුක්මණී ජය රුක් නමින් සමාගමක් පිහිටුවා චිත‍්‍රපට නිෂ්පාදනයට එක්විය. ඔවුන්ගේ පළමු නිෂ්පාදනය සිරියලතා චිත‍්‍රපටය සාර්ථක විය. දොස්තර කළ වෙනසේ හොඳම පලය ලබනුයේ දෛවයෝගය නම් දැවැන්ත චිත‍්‍රපටයේ රඟපාමින් පසුබිම් ගීත ගායනයට රුක්මණී එක්වීමය. දෛවයෝගය චිත‍්‍රපටයේ සියලූම කටයුතු කළේ උතුරු ඉන්දියාවේ පුනාහි ප‍්‍රභාත් චිත‍්‍රාගාරයේය. උතුරු ඉන්දීය චිත‍්‍රගාරයක කළ එකම ලාංකික චිත‍්‍රපටය මෙය විය. රුක්මණීට අලූත් පිරිසක් සමග කටයුතු කිරීමට ලැබේ. ගාමිණී ෆොන්සේකා, හෙන්රි ධර්මසේන, ඒ අතර වේ. හියුබත් දිසානායක, චන්ද්‍රරත්න මානවසිංහ, සරත් විමලවීර, ධර්ම ශ‍්‍රී කුරුප්පු ආදීන් ලියූ ගීත පළමු වරට ඇය ගැයීය. මෙහි වැදගත්ම කරුණක් වන්නේ ඉන්දියාවේ ප‍්‍රකට සංගීතඥයකු වූ සජාද් හුසේන් දෛවයෝගයේ සංගීත අධ්‍යක්ෂක වීමය. රුක්මණී ගීත පහක් ඔහු යටතේ දෛවයෝගයට ගැයීය. රුක්මණී එඞී හා ඉන්දීය සිනමාවේ පාතකයන් හා මිත‍්‍රත්වයක් ගොඩනැෙඟනුයේ මෙම අවස්ථාවේදීය. රාජ් කපූර් එඞී රුක්මණී දෙපලට භෝජන සංග‍්‍රහයක්ද පවා පවත්වා ඇත. දිලිප්, නර්ගීස්, දෙව් ආනන්ද්, කල්පනා, අශොක් කුමාර්, ලතා මංගේෂ්කාර්, ඇයට විවිධ අවස්ථාවල හමුවී දැඩි මිත‍්‍රත්වයන් ගොඩන`ගා ගත්තේය. ඇයට ෆිල්ම් ෆෙයාර් සඟරාවේ කර්තෘ මණ්ඩලයද මෙහිදී හමුවේ. 1958 ජුලි 4 නිතුත් වූ ෆිල්ම් ෆෙයාර් සඟරාවේ මුල් පිටුව රුක්මණීගේ වර්ණ ඡුායාරූපයකින් සරසමින් විශේෂාංග ලිපියක්ද පළකර රුක්මණීගේ පැමිණීම ගැන විශාල ප‍්‍රචාරයක් ලබා දී තිබුණි.

මෙයට පසුව රුක්මණී විවිධ නිෂ්පාදකයන් හා අධ්‍යක්ෂකවරු යටතේ චිත‍්‍රපට 75 කට ආසන්න සංඛ්‍යාවකට රඟපායි. රුක්මණී හා එඞීගේ නික්ම යෑමෙන් පසු බී. ඒ. ඩබ්ලිව්. ඔහුගේම නළු නිළියන් යොදා වනලිය හා දෛව විපාකය නමින් චිත‍්‍රපට දෙකක් නිපද වුවද ඒවා සාර්ථක නොවීය. නැවතත් බී. ඒ. ඩබ්ලිව්. යටතේ නිදහස් නළු නිළියන් ලෙස එඞී රුක්මණී චිත‍්‍රපට තුනක පමන රඟපායි. එයට අමතරව නළඟන හා දස්කොන් යන චිත‍්‍රපට දෙක ගැන සඳහනක් කිරීමද වටී. නළඟන චිත‍්‍රපටයේ මෙතෙක් ඇය රඟපෑ පරමාදර්ශී චරිතයක් නොව නළඟනකගේ චරිතය රඟ පෑම පේ‍්‍රක්ෂකයන්ගේ කතාබහටද ලක්විය. මෙම චිත‍්‍රපටය තහනමටද ලක්වී පසුව ප‍්‍රදර්ශනය කරන ලදී. අනෙක් චිත‍්‍රපටය දස්කොන් චිත‍්‍රපටයය. එහි ප‍්‍රමිලා දේවියගේ චරිතය රඟපෑ ඇය නළඟන චිත‍්‍රපටයෙන් ඇය ගැන වූ කතාබහ වෙනත් මඟකට ගෙන නැවත ජනප‍්‍රිය බව ලබා ගත්තේය. මෙහි තවත් වැදගත් කරුණක් වනුයේ ගාමිණී ෆොන්සේකාගේ එකම චිත‍්‍රපට පසුබිම් ගායනය රුක්මණී සමඟ ගායනා කිරීමය. අරිසෙන් අහුබුදු ලියූ ”අකුරු කළේ කුමටද…’’ යන එම ගීතය තිලකසිරි ප‍්‍රනාන්දු සංගීතවත් කළේය.

1969 තිරගත වූ පාරා වළලූ චිත‍්‍රපටය සමගම ඇය මියයන තුරුම අම්මා වැනි වැඩිහිටි චරිත රඟපෑමේ යෙදුනි. එවැනි චිත‍්‍රපට 56 ක් ඇය රඟපා ඇති අතර ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අහසින් පොළවට චිත‍්‍රපටය ඒ අතරින් එකකි.

 රුක්මණී දේවි චිත‍්‍රපට පසුබිම් ගායිකාවක ලෙස ගීත ගැයුවේ තමා රඟපෑ නිළි චරිතයට පමණි. එසේම ඇය වෙනුවෙන්ද කිසිම ගායිකාවක් පසුබිම් ගීත ගයා නැත. නමුත් ඇය 1956 තිරගත වූ දේවතා නම් හින්දි චිත‍්‍රපටය සිනමාස් සමාගම විසින් සිංහලට දෙබස් කවා 1957 අගෝස්තු 9 වැනි දින ප‍්‍රදර්ශනය කළ පතිවත නම් චිත‍්‍රපටයට ගී ගයා තිබේ. එහි ගීත අටෙන් පහක්ම දකුණු ඉනදියාවේ ගොවර්ධනම් සංගීත අධ්‍යක්‍ෂක යටතේ ගැයුවේ රුක්මණීය. ඇය තම හ`ඩ පසුබිම් ගායනය ලබා දුන්නේ එකළ ජනප‍්‍රිය ඉන්දීය නිළි අංජලී දේවිටය. එපමණක් නොව අංජලී දේවියට පසුබිමින් සිංහල දෙබස් කීවේද රුක්මණීය.

මේ හා සමානවම දේශීය සිනමාව තුළද රුක්මණී රඟ නොපෑ චිත‍්‍රපට දෙකකට රුක්මණී විසින් ගී ගයා ඇත.

ප‍්‍රවීන ලේඛක ෂෙල්ටන් වීරරත්නයන් තම ‘බටහිර කණ්ඩායම් ගීතයේ විකාශය – එය දේශානුගත කළ නෙවිල් හා නොයෙල්’ කෘතිය තුළ ජයමාන්නගේ දෙවන පරපුර නියෝජනය කරමින් අර්වින් ජයමාන්න රහස් දූපත නමින් වර්ණ චිත‍්‍රපටයක් නිපදවා එයට රුක්මණීගේ ගීතයක් ඇතුළත් කොට ඇති බව සඳහන් කරයි. චිත‍්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂක නෙවිල් ප‍්‍රනාන්දුය. ඒ. ජේ. ද. සොයිසා ලියූ

”සගරයේ රැල්ල නැ`ගී’’ නම් එම ගීතය 1964 අපේ‍්‍රල් මාසයේ කොල්ලූපිටියේ සරසවි ශබ්දාගාරයේ මර්වින් රොද්‍රිගුගේ අධීක්ෂණයෙන් පටිගත විය. 1967 මැයි 10 තිරගත වූ මෙම චිත‍්‍රපටයේ රුක්මණී රඟ නොපෑ අතර ෂෙල්ටන් වීරරත්නට අනුව මෙයට ඇති හොඳම සාක්කිය 1967 මැයි 19 වන දින විසිතුර සිනමා පුවත්පතේ පලවූ පිටු භාගයක දැන්වීමය. එම දැන්වීමේ එහි රඟ පෑ නළු නිළි විස්තරත් සංගීතය නෙවිල් ප‍්‍රනාන්දු සහ ලොස් කැබරලොස් වන අතර ගායනය රුක්මණී දේවි බවත් පැහැදිලිව ස`දහන් කර තිබුණි.

මෙහි වැදගත් කරුණ වනුයේ රුක්මණී පළමු වරට තමා රඟ නොපෑ චිත‍්‍රපටයක පසුබිම් ගී ගැයීමය. මෙම චිත‍්‍රපටයේ රඟ පෑ සවර්ණා කහවිට ලේඛකයා සමඟ පැවසුයේ චිත‍්‍රපටයේ නමාවලිය යන විට රුක්මණී ගැයූ ”සගරයේ රැල්ල නැ`ගී’’ ගීතය පසුබිමින් වාදනය කළ බවය.

 1974 අපේ‍්‍රල් 26 වන දින තිරගත වූ හදවත් නැත්තෝ චිත‍්‍රපටය රුක්මණී රඟ නොපෑ ගීතයක් ගැයූ අනෙක් චිත‍්‍රපටය වේ. මෙය චිත‍්‍රපටයේ කුමන අවස්ථාවකද යන්න නිශ්චිතව කරුණු නැත. චිත‍්‍රපටයේ ප‍්‍රධාන නිළි නීටා ප‍්‍රනාන්දු ලේඛකයා සමඟ පැවසුයේ පසුබිමින් හෝ මෙවැනි ගීතයක් නොවූ බවයි. සමහර විට තැටිගත කළ ද චිත‍්‍රපටයට ඇතුළත් නොකරන්නට ඇත. කරුණාරත්න අබේසේකර ලියා මොහොමඞ් සාලී හා ෂෙල්ටන් පෙරේරා සංගීතවත් කළ එම ගීතය මෙසේය.

 අති සුන්දරම මල් මෙන් ලොව උයනේ

 සුවඳෙන් බරව පැහැයෙන් සපිරිව පිපුණේ

 සුව දුන් වසන්තය නෑ අඩකුඳු ගෙවුනේ

 නටුවෙන් ගිලිහි ගිය සේ පරවුණු ළඳුනේ

දොස්තර සිනමා පටය තුළින් රුක්මණී දේවිය පසුබිම් ගායිකාවක ලෙස පරිවර්තනීය අවස්ථාවකට පත් කළේය. බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ චිත‍්‍රපටයනට කොටු වී සිටි රුක්මණීට ගීත ගැයීමට සිදු වූයේ මොහිදින් බෙග් හෝ චිත‍්‍රපටයේ රඟපෑ නළුවකු සමඟය. බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න තම චිත‍්‍රපටවලට පසුබිම් ගීත ගැයීමට යොදා ගත්තේ චිත‍්‍රපටයේ රඟපෑ නළු නිළියන්ය. 1951 තිරගත වූ සැඟවුණු පිළිතුුර දක්වා කළේ එම දෙයමය. සැඟවුණු පිළිතුරට සුසිල් පේ‍්‍රමරත්නට අවස්ථාව ලැබෙනුයේ මොහොමඞ් ගවුස් මාස්ටර් නිසාය. බෙග් සම්බන්ධ වනුයේ 1952 උමතු විශ්වාසය සමගය. ජයමාන්නගේ චිත‍්‍රපට රාශියකටම සංගීතය සැපයූයේ ආර්. ඒ. චන්ද්‍රසේනය. ඔහු තම හොඳම මිත‍්‍රයා වූ එකල පේ‍්‍රමණීය සිනමා හ`ඩ වූ ධර්මදාස වල්පොල එම චිත‍්‍රපටවලට යොදා ගැනීමට උත්සහ කළ ද ඒවා අසාර්ථක වූයේ ජයමාන්නගේ දැඩි තීරණයන්ය. මෙම සීමාවන්ගෙන් මිදී නිදහසේ පසුබිම් ගායනය කිරීමට මඟ පාදනුයේද මෙම දොස්තරය. එහිදී පළමු වරට සිනමා පටයකට ධර්මදාස වල්පොල සමඟ ගී ගැයීමට අවස්ථාව ලැබෙන්නේ දොස්තර චිත‍්‍රපටයෙනි. එයට පසු රුක්මණී විවිධ ගායකයන් පමණක් නොව ගායිකාවන් සමඟද පසුබිම් ගීත ගයයි. ධර්මදාස වල්පොල (දොස්තර, සිරියලතා) සිසිර සේනාරත්න (දස්කොන්) අමරදේව (ලාදළු) මිල්ටන් පෙරේරා (ම`ගුල් පෝරුව) ඇම්. ඇස්. ප‍්‍රනාන්දු (චිං චිං නෝනා) ඉන්ද්‍රාණි සේනරත්න

(සැමියා බිරිඳගේ දෙවියාය) ඇන්ජලීන් ගුණතිලක (චිං චිං නෝනා) මල්ලිකා කහවිට, සුජාතා අත්තනායක (සම්පත) මෙයට උදාහරණ වේ. එපමණක් නොව අමරදේව ශාන්ති ගීතදේව නිමල් මෙන්දිස් මොහොමඞ් සාලී ආර්. මුත්තුසාමි ෂෙල්ටන් පේ‍්‍රමරත්න යටතේ ගී ගැයීමටද අවස්ථාව ලැබුණි.

1953 මොහොමඞ් රාෆි හා 1954 තාලාත් මොහොමද් ලංකාවට පැමිණීම හා ඒ හරහා ආර්. ඒ. චන්ද්‍රසේන සමඟ ඇති වූ මිත‍්‍රත්වය ඇගේ වෙළෙ`ද තැටිවල වෙනසක් කළේය. චන්ද්‍රසේනයන් සමඟ වෙළෙ`ද තැටි රාශියක් කළ අතර සී. ටී. ප‍්‍රනාන්දු හා ගී ගැයීම ඇය නව මාවතකට ගෙන ගියේය. සී. ටී. සමඟ ගැයූ බටහිර ශෛලීයේ ”පුන් සඳ හිනැහෙන්නේ’’ ගීතය කා අතරත් ජනප‍්‍රිය විය. නව සංගීත ආරකින් යුත් එම ගීත ගුවන් විදුලියේ සිංහල අංශවල පමණක් නොව ඉංග‍්‍රීසි අංශයේද නිතරම ප‍්‍රචාරය විය. පසුකලෙක මෙම ගීතය හා බැඳුණු ගැටලූවක් නිසා රුක්මණී නෙවිල් ප‍්‍රනාන්දු සමග නව ආරක ගී ගයමින් නෙවිල් රුක්මණී යුගයක් බිහි කළේය.

රුක්මණී හොඳම නිළිය ලෙස උමතු විශ්වාසයට 1956 දීපශිකා සම්මානය දිනාගත් අතර ඇය ජනප‍්‍රිය නිළිය ලෙසද වරින් වර සම්මාන දිනාගනී. අනෙක් සුවිශේෂත්වය වනුයේ අහසින් පොළවට චිත‍්‍රපටයේ ගැයූ ”දොයි දොයි දොයිය පුතා’’ නම් ගීතයට හො`දම ගායිකාව ලෙස සම්මාන ලැබීය. මෙවැන්නක් කළ එකම නිළිය රුක්මණීය.

බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගෙන් වෙන්ව නිදහස් නිළියක් වීම රුක්මණී නිසි කළ ගත් නිවැරදි තීරණයකි. රුක්මණී තව දුරටත් ජයමාන්නගේ චිත‍්‍රපටවලම සීමා වී රඟපෑවේ නම් අවාසනාවන්ත ඉරණමකට ලක් වීමට ඉඩ තිබුණි. ඉන්දීය නිළි නාර්ගිස්ගේ කතාවද රුක්මණීගේ කතාවට සමාන බවක් ගනී. රාජ් කපුර්ගේ චිත‍්‍රපටවලට සීමා වූ නාර්ගීස් එයින් මිදී මදර් ඉන්ඩියා රඟනොපෑවේ නම් ඉන්දීය සිනමාවේ ඉන්දීය මාතා නාමය ඇයට කිසි දිනක නොලැබෙනු ඇත.

රුක්මණීගේ කලා ජීවිතයේ අවසාන භාගයේ ලෙස්ටර්ගේ අහසින් පොළවට රඟපෑමට ලැබීම ඇය ලත් භාග්‍යයකි. සමහරුන් පවසනුයේ නිෂ්පාදක යූ. ඩබ්ලිව්. සුමතිපාලගේ ඉල්ලීම මත ලෙස්ටර් ඇයව තෝරාගත් බවකි. එහෙත් මෙවැන්නක් ගැන ලෙස්ටර් කිසිම තැනක ස`දහනක් නොකරන අතර විජය කුමාරතුංග තෝරා ගන්නා ලෙස නිෂ්පාදකයන් ඉල්ලා සිටි බව ඔහු වරක් ප‍්‍රකාශ කොට ඇත. ලෙස්ටර් පවසන්නේ චිත‍්‍රපටයකට ගැළපෙන භාවාත්මක හ`ඩක් රුක්මණීට තිබූ බවත් අවසනාවකට අහසින් පොළවට ඇයගේ අවසාන චිත‍්‍රපටය වූ බවත්ය. මෙම චිත‍්‍රපටය තිරගත වීමට තිබූ 1978 දෙසැම්බර් 15 දිනට සති දෙදකට පෙර රුක්මණී මියයෑමෙන් දැඩි ශෝකයකට පත් ලෙස්ටර් තමා අධ්‍යක්ෂණය කළ මෙම චිත‍්‍රපටයත් ඇගේ පුද්ගලික ජීවිතයත් අතර කිසියම් සාමාන්තර බවක් වූ බව පවසා ඇත.

රුක්මණීගේ සිනහාව අව්‍යාජය. සෑමවිටම ඇය නිහතමානී විය. රුක්මණී අමරණීය වීමට එයත් හේතු විය.

ආශි‍්‍රත ලේඛණ

* සිංහලේ මහා සිනමා වංශය – ආතර්. යූ. අමරසේන

* බටහිර කණ්ඩායම් ගීතයේ විකාශය – එය දේශානුගත කළ නෙවිල් හා නොයෙල් එය ෂෙල්ටන් වීරරත්න

* සිංහල චිත‍්‍රපට ගීතාවලිය 1972-76 සුනිල් ආරියරත්න

* ඇසේ මධුර ගී – රූපසිංහ මාස්ටර් කෝකිල දේවි හා රුක්මණී දේවි එක්ව ගැයූ මංගල ගී – සරසවිය 13 අගෝස්තු 2020 – ඉසුරු උදයංග කාරියවසම්

* Rukmani Devi Nightingale Queen of the Silver Screen – The Island 1st November 2008 – T.K.Premdasa

* Lester James Peries Life and Work – A.J. Gunawardene
 (ලේඛකයා – ශී‍්‍ර ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ විශ‍්‍රාමික විධායක නිලධාරියෙකි. [email protected])

පේ‍්‍රමදාස තෙලිකෝරල
කටුබැද්ද

advertistmentadvertistment
advertistmentadvertistment