රුපියල් දෙදහසකුත් බලෙන් අරන්
සෝදිසි වරෙන්තුවක් ලබාගෙන පොලිස් කාන්තාවක් සමග වැටලීමකට ආ බව පවසමින්, කාන්තාවක් නංවාගෙන යතුරු පැදියකින් පැමිණ, අනුරාධපුර සම්බාහන (ස්පා) මධ්‍යස්ථානයකට ඇතුළුවී, හැඳුනුම්පත පෙන්වා එම ආයතනය සෝදිසි නොකර සිටීමට රුපියල් 2000ක මුදලක් බලෙන් ලබා ගත් පොලිස් කොස්තාපල්වරයකු සහ ඔහුගේ යතුරුපැදිය පෙරේදා (17දා) අත්අඩංගුවට ගෙන වැඩ තහනමකට ලක් කළ බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, පරසන්ගස්වැව පොලිසියට අනුයුක්තව ඇලයාපත්තුව පොලිස් ස්ථානයේ විශේෂ රාජකාරියේ යෙදී සිටි, සේනාදිරියාගම පලුගස්වැව පදිංචිව සිටි 37 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.
ඉකුත්දා (14 දා) රාත්‍රී 1130ට පමණ සැකකාර පොලිස් නිලධාරියා කාන්තාවක් නංවාගෙන යතුරුපැදියකින් එම සම්බාහන මධ්‍යස්ථානයට පැමිණ තමා පොලිස් නිලධාරියකු බව පවසමින් පොලිස් නිල හැඳුනුම්පත පෙන්වා, සෝදිසි වරෙන්තුවක් ලබා ගෙන තමන් කාන්තා නිලධාරිනියක් සමග පැමිණි බව පවසා , වැටලීම නොකර සිටීමට රුපියල් 2000ක මුදලක් ඉල්ලා සිටි බව පැමිණිල්ලේ සඳහන් වේ. සම්බාහන මධ්‍යස්ථානයේ සේවය සපයමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු, බියට පත් වී රුපියල් 2000ක මුදලක් සැකකාර පොලිස් කොස්තාපල්වරයාට ලබා දී ඇති බව පොලිසිය කියයි. එලෙස මුදල් ලබාගෙන පිටව ගිය සැකකාර පොලිස් කොස්තාපල්වරයා යළිත් පසුදා රාත්‍රී 8.30ට පමණ තවත් පිරිමි පුද්ගලයකු සමග පැමිණ නොමිලේ සම්බාහන සේවය ඉල්ලා සිටි අවස්ථාවේදී, ස්පා ආයතනයේ සේවයේ යෙදී සිටින කාන්තාවකගේ සැමියකු සමග බහින්බස් වීමක් ඇති කර ගෙන තිබෙන බවද පොලිසිය කියයි. පසුව එම සැමියා සැකකරුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා රාජකාරී හැඳුනුම්පත ඉල්ලූ අවස්ථාවේදී, එය උදුරා ගෙන පෙර දිනයේ ලබා ගත් රුපියල් 2000ක මුදල ලබා දෙන්නේ නම් යළි හැඳුනුම්පත ලබාදෙන බව පවසා එම පොලිස් හැඳුනුම්පත රැගෙන පොලිස් ස්ථානයට පැමිණ පැමිණිල්ලක් සිදුකර තිබූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මෙම පැමිණිල්ල ලැබී පැය විසිහතරක් යෑමට මත්තෙන් සැකකරු අත්අඩංගුවට ගත් බවත්, මේ වසරේ මේ දක්වා අනුරාධපුර පොලිස් කොට්ඨාසය තුළ විවිධ වැරදි ක්‍රියාවලට සම්බන්ධ පොලිස් නිලධාරීන් හත්දෙනකු මේ වන විට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිලිණ හේවාපතිරණ මහතාගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීහු කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගත්හ.
මිහින්තලේ රංග චතූ