රුපියල් බිලියන 25 ක් රටට අහිමි කරන වාහන එකලස් කරන කැබිනට් පත්‍රිකාවක්…

338

* වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් වෙනුවට කෑලි පුරුද්දන ගරාජයක්…
* සීල් කඩා වාහන පැන්නිමේ අතීත වංචාවක්…
* අගමැතිටත් කොළේ වහලා…
* පසුගිය ආණ්ඩුව තිබියදී ගම්මන්පිල, මහින්දානන්ද හෙළි කළ TOP 10 වංචාවක්…


 උදේශ සංජීව ගමගේ

සිදුවෙමින් තිබෙන්නේ අමුතුම දේය. අපූරු දේය. රටේ ජනතාව ඉන්නේ ‘දෙන දෙයක් කා වෙන දෙයක්. බලා හිඳිමින්ය. බොහෝ දේ ගැන බොහා් දෙනාට එතරම් නිනව්වක් නැත.

 ඒ නිසාම පසුගිය සතිය ආරම්භයේදී ම පුවත්පත්වල පළ වූ, විද්‍යුත් මාධ්‍යවල විකාශය වූ එක් පුවතක් කෙරෙහි වැඩි දෙනෙකුගේ අවධානය යොමු වුණේ නැත. ඒ රුපියල් මිලියන 25,000 ක් කාබාසිනියා කරන වාහන එකලස් කරන ජාවාරමකට අනුමැතිය ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නට යෑමේ පුවතක් ය. දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ විසින් කැඳවනු ලැබූ මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ හෙළිදරව් කෙරිණි. එහෙත් ඒ පිළිබඳව වැඩි දෙනෙකුගේ අවධානය යොමු නොවුණේ ඇයිදැයි යන්න විමතියකි. විශේෂයෙන් මේ හෙළිදරව්ව කළ දූෂණ විරෝධී පෙරමුණේ උදවියටත් වඩා මේ ගැන උනන්දු විය යුතු කොටස් පාර්ශ්ව දෙකක් සිටිති. පළමුවැනි පාර්ශ්වය වන්නේ වත්මන් ආණ්ඩුවේ මැති ඇමැතිවරු ය. දෙවැනි පාර්ශ්වය පසුගිය යහපාලන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ව හිඳ වත්මනෙහි විපක්‍ෂයේ, මන්ත‍්‍රීවරුන්ව සිටින අයත් දේශපාලනයේ අවතැන්ව සිටින අයත් ය. එහෙත් ඒ කිසිවෙකුත් මේ ගැන වචනයකුදු කතාකරන බවක් අප දුටුවේ නැත. ඊට හේතුව කාගේ කාගේත් ‘කිල්ලෝටවල හුනු ඩිංග ඩිංග බැගින් තිබීම. ය. එහෙත් මේ තක්කඩිකම තවමත් ඇස්කන් වසාගෙන නිදාසිටින රටේ ජනතාව දැනගත යුතුය. ඒ කතාව මෙසේය.


* TOP 10 කැබිනට් පත‍්‍රිකාව

  මේ කැබිනට් පත‍්‍රිකාව අමුතුම වර්ගයේ එකකි. අලූත්ම අලූත් එකක් නොව පරණම පරණ එකකි. පසුගිය යහපාලන ආණ්ඩුවේ වංචා දූෂණ ගැන එවකට ඒකාබද්ධ විපක්‍ෂය හෙළිදරව් කළ TOP 10 (ටොප් ටෙන්) වංචාවල 08 වැන්න (අටවැන්න) ලෙස සටහන්ව තිබුණේ මෙම කැබිනට් පත‍්‍රිකාවට අදාළ දූෂණ වංචාවය. එවකට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කළ මහින්දානන්ද අලූත්ගමගේ සහ උදය ගම්මන්පිල යන මන්ත‍්‍රීවරු ඒ ගැන හෙළිදරව් කර තිබිණි. එළැඹෙන අඟහරුවාදා බොහෝදුරට කැබ්නට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති මේ කැබිනට් පත‍්‍රිකාවේ ඇත්ත නැත්ත, එය ඉදිරිපත් කිරීමට අත්සන් තබා ඇති අගමැතිවරයාවත් නොදන්නා බව අපේ විශ්වාසයය. වඩාත් උත්ප‍්‍රාසයට කාරණය නම් වර්තමානයේ කැබිනට් ඇමැතිවරුන් හැටියට කටයුතුකරන මහින්දානන්ද අලූත්ගමගේ සහ උදය ගම්මන්පිල මේ ගැන කිසිවක් නොකීමය. මේ කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කරන්නේ ‘ආයෝජනයක්. යැයි කියා ගන්නා ජාවාරමකටය. මේ ජාවාරමට අදාළ ආයතනයට ආයෝජන මණ්ඩලයේ පවා ‘අනුමැතිය. හිමි වේ. ඒ 2002 වර්ෂයේදී ය. මේ ‘අනුමැතිය. ලැබීම සහ ‘ව්‍යාපෘතිය. පවත්වාගෙන යෑම පිළිබඳව සැක සහිත අවස්ථා ගණනාවක් මතුවීම නිසා ආයෝජන මණ්ඩලයම නතර කර තැබීම විශේෂත්වයකි. අදාළ ආයතනය මගින් සිදුකර ඇත්තේ ජපානයේ පාවිච්චි කරන ලද වාහන ගලවා මෙරටට ගෙන්වා නැවත ඒවා සකස් කර ‘අලූත්වැඩියාකර. අලූත් වාහන ලෙස මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමෙන් පසු විකිණීමය. එහෙත් ආයෝජන මණ්ඩලය මගින් 2002 වර්ෂයේදී අදාළ මිනුවන්ගොඩ ආයතනයට ආයෝජන අනුමැතිය ලබා දෙන්නේ ‘වාහන එකලස් කිරීමේ. කර්මාන්ත ශාලාවකටය. වාහන ‘එකලස් කිරීමේ. ආයෝජන ක‍්‍රියාවලියට මේ ජාවාරම්කාර ආයතනය සිදුකරන පරණ වාහන ගලවා ගෙනවිත් ‘ඇණ මුරිච්චි. තද කිරීමේ ක‍්‍රියාවලිය පෑහෙන්නේ නැත. වාහන එකලස් කිරීමේ ‘කර්මාන්තශාලා. කිහිපයක්ම මෙරට තිබේ. එහෙත් අදාළ දූෂිත ආයතනයේ සිදුවන්නේ සාමාන්‍ය ගරාජයක සිදුවන ක‍්‍රියාවලියකට සමාන ක‍්‍රියාවලියකි. යහපාලන ආණ්ඩුව සමයේ 2017 වර්ෂයේදී මෙම කැබිනට් පත‍්‍රිකාවම ඉදිරිපත් වන විට එවකට ජනාධිපතිවරයාව සිටි මෛත‍්‍රිපාල සිරිසේන මහතා එය මුළුමනින් ම ප‍්‍රතික්‍ෂේප කරන්නේය. එවක ඒකාබද්ධ විපක්‍ෂයේ සිටි මහින්දානන්ද අලූත්ගමගේ සහ උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරු දෙදෙනා ද මෙය තනිකරම දූෂණයක් වංචාවක් බව කියන්නේය. එපමණකින් නොනැවතී අල්ලස් කොමිසමට ද පැමිණිලි කරන්නේය. ඒ අනුව අදාළ ආයතනය නීත්‍යනුකූල අයුරින් කටයුතු කර නැති බව කියා ඇත්තේ රටේ පිළිගත් පුද්ගලයන් ය.

* ආයෝජන මණ්ඩලය හා අධිකරණය කිවූ කතාව

 ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය 2002 වර්ෂයේදී අදාළ ආයතනයට අනුමැතිය දුන් නමුත්, 2006 වර්ෂය වන විට ලිපියක් යොමු කරන්නේය. ඒ ආයෝජන මණ්ඩලයේ ආයෝජන කොන්දේසිවලට අනුව කටයුතු සිදු නොවන බව දන්වමිනි. ඒ 2002 දී ආයෝජන මණ්ඩලය අනුමැතිය දුන් පරිදි අදාළ ව්‍යාපෘතියට රුපියල් මිලියන 500ක් වෙනුවට රුපියල් ලක්‍ෂ පහක පමණ මුදල් යොදවා ඇති නිසා අදාළ ජාවාරම්කාර ආයතනය මේ ව්‍යාපෘතියට සුදුසු නොවන නිසා අවසර ලබා දිය නොහැකි බව කියමිනි. වාහන එකලස් කිරීම සඳහා යැයි කියමින් භාවිත කරන ලද වාහන කොටස් ආනයනය කිරීම නීති විරෝධී බවටත්. ඒ ආකාරයෙන් වාහන එකලස් කිරීමට අදාළ ආයතනයට නීත්‍යනුකූල අවසරයක් නැති බවටත් අධිකරණය ද කිහිප අවස්ථාවකදී මීට පෙර තීන්දු දී තිබේ. (එහෙත් එම ආනයනයන් නැවති ඇති බවක් පෙනෙන්නට නැත.)

 ඒ නිසා, 2021/065 කැබිනට් පත‍්‍රිකාව මගින් ඉදිරිපත් කරන්නේ ද එදා 2017 වර්ෂයේදී රවි කරුණානායක (එවකට අමාත්‍ය) විසින් ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත‍්‍රිකාවමය. එදා මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මුළුමනින්ම ප‍්‍රතික්‍ෂේප කළ එකලස් කරන ලද වාහන සඳහා දෙනු ලබන නිෂ්පාදන බදු සහන හෝ වෙනත් කිසිදු සහනයක් ලබාදීම ඉඳුරාම ප‍්‍රතික්‍ෂේප කළ කැබිනට් පත‍්‍රිකාවමය. සාමාන්‍යයෙන් එකලස් කරන ලද වාහනයක් ලෙස හඳුන්වන්නේ අලූත් වාහනයක් ය. එවැනි කර්මාන්ත ශාලාවක් ආයෝජන මණ්ඩලය පිළිගත් නීතිරීති ක‍්‍රමවේදයන් ගණනාවකට යටත්ව ක‍්‍රියාත්මක විය යුතුය. භාවිත කරන ලද ඉවත් කරන ලද වාහන ගලවා ගෙන්වා නැවත ඒවා එකිනෙක පූට්ටු කර ඇණ මුරිච්චි තදකර විකිණීම වාහන එකලස් කිරීමේ ක‍්‍රමවේදයට අයත් නැත. එතැනදී සිදුවන්නේ අලූත්ම වාහනයක් වෙනුවට පාවිච්චි කරන ලද වාහනයක් අලූත්වැඩියා කර නව වාහනයක් ලෙස ලියාපදිංචි කර වංචනිකව විකිණීමය. පැරණි වාහන මෙරටට ගෙන්වීමේදී එය කොළඹ වරායේදී ලබාගන්නේ බදු සමඟ රුපියල් ලක්‍ෂ හයහමාරක (රුපියල් ලක්‍ෂ 61/2ක) මුුදලකටය. ඒවා නැවත අලූත්වැඩියා කර අලූත් වාහන ලෙස මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමෙන් පසු විකුණන මිල රුපියල් ලක්‍ෂ 100 – 150 ත් අතර වේ. යෝජිත කැබිනට් පත‍්‍රිකාවෙන් වසර තුනක කාලයකදී වාහන 2,250ක් ‘එකලස්. (කරනවා යැයි කියන වංචාවට) කිරීමට නියමිතය. ඒ අනුව එක් වාහනයක් රුපියල් ලක්‍ෂ 100කට මිල කළ ද රජයට අහිමි වන මුදල රුපියල් මිලියන 25,000 කි. යහපාලන සමයේදී රවී කරුණානායකට මේ ගැන ප‍්‍රසිද්ධ විවාදයකට පවා පැමිණෙන ලෙස අභියෝග කළ උදය ගම්මන්පිල ඇමැතිවරයා කැබිනෙට්ටුවේදී මේ සම්බන්ධයෙන් ගන්නා තීන්දුව ගැන අපි බලා සිටිමු. එදවස යහපාලන ආණ්ඩුවේ දූෂණ වංචා හෙළිකළ TOP 10 ග‍්‍රන්ථය මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට පිළිගැන්වූ මහින්දානන්ද අලූත්ගමගේ මේ ගැන කියන්නේ කුමක්ද? එදා යහපාලන ආණ්ඩුවේ සිටි අදත් විපක්‍ෂයට වී පාර්ලිමේන්තුවේ පුටු රත්කරන විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු මේ ගැන කියන්නේ කුමක්ද?

 මෙම මහා ජාවාරමට වංචාවට අදාළ ආයතනය වෙනුවෙන් අදාළ කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කරන්නේ පරණ වාහන ගෙන්වීමේ නව ව්‍යාපෘතියට නොව දැනටත් වරායේ රඳවා තිබෙන වාහන කන්ටේනර මුදාගැනීමට බව අපි අවධාරණය කරන්නෙමු.

* මුදා නොගත් කන්ටේනර සහ සීල් කැඞීම

 2013 වර්ෂයේදී අදාළ ආයතනය මගින් ගෙන්වන ලද කන්ටේනර 08ක් රේගුවේ රඳවාගන්නා අතර ඉන් පහක් පරීක්‍ෂා කිරීමකින් තොරව තවමත් රේගුව භාරයේ ඇත. එමෙන්ම 2019 වර්ෂයේ පෙබරවාරියේ පමණ SEAU 8660180 -MSKU 1506112 -PONU 7584540-HASU 4411270 යන කන්ටේනර හතර ද රේගු භාරයේ රඳවාගෙන තිබේ. කෙසේ හෝ එම රඳවාගත් කන්ටේනර්වලින් තුනක් පමණ පරීක්‍ෂා කිරීමේදී එවකට සිටි රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එම පරීක්‍ෂණ නවතා දමා තිබේ. 2019 වර්ෂයේ කන්ටේනර හතර රඳවා තබා ගැනීමට පෙර අදාළ ආනයන ආයතනය සම්බන්ධයෙන් අපූරු සිදුවීමක් වාර්තා වී තිබිණි. ඒ 2017 දෙසැම්බර් 31 වැනි දින රේගුව හා පොලිසියේ වලාන දූෂණ මර්දන ඒකකය හවුල්ව මෙම ‘‘ආයතනයේ.. වාහන අංගණය වටලා ලියාපදිංචි නොකළ වාහන 54ක් අත්අඩංගුවට ගැනීමය. එම වාහනවලින් 26ක් පරීක්‍ෂණ සඳහා රේගු භාරයට ගෙනවිත් තිබිණි. ඉතිරි වාහන 28 ‘අදාළ ආයතනයේ. අංගණයේම සීල් තබා තිබේ. ඊට අදාළ පරීක්‍ෂණ පැවැත්වෙන අතරවාරයේ කළ සොයා බැලීමකදී අනාවරණය වී ඇත්තේ සීල් තබන ලද එම වාහනවලින් 18ක් සීල් කඩා අස්ථානගත කර ඇති බවයි. රේගුවත් පොලිසියත් එකතුව මේ ගැන ‘අදාළ අංශ වෙත. කරුණු වාර්තා කර තිබුණත්, ඊට පසු ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තාවන්නේ නැත. අදාළ රඳවාගත් කන්ටේනර හතර පරීක්‍ෂා කිරීම සඳහා විටින් විට ‘අදාළ ආයතනයට. සහභාගි වන ලෙස දැන්වූවද ඒ හැම අවස්ථාවක්ම අදාළ ආයතනයේ හිමිකරු ම`ගහැර තිබිණ. එම කන්ටේනර රඳවාගැනීමට හේතු වී තිබුණේ ඒවා සම්බන්ධයෙන් රේගුවට දුන් ලියකියවිලිවල ‘‘වාහන අමතර කොටස්.. යනුවෙන් සඳහන් වූවත්, නැව්භාර පත‍්‍රවල ‘වහාන. යනුවෙන් සඳහන් වීම නිසාය. කෙසේ හෝ පසුව මෙම කන්ටේනර ‘අදාළ ආයතනයේ අංගණයටම. ගොස් විවෘත කරන ලෙස ‘හිමිකරු. ඉල්ලා තිබිණි.

 එහෙත් පරීක්‍ෂණ සඳහා රඳවාගත් කන්ටේනර රේගු පරිශ‍්‍රවලින් පිටතට ගෙනගොස් කිසිසේත් පරීක්‍ෂා කරන්නේ නැත. මෙම සිදුවීමට අදාළ පුද්ගලයා පවතින නීති රාමුව අවතක්සේරුවට ලක්කරන අන්දම පෙන්වා දෙන්නකි.

 එහෙත් කෙසේ හෝ අදාළ කන්ටේනර තමන්ගේ අංගණයට ගෙන යෑමට මෙම ‘‘හිමිකරුවා.. අවසර ලබාගනී. එම නියෝගය ලබා දෙන්නේ රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාය. එහෙත් සහකාර රේගු අධිකාරී ඩබ්. එම්. ආර්. පී. විජේකෝන් ඊට විරුද්ධව අංක 260/2020 යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර එම සැලැස්ම වළක්වන්නේය.

 කන්ටේනර මුදා හැරීම මගින් මිලියන ගණනක ආදායමක් රටට අහිමිවන බව එම පෙත්සමෙන් පෙන්වාදී තිබිණි. 2020 සැප්තැම්බර් 24 හා 2021 ජනවාරි 20 යන අවස්ථා දෙකෙහි එම පෙත්සම විභාගයට කැඳවා තිබේ. එහිදී පෙත්සම්කරු වන ‘‘අදාළ ආයතනයේ හිමිකරුවා. පවසා ඇත්තේ ඒවා විවෘත කර බැලිය යුතු නමුත් හිතාමතා විවෘත කිරීම ප‍්‍රමාද කරන බවය. මෙම පෙත්සම විභාගයට ගැනීමට නියමිතව තිබුණේ පසුගිය පෙබරවාරි 11 වැනිදාය. එහෙත් පෙබරවාරි 09 වැනිදා විවෘත කරනු ලබන්නේය. ඒ කවර හේතුවක් නිසාදැයි නොදන්නා නමුත් තවමත් ඒ කන්ටේනර තුළ ඇති දේ ගැන කිසි තොරතුරක් නැත.

 ආනයන වියදම් රටට බරපතළ ප‍්‍රශ්නයක් නිසාත් ඩොලරයේ අගය පරීක්‍ෂා කර ගැනීම සඳහාත් වාහන ගෙන්වීම නතර කළ ආණ්ඩුවක්, පරණ වාහන පාරට දමන්නට ආනයන කරුවෙකුට ඉඩ ලබාදෙන්නට කැබිනට් පත‍්‍රිකා ඉදිරිපත් කරන්නේ ඇයිදැයි යන්න ගැටලූවකි. මේ දූෂිත ක‍්‍රියාවලියෙන් රටට අහිමි වන බදු ආදායම ගැන කිසිවෙක් ප‍්‍රශ්න කරන්නේ නැත්තේ ඇයිදැයි යන්නද ගැටලූවෙකි. මේ මොහොත වනවිටත් එලෙස නීති විරෝධී වාහන 410කට ආසන්න ප‍්‍රමාණයක් ලියාපදිංචි කර ඇති බවටද තොරතුරු තිබේ.

 බොහෝවිට මෙවැනි ‘තක්කඩි. වැඩවලට ඉඩ ලැබෙන්නේ මෙවැන්නන්ගෙන් ‘වාහන. පමණක් නොව තවත් පඬුරු පාක්කුඩම් ලබාගත් දේශපාලඥයින් නිලධාරින් උන් ආරක්‍ෂා කරන නිසා විය හැකිය. විශේෂයෙන් අදාළ කැබිනට් පත‍්‍රිකාවේ අධිකරණය ලබාදුන් තීන්දු පවා වැරදි ලෙස අර්ථකථනය කර තිබේ. ඉතිං අප බලා සිටින්නේ දූෂණයට වංචාවට එරෙහි වූ පිරිසිදු කැබිනට් ඇමැතිවරු මේ සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳවය.

advertistmentadvertistment
advertistmentadvertistment