රුපියල අහසට යද්දී බඩු මිලට මොකද වෙන්නේ

243
  • තීන්දු ගැනීමට ප‍්‍රමාද වීම

අපේ රුපියල ගැන මහ බැංකුව ගත් අලූත් තීරණය නිසා මේ වන විට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අපේ රුපියල වේගයෙන් පිරිහෙමින් (අවප‍්‍රමාණය වෙමින්) තිබේ. රබර් බෝලයක් ජලය යට දීර්ඝ වෙලාවක් අතින් රඳවාගෙන සිට එක්වරම අත ඉවත් කළහොත් වන්නේ කුමක්ද? ඒ රබර් බෝලය ඉතා වේගයෙන් ජලය මතුපිටට පැමිණීමයි. අපේ විනිමය අනුපාතය සම්බන්ධයෙන් ද දැන් එවැන්නක් සිදුව තිබේ. මේ නිසා යම් කාලයක් අපේ විනිමය අනුපාතය ස්ථාවර වීමට ගත වනු ඇත. ඒ කාලය ඉතා දුෂ්කර කාලයක් වීමට ඉඩ ඇති අතර බඩු මිල ගණන්වල තවදුරටත් ඉහළ යෑමක් ද සිදුවනු ඇත. දැනටමත් අයි ඕසී තෙල් මිල විශාල වැඩි කිරීමක් සිදු කර ඇත. මේ ලෝක තෙල් මිල ගණන් අනුව සහ විනිමය අනුපාතයේ පිරිහීම අනුව අපගේ තෙල් සංස්ථාවට ද තෙල් මිල වැඩි නොකර සිටීමට අපහසු වනු ඇත. තෙල් මිල වැඩි වීමත් සමග ප‍්‍රවාහන ගාස්තු වැඩි වී තවත් වටයකින් බඩු මිල ගණන් ඉහළ යෑම වැළැක්විය නොහැකිය. මේ නිසා ඉදිරි කාලය මිල පීඩනය තවත් වැඩිවන මහජනයාට වඩාත් දුෂ්කර කාලයක් වනු ඇත.

ඇත්ත වශයෙන්ම මීට බොහෝ කලකට පෙර සිටම අපේ විනිමය අනුපාතය ක‍්‍රමානුකූලව අවප‍්‍රමාණය වීමට ඉඩ දුන්නා නම් අද මෙවැනි බලවත් අහිතකර විපාකවලට එකවර මුහුණ දීමට අපට සිදු නොවීමට ඉඩ තිබුණි. එහෙත් මේ රජය නිසි තීන්දු තීරණ අප‍්‍රමාදව නිසි වෙලාවේ නොගන්නා බවක් පෙනෙන්නට තිබේ. පසුගිය සතියේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සීමා කිරීමට පියවර ගත් අතර එයද මීට බොහෝ කලකට පෙර ගත යුතුව තිබූ තීන්දුවකි. මේ නිසා අපේ සීමිත විදේශ විනිමය සම්පත් බොහොමයක් අත්‍යවශ්‍ය නොවන දේ ආනයනයට වැය වීමෙන් අපේ විනිමය පීඩනය උග‍්‍ර වූ අතර අපට අත්‍යවශ්‍ය දේ පවා ගෙන්වා ගැනීමට විදේශ විනිමය සීමිත වීමෙන් මහජනයාට දිනපතාම පාහේ මේ විදේශ විනිමය හිඟයේ පීඩාවන්ට මුහුණ දීමට සිදුව තිබේ. තවමත් මහ මග ඉතා දිගු ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම් දක්නට ඇති අතර රජය ප‍්‍රකාශ කළ පරිදි විදුලිය කප්පාදුව ද තවමත් අවසන්ව නැත. මේ තෙල් සහ විදුලි ප‍්‍රශ්නය ආර්ථික කටයුතුවලට බරපතළ අහිතකර බලපෑමක් ද ඇති කරමින් තිබේ.

  • රුපියල පා කිරීම

මේ පසුබිම තුළ මහ බැංකුව රුපියල ගැන ගත් අලූත් තීරණය ගැන අපි සාකච්ජා කරමු. මේ අනුව වහාම ක‍්‍රියාත්මක වන පරිදි, විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළෙඳපොළට ඉඩ සලසනු ලබන බව පසුගිය මාර්තු 07 වැනිදා රාත‍්‍රියේ ශ‍්‍රී ලංකා මහ බැංකුව නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කළේය. ඊට පෙර බොහෝ කාලයක් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රු. 203 ක මට්ටමේ ස්ථාවරව පවත්වාගෙන ගිය අතර මේ නිසා විදේශ විනිමය කළු කඩය විශාල වශයෙන් ප‍්‍රවර්ධනය විය. මහ බැංකුව ප‍්‍රකාශ කළ නිල විනිමය අනුපාතයට බැංකු ක‍්‍රමයෙන් මිලදී ගැනීමට විදේශ විනිමය නොමැති වූ අතර බොහෝ දෙනකුට සිදු වූයේ ආනයන අවශ්‍යතා සඳහා කළු කඩයෙන් වැඩි මිලට විදේශ විනිමය සපයා ගැනීමටයි. මේ පසුබිම තුළ ව්‍යාපාර ප‍්‍රජාවෙන් සහ කර්මාන්තකරුවන්ගෙන් මෙන්ම ඇතැම් ස්වාධීන අර්ථශාස්ත‍්‍රඥයන්ගෙන් රජයට සහ මහ බැංකුවට නිරන්තරයෙන්ම යෝජනා කළේ රුපියල මුළුමනින්ම හෝ ක‍්‍රමානුකූලව පාවීමට ඉඩ දෙන ලෙසයි. එනම් එහි අදහස වෙළෙඳපොල බලවේග අනුව එනම් රුපියලට ඇති ඉල්ලූම හා සැපයුම අනුව රුපියලේ අගය තීරණය වීමට ඉඩ දෙන ලෙසයි. එහෙත් දීර්ඝ කාලයක් ඒ තීන්දුව නොගෙන රුපියල ස්ථාවරව එකම අගයක පවත්වාගෙන යෑමට මහ බැංකුව කටයුතු කළේය. කෙසේ හෝ අවසානයේ බොහෝ ප‍්‍රමාද වී හෝ මහ බැංකුව රුපියල පාවීමට ඉඩ හැර තිබේ. ඒ සමගම ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මේ වන විට වේගයෙන් පිරිහීමට පටන් ගෙන ඇත. මෙවැනි තීරණයක් ගත් වහාම ක්ෂණිකව එවැනි දෙයක් වීම ස්වභාවික දෙයකි.

  • ඩොලරයේ අගය

රුපියල පා කිරීමට මහ බැංකුව තීරණය කළත් එය නිදහසේ පාවීමට ඉඩ දීමක් ද එසේත් නැතහොත් මහ බැංකුවේ යම් පාලනයක් ඇතිව පාලනය වීමට ඉඩ දීමක් ද යන්න තවමත් පැහැදිලි නැත. එහෙත් ප‍්‍රශ්නය තිබෙන්නේ එවැනි පාලනයක් කිරීමට මහ බැංකුවට මේ වන විට විදේශ සංචිත ප‍්‍රමාණවත් ලෙස නොමැති වීමයි. පසුගිය මාර්තු 07 වැනිදා මහ බැංකුව නිකුත් කළ නිල නිවේදනයේ සඳහන් වූයේ විදේශ විනිමය ගනුදෙනු ඇමෙරිකානු ඩොලරයකට රුපියල් 230 කට නොවැඩි මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි. ඒ අපේක්ෂාව ඉක්මවා මේ වන විටත් රුපියල පිරිහීමට ලක්ව තිබේ. මාර්තු 08 වැනිදා නිල විනිමය අනුපාත අගය අනුව ඩොලරයක විකුණුම් අගය රුපියල් 230 දක්වා රු.27 කින් ඉහළ ගියේය. එසේම මාර්තු 10 වැනිදා ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය රු.260 ක් දක්වා වර්ධනය වෙමින් ශ‍්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සැලකිය යුතු පිරිහීමකට ලක් විය. එනම් එක දිනක් තුළ පමණක් රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය රු. 30 කින් ඉහළ ගියේය. මාර්තු 10 දින වාණිජ බැංකු ප‍්‍රකාශයට පත් කළ විනිමය අනුපාතික සටහන්වලට අනුව ද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 260 ක් ලෙස සටහන්ව තිබිණි.

මෙතෙක් වාර්තා වූ ඇමෙරිකානු ඩොලරයක ඉහළම හුවමාරු අගයන් මේ දිනවල සටහන් වෙමින් තිබේ. මේ අනුව විදේශ විනිමය ගනුදෙනු ඇමෙරිකානු ඩොලරයකට රුපියල් 230 කට නොවැඩි මට්ටමක පවතිනු ඇතැයි යන අපේක්ෂාව ඉටුවනු ඇතැයි සිතීම දුෂ්කරය. එය ඉටුවීමට නම් අපට වේගයෙන් විදේශ විනිමය ගලාගෙන ඒමක් සිදු විය යුතුය. කෙසේ වෙතත් දැනට ලැබෙන වැඩි අගය හමුවේ ඉදිරියේදී නිල මාර්ගවලින් විදේශ විනිමය ගලාඑනු ඇති අතර ඒ සඳහා කිසියම් කාල පමාවක් තිබේ.

  • රජයට ප‍්‍රතිපත්ති යෝජනාවලියක්
රුපියල අහසට යද්දී බඩු මිලට මොකද වෙන්නේ

පසුගිය මාර්තු 04 වැනිදා පැවති මහ බැංකු මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා රජයට වහාම ක‍්‍රියාත්මක කිරීම සඳහා නව ප‍්‍රතිපත්ති මාලාවක් ප‍්‍රකාශයට පත් කළේය. එය කරුණු 08 කින් සමන්විත යෝජනාවලියකි. එම මාධ්‍ය හමුවේ දී කිසිවිටෙකත් විනිමය අනුපාතය සම්බන්ධව කිසිදු තීරණයක් ප‍්‍රකාශයට පත් නොකළ අතරම ඒ අනුව එදින මුදල් මණ්ඩල රැස්වීමේ රුපියල පා කිරීම ගැන තීන්දුවක් ගෙන නොතිබිණි. එසේම මාධ්‍යවේදීන් එම මාධ්‍ය හමුවේ දී රුපියල පා කිරීම ගැන විමසූ විට මහ බැංකු අධිපතිවරයා කීවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය තවමත් එවැනි තීන්දුවක් ගෙන නැති බවය. එහෙත් ඊට දින දෙකකට පසු මාර්තු 07 වැනිදා රාත‍්‍රීයේ මහ බැංකුව විනිමය අනුපාතය ගැන හදිසියේම තීන්දුවක් ප‍්‍රකාශයට පත් කළේය. ඒ විනිමය අනුපාතයේ ඉහළ නම්‍යශීලී බවක් සඳහා ඉඩ හැරීමටය. පසුගිය මාර්තු 03 වැනිදා මුදල් මණ්ඩල රැස්වීමේ දී එම තීරණය ගත්තා නම් එම තීරණය එදින රාත‍්‍රියේ සිටම ක‍්‍රියාත්මක කළ හැකිව තිබිණි. කෙසේ හෝ ප‍්‍රධාන මුදල් මණ්ඩල රැස්වීමක් පවත්වා එහි තීන්දු තීරණ පවා ප‍්‍රකාශයට පත්කර ඊට දින දෙකකට පසුව මුදල් මණ්ඩලයට මේ තීරණය ගැනීමට පහළ වූ අලූත් ඥානය කුමක් ද යන්න අපට පැහැදිලි නැත. අපට දැනගන්නට ඇති පරිදි මේ අලූත් තීරණය ගෙන ඇත්තේ මාර්තු 07 වැනිදා පැවති හදිසි මුදල් මණ්ඩල රැස්වීමකදීය. ඒ නිසා මෙය බොහෝදුරට රජයේ තීරණයක් විය හැකිය. දැන් විනිමය අනුපාතය ගැන මහ බැංකුව ගත් මේ අලූත් තීරණය ගැන මුළු රටේම කතාබහට ලක් වෙමින් තිබේ.

  • අභියෝගවලට මුහුණ දීම

මහ බැංකු මුදල් මණ්ඩලය විසින් පසුගිය මාර්තු 03 වැනිදා ගත් ස්ථාවරය මහ බැංකුවේ නවතම මුදල් ප‍්‍රතිපත්ති විවරණ වාර්තාවේ මෙසේ සදහන් වේ.

‘‘බාහිර කම්පනවල දැඩි බව සහ දේශීය ආර්ථිකයේ මෑත කාලීන ප‍්‍රවණතා සැලකිල්ලට ගනිමින්, එවැනි ආර්ථික තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සාම්ප‍්‍රදායික සහ සාම්ප‍්‍රදායික නොවන ක‍්‍රියාමාර්ග ඇතුළත් ප‍්‍රතිපත්ති මාලාවක් සහ සමස්ත ආර්ථිකයට බලපානු ලබන අනෙකුත් ක‍්‍රියාමාර්ග අත්‍යවශ්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස විය.’’

මේ අනුව මහ බැංකුවේ මුදල් ප‍්‍රතිපත්තිය තවදුරත් දැඩි කරමින් මහ බැංකුව සිය ප‍්‍රතිපත්තිමය පොලී අනුපාත වැඩි කර ඇත. මේ පොලී අනුපාත ආර්ථිකයේ වෙළෙඳපොළ පොලී අනුපාතවලට බලපාන ප‍්‍රධානම පොලී අනුපාතයන්ය. මේ අනුව ඉදිරියේ දී බැංකු සහ මූල්‍ය ආයතනවල පොලී අනුපාතවල ද වැඩි වීමක් සිදුවනු ඇත. ඒ අනුව මහ බැංකුව සිය ප‍්‍රතිපත්තිමය පොලී අනුපාත පදනම් අංක සියයකින් එනම් සියයට එකකින් වැඩි කරන ලද අතර ඇතැම් පොලී අනුපාතවල උපරිම සීමා වැඩි කිරීමට ද ක‍්‍රියා කළේය. එනම් මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 මාර්තු මස 03 වැනි දින පැවති රැස්වීමේදී ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 100 බැගින් පිළිවෙළින්, සියයට 6.50 සහ සියයට 7.50 දක්වා ඉහළ නංවන ලදී. එසේම පොලී අනුපාතික මත පනවා ඇති උපරිම සීමා, එනම් ණය කාඞ්පත් මත උපරිම පොලී අනුපාතිකය වාර්ෂිකව සියයට 20 දක්වාද, පෙර ගිවිසගෙන ඇති තාවකාලික බැංකු අයිරා මත උපරිම පොලී අනුපාතිකය වාර්ෂිකව සියයට 18 දක්වා සහ උකස් පහසුකම් මත උපරිම පොලී අනුපාතිකය වාර්ෂිකව සියයට 12 දක්වා ද ඉහළ නැංවීමට ක‍්‍රියා කළේය. මීට පෙර මෙම උපරිම පොලී අනුපාත පැවතියේ මීට වඩා සියයට දෙකක් අඩුවෙනි.

  • රුපියල රැක ගැනීම

බොහෝ කලක සිට ඇතැම් ස්වාධීන අර්ථශාස්ත‍්‍රඥයන් මෙන්ම ව්‍යාපාරික ප‍්‍රජාවේ සාමාජිකයන් ද රජයට ප‍්‍රකාශ කළේ මහ බැංකුව ඩොලරයක අගය කෘතීම ලෙස රු.203 ක මට්ටමේ පවත්වාගෙන යෑමෙන් ඉවත් වී රුපියල ක‍්‍රමයෙන් පාවීමට ඉඩ සැලසිය යුතු බවයි. එහෙත් මහ බැංකුව දීර්ඝ කාලයක් එවැනි දෙයක් නොකළ අතර දිගින් දිගටම ඩොලරයක අගය කෘතීම ලෙස රු. 203 ක මට්ටමේම පවත්වාගෙන ගියේය. එහෙත් ඒ මිලට බැංකුවලින් ඩොලර් ගැනීමට නොමැති විය. ව්‍යාපාරික ප‍්‍රජාවට පවා බැංකු හරහා විදේශ විනිමය ලබාගත නොහැකි විය. මේ නිසා පිළිගත් විශාල ව්‍යාපාරිකයන්ට පවා අවිධිමත් මාර්ගවලින් වැඩි මිලට ඩොලර් සපයා ගැනීමට සිදු විය. ඉන්ධන සහ ගෑස් ලබා ගැනීමට ද අවශ්‍ය විදේශ විනිමය සපයා ගැනීමට නොහැකි විය. මේ සඳහා රජයට සහ මහ බැංකුවට මැදිහත් වී ඩොලර් සැපයීමට පවා සිදු විය. මේ නිසා ආපනශාලා සහ බේකරි විශාල ප‍්‍රමාණයක් දැනටමත් තාවකාලිකව වැඩ කිරීමට නොහැකිව වැසී ගොස් ඇති අතර නිවෙස්වල ද ආහාර පිස ගැනීම විශාල ගැටලූවක් වී තිබේ.

  • ඩොලර් ඉපයීම

රුපියල් අච්චු ගැසුවත් අපට ඩොලර් අච්චු ගැසිය නොහැකිය. මහ බැංකුවට ඩොලර් මැවීමට ද නොහැකිය. කළ හැක්කේ නිසි ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් රටට ලැබෙන විදේශ විනිමය ඉපයුම් වැඩි කර ගැනීම සහ විදේශ විනිමය සම්පත් ඉතුරු කර ගැනීමයි. නැතහොත් විදේශ විනිමයෙන් ණය ගැනීමට සිදු වේ. මෙතෙක් විදේශ විනිමය පේ‍්‍රෂණ විශාල වශයෙන් අඩු වීමට මූලික හේතුවක් වූයේ එම ශ‍්‍රමිකයන්ගේ විදේශ විනිමය සඳහා නිසි අගයක් ඔවුන්ට නොලැබීමයි. ඒ නිසා හවාලා සහ උන්ඩියල් වැනි ක‍්‍රමවලට විදෙස්ගත ශ‍්‍රමිකයන් වැඩි වශයෙන් යොමු විය. දැන් ඒ ක‍්‍රමවලට හුරු වූ විදේශ ශ‍්‍රමිකයන් නැවත නිල මාර්ගවලට ගැනීමට ද පරිශ‍්‍රමයක් දැරීමට සිදුවනු ඇත. විදේශ ශ‍්‍රමිකයන් එවන ඇමෙරිකානු ඩොලරයක් සඳහා වැඩිපුර රු.20 ක මුදලක් ලබා දෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි. මේ නිසා දැන් අපේ විදෙස්ගත සේවක ප‍්‍රජාවට බැංකු ක‍්‍රමය හරහා මෙරටට තම පේ‍්‍රෂණ එවීමට අවශ්‍ය වාතාවරණය සකස් වී ඇත. අපත් ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබලා මීළඟට එවන මුදල් නිල මාර්ග ඔස්සේම එවන ලෙසයි. එය මේ අමාරු වෙලාවේ රටට කරන උදව්වකි. මේ අනුව අප නම් සිතන්නේ ඩොලර් මැවිය නොහැකි වුවත් නිසි ප‍්‍රතිපත්තිමය ක‍්‍රියමාර්ග මගින් රටට වැඩියෙන් ඩොලර් උපයා ගැනීමට සහ ඩොලර් වියදම් අවම කර ගැනීමට හැකිවන බවයි. කෙටිකාලීනව දුෂ්කර තත්ත්වයක් උදාවන නමුත් ඒ සඳහා රුපියල පා කිරීම ද හේතුවක් වනු ඇත.

  • විනිමය පීඩනය

විනිමය අනුපාතය කෘතීම ලෙස දිගු කලක් පවත්වාගෙන ගිය නිසාත් රටට ලැබුණු විදේශ මුදල් අඩු වීම නිසාත් එසේම ආනයන වියදම් වැඩි වූ නිසාත් රට මුහුණ දී සිටි විනිමය පීඩනය වඩාත් උග‍්‍ර තත්ත්වයට පත්විය. මේ නිසා අප සිතන්නේ අපේ රුපියලේ අගය දිගුකාලීනව රැකගත හැක්කේත් එය තවත් ශක්තිමත් කරගත හැකි වන්නේත් අපේ විදේශ විනිමය ලැබීම් තිරසාර ලෙස වර්ධනය කර ගැනීමෙන් සහ විදේශ විනිමය වියදම් අවම කර ගැනීමෙන් බවයි. රුපියල සැබෑ ලෙස ශක්තිමත් කරගත හැක්කේ එලෙසය. දැන් රුපියල පා කිරීමෙන් පසු විනිමය අනුපාතය කිසියම් අගයක ස්ථාවර වනු ඇත. ඒ සඳහා යම් කාලයක් ගත වේ. එතෙක් කාලය මිල පීඩනය තවත් උග‍්‍ර වන ඉතා දුෂ්කර කාලයක් වනු ඇති බව නම් කීමට සිදු වේ. එහෙත් ඉන් පසුව විනිමය අනුපාතයේ විශාල උච්චාවචන (ඉහළ සහ පහළ යාම්) සිදුවන අවස්ථාවල දී විනිමය අනුපාත ස්ථාවරත්වය රැක ගැනීම සඳහා තාවකාලිකව ශ‍්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළට මැදිහත් වී රුපියල රැක ගැනීමේ ක‍්‍රියාමාර්ග ගැනීමේ වරදක් නැත. එහිදී වෙළෙඳපොළ බලවේග අනුව රුපියලේ අගය අඩු වීම මෙන්ම වැඩියෙන් විදේශ මුදල් රටට එනවා නම් රුපියල ශක්තිමත් වීම ද සිදුවනු ඇත. එකම අගයක රුපියල තියා ගන්නේ නැතුව කිසියම් පාලිත පාවීමකට විනිමය අනුපාතය යොමු කිරීමෙන් විනිමය අනුපාත ස්ථාවරත්වය ද රැකගත හැකිවනු ඇත. එනම් රුපියල පාවීමට ඉඩ හරින අතරම (රුපියලේ අගය වෙළෙඳපොළ බලවේග අනුව තීරණය වීමට ඉඩ සලසන අතරම) විනිමය අනුපාතයේ විශාල උච්චාවචන වලදී මහ බැංකුව මැදිහත් වී විනිමය අනුපාතය ස්ථාවර කර ගැනීමයි. මහ බැංකුවේ නිල නිවේදනයේ ‘විදේශ විනිමය ගනුදෙනු ඇමෙරිකානු ඩොලරයකට රුපියල් 230 කට නොවැඩි මට්ටමක පවතිනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි’ යන්න සඳහන් වුවත් රුපියල ඉදිරියේ කවර අගයක ස්ථාවර වනු ඇති ද යන්න ස්ථිරව කීමට අපහසුය. එය අපගේ අනාගත විදේශ විනිමය ලැබීම් සහ ගෙවීම් ප‍්‍රමාණයන් මත ද තීරණය වේ. දිගු කලක් විදේශ විනිමය හිඟයේ ප‍්‍රතිවිපාක මහජනතාවට දෛනිකව විඳීමට සිදුව ඇති නිසා රජය සහ මහ බැංකුව වහාම මේ විදේශ විනිමය හිඟය විසඳීමට එක ප‍්‍රතිපත්තියක සිට පියවර ගත යුතුව තිබේ. එසේ නැතහොත් ජනයා තවත් පීඩාවට පත්වනු ඇත. එසේම ජනාධිපතිවරයා පත් කර ඇති ආර්ථික සභාව ද තවත් විධිමත් කර ගනිමින් මේ සඳහා කඩිනමින් ක‍්‍රියා කරනු ඇතැයි අපි සිතමු.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment