රුපියල ආයෙත් පුපුරයිද?

157

ආර්ථිකය සවිමත් කර ගැනීමට අපටම සැලසුම් අවශ්‍යයි

රට ඉබේම බංකොලොත් වූවා නොවේ. එනම් 2022 වසරේ අප මුහුණදුන් සහ තවමත් අත්විඳිමින් සිටින ආර්ථික අර්බුදය ස්වභාවිකව ඇති වූ අර්බුදයක් නොව අප විසින් අපගේ වැරදි ආර්ථික කළමනාකරණය නිසාම ඇතිකරගත් අර්බුදයකි. වැරදි ආර්ථික තීන්දු තීරණ නිසා සහ වැරදි ආර්ථික කළමනාකරණය නිසා ඝාතනය කළ ආර්ථිකය නැවත පණ ගන්වා ගැනීම පහසු කටයුත්තක් නොවේ. එහෙත් ඒ සඳහා වන දුෂ්කර ගමන දැන් ආරම්භ කර ඇත. එම ගමන්මගේ අපට තව බොහෝ දුරක් අපහසුවෙන් නමුත් යෑමට සිදුව තිබේ. මෙහිදී රට බංකොලොත්භාවයට පත්වීම සඳහා බලපෑ හේතු හඳුනාගෙන ඒවාට නිසි පිළියම් යෙදීමත් එවැනි තත්ත්වයක් නැවත ඇති නොවන පරිදි නිසි පිළියම් යෙදීමත් අත්‍යවශ්‍ය වනු ඇත. එවිට අපට නැවත නැවත අයිඑම්එෆ් සහාය පැතීමට ද අවශ්‍ය නොවනු ඇත.

රටේ බංකොලොත්භාවයට බලපෑ හේතු විවිධ අය නොයෙක් ආකාරයෙන් අර්ථකතනය කරනු ලබයි. ප්‍රධාන වශයෙන්ම රට බංකොලොත් වීම සම්බන්ධයෙන් විවිධ අය විවිධ දේශපාලන අර්ථකතන ඉදිරිපත් කරමින් සිටිති. ඒවා ඔබ ඕනෑතරම් අසන්නට ඇත. එහෙත් රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය ගැන තම තමන්ගේ වාසියට දේශපාලන ඇසකින් පමණක් නොබලා ආර්ථිකමය කරුණු කාරණා ඔස්සේ සාකච්ඡා කිරීම ඉතා වැදගත් වේ. මේ ගැන කතා කරන ඇතැම් අය ගෝඨාභය රාජපක්ෂ පාලනයේ වැරදි නිසාම රට බංකොලොත් වූ බව කියති. තවත් ඇතැම් අය කියන්නේ පසුගිය යහපාලන රජයේ වැරදි ආර්ථික හා ණය කළමනාකරණය නිසා මේ තත්ත්වයට මුහුණ දීමට රටට සිදු වූ බවයි. යහපාලන රජය සමයේ කෙටිකාලයක් තුළ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කර විශාල වශයෙන් වශයෙන් ණය ගැනීම මෙයට හේතු වූ බව ද ඔවුහු කියති. මේ දේශපාලන අදහස්වල සත්‍ය නැතුවාම නොවේ. එහෙත් රට බංකොලොත් වීමට බලපෑ හේතු එලෙස දේශපාලන ඇසකින් පමණක් එතරම් සරල මට්ටමට ලඝු කළ හැකි නොවේ. එසේ නම් රට බංකොලොත් වීමට බලපෑ ඇත්ත ආර්ථිකමය හේතු පැහැදිලිව හඳුනාගෙන ඒවාට පිළියම් යෙදිය යුතු වේ. ප්‍රධාන වශයෙන්ම මෙය විදේශ විනිමය අර්බුදයක් නිසා ඉදිරියේ දී රටේ විදේශ විනිමය ඉපැයුම් තිරසාර ලෙස වර්ධනය කර ගැනීමට අවශ්‍ය උපායමාර්ග හඳුනාගෙන ඊට ගැලපෙන ලෙස අපේ විදේශ විනිමය වියදම් කළමනාකරණය කර ගැනීම ද ඉතා වැදගත්වනු ඇත.

රුපියල ආයෙත් පුපුරයිද?

එසේම රාජ්‍ය අයවැය තුළ විශාල අයවැය හිඟයන් පවත්වාගෙන යෑමෙන් සිදුවනුයේ ද එම අයවැය හිඟයන් පියවා ගැනීම සඳහා දේශීය සහ විදේශීය වශයෙන් විශාල වශයෙන් ණය වීමට සිදු වීමයි. ඒ නිසා වසරෙන් වසර රාජ්‍ය ණය ප්‍රමාණය විශාල වශයෙන් ඉහළ ගොස් විශාල ණය කන්දක් ගොඩ ගැසේ. ඒ තුළ සිදුවනුයේ වසරකට ගෙවීමට තිබෙන ණය සේවාකරණ වියදම් වසරෙන් වසර වර්ධනය වීමයි. ගිය වසරේ (2022) අපට රු.බිලියන 7 කට ආසන්න විදේශ ණය සේවාකරණ වියදමක් දැරීමට සිදුව තිබූ අතර එම වියදම් ගෙවිය නොහැකි දුර්වල තත්ත්වයට අපගේ විදේශ සංචිත තත්ත්වය ඇදවැටීම නිසා අපට අපගේ විදේශ ණය පියවීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය. මේ නිසා ඒ අවස්ථාවේ එනම් 2022 වසරේ අප්‍රේල් 12 වැනිදා රජයට තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීමට සිදු විය. ඒ බව ප්‍රකාශයට පත් කරමින් රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් ද නිකුත් කර ඇත. මේ ප්‍රකාශය කරන අවස්ථාව වන විට අයහපත් ආර්ථික කළමනාකරණය සහ ගනු ලැබූ වැරදි ආර්ථික තීන්දු තීරණ නිසා රට බංකොලොත් තත්ත්වයට පත්ව තිබූ අතර ඒ නිසා රට බංකොලොත් කිරීම හෝ ආර්ථිකය ඝාතනය කිරීම යනු 2022 වසරේ අප්‍රේල් 12 වැනිදා තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවන බව ප්‍රකාශයට පත් කිරීම යන කාරණය නොවන බව අපට ඉතා පැහැදිලිය. එය අප තේරුම් ගත යුතුවේ.

මේ නිසා දශක ගණනාවක් තිස්සේ විශාල වෙළෙඳ හිඟයන් පවත්වාගෙන යමින් ඇතිකර ගත් විදේශ මුදල් හිඟයට අමතරව රාජ්‍ය ආදායම සහ වියදම අතර පරතරය වන අයවැය හිඟයන් ද අවම කරගත යුතු වේ. නැතහොත් අයවැය හිඟයන් පියවා ගැනීම සඳහා ණය ගන්නා විට සිදුවනුයේ ද රාජ්‍ය ණය බර වර්ධනය වීමයි. මේ නිසා බංකොලොත්භාවයෙන් මිදීමේ දී විශාල අයවැය හිඟයන් පවත්වාගෙන යනවා වෙනුවට රාජ්‍ය ආදායමට ගැලපෙන ලෙස රාජ්‍ය වියදම් කළමනාකරණය කර ගැනීම ද ඉතාමත් අවශ්‍ය වේ. මේ වන මේ ආර්ථික අර්බුදය නිසාම රාජ්‍ය වියදම් සීමා කර ගැනීමට සහ විශේෂයෙන් බදු ආදායම් ඇතුළු රාජ්‍ය ආදායම් වර්ධනය කර ගැනීමට පියවර ගෙන ඇත්තේ මේ නිසාය. මෙහි ප්‍රතිඵලයක් ලෙස මේ වසරේ (2023) මුල් මාස හයේ දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රැස් කළ රාජ්‍ය බදු ආදායම රු.කෝටි 69694.6 ක් දක්වා ගිය වසරට සාපේක්ෂව සියයට 93 කින් වර්ධනය වී ඇත. 2022 වසරේ දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රැස් කර තිබූ බදු ආදායම රු.කෝටි 36183.2 ක් පමණි.

රටේ බංකොලොත් වීමට බලපෑ ඇත්ත ආර්ථිකමය හේතු හඳුනා ගැනීමේ දී අපට දිගුකාලීන හේතු මෙන්ම කෙටිකාලීන හේතු ද හඳුනා ගත හැකිය.

● දිගුකාලීන හේතු

මෙහිදී දිගුකාලීන හේතු යනු දශක ගණනාවක් තිස්සේ ආර්ථිකයේ ගැඹුරින් මුල් බැසගෙන ඇති ගැටලු සහ දුර්වලතාවන්ය. ඒවා 2019 අගදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති වීමෙන් පසුව මුහුණ දීමට සිදු වූ කොරෝනා වසංගතය මෙන්ම රුසියා – යුක්රේන යුදමය බලපෑම් ඇතුළුව එම රජයේ අදූරදර්ශී තීන්දු තීරණ ගැනීම නිසා මෙන්ම නිසි කලට නිසි තීරණ නොගැනීම නිසා ද ඒවා ආසන්න හේතු ලෙස බලපාමින් මේ උග්‍ර ආර්ථික අර්බුදයට රටට සහ මහජනයාට මුහුණ දීමට සිදු විය. මේ අනුව ප්‍රධාන වශයෙන් ආර්ථික අර්බුදයේ දිගුකාලීන හේතු කිහිපයක් මෙසේ සඳහන් කළ හැකිය.

● ඉතා අඩු බදු ආදායම

● විශාල අයවැය හිඟයන්

● ඒකරාශී වූ එසේම පසුව තිරසාර නොවන මට්ටමට පත් වූ රාජ්‍ය ණය

● දිගින් දිගටම පැවති ජංගම ගිණුමේ හිඟය

මෙවැනි ආර්ථිකයේ දිගුකාලීනව පැවති ව්‍යුහාත්මක ගැටලු සහ දුර්වලතාවලට ආසන්න හේතු ද බලපෑම නිසා මෙවැනි උග්‍ර විනිමය සහ ආර්ථික අර්බුදයකට අපට මුහුණ දීමට සිදුවිය. වත්මන් ආර්ථික අර්බුදයේ ප්‍රධාන ආසන්න හේතු ලෙස අපට හඳුන්වා දිය හැක්කේ (තවත් බොහෝ දෙනෙක් ද මේ ගැන සඳහන් කර ඇත.) මේවාය.

● 2019 වසර අගදී සිදු කළ විශාල බදු කප්පාදුව

● ක්ෂණිකව කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තියකට යෑමට දැරූ උත්සාහය

● කොවිඩ් – 19 වසංගත තත්ත්වය

● යුක්රේන – රුසියා යුදමය තත්ත්වය

● ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගැනීමට ප්‍රමාද වීම

● කෘත්‍රීම ලෙස ස්ථාවර විනිමය අනුපාතයක් දිගු කලක් තිස්සේ පවත්වාගෙන යෑම

විවිධ අයට වත්මන් ආර්ථික අර්බුදයේ හේතු විවිධ ආකාරයට හඳුනාගත හැකි වුවත් ආර්ථිකමය වශයෙන් අප සිතන්නේ හේතු ගණනාවක සමුච්චිත ප්‍රතිඵලයක් ලෙස රට බංකොලොත් බවට පත් වූ බවයි. කොරෝනා වසංගත තත්ත්වය සහ රුසියා – යුක්රේන යුද ගැටුම්කාරී තත්ත්වයේ බලපෑම් අපගේ පාලනයෙන් බැහැර ඒවා වුවත් අනෙක් බලපෑම් සඳහා හේතු වූයේ, අන් කිසිවක් නොව අපගේ අයහපත් ආර්ථික කළමනාකරණයම බව කිව යුතුය. මේ නිසා රට බංකොලොත් වීමට වගකිව යුතු වන්නේ එම ආර්ථික කළමනාකරණයට වගකිව යුතු පිරිසයි. ඒ නිසා අපගේ ආර්ථිකය ඝාතනය කිරීම සම්බන්ධයෙන් කිසිසේත්ම අපට තනි පුද්ගලයකු ගැන සඳහන් කළ හැකි නොවන බව අපගේ අදහසයි. රට බංකොලොත් වීමට බලපෑ යම් යම් වැරදි තීන්දු තීරණ සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් වගකිව යුතු තනි පුද්ගලයන් සිටිනවා විය හැකිය. එහෙත් මේ ආර්ථික බංකොලොත්භාවය සඳහා හේතු වූයේ එවැනි තීරණ එකක දෙකක බලපෑම් පමණක් නොවේ. එසේ නම් අප ඔබට කියන්නේ මේ රටේ පුරවැසියන් වශයෙන් ආර්ථිකමය වශයෙන් රට බංකොලොත් කිරීමේ මෙම ආසන්න සහ දිගුකාලීන හේතු මොනවා ද යන්න ඔබ දැනගත යුතුව ඇති බවයි. මෙසේ මේ රට බංකොලොත්වීමේ කතාව ආර්ථිකමය වශයෙන් විවරණය කර ගැනීමෙන් මේ සඳහා ගනු ලබන අත්‍යවශ්‍ය ප්‍රතිකර්ම තේරුම් ගැනීම ද අපහසු කරුණක් නොවනු ඇත.

ඉතිහාසයේ බලවත්ම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් අප මේ තවමත් ගත කරමින් සිටින්නේ ඉතා දුෂ්කර සහ තීරණාත්මක කාලයකි. ඉදිරියටත් සැලකිය යුතු කාලයක් අපට දුෂ්කර ලෙස ගත කිරීමට සිදුවනු ඇත. මේ වන විට ශ්‍රී ලංකාවේ බංකොලොත්භාවයට හේතු සොයන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ද පත් කර තිබේ. එහි සභාපතිත්වයට පත් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ය. ඒ සම්බන්ධයෙන් ද බොහෝ විවේචන ඉදිරිපත් වෙමින් තිබේ. රට බංකොලොත් වෙමින් සිය විදේශ ණය පවා ගෙවාගත නොහැකි බව ප්‍රකාශයට පත් කළේ ගිය වසරේ (2022) අප්‍රේල් 12 වැනිදාය. එවකට රටේ පැවතියේ ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජයකි. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ද සාගර කාරියවසම් මහතා ලේකම් ධුරය දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේම අපේක්ෂකයා වශයෙනි. එම පක්ෂයේම මහ ලේකම්වරයා මේ කාරක සභාවේ සභාපති කිරීම කෙතරම් සුදුසු ද යන ප්‍රශ්නය තිබේ. ඒ නිසා මේ කාරක සභාවට රට බංකොලොත් වීමට බලපාන ලද සැබෑ හේතු හඳුනාගෙන ඒ සඳහා වගකිව යුත්තන් නම් කිරීමට කෙතරම් අවංකව සහ අපක්ෂපාතීව කටයුතු කළ හැකිවනු ඇති ද යන සැකය බොහෝ දෙනෙක් මතු කර ඇත. මේ නිසා විපක්ෂය කියන්නේ මේ කාරක සභාවේ සභාපතිත්වය විපක්ෂ මන්ත්‍රීවරයකුට ලබාදිය යුතු බවයි. රට බංකොලොත්වීමට හේතු වූ සත්‍ය කරුණු දැන ගැනීමට ඇත්තටම අවශ්‍ය නම් කළ යුත්තේ එම සභාවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීම බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ද පාර්ලිමේන්තුවේ දී සඳහන් කර ඇත. එසේ නැත්නම් වනු ඇත්තේ විශාල මාධ්‍ය සංදර්ශනයක් රටට ඉදිරිපත් කරමින් මේ කාරක සභාව පවත්වාගෙන යෑම වෙනුවෙන් තවත් අතිරේක වියදමක් සහ කාලයක් ගත වීම පමණි. පසුගිය කාලයේ කෙතරම් නම් ජනාධිපති කොමිෂන් සභා පත් කළත් වැඩක් වූවා ද? ඒවායේ නිර්දේශ නිසි පරිදි ක්‍රියාත්මක වූවා ද? ඒ නිසා අන්තිමට වංචා දූෂණ සෙවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවල වැය බරත් මහජනතාව පිට පැටවීමට වැඩි දෙයක් වූයේ නැත. මේ නිසා යම් වියදමක් දරා රජය මගින් ජනාධිපති කොමිසමක් පත් කර හෝ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කර යම් පරීක්ෂණ කටයුත්තක් කරනවා නම් එය හුදෙක් මාධ්‍ය සංදර්ශනයක් පමණක් බවට පත් වීමට ඉඩ නොදී ඒවායේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඇතුළු නෛතික කටයුතු සිදු කිරීම අත්‍යවශ්‍ය වනු ඇත. එහෙත් කටයුතු සිදුව ඇත්තේ ඒ ආකාරයට නොවන නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතාගේ සභාපතිත්වයෙන් පත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් ද මහජනයාට අවශ්‍ය වන ප්‍රතිපලයක් ලැබෙනු ඇති බව නම් අපට සිතිය නොහැකිය. ඒ අනුව මහජනයා බලවත් ලෙස පීඩාවට පත් කළ මේ රට බංකොලොත් කිරීමට වගකිව යුත්තන්ට එරෙහිව කිසිවක් සිදුවනු ඇති බව ද අපට සිතිය නොහැකිය.

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින්නේ නිදහසෙන් පසු ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට ය. මේ බව 2022 නවතම මහ බැංකු වාර්ෂික වාර්තාවේ පළමු පිටුවේම මෙසේ සඳහන් වේ.

‘ශ්‍රී ලංකා ආර්ථිකය නිදහසින් පසු ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ වඩාත් අසීරුතම කාලපරිච්ජේදය සඳහා 2022 වසරේ දී මුහුණ දුන් අතර, පැවති දැඩි ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මහජන නොසන්සුන්වීම් මෙන්ම දේශපාලන කැළඹීම් ද ඇති විය.

මේ අනුව පැහැදිලි වන්නේ මේ ආර්ථික අර්බුදය හමුවේ රට තුළ ආර්ථික මෙන්ම සමාජ හා දේශපාලන බලපෑම් ද ඇති වූ බවයි. පැවති උග්‍ර විදේශ විනිමය හිඟය නිසා රට තුළ ඉන්ධන පෝලිම් සහ ගෑස් පෝලිම් ඇතුළු පෝලිම් තත්ත්වයන්ද නිර්මාණය විය. මේ නිසා සිදු වූ මහජන නොසන්සුන්වීම් හමුවේ රට තුළ විරෝධතා, උද්ඝෝෂණ මෙන්ම අරගල ක්‍රියාකාරිත්වයන් ද ඇති විය. අවසානයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ද රට හැර ගොස් ඉල්ලා අස් වීමට සිදුවිය. මේ සියලුම දේ පොදුවේ රටේ ආර්ථික ක්‍රියාකාරිත්වයට අහිතකර බලපෑම් ඇති කළේය. මේ හමුවේ ගිය වසරේ (2022) ශ්‍රී ලංකා ආර්ථිකය වාර්තා කළේ ඍණ සියයට 7.8 ක ආර්ථික වර්ධනයකි. එනම් ඉතිහාසයේ වැඩිම ආර්ථික පසුබෑම වාර්තා කළේ ගිය වසරේ (2022) දීය. මේ වසරේ (2023) පළමු කාර්තුවේ දී ද සියයට 11.5 ක ඍණ ආර්ථික වර්ධනයක් වාර්තා කළේය. මේ වසරේ (2023) අවසන් කාර්තුවේ දී සුළු ධන ආර්ථික වර්ධන අගයක් ලැබෙනු ඇති බවට මහ බැංකුව පවසා ඇත. කෙසේ වෙතත් මේ වර්ෂයේ ද සමස්තයක් ලෙස වාර්තා කරනු ඇත්තේ ඍණ ආර්ථික වර්ධනයකි. මේ ආර්ථික පසුබෑම ධන ආර්ථික වර්ධනයක් බවට පරිවර්තනය වනු ඇත්තේ ලබන වසරේ (2024) සිටය. කෙසේ වෙතත් අපේක්ෂිත අගයට වඩා වැඩි වේගයකින් උද්ධමනය අඩු වෙමින් පවතින නිසාත් ඊට අනුරූපව පොලී අනුපාත පහත වැටෙමින් තිබෙන නිසාත් ඉදිරි කාලයේ දී රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය වේගවත් වනු ඇතැයි සිතිය හැකිය. ඒ අනුව මේ වසරේ අවසන් කාර්තුවේ දී ඍණ ආර්ථික වර්ධන තත්ත්වය ධන තත්ත්වයට පරිවර්තනය වීම සිදුවනු ඇත.

මේ අතර රටින් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණය කිරීමට පනවා තිබූ යම් යම් සීමා ලිහිල් කිරීමට මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපතිවරයා ගිය සතියේ දී පියවර ගත්තේය. එසේම මීට පෙර ආනයන සීමා පනවා තිබූ භාණ්ඩවලින් සැලකිය යුතු ප්‍රමාණයක් ද ආනයන සීමාවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. තවදුරටත් එම ආනයන සීමා පවතින භාණ්ඩ ලැයිස්තුවේ තිබෙන්නේ භාණ්ඩ නවසිය ගණනක ප්‍රමාණයකි. මේ ආනයන සහ විනිමය සීමා ලිහිල් කිරීමට හේතුව වී ඇත්තේ රට මුහුණ දී සිටින ආර්ථික හා විනිමය අර්බුදය කිසියම් දුරකට සමනය වී තිබීමයි. ඒ සමගම පවතින ඍණ ආර්ථික තත්ත්වයෙන් මිදීමට නම් අපට මෙම ආනයන සීමා සහ විදේශ විනිමය සීමා ක්‍රමයෙන් ඉවත් කිරීමට ද සිදුවනු ඇත. එහෙත් ඒ සමගම අප විසින් අපගේ විදේශ විනිමය ලැබීම් මාර්ග ද වේගයෙන් සහ තිරසාර ලෙස වර්ධනය කරගත යුතු වේ. එසේ නැතහොත් අපගේ විනිමය අනුපාතය පිරිහීමට විශාල පීඩනයක් ද මතුවනු ඇත. එහි ප්‍රතිඵලය වනු ඇත්තේ අපේ රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවත් පිරිහීමට ලක්ව යළිත් භාණ්ඩ මිල ගණන් ඉහළ යෑමට තුඩු දෙන වාතාවරණයක් නිර්මාණය වීමයි.

මේ අතර බ්ලූම්බර්ග් වෙබ් අඩවිය ද අපේ රුපියල ගැන අනාවරණයක් කර ඇත. ඒ අනුව සඳහන් වන්නේ, 2023 වසරේ මුල් භාගයේ ආසියාවේ හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට පත්වූ රුපියල මේ මාසයේදී (ජුලි) ආසියාවේ දුර්වලම මුදල් ඒකකය බවට පත්වී ඇති බවයි. මෙයට හේතුව වන්නේ පසුගිය දිනවල රුපියලේ සිදු වූ පිරිහීමයි. එම වෙබ් අඩවිය පවසන්නේ මේ වසර (2023) අවසානය වන විට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 355 දක්වා ඉහළ යනු ඇති බවය. මේ අනුව මේ වසරේ (2023) මුල් අර්ධයේදී ආසියාවේ හොඳම ක්‍රියාකාරිත්වයක් සහිත මුදල් ඒකකය ලෙස සියයට 19 කින් ශක්තිමත් වූ රුපියල ජුලි මාසයේදී ආසියාවේ දුර්වලතම ක්‍රියාකාරිත්වයක් සහිත මුදල් ඒකකය බවට පත්වී ඇති බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසා තිබේ. එමගින් පෙන්වා දෙන්නේ ඉකුත් ජුලි 24 දිනය වන විට අඛණ්ඩව දින 14ක් තුළ රුපියල සියයට 6 කින් අවප්‍රමාණය වී ඇති බවය. එමෙන්ම පොලී අනුපාත අඩුකිරීම සහ ආනයන සීමාවන් ලිහිල් කිරීම හේතුවෙන් ඉදිරියේදී රුපියල තවදුරටත් අවප්‍රමාණය විය හැකි බව ද බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කරයි. මේ නිසා අප නම් සිතන්නේ අයිඑම්එෆ් පදයටම නටන්නේ නැතුව අපේ ආර්ථිකය සවිමත් කර ගැනීමට සහ විදේශ විනිමය ඉපයුම් වර්ධනය කර ගැනීමට අපටම සැලසුම් අවශ්‍ය වනු ඇති බවයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment