රුවන්වැලි මහා සෑ ධාතු ගර්භයේ සිතුවම්: වංශකතා වාර්තාවේ සාවද්‍ය අර්ථකථනයක්

447

(මහාචාර්ය පූජ්‍ය මිරිස්වත්තේ විමලඥාන හිමි ශ‍්‍රී ලංකා ප‍්‍රාචීන භාෂෝපකාර සමාගම මගින් ප‍්‍රකාශිත ශාස්ත‍්‍රීය සංග‍්‍රහයෙහි (2009-2010) පළකළ ‘Relic-chamber Paintings of Ruvanvalisaya: A Misinterpretation of Chronicle Accounts’ ලිපියේ සංස්කරණ කරන ලද පරිවර්තනයකි.)

ශ‍්‍රී ලාංකේය කලා සාහිත්‍ය ඉතිහාසය හදාරන බොහෝ දෙනා රුවන්වැලි මහා සෑ ධාතු ගර්භයේ බිතුසිතුවම් නිර්මාණය කර තිබෙන්නට ඇතැයි විශ්වාස කරති. ඇතැම් සාහිත්‍ය ඉතිහාසඥයෝ වංශකථාවල සඳහන් මහාථූපයේ ධාතු ගර්භයේ බිතුසිතුවම් පිළිබඳ තොරතුරු ලාංකේය කලා ඉතිහාසයේ ධාතුගර්භ චිත‍්‍ර නිර්මාණය පිළිබඳ මුල්ම සාහිත්‍ය සාධකය වශයෙන් සලකති; එම චිත‍්‍ර නිර්මාණ සඳහා බුද්ධ චරිතය සහ ජාතක කතා යොදාගත් බව පැහැදිලි කරති. මෙම ලිපිය ලියන මම ද මෑතක් වන තුරු එය ඒ අයුරින් ම පිළිගත්තෙමි. එහෙත් මහාවංශයේ සහ ථූපවංශයේ සඳහන් මහසෑයේ ඉදිකිරීම හා ධාතුගර්භයේ සැලසුම පිළිබඳ තොරතුරු නිවැරදිව අධ්‍යයනය කිරීමෙන් පසුව ධාතු ගර්භයේ සිදුකළ චිත‍්‍ර කර්මාන්තයක් පිළිබඳ මෙම වංශකතා අනාවරණය නොකරන බවත්, ධාතු ගර්භයේ බිත්ති මත චිත‍්‍ර නිර්මාණය සම්බන්ධ

පිළිගැනීම වංශකතා තොරතුරු පිළිබඳ වැරදි අර්ථකථනයක් බව ද පැහැදිලි වෙයි. මෙවැනි අතපසුවීම් සිදුවීම සාමාන්‍ය කරුණක් වුවත් එය නිවැරදි කරගැනීම ප‍්‍රබුද්ධ අපගේ යුතුකම හා වගකීම වන්නේය.

මහා සෑ ධාතු ගර්භයේ චිත‍්‍ර කර්මාන්ත පිළිබඳ සටහන් දෙකක්

මහා සෑයේ ධාතු ගර්භ චිත‍්‍ර පිළිබඳ සටහන් කරන ලේඛන අතුරෙන් විශේෂ අධ්‍යයන දෙකක් මෙහි දක්වනු ලැබේ.

ලේක්හවුස් මුද්‍රණාලය මගින් 1986 වර්ෂයේ දී පළ කළ ‘The Rock and Wall Paintings of Sri Lanka’ නමැති සුප‍්‍රකට කෘතියෙහි සේනක බණ්ඩාරනායක ”අපි දැක ඇති පරිදි, ධාතු ගර්භයේ ජාතක කතා හා ඓතිහාසික බුදුන් වහන්සේගේ චිත‍්‍ර නිර්මාණය කිරීම ශ‍්‍රී ලාංකේය කලාවේ බොහෝ කලක සිට පැවත එන සිරිතකි. මහාවංශය දක්වන දින වකවානු නිවැරදිව විශ්වාස කළ හැකිනම් රුවන්වැලිසෑයේ ධාතු ගර්භ චිත‍්‍රනිර්මාණකරණය ක‍්‍රි:පූ: 2වන සියවස දක්වා දිවයයි’’ (74 පිටුව) යනුවෙන් පවසයි. සේනක බණ්ඩාරනායක මහාථූපයේ ධාතු ගර්භ චිත‍්‍ර පිළිබඳ සඳහන් කරන මුල් ම ලේඛකයෙකු බව දැකිය හැකි ය.

රුවන්වැලි මහා සෑ ධාතු ගර්භයේ සිතුවම්:  වංශකතා වාර්තාවේ සාවද්‍ය අර්ථකථනයක්

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් 1990 මුද්‍රණය කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශත සංවත්සරය සඟරාව සඳහා ලිපියක් ලියමින් රාජා ද සිල්වා රුවන්වැලි මහා සෑ ධාතුගර්භ චිත‍්‍ර පිළිබඳ මෙසේ සඳහන් කර ඇත.

”කි‍්‍ර:පූ: 2වන සියවසයේ දුටුගැමුණු රජු විසින් කරවන ලද රුවන්වැලි මහා සෑයේ බුදුන් වහන්සේගේ පෙර භවයන් (ජාතක කතා) නිරූපණය කරමින් ධාතුගර්භයේ කළ චිත‍්‍ර නිර්මාණ, ලක්දිව බිතුසිතුවම් කලාවේ පළමු වාර්තාව වේ’’

සේනක බණ්ඩාරනායක සුප‍්‍රකට කලා විචාරකයෙක් වන අතර ඔහුගේ ඉහත සඳහන් කෘතිය බෙහෙවින් පරිශීලනය වන කෘතියක් වන හෙයින් ඔහුගේ අදහස රුවන්වැලි සෑ ධාතු ගර්භ සිතුවම් පිළිබඳ අදහස අප අතර ව්‍යාප්ත වීමට බලපෑ ප‍්‍රමුඛතම ලේඛනයක් බව කිව යුතු වෙයි. කෙසේ නමුත් ඔහුට පෙර මේ අදහස ප‍්‍රචලිතව පැවති බව උපකල්පනය කළ නමුත් ඊට සාධක වශයෙන් වෙනත් ලේඛනයක් මා සතුව දැනට නැත.

මහාථූපයේ ධාතුගර්භයේ සැකැස්ම පිළිබඳ වංශකතා තොරතුරු: චිත‍්‍ර කර්මාන්තයක් පිළිබඳ සටහන් නැත.

මහාථූපයේ ධාතු ගර්භය බිතුසිතුවම් මගින් අලංකරණය කර තිබූ බවට ඉහත ලේඛකයන් පිළිගත්ත ද වංශකථා එවැනි බිතුසිතුවම් අලංකරණයක් පිළිබඳ සඳහන් කරන්නේ නැත. ඒ වෙනුවට මහාවංශය (30 පරිච්ඡේදයේ 99 වැනි ගාථාව) අනාවරණය කරන්නේ, ඝන රන් යොදා කරවූ (ඝනකොට්ඨිමහේමස්ස) වෙස්සන්තර ජාතකය සහ බුද්ධ චරිතයේ වැදගත් අවස්ථා, වෙනත් ඓතිහාසික සිද්ධි, දේව-දේවතා හා යක්ෂ රූප ධාතු ගර්භය මධ්‍යයේ මාණික්‍යාදියෙන් අලංකරණය කළ කෘති‍්‍රම ව සෑදූ බෝධියක් වටා රන් ඵලක මත නිසි පරිදි තැන්පත් කළ බව ය. මෙසේ නිර්මාණය කළ සිද්ධීන් නම්, හස්තීන් පිරිවරාගත් මාරයා හා මාර සේනාව, සත් සතිය ගතකිරීම, බ‍්‍රහ්මාරාධනාව, දම්සක් පැවතුම (ධම්මචක්කප්පවත්තනය), යසකුල පුත‍්‍රයාගේ පැවිදිවීම, භද්දවග්ගිය කුමාරවරුන්ගේ පැවිද්ද හා ජටිල දමනය, බිම්බිසාර රජු දැකීමට රජගහනුවරට එළඹීම, ජේතවනාරාමය පිළිගැනීම, ධනපාල (නාලාගිරි) හස්තිරාජ දමනය, අංගුලිමාල දමනය, පරිනිර්වාණය, බුදු සිරුර ආදාහනය, ද්‍රෝණ බමුණා ධාතු බෙදා දීම, වෙස්සන්තර ජාතකය, සතරවරම් දෙවිවරුන්ගේ සහ දෙවියන් තිස්තුන් දෙනාගේ රූප, යක්‍ෂාධිපතියන් විසිඅට දෙනාගේ රූප යනාදිය යි. නිරූපණය කිරීම අදහස් කරන අකාරේසි හා අකාරයි (කළේ ය) යන පාලි පද මගින් චිත‍්‍රකරණය අදහස් නොවන අතර රනින් නිම කොට ඵලක මත තැබූ බව පැහැදිලි ව සටහන් වීම හේතුවෙන් ඒවායින් අර්ථවත් කෙරෙන්නේ මූර්ති ආකාරයේ ඇඹීමෙන් කළ නිර්මාණයක් පිළිබඳ ව ය.

ථූපවංශයේ ද මෙම ගර්භයේ රූප හා දර්ශන සැකසීම සම්බන්ධ විස්තරාත්මක විවරණයක් සිදුකර තිබේ. එම විවරණයෙන් ද අනාවරණය වන්නේ් කෘත‍්‍රිමව කළ බෝධිය වටා සප්ත මාණික්‍යවලින් කර වූ වේදිකා මත මෙම කලාත්මක නිර්මාණ තබන ලද බවකි (තතො බෝධිරුක්ඛස්ස සමන්තතො සත්තරතනමය වේදිකා කාරෙත්වා – ඉනික්බිති බෝ රුව හාත්පස සත් රුවන් මුවා වේදිකා කරවා).

මහාවංශය පිළිබඳ සාවද්‍ය අර්ථකථනයක්

සේනානායක බණ්ඩාර සිය ‘The Rock and Wall Paintings of Sri Lanka’ කෘතියෙහි ධාතුගර්භයේ චිත‍්‍ර කටයුතු පිළිබඳ සඳහන් කිරීමේ දී මූලාශ‍්‍රය සටහන් කිරීමක් කර නැත. ඇතැම් විට ඒ වන විටත් මේ අදහස වඩාත් ප‍්‍රචලිත ව පැවතෙන්නට ඇත. මේ පිළිබඳ අදහස් දක්වන රාජා ද සිල්වා රුවන්වැලි සෑ ධාතු ගර්භයේ සිතුවම් පිළිබඳ සඳහන් කරන ඉහත ලිපියෙහි මෙම කරුණට අදාළ ව ඔහු කිය වූ මූලාශ‍්‍රය වශයෙන් දක්වා ඇත්තේ ගයිගර්ගේ මහාවංශ පරිවර්තනය යි. (Geiger, W.ed, MahvaCsa. Tr.Colombo: Ceylon Government, 1960:ch XXX,V,85)’ රාජා ද සිල්වා සඳහන් කර තිබෙන ගයිගර්ගේ ඉහත සඳහන් මහාවංශ පරිවර්තනය කෘතිය මා හට සොයාගැනීමට නොහැකි වුවත් ශ‍්‍රී ලංකා රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව 1950 දී පළ කළ ගයිගර්ගේ මහාවංශ පරිවර්තනයේ මුද්‍රණය හා නව දිල්ලියේ ආසියාතික අධ්‍යාපන සේවය 1986 පළ කළ මුද්‍රණය ආශ‍්‍රයෙන් උක්ත කරුණ වාර්තා කර ඇති අයුරු සසඳා බැලූ අතර එම මුද්‍රණ, මෙම කරුණ සම්බන්ධයෙන් එකිනෙකට විවිධත්වයකින් තොර බව ද හඳුනාගත්තෙමි. තව ද එම පරිවර්තනය ආශ‍්‍රයෙන් මෙම වරද සිදු වූ ආකාරය පිළිබඳ අනුමානයක් ඇති කර ගැනීමට උත්සාහ කරන ලදි.

මහාස්තූපයේ ධාතුගර්භයේ දැක්වෙන රූප හා කථාවස්තු නිරූපණ රාශියක් පිළිබඳ සඳහන් කෙරෙන මහාවංශයේ මෙම ජේදය ඉතා දිගු හා එකිනෙකට සම්බන්ධ ගාථා 26 කින් සමන්විත වෙයි. ගයිගර් ඔහුගේ මහාවංශ පරිවර්තනයේ දී අකාරේසි හා අකාරයි යන ”කළේය’’ යන අතීත කාලික ප‍්‍රථම පුරුෂ ඒකවචන පාලි පද අර්ථවත් කිරීමට ”නිරූපණය කිරීම’’ (Dipict) යන්න යොදාගෙන තිබේ. (78 සහ 88 ගාථා) ගයිගර් පරිවර්තනයේ ”රජු විසින් සිත් ඇදගන්නා සුලූ ධාතු ගර්භයේ සියලූ ආකාරයේ (කැටයම්) රූප කරවීමට ඔවුන්ට (කර්මාන්ත කරුවන්ට) අණකළේ ය’’ (The King
commanded them to make all the figures in the enchanting relic chamber of massive wrought gold) යනුවෙන් සඳහන් වන මෙම විස්තරයට අදාළ අවසන් පාඨය (30 වන පරිච්ඡේදයේ 99 වැනි ගාථාව) වෙත පාඨකයා නිසි අවධානය යොමු නොකළේ නම් එම විස්තරයේ ඊට පෙර වෙනත් ගාථාවන්හි ඇති ”රජු ධාතු ගර්භයෙහි නිසි ලෙස නිරූපණය කිරීමට අණ කළේ ය’’ (He commanded the to depict duly here and there in the relic chamber) සහ ”රජු (සිද්ධි- අවස්ථා) සම්පූර්ණයෙන් නිරූපණය කිරීමට අණ කළේ ය’’ (He commanded them to depict fully) යන වාක්‍ය ඛණ්ඩ තුළ ඇති නිරූපණය කිරීම (Depict) යන පදය ”සිතුවම් නිර්මාණය කිරීමට අණ කළේ ය’’ යනුවෙන් සාවද්‍ය ලෙස වටහාගත

හැකි ය. 30 වන පරිච්ඡේදයේ 99 වන ගාථාවේ සඳහන් ඉහත දැක් වූ අවසන් ඡේදය වංසකතාවන්හි සියලූ රූප සහ කථාවස්තු නිරූපණවලට අදාළ ය. මේ අනුව සියලූ රූප ඝනරනින් කළ බව කියැවෙන හෙයින් චිත‍්‍ර ඇඳීමක් පිළිබඳ සටහන් නොවන බව පැහැදිලිය.

ධාතු ගර්භයේ බිත්ති පිළිබඳ කරන සඳහනකට අනුව පැහැදිලි වන්නේ එහි බිත්ති චිත‍්‍රකරණය වෙනුවෙන් පිළියෙල නොකළ බව යි. ඒ අනුව මහාවංශය පවසන්නේ මේද වර්ගයේ පාෂාණ ආධාරක පිරියම් කළ බිත්ති මත සැරසිලි රේඛා අඳින ලද බව ය. එබැවින් බිත්ති මත ඉහත කී නිරූපණවල සිතුවම් (බිතුසිතුවම්) තිබූ බවට කිසිදු සාධකයක් නැත. මහාවංශ ටීකාව වන වංසත්ථප්පකාසිනියේ එන තොරතුරකින් මෙම නිරූපණ මූර්ති වූ බව නිශ්චිත වෙයි. වංසත්ථප්පකාසිනිය සඳහන් කරන අන්දමට හතරැස් ධාතු කොටුව සෑම පැත්තකින් ම රියන් අසූවක දිගකින් යුක්ත විය. මෙතරම් කුඩා ධාතු ගර්භයේ මේ සියලූ රූප හා කථාවස්තු නිරූපණ තැබිය හැකිදැයි මිථ්‍යාදෘෂ්ටික හෝ අඥාන පුද්ගලයන්ට සැක ඇති විය හැකි බව ද වංසත්ථප්පකාසිනිය පවසයි. අනතුරු ව මෙම සියලූ නිර්මාණ රජු, දෙවියන්, රහතන් වහන්සේ හැර අන් අයගේ අතින් ගැනීමක් හෝ නොමැති ව පැවති අතර මහා සෘද්ධි සම්පන්න ඉන්දගුප්ත තෙරුන් වහන්සේ එම සියලූ නිර්මාණ තැන්පත් කර ඇති බව දක්වා ඇත. මෙම ප‍්‍රකාශනය මගින් පැවසෙන්නේ එම සියලූ නිර්මාණ සිතුවම් නොවූ බව හා අවකාශය ගන්නා නිර්මාණ පමණක් වූ බව පිළිගන්නා ලද බව යි. පැරණි ඓතිහාසික සම්ප‍්‍රදායෙහි ස්තූපයේ ධාතු ගර්භය තුළ සිතුවම් නිර්මාණය කිරීමක් පිළිබඳ විශ්වාසයක් නොපැවති බව මෙයින් ප‍්‍රකට වෙයි.

ධාතුගර්භය තුළ නිරූපණය කරන ලද බවට මහාවංශය දක්වන බොහෝ සිද්ධි ශ‍්‍රී ලංකාවේ සිතුවම් නිර්මාණකරණයේ ඉතා ජනප‍්‍රිය තේමාවන් විය (උදා: වෙස්සන්තර ජාතකය). මෙය ධාතු ගර්භයේ රූප හා කථාවස්තු සිතුවම් කළේ යැයි වටහාගැනීමට බලපෑම් කළ හේතුවක් විය හැකි ය. එසේම, ලංකාවේ ස්තූපයන්ගේ ධාතුගර්භයේ සිතුවම් නිර්මාණය කළ බවට මහියංගණය හා මිහින්තලේ වැනි ස්ථානවලින් සොයාගත් පුරාවිද්‍යාත්මක සාධක ද තිබේ. රුවන්වැලි සෑයේ ධාතු ගර්භයේ සිතුවම් පිළිබඳ විශ්වාසයක් ඇති වීමට උක්ත කාරණය ද බලපාන්නට ඇත.

නිගමනය

මෙම නිරීක්‍ෂණයට අනුව රුවන්වැලි සෑයේ ධාතුගර්භයේ බිතුසිතුවම් තිබී නැත. අනුරාධපුර අවධියේ මුල් ඉතිහාසයේ ධාතුගර්භය තුළ සිතුවම් නිර්මාණකරණය කිරීමේ සම්ප‍්‍රදායයක් නොපැවති බව පැහැදිලි වෙයි. ධාතුගර්භයේ ඇතුළත බිතුසිතුවම් නිර්මාණය කිරීමේ සිරිත අනුරාධපුර අවධියේ අවසාන භාගයේ ආරම්භ වන්නට ඇති බවත් ඊට පෙර ධාතූ සහ අනෙකුත් පූජනීය වස්තු සමග මූර්ත රූප පමණක් ධාතු ගර්භයේ නිධන් කරන්නට ඇති බවත් මෙමගින් නිගමනය කළ හැකි වෙයි.

පරිවර්තනය – වෙලම්පැලේ රතනසාර හිමි

advertistmentadvertistment
advertistmentadvertistment